ආණ්ඩුවේ බහුතරය අද හැලෙයි!

804

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමි තුනෙන් දෙකේ බලය මෙන්ම ආසන 113ක සරල බහුතර බලය ද අද (05දා) දින අහිමිව යෑමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඊයේ (4 දා) සඳහන් කළේය. ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් විශාල පිරිසක් අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශ කරමින් ආණ්ඩුවට සිය සහයෝගය ලබා නොදෙන බව ප‍්‍රකාශ කර ස්වාධීන වීම හෝ වෙනම කණ්ඩායම් ලෙස සිටීම හෝ විපක්ෂයේ අසුන් ගැනීම හෝ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව අද පාර්ලිමේන්තු රැුස්වීම ඉතා විශේෂිත එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 50දෙනකුට අධික පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවේ 113 සරල බහුතරය අහිමි කරන බව හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුවේදී මාධ්‍ය වෙත ඊයේ (04 දා) අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා මෙසේ ද කීය.

පැහැදිලිවම අපේ මතය ආණ්ඩුවට කලින් කියලා තිබෙනවා. ආණ්ඩුව කරන්න පුළුවන් කෙනෙක්ට භාරදෙන්න කියලා. හැබැයි ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරනවා නම් විවිධ උපක‍්‍රම හරහා මේ ආණ්ඩුව අරගෙන යන්න අපි පැහැදිලිවම 113 නැති කරලා, ආණ්ඩුවේ පාලන බලය වෙන අයට දීලා, ආණ්ඩුවේ ඉන්න පිරිස් සමඟ එකතු වෙලා විපක්ෂයේ කාර්යභාරය කරන ගමන් ඒ ආණ්ඩුවට සහයෝගය දෙන්න තමා අපේ බලාපොරොත්තුව වෙන්නේ.’’

මේ අතර අද පාර්ලිමේන්තුවේදී පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද නියෝග, ක‍්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප‍්‍රකාරව ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

තවද අද දිනට නියමිත ප‍්‍රධාන වැඩකටයුතුවලින් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ පෞද්ගලික මන්ත‍්‍රී පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

අකිත පෙරේරා, රනිල්් ධර්මසේන, මීගමුව – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment