ආණ්ඩුවේ ලොක්කෝ හොර රහසේම නිරෝධානයේ

530

පසුගිය සතිය තීරණාත්මක සතියක් විය. අන් කවරදාකවත් නොතිබූ පරිදි බස්නාහිර පළාත ප‍්‍රමුඛ අනිකුත් ප‍්‍රදේශවලට නව කොවිඞ් රැල්ල පැතිර ගියේ වසංගත රෝග විශ්ලේෂකයන්ට වත් සිතාගන්නට නොහැකි පරිදිය.

මෙහිදී බස්නාහිර ප‍්‍රදේශය පුරා දක්නට ලැබුණ විශේෂත්වය වූයේ කොවිඞ් නව ප‍්‍රභේදය වූ ‘‘ඩෙල්ඩා’’ ප‍්‍රභේදයේ ව්‍යාප්තියයි. වසංගත රෝග විශේෂඥයන්ගේ මතය වූයේ මෙම ප‍්‍රභේදය ලංකාවේ පැතිර ගිය අනෙකුත් ප‍්‍රභේදවලට වඩා වේගයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් යුතුව ජනතාව අතර පැතිර යනු ලබන බවයි.

ඩෙල්ටා ප‍්‍රභේදය ලංකාවේ පැතිර ගිය අනෙකුත් ප‍්‍රභේදවලට වඩා මාරාන්තික එකක් බව මීට පෙර ඉන්දියාව තහවුරු කර දී තිබූ අතර ලංකාවේ තත්ත්වය ද මේ අයුරින් ඉදිරියට ගියහොත් ඉන්දියාවේ තත්ත්වයට නොදෙවෙනි වෙනු ඇතැයි සමහර වසංගත රෝග විශේෂඥයෝ මත පළ කළහ.

තත්ත්වය මේ ආකාරයෙන් දවසින් දවස දරුණු අතට හැරෙද්දී අපේ රටේ ජාතික එන්නත්කරණ ව්‍යාපෘතිය අති සාර්ථක ලෙස ඉදිරියට ගියේ සෞඛ්‍ය අංශවලත් ආරක්ෂක අංශවලත් ඒකාබද්ධ එන්නත්කරණ ව්‍යාපෘතිය නිසාය.

මෙහි ප‍්‍රගතිය කොතෙක්ද යත් එක් දිනයකට කරන එන්නත් සංඛ්‍යාව ලක්ෂ පහක් ද ඉක්මවා යන්නට සෞඛ්‍ය හා ආරක්ෂක ඒකාබද්ධ එන්නත්කරණ ක‍්‍රියාන්විතය සමත්ව සිටියහ.

එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් කලට වේලාවට සපයා දීමට ජනාධිපතිවරයා සමත්විය. ලෝකයේ නිපදවන හොඳම එන්නත් වලින් සියයට 95% ක ටත් වැඩි සංඛ්‍යාවක් තම රටවල් සඳහා පමණක් වෙන්කර ගන්නට ලොව බලවත් රටවල් කිහිපය උත්සාහ ගන්නා පරිසරයක් තුළ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හැටියට මැදිහත්වී රටට අවශ්‍ය එන්නත් නොපමාව ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වීම ද එක්තරා අන්දමක වාසනාවක් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවක් මෙහිදී බලාපොරොත්තු වූයේ කොවිඞ් පැතිර යෑම පාලනය කරමින් මහන්සි වනවාට වඩා හැකි පමණ වේගයෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කරගැනීමට එන්නත්කරණය වේගවත් කිරීමට ය.

එහෙත් යම් යම් සෞඛ්‍ය අංශ ඒ හා සමානවම කොවිඞ් වෛරසය පැතිරයෑම වැළැක්වීමට ක‍්‍රමවේද සකස් කළ යුතු බව ද විශේෂයෙන් රජයට අවධාරණය කළහ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ කාරණා දෙක සම්බන්ධයෙන් වෙන වෙනම ජනාධිපති කාර්ය සාධක බළකායන් දෙකක්ම කල්තියා සූදානම් කර තිබිණි. ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් එන්නත්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ක‍්‍රියාත්මක වූ අතර මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොවිඞ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය පාලනය විය. පසුගිය සතියේ විශේෂත්වය වූයේ අන් කවරදාකටත් වඩා මෙම කමිටු දෙක පසුගිය සතිය තුළ කාර්යබහුල වීමයි.

  • ගම්පහ මළසිරුරු ගැන
    ප‍්‍රසන්න ඇත්ත සොයයි

බස්නාහිර පළාත් තුළ මහත් වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප‍්‍රභේදයේ බලපෑම ගම්පහ දිස්ත‍්‍රික්කයට ද තදින් දැනෙන්නට විය. ගම්පහ ඇතැම් රෝහල්වල එකතු වී තිබෙන මරණ සංඛ්‍යාව ආදානය කිරීම් පිළිබඳව ද ලොකු ගැටලූවක් ඇති විය. එම ගැටලූව නිර්මාණය වූ අවස්ථාවේ දී ගම්පහ දේශපාලන නායකයා වන ප‍්‍රසන්න රණතුංග ලංකාවේ සිටියේ නැත. ඔහු ඒ වනවිට සිටියේ රුසියාවේ සංචාරයක නිරත වෙමිනි. ගම්පහ තත්ත්වය නරක බව දැනගත් ඔහු වහාම දුරකථනය ඔස්සේ ගම්පහ දිසාපතිවරයාට කතා කළේය. ඒ අනුව, පසුගිය සෙනසුරාදා රෝහල් අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය හරහා සම්බන්ධ කරගනිමින් හදිසි රැස්වීමක් සංවිධානය කෙරිණි. සංචාරක අමාත්‍යවරයාද රුසියාවේ සිට මෙම රැස්වීමට සම්බන්ධ විය.

‘‘මළ සිරුරු ගොඩ ගැහිලා කියලා සමාජ මාධ්‍යයේ පළ වෙනවා. මේකෙ ඇත්තම තත්ත්වෙ මොකක්ද” අමාත්‍යවරයා විමසීය.

ඊට පිළිතුරු දෙමින් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ‘‘පවතින නීති රීති එක්ක පුද්ගලයෙක් මරණයට පත්වුණාම ඒ පුද්ගලයාගේ ඥාතියෙක් ඇවිත් හඳුනා ගැනීමක් කරන්න ඕනේ. කොවිඞ් මළ සිරුරක් වුණත් ආදාහනය කරන්න කලින් හඳුනා ගන්න ඕනේ. කොවිඞ්වලින් කෙනෙක් මැරෙන කොට මැරුණු කෙනාගේ මුළු පවුලම ඉන්නේ නිරෝධායනයේ. සෑහෙන කාලයක සිට යම් යම් හේතූන් නිසා ආදාහනය නොකළ සහ හඳුනා නොගැනීම නිසා ආදාහනය නොකළ මළ සිරුරු මෘත ශරීරාගාරවල තියෙනවා. ඒවා සම්බන්ධයෙන් කිසියම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙන්න ඕනේ” කීවේය.

‘‘මේ ප‍්‍රශ්න නිරාකරණය කරගන්න පොලිසියේ සහය ගන්න” කී අමාත්‍යවරයා ඒ මොහොතේම දුරකථනය ඔස්සේ නිමල් ලන්සා ඇමැතිවරයා සම්බන්ධ කරගත්තේය.

‘‘ලන්සා ඇමැතිතුමා, ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොවිඞ් තත්ත්වය පාලනය කරගන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය අංශවලට තිබෙන අඩුපාඩු හොයලා බලලා ඒවට ඉක්මනින් විසඳුම් දෙන්න ඕන. මම ඉරිදා ලංකාවට එනවා. මම එනකල් මේ ප‍්‍රශ්න විසඳන්න පියවර ගන්න”

රුසියානු විදේශ සංචාරය අවසන් කළ සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඉකුත් ඉරිදා පෙරවරුවේ නැවත මෙරටට පැමිණියේය.

‘‘දිස්ත‍්‍රික් ලේකම්තුමා, මම ලංකාවට ඇවිත් ඉන්නේ. පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රතිඵල එනකල් මට කිසි වැඩකට සහභාගි වෙන්න එන්න විදිහක් නැහැ. ඒ නිසා හෙට දවස අතහරින්න. අඟහරුවාදා දවසේ පුළුවන් වෙලාවක ගම්පහ දිස්ත‍්‍රික් කොවිඞ් කමිටුව රැස් කරන්න” අමාත්‍යවරයා දිස්ත‍්‍රික් ලේකම්වරයාට දැනුම් දුන්නේ ය.

මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සමග ද ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාකච්ඡා කළේය. කොරෝනා රෝගීන්ගෙන් පිරී ගිය රෝහල් ගැන පසුගිය සතියේ ඒ මේ අත හුවමාරුවූ වීඩියෝ පට නිසා අමාත්‍යවරුන්ගේ දැඩි අවධානයට බස්නාහිර පළාතේ රෝහල් කීපයක්ම ලක්විය. යෞවන කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ජනාධිපතිවරයා ඒ පිළිබඳ වගකීමක් ද පවරා තිබිණි.

‘‘තදබදයක් තියෙනවා කියන රෝහල්වලට ගිහිල්ලා ඉක්මනින්ම ගන්න පුළුවන් ක‍්‍රියාමාර්ග මොනවද කියලා හොයාබලන්න”

ඒ අනුව පසුගිය සතියේ නාමල් රාජපක්ෂ කළුබෝවිල රෝහලට ගියේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ ද සමග ය. යෞවන කටයුතු අමාත්‍යාංශයේ තරුණ සේවා සභාවේ නිලධාරීන් පිරිසක් ද ඒ සමඟ සිටියහ. තදබදය නිසා ඇඳන් නොමැතිව රෝහල්වල ආලින්ද වල අනාරක්ෂිතව රෝගීන් සිටින්නේ දැයි නාමල් විමසා බැලූවේය. රෝහලේ අලූතෙන් නිමවන වාට්ටු සංකීර්ණය ගැන ද ඇමැතිවරයා අවධානය යොමු කළේය.

‘‘මේ වාට්ටුව තවම වැඩ නිමවලා විවෘත නැතත් අපිට ඕන නම් පුළුවන් අවශ්‍යතාවයක් වුණොත් පාවිච්චියට ගන්න. මම තරුණ සේවා සභාවේයි යෞවන සමාජ සම්මේලනයේයි ස්වේච්ඡාවෙන් වැඩ කරන තරුණයෝ යොදවලා මේ වාට්ටු පාවිච්චි කරන්න පුළුවන් විදිහට කඩිනමින් සකස් කරලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් තදබදයක් තියෙන වෙලාවක ලෙඞ්ඩු අනාරක්ෂිතව තියන්නේ නැතුව මේ වාට්ටුවට ඇතුළත් කරලා බලාගන්න”.

රෝහල් බලධාරීන්ට එසේ පොරොන්දු වූ නාමල් ඒ මොහොතේම තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහට කතාකර කළුබෝවිල රෝහල වෙනුවෙන් කළයුතු කටයුතු විස්තර කළේය. සභාපතිවරයා නොපමාව එම කටයුත්ත ඉටු කර දෙන්නට වගකීම භාර ගත්තේය.

  • පැතිරයන කොවිඞ් හා
    පතුරවන කොවිඞ්…

පසුගිය සිංහල අලූත් අවුරුදු සමයෙන් පසුව රටේ නිර්මාණය වූ කොවිඞ් තුන්වන රැල්ල පාලනය කිරීම රජයට පෙර පැවති කොවිඞ් රැලි දෙක තරම් පහසු වූයේ නැත. පසුගිය ජුනි මාසය පමණ වන විට කොවිඞ් තුන්වෙනි රැල්ලේ උපරිම වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනකට හඳුනා ගන්නා රෝගීන් සංඛ්‍යාවද 3000 ඉක්මවා ගියේය. දිනකට සිදුවන මරණ සංඛ්‍යාව සියයකට ආසන්න විය.

එහෙත් එම තත්ත්වය මැනවින් පාලනය කරගන්නට රජයට හැකියාව ලැබුණේ ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් ඒකාබද්ධව ගෙන ගිය කොවිඞ් මර්දනය කිරීමේ හා කොවිඞ් එන්නත් කිරීමේ ව්‍යාපෘතිවල සාර්ථකත්වය දිනෙන් දිනම වර්ධනය වන්නට පටන් ගැනීම නිසා ය. රටපුරා දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 1000ට වඩා අඩු වූ අතර දිනක සිදු වන මරණ සංඛ්‍යාව ද 40 දක්වා අවම තිබූ අවස්ථාවක් මීට සති තුනකට පෙර උදාව තිබිණි. ජනාධිපතිවරයා ඉතා දැඩි ලෙස උපදෙස් දුන්නේ මරණ සංඛ්‍යාව මීටත් වඩා අඩු කරගන්නට ක‍්‍රමවේද සකසන ලෙසයි. එහෙත් ඒ අතර රට පුරා තවත් වෙනත් ‘‘වසංගත රැල්ලක්’’ ක‍්‍රියාත්මක වන්නට විය. ඒ වූ කලී විපක්ෂයේ පක්ෂ කීපයක එකමුතුවකින් නිර්මාණය වී විරෝධතා ව්‍යාපාරයක් ලෙස රටපුරා ආරම්භ වූ විරෝධතා රැල්ලයි.මුලින්ම මෙය රටපුරා කලඑළි බැස්සේ රජය හදිසියේම හඳුන්වාදුන් කාබනික පොහොර ව්‍යාපෘති වලට එරෙහි ජනතාව තුළින් නැඟුණු ගොවි අරගලයක මුහුණුවරිනි. කාලයක් තිස්සේ රසායනික පොහොරවලට පුරුපුරුදු වී සිටි ජනතාව වෙත රජය එක වරම එකවරම කාබනික පොහොර හඳුන්වා දී කාබනික වගාව පටන් ගන්නයි කියූ විට ජනතාව තුළින් ද සැබෑ විරෝධතාවක් මතු වූ බව සත්‍යයකි. මේ නිසා ගොවි ජනතාව බහුලව වෙසෙන පළාත්වල සැබෑ ගොවියෝ ද රජයේ කොවිඞ් මර්දන නීති රීති පවා නොතකමින් තම තමන්ගේ වගාවන්ට පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නට වූහ. එහෙත් දඹුල්ලේ අනුරාධපුරයේ පොළොන්නරුවේ අම්පාරේ බදුල්ලේ නුවරඑළියේ මාතලේ ගොවීන් දිගින් දිගටම උද්ඝෝෂණවල රඳවා ගන්නට උද්ඝෝෂණ සංවිධානය කළ විපක්ෂයේ ඒකාබද්ධ සටන් පෙරමුණුවලට නොහැකි විය.

මේ සටන් පෙරමුණ සිය දෙවන තුරුම්පුව ලෙස ගුරුවරුන් තෝරා ගත්තේ ඒ අනුවය. මේ රටේ ගුරුවරුන් 245000ක් පමණ සිටිති. මේ ගොඩට විදුහල්පතිවරුන් ද එක් වූ කල බලවේගයක් ලෙස 265000ක පමණ වෘත්තීය සටන් පෙරමුණක් නිර්මාණය වෙයි. මේ දෙලක්ෂ 265000 ට ම අවුරුදු 24ක් තිස්සේ නොවිසඳුණු අතිශයින් සාධාරණ වැටුප් විෂමතා ප‍්‍රශ්නයක් ද තිබිණි. මෙම අවස්ථාවේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කොටගෙන ගුරුවරුන් පාරට බස්සවා දීප ව්‍යාප්තව අරගල සංවිධානය කළේ නම් රජයේ කොවිඞ් මර්දන ව්‍යාපෘතිය අසාර්ථක කර සීසීකඩ විසුරුවා හරින්නට හැකිවනු ඇතැයි සැලසුම් කළ විපක්ෂයේ ඒකාබද්ධ බලවේග රජයට එරෙහි වෘත්තීය සමිති කිහිපයක් සමඟ සාකච්ඡාවකින් අනතුරුව ගුරු සටන ආරම්භ කළේය.

රටේ බුද්ධි අංශ පෙන්වා දෙන ආකාරයට මෙය අරගලයක් යැයි කියනවාට වඩා එක්තරා අන්දමක කුමන්ත‍්‍රණයක් යැයි කීම සාධාරණ වූයේ මෙම අරගලය පිටින් සිට සංවිධානය කරන විපක්ෂයේ ඒකාබද්ධ බලවේගවල පැටිකිරිය ඉතා හො`දින් වාර්තා වී තිබූ නිසාය. රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා පසුගිය දිනවල පැවැති ආරක්ෂක තොරතුරු සාකච්ඡාවක දී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් පෙන්වා දුන්නේ මෙම අරගලය ගුරු සටනකින් පමණක් නොනවතින බව ය. විටින් විට ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස් වෙනස් සටන් පෙරමුණු පාරට බස්සවමින් රජය අපහසුතාවයට පත් කරන්නට විපක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සටන් ව්‍යාපාරය තුළ පුළුල් සැලසුමක් ඇති බව බුද්ධි අංශ විස්තර කළේය.

රට තුළ පවතින කොවිඞ් වසංගත තත්ත්වය පවා නොසලකමින් රටේ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් අයුතු ජනරාශියක යෙදෙමින් ගුරුවරුන් විසින් කරගෙන ගිය මෙම උද්ඝෝෂණ රැල්ල තුළ කොවිඞ් වසංගතය තව තවත් ව්‍යාප්ත වේ යැයි කියා සෞඛ්‍ය අංශ කොතරම් අනතුරු ඇඟවූවත් ගුරුවරුන් එය කණකට ගත්තේ නැත. ඊටත් වඩා ඔවුන්ව මෙහෙයවනු ලැබූ වෘත්තිය සටන් ව්‍යාපාර ඒ කිසිවක් කනකට ගත්තේ නැත. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පවා ඔවුන්ගේ සටනට සහයෝගය පළ කරමින් ඔවුන් සමග වීථි බැස පෙළපාලි යන්නට පවා එඩිතර වී සිටියේ ඉන් කෙටිකාලීනව ලැබෙන දේශපාලන වාසි නිසාය.

කුමන්ත‍්‍රණකරුවන්ගේ උපක‍්‍රමික සැලැස්ම සාර්ථක වූහ. එය කෙතරම් සාර්ථක වීද යත් තමන් මේ පාරට බැස සටන් වදින්නට පටන් ගෙන ඇත්තේ තම තමන්ගෙන්ම අධ්‍යාපන හදාරන දුවා දරුවන්ගේ අනාගතය සමග බවත් ගුරුවරුන්ට වැටහී ගියේ නැත.

අවසානයේ ගුරු සටන අඛණ්ඩ ලෙස දින 30ටත් වැඩි කලක් දිගින් දිගටම ඇදී ගියේය. බුද්ධි අංශවල ගණන් හැදීම නිවැරදි නම් එම ගුරු සටන හා කුමන්ත‍්‍රණය කොතරම් දරුණු වීද යත් දින 30ක් තුළ ගුරුවරුන් දහස් ගණනින් පාරට බැස්ස වූ උද්ඝෝෂණ 120කට වැඩි සංඛ්‍යාවක් රට පුරා තැනින් තැන සිදුව තිබිණ. එනම් දිනකට උද්ඝෝෂණ හතරකටත් වැඩි ය.

  • ගුරුවරු විසිරයයි
    සටන දෙකඩවෙයි
ආණ්ඩුවේ ලොක්කෝ හොර රහසේම නිරෝධානයේ

ගුරුවරුන් දඩමීමා කරගෙන විපක්ෂයේ පක්ෂ කීපයක ඒකාබද්ධ කුමන්ත‍්‍රණය අවසානයේ ජයග‍්‍රහණය කළේය. රට පුරාම කොවිඞ් පොකුරු බිහිවන්නට විය. සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල පාලනයෙන් මිදී සමාජය තුළ පාලනයකින් තොරව සිදුවුනු උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් සමාජ දුරස්ථභාවය පොදු ජනතාවට ද අමතක වූහ. මේ සියලූ සැලසුම්සහගත කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵලය කිසිලෙසකත් ගුරු වෘත්තිකයන්ද බලාපොරොත්තු වූවක් නොවීය. අගෝස්තු මාසය ආරම්භ වන විට මේ බැව් තේරුම් ගත් ගුරුවරුන් සටන අතහැර හුදෙකලා වන්නට තීරණය කළත් ඔවුන්ගේ ක‍්‍රියා කලාපය තුළ සමාජය මත රෝපණය වූ සමාජ නොසන්සුන්භාවය මත කොවිඞ් පැතිරීම වේගවත් විය. එය කොතෙක් වේගවත් වී ද යත් පසුගිය සතිය වන විට දිනකට හමුවන කොරෝනා

රෝගීන්ගේ සංඛ්‍යාව 3000ටද ආසන්න වන මට්ටමකට පැමිණි අතර දිනක දී සිදුවන මරණ සංඛ්‍යාව 150 ද ඉක්මවා යන අගයකට පැමිණියේය. මෙහිදී රජය ගුරුවරුන්ගේ සටනෙහි ස්වාභාවය නිවැරදිව තක්සේරු කර තේරුම්ගෙන තිබිණි.

මේ අතර ගුරුවරුන් ද තමන් ලොකු උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්හ. රටපුරා නැෙ`ගමින් තිබූ ඩෙල්ටා නව ප‍්‍රවණතාවයේ අති ප‍්‍රබල බව හා භයානක බව තේරුම් ගත් සමහර ගුරුවර ගුරුවරියන් සටන අතරමග නතර කරමින් පසුබසින්නට වූහ. මහනුවර සිට කොළඹ බලා පැමිණෙන්නට වූ රථ පෙළපාලිය අතරමග නතර වූයේ ගුරුවරුන් බහුතරයකගේ දායකත්වයක් ඊට නොමැති වීම තුළය.

තත්ත්වය මෙසේ තිබියදී මෙම ගුරු සටනේ සැබෑ කැඳවුම්කරු ලෙස කටයුතු කළ උලපනේ සුමංගල හිමියෝ විපක්ෂයේ කුමන්ත‍්‍රණකරුවන්ගේ වෑයම හොඳින් හඳුනා ගත්තේය. එම වෘත්තීය සටන් ව්‍යාපාරය එතෙකින් නතර කර දමන්නට උන්වහන්සේ කල්පනා කළේ ඒ අනුවය.

සුමංගල හිමියෝ මේ පිළිබඳ දරුණු විවේචනයක්ද කළේ දේශපාලන පක්ෂයක නමක් පවා හෙළිදරව් කරමිනි. එම පක්ෂය ඉතාමත්ම සැලසුම් සහගතව ගුරු සටන තමන්ට අවශ්‍ය අන්තයක් වෙත රැගෙන ගියේ යැයි උන්වහන්සේ චෝදනා කළහ.

අවසානයේ මුළු මහත් රටේම ජනතාවට අප‍්‍රසන්න අප‍්‍රිය අමනාප වෘත්තිකයන් පිරිසක් බවට ගෞරවනීය ගුරු වෘත්තිය පත් කළේ යැයි කියා උන්වහන්සේ එම දේශපාලන පක්ෂයටම චෝදනා කරන්නට වූහ.

මෙම ගුරු සටන් නිසා සමාජය මත පතිත වූ ව්‍යසනය හා කොවිඞ් මර්දන ව්‍යාපෘති පත්වූ අපහසුතාව ගැන ජය අභ්‍යන්තරයෙහි සාකච්ඡා ඇති විය. රජයේ බුද්ධි අංශ ප‍්‍රධානීන්ට අම අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද තමන්ගේ අධ්‍යයන වාර්තා කීපයක් මෙහිදී එළි දක්වමින් පෙන්වා දුන්නේ කුමන්ත‍්‍රණකාරීන් විසින් ගුරු සටන් මෙහෙයවූ ආකාරය ගැනය. ගුරුවරුන්ට වඩා ප‍්‍රබල ලෙස යම් යම් පක්ෂ වල පූර්ණකාලීන සමාජිකයන් සටන්වල පෙරමුණ ගෙන උපාය දූතයන් ලෙස ක‍්‍රියා කළ අන්දම ගැන ඔවුහුද ලොකු අධ්‍යයනයක් කර තිබිණි.

මෙවන් අවදානම් සහගත තත්ත්වයකදී තමන්ගේ පඩිපත වැඩිකර වැඩි කරගැනීම පිණිස පමණක් පාරට බසින ලද ගුරුවරුන්ගේ අවස්ථාවාදී ක‍්‍රියා කලාපය ගැන දැඩිව රජය ක‍්‍රියාකළ යුතු යැයි ඇතැම්හු යෝජනා කළහ.

එහෙත් ගුරු සටන නිසා සමාජය මත කොවිඞ් බෝ වීමට සිදු වූ දායකත්වය නොසලකා ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දී සැබෑ ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය විසඳිය යුතු බව රජයේ ඇමැතිවරු වැඩි දෙනකුගේ අදහස වූහ.

ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීමක් වූ වැටුප් විෂමතාවය ඉවත් කොට හිඟ වැටුප් ලබාදීම මේ මොහොතේ ක‍්‍රියාත්මක කළ නොහැකි වුවත් රජය ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කර තීන්දුවක් ගැනීමට කමිටුවක් පත් කළ යුතු බව යෝජනා විය.

  • මස් රාත්තලම ඉල්ලන
    ෂයිලොක් ස්ටාලින්ලා

අමාත්‍ය මණ්ඩල හමුව මෙවර ද පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේයි. රටේ මහත් ආන්දෝලනයකට පත්ව ඇති විදුහල්පති ගුරු වැටුප් විෂමතා ප‍්‍රශ්නයට මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී හෝ විසඳුමක් ලැබේ යැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ පිළිබඳව කතා කළ අධ්‍යාපන අමාත්‍ය පීරිස් මහතා ‘‘ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ගුරු සංගම් සමග සාකච්ඡා කළත් එකඟතාවයකට එන්න පුළුවන් වුණේ නෑ. ඒ අය සුබෝධනී වාර්තාව ක‍්‍රියාත්මක කරන්න සහ අමතර දීමනාවක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. සුබෝධනී වාර්තාව ක‍්‍රියාත්මක කරන්න නම් අපිට ඒ සඳහා රුපියල් මිලියන 68ක් වැය කරන්න වෙනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි මේ වෙලාවේ රට තියෙන්නේ” කීවේය.

‘‘ජනතා විමුක්ති පෙරමුණයි ස්ටාලින්ලායි තමයි මේ මස් රාත්තලම ඉල්ලන්නේ. වැටුප් වැඩි කරන විදිය පැහැදිලි කළොත් අතරමැදි තැනකට මේ සාකච්ඡාව ගේන්න පුළුවන් වෙයි කියල හිතෙනව” මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

‘‘වෘත්තීය සමිති සමඟ පැවත්වූ සාකච්ඡාව සමඟ පැවතුණු සාකච්ඡාවේදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අයගේ ඉල්ලීම මේ වෙලාවේ දෙන්න බැරි බව අපි පැහැදිලිවම කිව්වා. එයට අවශ්‍ය කරලා තියෙන්නේ ඒ අයගේ ඉල්ලීම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප‍්‍රකාශයක්” බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ද පැහැදිලි කළේය.

‘‘මේ වෙනකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර වෙලා. ඔන්ලයින් වෙනුවට රූපවාහිනි චැනල් එකක් පටන් ගන්න බව කිව්වත් ඒ ගැන කැබිනට් හමු කීපයකදීම කතා වුණත් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. කතා කරනවා විතරයි” විමල් වීරවංශ ඇමැතිවරයා ද කීවේය.

‘‘චැනල් එකක් පටන් ගන්න සංඛ්‍යාත තියෙනවා. අපි එකට වැඩපිළිවෙලක් සූදානම් කරලයි තිබුණේ. ‘‘ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන කාලයේ මේ සම්බන්ධයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ පැහැදිලි කළේය.

‘‘මේ වෙනකොට ආයතන හිමිකරුවෝ දරුවන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ටයිම් ටේබල් එක දුන්න නම් අපිට මේ වැඬේ පටන් ගන්න පුළුවන්” ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට පිළිතුරු දුන්නේ ය.

මේ සියල්ල සාවදානව අසා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘‘පුළුවන් ඉක්මනට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා චැනල් එක පටන් ගන්න. ඒ අතරේ ගුරුවරු සමග සාකච්ඡා කරලා එකඟතවයකට එන්න. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම කරන්න ඕනේ දෙයක්. ඒ ඉල්ලීම අසාධාරණ ඉල්ලීමකුත් නෙමෙයි. මේ වෙලාවේ ඒ ඉල්ලීම ක‍්‍රියාත්මක කිරීමේ අපහාසුතාවයක් තියෙන්නේ. අපි මේක ක‍්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩල අනු කමිටුවක් පත් කරමු” කීවේය. අනතුරුව ප‍්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හා මහින්ද අමරවීර අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාවේදී සිදු කළේය.

‘‘පුළුවන් ඉක්මනට ගුරුවරු එක්ක මේ ගැන සාකච්ඡා කරලා ක‍්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එහිදී කීවේය.

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩල හමුවේ විශේෂ අවධානයක් යොමු විය.

‘‘ලිට්රෝ ගෑස් සිලින්ඩරයට ලාෆ් ගෑස් පුරවන්න බැහැ. මේ නිසා කහ පාට සිලින්ඩර තියෙන අයට ගෑස් නැහැ. ඒ විදියට පුරවන්න බැහැ කියලා අධිකරණ තීන්දුවක් තියෙනවා. මේ වෙනකොට වෙළෙඳපොළේ ගෑස් සිලින්ඩරයක් රුපියල් පන්දහක් පමණ වෙනවා” වෙළෙඳපොළේ ගෑස් පිළිබඳ ගැටලූව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේය.

‘‘ගෑස් සපයන එක සමාගමේ වගකීමක්” විමල් වීරවංශ අමාත්‍යවරයා කීවේය.

‘‘සමාගමට ගෑස් ගේන්න බැහැ” බන්දුල ගුණවර්ධන පිළිතුරු දුන්නේ ය.

‘‘ඔව් සමාගමේ ක‍්‍රියාකාරීත්වය නතර වෙලා” වාසුදේව නානායක්කාර මහතා ද අදහස් දැක්වීය.

‘‘මම මේ ගැන රාජ්‍ය ඇමැතිතුමා සහ අදාළ සමාගම් සමඟ සාකච්ඡා කළා. නඩු තීන්දුවෙන් කියලා තියෙන්නේ ගෑස් පුරවන්න බැහැ කියලයි. ලාෆ් ගෑස් එකක් වෙනුවට ලිට්රෝ ගෑස් එකක් දෙන්න බැහැ කියලා නැහැ. කහපාට සිලින්ඩරය අරගෙන නිල් පාට සිලින්ඩරයක් දෙන්න පුළුවන්.” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

‘‘ ඕන නම් පස්සේ කහ නිල් කරගන්න පුළුවන්නේ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිනහමුසුව පැවසීය.

‘‘ඒක ඇත්ත. කහ එක්ක නිල් කරාට ප‍්‍රශ්නයක් නැහැ නේද බන්දුල ඇමැතිතුමා” විමල් වීරවංශ සිනහමුසුව විමසීය. ‘‘ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි” බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද සිනහමුසුවම පිළිතුරු දුන්නේය.

‘‘ගෑස් සිලින්ඩරයේ අයිතිය තියෙන්නෙ සමාගමට නෙමේ පාරිභෝගිකයාට. කහ පාට සිලින්ඩරයකට නිල්පාට සිලින්ඩරය අයිති සමාගමේ ගෑස් පුරවන්නේ නැහැ කියලා පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරන්න බැහැ. පාරිභෝගිකයා සුරැකීමට මෙතැනදීම ප‍්‍රමුඛතාවය දෙන්න වෙනවා. ඒ නිසා කහ පාට සිලින්ඩරය අරගෙන නිල් පාට සිලින්ඩරයක් දුන්නට ප‍්‍රශ්නයක් නෑ.” මුදල් අමාත්‍යවරයා තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කරමින් පැවසීය.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමුවූ තවත් කාරණයක් වූයේ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයයි.

‘‘කිරිපිටි හිඟයට ප‍්‍රධානම හේතුවක් වෙලා තියෙන්නෙ ව්‍යාපාරිකයෝ කිරිපිටි ආනයනය නතර කිරීමයි.” බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

‘‘අපේ දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳපොළ අවශ්‍යතාවයට සරිලන ලෙස සැපයීම කරන්න බැරිද” වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප‍්‍රශ්නයක් යොමු කළේය.

‘‘ඒක අපිට කරන්න අමාරුයි” පිළිතුරු දුන්නේ මහින්දානන්ද අලූත්ගමගේයි.

  • කිරිපිටි සුලභ කරන්න
    බැසිල් ගෙනා යෝජනාව

‘‘අපිට මෙතනදී වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇති වෙන්න ඉඩ හරිනවද, කිරිපිටි මිල වැඩි කරනවද, එහෙමත් නැත්නම් කිරිපිටි ආනයනය මත පනවා තිබෙන බදු අඩු කරනවද කියලා තීරණය කරන්න වෙනවා. ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයා ආරක්ෂා වෙන විදියට මේ වෙලාවෙත් තීරණ ගන්න වෙනවා. කැබිනට් මණ්ඩලය අනුමත කර බදු අඩුකිරීමේ හැකියාව තිබෙනවා.” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීය.

‘‘මේ ප‍්‍රශ්නය තවත් දුරදිග ගියොත් ළමා කිරිපිටි ගැන ප‍්‍රශ්නය ඇති වෙනවා. ඒ නිසා ඉක්මනින්ම මේ වෙලාවේ විසඳුමක් දෙන්න ඕන” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීය.

‘‘වෙලාවේ හැටියට මුදල් ඇමැතිතුමාගේ යෝජනාව ක‍්‍රියාත්මක කිරීම තමයි සුදුසු.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අනුව කිරිපිටි මත පනවා ඇති ආනයන බදු අඩු කරමින් කිරිපිටි ආනයනය සඳහා ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය හිමිවිය. වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවීමක් නොවන ආකාරයට කටයුතු කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කෙරිණි.

ඒ අතරතුර සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිර යෑම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු දක්වන අදහස් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කළාය.

‘‘විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරන්නේ රටේ බරපතළ තත්ත්වයක් පවතින බවයි. අපි මේ වෙන විටත් මහජන ඒකරාශීවීම වැළැක්වීමේ ගැසට් පත‍්‍රය සකස් කරමින් තිබෙනවා”.

‘‘ඔව් ඒක ඉක්මන් කරන්න. ඒ අතරතුරම එන්නත් කරන වැඩපිළිවෙල කාර්යක්ෂම කරලා සෑම පුද්ගලයෙක්ම එන්නත් කිරීම සඳහා හැම කෙනකුගේම සහයෝගය ලබා දෙන්න. කොළඹ දිස්ත‍්‍රික්කයේ විතරක් අවුරුදු 30ට වැඩි පුද්ගලයන් 46 දහසක් පමණ තවමත් එන්නත්කරණය කරලා නැහැ. එන්නත් නොකරපු අය හොයා බලලා ඔවුන්ව එන්නත් කරන්න ඕනේ. පී.එච්.අයි. මහත්වරු, ග‍්‍රාම නිලධාරීන් ඇතුළු ග‍්‍රාමීය නිලධාරීන්, පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කරන්න.” ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

වී මිල ස්ථාවර කිරීමේ කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබිණි. අමාත්‍ය මණ්ඩල හමුවේ කටයුතු අවසන් වීමෙන් පසුව මේ ගැන කියන්න හෙටම මාධ්‍ය හමුවක් කැඳවන්න වෙයි නේද බන්දුල ඇමැතිතුමා” යි මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා විමසීය.

‘‘ඇයි හෙට, මම දැන් යන්නේ ඒ වැඬේට තමා. මාධ්‍ය හමුව ලැහැස්ති කරලයි තියෙන්නේ.” බන්දුල ගුණවර්ධන කීය.

‘‘මයික් එක්කට කතා නොකර එක දවසක්වත් ඉන්න බෑ නේ” මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට විසුළු කළේය.

‘‘මේවා කල් දාන්න පුළුවන් දේවල් නෙමෙයි. හෙට වෙනකොට මේකට වෙන වෙන අර්ථකථන එකතු වෙන්න පුළුවන්” කියමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සූම් මීටින් එකෙන් සමුගත්තේය. කී පරිදිම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එදින සවස හයට සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවා මේ පිළිබඳව දැනුම් දීමට පියවර ගත්තේය.

  • දෙවියන්ට භාර නොදී
    රට වහලම දමන්නලූ

පසුගිය සති අන්තයේ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස තිස්සමහාරාමය බලා පිටත්ව ගියේය.

දිගින් දිගටම කාර්යබහුලව සිටි ඔහුට මද විවේකයක් ගන්නට අවශ්‍ය විය. එහිදී ඔහු හමුවන්නට පැමිණි ප‍්‍රදේශවාසීන් පිරිසක් ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය ගැන එක්තරා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘‘අපෙත් පවුල්වල ගුරුවරු ඉන්නවා. සමහරුන්ට දැන් පාරෙ බැහැලා යන්න විදිහක් නෑ. එක් එක්කෙනා ඇනුම්පද කියනවා. ගුරු උද්ඝෝෂණවලට සහභාගි වුණ අය නිසා රටේ කොවිඞ් පැතිරීම වැඩි වුණා කියලයි චෝදනාව.”

‘‘ඒක හරි කතාවක්නෙ. එහෙනම් ඔය ඇමැතිවරු කට්ටියටත් කොවිඞ් හැදිලා තියෙන්නේ ගුරු උද්ඝෝෂණ වලට ගිහිල්ලා ද. පහුගිය කාලේ ජනාධිපති කාර්යාලයට ආපු අයට පවා කොවිඞ් තිබිලා තියෙනවා.ලලිත් වීරතුංග මහත්තයා පවා නිරෝධායනය වෙලා. ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ප‍්‍රධානීන් ඉහළ නිලධාරීන් පවා නිරෝධායනය වෙලා ගෙවල් වලයි ඉන්නේ. එතකොට ඒ ඔක්කොම බය වෙලා ඉන්නේ ගුරුවරු හින්දද… නෑ. දැන් ඔය හැම තැනම රෝග තියනවා. ගුරුවරුන්ට නිකරුණේ දොස් කියන එක වැරදියි” සජිත් විස්තර කළේය.

හම්බන්තොට සිට කොළඹ එන ගමනේදී සජිත් පේ‍්‍රමදාස රටේ සෞඛ්‍ය බලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට කතා කරමින් තොරතුරු ලබා ගත්තේය.

‘‘දැන් මේ තියන නරක තත්ත්වය පාලනය කරන්න නම් රජයට තියෙන්නේ එකම එක විකල්පයයි. වහාම රට ලොක්ඩවුන් කරන්ඩ ඕන. ඒ වුණාට රජය මේ වෙලාවේ රට ලොක්ඩවුන් කරන්න කැමති නැහැ මහජනතාවට සහනාධාර දෙන්න වෙන නිසා.”

මේ අතර සජිත් රටේ තත්ත්වය නරක බව හඳුනා ගෙන ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට හා සම්බන්ධීකරණ ලේකම්වරුන්ට කතා කරමින් කල්තියා සූදානම් කරගෙන තිබූ සියලූ රැස්වීම් හා හමුවීම් අවලංගු කරන්නැයි කියා දැනුම් දුන්නේය.

අනතුරුව කොළඹ පැමිණි සජිත් දුරකථන සංවාදයක් ඔස්සේ තම දේශපාලන සමීපතමයන් සමඟ රටේ අලූත් තත්ත්වය ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

‘‘ඔන්න බලන්න වැඬේ හැටි… ඒගොල්ලො කොවිඞ් පැතිරීම පාලනය කළැයි කිය කිය ආණ්ඩුව පහුගිය දවස්වල පම්පෝරි ගැහුවා. මේ වෙනකොට ඒ ගොල්ල කරපු එක වැඩකින් වත් වැඩක් නෑ..” සජිත් කීවේය.

‘‘දැන් ඉතින් කරන්න තියෙන්නේ රට දෙයියන්ට භාර දෙන එක විතරයි කියලා කෙහෙලිය පහුගිය දවසක කිව්වා..” ගයන්ත කීවේය.

‘‘එහෙම නම් ඉතින් ජනාධිපතිට තියෙන්නෙ තමන්ගෙ පට්ටමත් දෙවියන්ටම භාර දීලා නිකන් ඉන්න එක..” රාජිත සිනාවෙමින් උත්තර දුන්නේය.

‘‘මේ අය මොනවද මේ කියන්නේ. ඒගොල්ලො එයාලට ඡන්දය දුන්නු හැට නම ලක්ෂයට නිග‍්‍රහ කරමින් තමයි දැන් කතා කරන්නේ….” සජිත් කීවේය.

‘‘ඇත්තම කියනව නම් මේ වන ව්‍යසනය ගැන ඔබතුමා මුලින්ම රටට අනතුරු ඇෙ`ගව්වා. ඔබතුමාගේ කීම අහල පිළියම් කළා නම් අද මේ විනාශය රටට වෙන්නේ නෑ..” හරින් ප‍්‍රනාන්දු කීවේය.

‘‘මුලින්ම අපි එන්නත ගේන්න කියලා කියනකොට නායකතුමාට ඔලොක්කුවට හිනා වුණා. ඒ අයට තමයි අද කොවිඞ් හැදිලා තියෙන්නේ…” මනුෂ එසේ කීවේ ඇමැතිවරු කීපදෙනෙක් ගැන ය.

කොරොනා වලින් කුඩා දරුවකු මියයනවා. මේක හරිම භයානක තත්ත්වයක්. මෙහෙම ගියොත් මේ රටට එන්න එන්නම ඉන්දියාවට අත් වුන ඉරණම අත්වෙනවා. ඇත්තටම මේවා මරණ කියලා කියන එක වැරදියි. මේවාට කියන්න ඕන කොවිඞ් ඝාතන කියලයි…” සජිත් පෙන්වා දුන්නේය.

‘‘ලෝකෙ ගොඩක් රටවල් දැන් තුන්වැනි එන්නත ලබාගෙන සටොක් කරලා තබා ගන්නවා. ලංකාවට තවම ඒ ගැන කිසිම වැඩපිළිවෙලක් නෑ…” සජිත් විස්තර කළේය.

‘‘එක පැත්තකින් කොරෝනා… අනිත් පැත්තෙන් ගෑස් නෑ… අශෝක අබේසිංහ කීවේය.

‘‘දැන් කිරිපිටි ගන්නත් පෝලිමේ ඉන්න වෙලා… හෙක්ටර් අප්පුහාමි කීවේය.

මේ තත්ත්වය ඇතුලේ ආණ්ඩුවට තියෙන එකම විසඳුම තමයි රට වහල දාන එක. සියලූම විශේෂඥයෝ අද පෙන්වලා දෙන්නේ මේ වෙලාවේ රට වහනවා ඇරෙන්න කරන්න කිසි දෙයක් නෑ කියලයි.” රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දුන්නේය.

මේ අයුරින් දිගින් දිගටම විපක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම සාකච්ඡා කළේ ආණ්ඩුවේ නොහැකියාව සහ දුර්වලතා ගැනය.

කොවිඞ් වෛරසයේ ‘‘ඩෙල්ටා” ප‍්‍රවනතාවය වැනි අති භයානක වසංගත තත්ත්වයක් රටේ පැතිරයමින් ඇති මොහොතක දහස් සංඛ්‍යාත සෙන`ගක් සංවිධානාත්මකව මහ පාරට බස්සවමින් ගුරු උද්ඝෝෂණ වැනි විරෝධතා පෙළපාලි පැවැත්වීම තුළ රට තුළ නිර්මාණය වූ අනතුරුදායක පරිසරය ගැන ඔවුන් වචනයක්වත් කතා කළේ නැත. ජනතාව ගැන වේදනාවෙන් කතා කරන සැබෑ විපක්ෂයක් නම් මෙබඳු උද්ඝෝෂණවලට මේ වෙලාවේ සහයෝගය ලබා දිය යුතු ද නැද්ද යන්න ගැන දෙවරක් කල්පනා කළ යුතු බව අපගේ ද අදහසයි.

  • ශවේන්ද්‍රගේ වැඩ ගැන
    රනිල් දුන්න කමෙන්ටුව

ආණ්ඩුවේ ලොක්කෝ හොර රහසේම නිරෝධානයේ


තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ගැන සමාජය කතාබහ කරන්නට පටන් ගත්තේ ඔහු කළ එක්තරා ප‍්‍රකාශයක් නිසාය.

‘‘කොවිඞ් මර්දනය කරන්න ආණ්ඩුව අරගෙන යන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ෆේල්. කොවිඞ් මර්දනය සම්බන්ධයෙන් පත් කරලා තිබෙන ජනාධිපති කාර්ය සාධක බළකාය වැඩක් නෑ. ඒක මේ වෙලාවේ විසුරුවා හරින්න ඕන…”

මේ අයුරින් රනිල් සිදුකළ ප‍්‍රකාශය ගැන සමාජයේ බොහෝ දෙනා කතාබහ කරන්නට වූයේය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව මේ රටේ අති සාර්ථකව එන්නත්කරණ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරමින් සාර්ථකත්වයක් ලබමින් සිටින මොහොතක රනිල් වැනි මහත්මයෙකු මෙබඳු ප‍්‍රකාශයක් කරනු ලැබුවේ ඇයි. බොහෝ දෙනකුට ප‍්‍රශ්නය වූයේ මෙබඳු ප‍්‍රකාශයක් රනිල් විසින් සිදු කිරීමයි. මේ සම්බන්ධයෙන් ද රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයා හමුවේ කරුණු වාර්තා කළහ. රටේ ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය වැඩපිළිවෙළට ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝගය හා දායකත්වය තුළ ඇති සාර්ථකත්වය දෙස විපක්ෂයේ බලවේග මෙසේ කියනු විනා වෙන කුමක් කියන්න දැයි බොහෝ දෙනා විමසූහ.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් හෝ අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් පසුගිය සතියේ කිසිදු රැස්වීමක් හෝ සාකච්ඡාවක් සිදු වූයේ නැත. ජනාධිපතිවරයාට සමීප යම් යම් ඉහළ නිලධාරීන් ද මේ දිනවල දැඩි සෞඛ්‍ය ආරක්ෂිත හේතුන් මත නිරෝධායනය වී පසුවීම නිසා එබඳු සියලූ හමුවීම් හා රැස්වීම් අවලංගු විය. අත්‍යාවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය සියලූ රැස්වීම් පසුගිය සතියේ තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේය.

පසුගිය සතිය මැද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් තවත් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ රැස්වීමක්ද සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මෙහිදී සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කළේ රට පුරා ලැබෙන සංඛ්‍යා ලේඛනවල තිබෙන අඩුපාඩු ගැනය. තමන්ට බුද්ධි අංශ විසින් ලබාදෙන සංඛ්‍යාලේඛන වලට වඩා වෙනස් සාවද්‍ය සංඛ්‍යා ලේඛන ජනමාධ්‍ය ඔස්සේ පතුරුවා හරින බව ජනාධිපතිවරයාගේ අදහස විය. ඔහු ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ට තරයේ අවවාද කළ බව වාර්තා විය.

ඒ හා සමානවම එළඹෙන තත්ත්වය හමුවේ ලංකා වසා දමන්නට යැයි විපක්ෂය විසින් ගෙන එන යෝජනා ගැන ද සාකච්ඡාවක් ඇති විය. විපක්ෂයේ විසින් උද්ඝෝෂණවලට ගුරුවරුන් හා අනෙකුත් උද්ඝෝෂකයන් පෙළඹවද්දී රට වසන්නට නොතිබූ උනන්දුවක් මේ වන විට ඇතිව තිබෙන්නේ ඇයි දැයි කියා පැහැදිලි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එබඳු තීන්දුවක් ගැනීමට මේ වෙලාවේ කිසිදු අදහසක් නැතැයි කීවේය. ඒ පිළිබඳ අවසන් තීන්දුවක් සිකුරාදා හවස රැස්වෙන කොවිඞ් රැස්වීමේදී සලකා බැලෙනු
ඇති බව නිලධාරීන් කීහ.

  • ගුරු ගැටලූ විසඳන්න
    ලේකම්ගෙන් ෆයිල් 4ක්

මේ අතර ගුරුවරුන් ගේ ගැටලූව ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා විසින් පත් පත් කරනු ලැබූ ඇමැති කමිටුවේ විශේෂ හමුවක් බ‍්‍රහස්පතින්දා උදයේ පැවැත්විණි. අමාත්‍ය විමල් වීරවංශගේ නිල නිවසේ පැවති මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කපිල පෙරේරා පැමිණියේ ලොකු ලිපිගොනු හතරක් රැගෙනය. කමිටුව විසින් ඔහුට ලොකු රාජකාරියක් පවරා තිබිණි. 1992 පටන් මේ දක්වා ගුරු සේවයේ ඇති වූ ප‍්‍රශ්න හා ඒවාට විසඳුම් ලබා දීමට යම් යම් කමිටු විසින් යෝජනා කරනු ලැබූ විසඳුම් සියල්ල හදාරා අවශ්‍ය තොරතුරු ලිපි ලේඛන සහිතව රැගෙන එන්නැයි ඔහුට කියා තිබිණි. ලේකම්වරයා ලිපි ගොනු හතරක් ගෙනවිත් තිබුණේ එම ලිපි ලේඛන රැසයි.

උදේ දහයට ඇරඹුණු මෙම සාකච්ඡාව තුළ මුලින්ම සිදුවූයේ අමාත්‍යවරු හතර දෙනාත් නිලධාරීනුත් ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයේ සැබෑ ඉතිහාසය හොඳින් කියවා අවබෝධ කර ගැනීමයි. ඉන් පසුව සෑම වෘත්තීය සමිතියක්ම කැඳවා ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමටද අවශ්‍ය විය. එම ප‍්‍රකාශ සටහන් කරගැනීම සිකුරාදා සිට ආරම්භ කිරීමට නියමිත විය. ඉතා වෙහෙසකර කටයුත්තකින් පසුව අමාත්‍ය ඩලස්, ප‍්‍රසන්න, මහින්ද අමරවීර හා විමල් එකිනෙකාගෙන් වෙන්ව ගියේ විමල් වීරවංශ විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග‍්‍රහය භුක්ති වි`දීමෙන්ද අනතුරුවයි.

  • ගම්පහ හත්දාහක්
    හව්හරණක් නැති රෝගීන්!

ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොවිඞ් තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගම්පහ දිස්ත‍්‍රික් කොවිඞ් කමිටුව රැස්වුණේ ඉකුත් අඟහරුවාදායි. නිමල් ලන්සා, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇතුළු වූ ගම්පහ දිස්ත‍්‍රික් දේශපාලන අධිකාරිය සහ පරිපාලන සෞඛ්‍ය අංශ නියෝජනය කරන ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති දිස්ත‍්‍රික් කොවිඞ් රැස්වීමේදී ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රජා වෛද්‍ය චින්තා මහත්මිය දිස්ත‍්‍රික්කයේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කළාය. ඉකුත් සතියේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් කොවිඞ් ආසාදිතයන් දොළොස් දහස් පන්සිය පනස් පහක් වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයන් 4046ක් ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ආසාදිතයන් 1500 ට ආසන්න ප‍්‍රමාණයක් නිවෙස්වල ප‍්‍රතිකාර කෙරෙන බවත් එහිදී සඳහන් විය. තවත් ආසාදිතයන් හත්දහස් තුනක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද එහිදී හෙළි විය. ඔවුන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී හව්හරණක් නැති රෝගීන් ලෙස සඳහන් කිරීම ද විශේෂත්වයක් විය.

‘‘එය සම්බන්ධයෙන් මේ වෙනකොට මොකුත්ම වැඩපිළිවෙළක් සකස් වෙලා නැද්ද” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විමසීය.

‘‘ඔවුන් වැරැල්ලවත්ත සීදූව හා වතුපිටිවල අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනත් වෛද්‍යවරයකුට යොමු කිරීම හරහා ප‍්‍රතිකාර නිර්දේශ කිරීමට තීරණය වෙලා තියෙනවා. යුද හමුදාවේ සහායෙන් ඔවුන් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ගෙන එන්න තමයි තීරණය වෙලා තියෙන්නෙ. එතනදි මේ අයගෙන් රෝහල්ගත කළ යුතු අයව රෝහල් ගත කරන්නත්, නිවෙස් වලම ප‍්‍රතිකාර කළ හැකි අයව නැවත නිවෙස්වලට යවා ප‍්‍රතිකාර කරන්නත්, අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන්නත් තමයි අපි සූදානම් වෙලා ඉන්නේ” ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීය.

‘‘මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න මොනවද තියෙන බාධා”

‘‘ප‍්‍රවාහන අඩුපාඩුකම් තියනවා”

‘‘පළාත් පාලන ආයතනවලට වාහන දෙන්න කියලා අපි කිව්වා”

‘‘පළාත් පාලන ආයතනවලින් අපිට වාහන ලැබිලා තියෙනවා. ඒ වාහන ප‍්‍රමාණවත් නැහැ”

‘‘පළාත් පාලන ආයතනයකින් වාහන තුන බැගින් දීලයි තියෙන්නේ” පළාත් පාලන ආයතන ප‍්‍රධානියෙක් මෙහිදී පැවසීය.

‘‘තව වාහන දෙක ගානේ දෙන්න. වෙන මොනවද ප‍්‍රශ්න තියෙන්නේ”

‘‘නිලධාරී හිඟයක් අපිට ලොකු ප‍්‍රශ්නයක්”

‘‘අපි බඳවා ගත්ත උපාධිධාරීන්ව මේ වැඩවලට යොමු කරන්න තීරණය කළානේ”

‘‘උපාධිධාරීන් පිරිසක් අපිත් එක්ක දැනුත් වැඩ කරනවා”

‘‘සේවක හිඟයක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න. එතකොට අපි තවත් උපාධිධාරීන් අනුයුක්ත කරලා දෙනවා” දිස්ත‍්‍රික් ලේකම්වරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය.

‘‘තව මොනවද මේ වැඩපිළිවෙලවල් ක‍්‍රියාත්මක කරගෙන යනකොට තියෙන ප‍්‍රශ්න”

‘‘ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට දුරකථන පහසුකම් අවශ්‍යයි”

‘‘එහෙම නම් පළාත් පාලන ආයතන මැදිහත් වෙලා තමන්ගේ බල ප‍්‍රදේශයේ තියෙන ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට දුරකථන පහසුකම් ලබා දෙන්න”

‘‘ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල තියෙන අඩුපාඩුකම් ඒ කාර්යාලවලට අවශ්‍ය වෙලා තියෙන දේවල් අපිට දැනුම් දෙනවා නම් සහයෝගය දක්වන්න අපිට පුළුවන්” පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගෙන් ඊට පිළිතුරු ලැබිණි.” මේ වෙනකොට නිරෝධානයට ලක් කළ නිවසක් කියලා ප‍්‍රදර්ශනය කරන්න අලවන කොළ ඉවර වෙලා තියෙන්නේ”

‘‘හරි ඒවා අපි ඉක්මනටම ප‍්‍රින්ට් කරලා දෙන්නම්. ඒ වගේම ගම්පහ දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන මන්ත‍්‍රී ප‍්‍රතිපාදන සෞඛ්‍ය අවශ්‍යතා සපයා ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කරන්න අපිට පුළුවන්.” නිමල් ලන්සා ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියලූ දෙනාම එම තීරණයට ඒකමතිකව එක`ගතාවය පළ කළහ.

  • ඇමැති සංශෝධන ගැන
    එජාපයෙන් ඇහෙන කතා

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් නායකයා හදිසියේ කැඳවා තිබුණේ සැප්තැම්බර් 06 දාට යෙදෙන පක්ෂයේ 75 වෙනි සම්මේලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ය. ඊට අමතරව පක්ෂය විසින් රජයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති යෝජනා 21 කින් යුතු ලියැවිල්ලක් ද කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

‘‘සෞඛ්‍ය හා ආර්ථිකය සුරක්ෂිත වූ රටක්” යනුවෙන් මෙම ප‍්‍රතිපත්ති මාලාව පක්ෂ නායකයාගේ සෘජු අධික්ෂණය යටතේ සකස් කොට තිබූ අතර එය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන විසින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරුනි. කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ එම ප‍්‍රතිපත්ති මාලාව මාධ්‍යයට නිකුත් කරන ලෙස නායකයා කෘත්‍යාධිකාරි සභිකයකු වූ දිනුක් කොළඹගේට දැනුම් දුන්නේ ය.

‘‘විපක්ෂයේ පක්ෂ සියල්ලම ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය විවේචනය කරනවා පමණයි. කිසිම පක්ෂයක් රටේ පවතින ප‍්‍රශ්න විසඳන්න විකල්ප සැලසුමක් ඉදිරිපත් කරන්නේ නෑ. නමුත් නායකතුමා හැමදාම විකල්පයක් රටට ඉදිරිපත් කළා.” නියෝජ්‍ය නායකයා කීවේය.

‘‘රට ගෙනියන්න සැලැස්මක් තිබෙන එකම පක්ෂය අපේ පක්ෂය විතරයි. අපි ආණ්ඩුව විවේචනය කරනවා සේම සැලැස්මකුත් කියනවා. අපේ ඒ සැලැස්ම අවශ්‍ය නම් ආණ්ඩුවට ක‍්‍රියාත්මක කරන්න වුණත් පුළුවන්. විකල්පයක් තිබෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි.” සභාපති වජිර අරමුණ පැහැදිලි කළේ එලෙසිනි.

එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිසංවිධානය යටතේ පිහිටුවනු ලැබූ කමිටු ගණනාවක් සම්බන්ධයෙන් මහලේකම් රංගේ බණ්ඩාර කරුණු දැක්වීය. නීති කමිටුව ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා සහ නීතිඥ නිශ්ෂංක නානයක්කාරගේ ප‍්‍රධානත්වයෙන්ද, පරිසර කමිටුව ආචාර්ය අජන්තා නානයක්කාරගේ ප‍්‍රධානත්වයෙන්ද, සන්නිවේදන කමිටුව සුදත් චන්ද්‍රසේකර හා දිනුක් කොළඹගේ යන අයගේ ප‍්‍රධානත්වයෙන්ද ආදී ලෙස පත් කළ කමිටු ගණනාවකට මෙහිදී අනුමැතිය හිමිවුනි. පක්ෂ ප‍්‍රතිසංවිධානය යටතේ නායකයා යටතේ පැවැති බලතල බොහොමයක් පක්ෂ මධ්‍යම කාර්යාංශය වෙත පැවරිණි. අනතුරුව පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර කොවිඞ් වසංගතය හේතුවෙන් මෙවර කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කමිටු ශාලාවේ නොපවත්වා සිරිකොත ප‍්‍රධාන ශාලාවේ පැවැත්වීමට පියවර ගෙන තිබුණි. කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ගෙන් 50% ට පමණක් ආරාධනා කරන ලෙසත් මීටරයක පරතරයක් තබා ආසන පනවන ලෙසත් නායකයා මහලේකම් රංගේ බණ්ඩාරට දුන් උපදෙස් අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම බ‍්‍රහස්පතින්දා සවස පැවැත්විණි.

කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට පෙර රුවන්, රංගේ, වජිර, අකිල ඇතුළු පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් සමග නායකයා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිය නිල මැදිරිය තුළදී ය. එහිදී රුවන් විසින් සකස් කර තිබූ කරුණු 21 කින් යුතු යෝජනාවලිය කියවා බැලූ නායකයා තවත් කාලීන කරුණු කිහිපයක් එක් කරමින් එය සංශෝධනය කළේය. ඒ අතරතුර වජිර කොවිඞ් වසංගතය බරපතළ තැනකට දැන් පැමිණ ඇති බව කියද්දී සැවොම එය හිස සලා අනුමත කළහ.

‘‘ජනාධිපතිවරයා දැන් ඇමැති මණ්ඩල සංශෝධනයක් ගේන්න යනවා. එතනදී සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත‍්‍රා වන්නිආරච්චිගෙන් ගලවලා වෛද්‍ය රමේෂ් පතිරණට දෙන්න යනවා කියලා ආරංචියි.” වජිර ලද තොරතුරක් හෙළි කළේය.

‘‘පවිත‍්‍රා මාරු කළා කියන එක ප‍්‍රශ්නයට උත්තරය නොවෙයි. නිසි වේලාවේ නිසි පියවර නොගැනීම තමයි මේකට හේතුව. ජනාධිපති කාර්ය සාධක බළකායේ අදූරදර්ශී වැඩ නිසා අහිසංක මිනිස්සු මැරෙනවා.” රංගේ කී දේට සියල්ලෝ හිස සැලූහ.

‘‘නායකතුමා විතරයි කොවිඞ් කාර්ය සාධක බළකාය විවේචනය කරන්නේ. විපක්ෂයේ කිසිම පක්ෂයක් ඒක කරන්නේ නෑ. මේක අපට පාඩුවක් නොවෙයිද?” සන්දීත් සමරසිංහ සෘජුව නායකයාගෙන් විමසා සිටියේය.

‘‘අපට වන පාඩුව ගැන නොවෙයි බලන්න ඕනේ. ජනතාවට වන පාඩුව ගැනයි අපි බලන්න ඕනේ. අපිට දැන් පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියන දේ නිසා අනාගතයේ ජනතාවට වාසියක් වෙනවා නම් ඒ වෙනුවෙනුයි අපි පෙනී සිටින්න ඕනේ. මට හමුදාපතිතුමා එක්ක පෞද්ගලික ප‍්‍රශ්නයක් නෑ. මට ඕනේ මේ මිනිස්සු මැරෙන එක නතර කර ගන්න.” නායකයා කීවේ හැඟුම්බරවය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment