ආණ්ඩුවේ වාහනේ ගෙදර තියන් ගෙදර වාහනේ කුලියට දෙන අමුතු ගේම්…

473

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල සහ ආරක්ෂක අංශවලට
අයත් වාහන 600 ක 700 ක ප්‍රමාණයක් ආයතන ප්‍රධානීන්ගේ ගෙදර වැඩවල….
රජයට වාර්ෂිකව රුපියල් කෝටි 500 වඩා වැඩි පාඩුවක්….
ජනාධිපති කාර්යාලයේ ලියාපදිංචි වාහන 56ක් බහිරවයා ගිලලා….
පැය 24ම ඕවර් ටයිම් කරපු රියැදුරන් ඉඳලා…

අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩලවල රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධීන් සම්බන්ධව නිරන්තරයෙන් අසන්නට ලැබේ. මේ පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් මෙකී ආයතන සම්බන්ධයෙන් වාර්ෂිකව නිකුත් කරනු ලබන විගණන වාර්තා මගින්ද පෙන්වා දී තිබුණි. එහෙත් රජයේ වාහන අවභාවිතා කිරීම දිගින් දිගටම සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබේ. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල සහ ආරක්ෂක අංශවලට අයත් වාහන 600ක් 700ක් අතර ප්‍රමාණයක් එකී ආයතනවල ප්‍රධානීන්ගේ නිවෙස්වල කටයුතු සහ පුද්ගලික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන බවට ද තොරතුරු අනාවරණය වී ඇත. මේ සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 500 වඩා වැඩි මුදලක් දැරීමට සිදුවන බවට ද තොරතුරු අනාවරණය වී ඇත. සැබවින්ම මෙය නාස්තිකාර වියදමකි. මෙකී මෝටර් රථවල රියදුරන්ට වැටුප්, අතිකාල දීමනා හා ඉන්ධන සඳහා වැයවන මුදල් ගෙවීමට සිදුවී ඇත්තේ රටේ බදුගෙවන ජනතාවට ය.

මේ අයුරින් අවභාවිත වන වැඩිම වාහන සංඛ්‍යාවක් ආරක්ෂක අංශවලට අයත් බවට තොරතුරු වාර්තා වී ඇත. ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ගේ නිවෙස්වල අවශ්‍යතා සඳහා මෙකී මෝටර් රථ යොදාගන්නා බවට ද තොරතුරු අනාවරණය වී ඇත. අනික් කාරණය වන්නේ එකම රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරීන් එකම උත්සවයකට එකම සාකච්ඡාවකට තවමත් වෙන වෙනම රජයේ වාහන මගින් පැමිණීම දැකිය හැක. මෙම තත්ත්වය ප්‍රාදේශීය මට්ටමින්ද දැකගත හැකිය. එමෙන්ම නාගරික ප්‍රදේශවල පිහිටි පාසල් අසල උදෑසන හා පස්වරුවේ දී රාජ්‍ය ආයතනවලට අයත් වාහන විශාල වශයෙන් දැකිය හැක. මෙය ද සුලභ දර්ශනයකි. අනික් කාරණය වන්නේ ඇතැම් රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්, සංස්ථා සභාපතිවරුන් තමන්ට මාසිකව හිමි ඉන්ධන දීමනාව ඉක්මවා ඉන්ධන ලබා ගැනීම් පිළිබඳ විගණන වාර්තා මගින් ද අනාවරණය කොට ඇත. ඇතැම් සංස්ථාවල ප්‍රධානීන් චක්‍රලේඛවලට පටහැනිව විශාල මුදලක් යොදවා වාහන කුලියට ලබාගෙන තිබුණි.

රජයේ වියදම් සීමා කරමින් මුදල් අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් ද නිකුත් කොට තිබුණි. එහෙත් එකී චක්‍රලේඛ නොසලකා ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දිගින් දිගටම රජයේ වාහන අවභාවිතා කිරීමේ කටයුතුවල නිරතව සිටිති. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ අභ්‍යන්තර චක්‍රලේඛ යොදා ගනිමින් කටයුතු කරන බවටද තොරතුරු අනාවරණය වී ඇත. ත්‍රිවිධ හමුදාවේ වාහන භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට ජාතික විගණන කාර්යාලය මගින් විගණනයක් ද ආරම්භකොට ඇත. විගණන පරීක්ෂණවලට ද බාධා පැමිණ තිබේ. නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට අදාළ ද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ජාතික විගණන කාර්යාලය මගින් මුදල් අමාත්‍යංශය හා කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත ලිඛිතව ඉල්ලීම් කොට ඇත. ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි.

ජාතික විගණන කාර්යාල මගින් නිකුත්කොට ඇති වාර්තාවකට අනුව විධිමත්ව පවරාගැනීමකින් තොරව යුද්ධ හමුදාව විසින් වෙනත් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රජයේ ආයතනවලින් අණ හා මාණ්ඩලික රථ 03ක්, ඩබල්කැබ් රථ 02ක් ජීප්රථ 04ක්, කැබ්රථ 06ක්, පරිහරණය කරමින් තිබුණි. එමෙන්ම බස්රථ 05ක්, භාණ්ඩ ප්‍රවාහන වාහන 02ක්, ජලබවුසර් 17ක් ටිපර් රථයක් හා ගලි ටෙලර් රථයක්, ගිලන් රථ 7ක් යතුරුපැදි 11ක්, විධිමත් පවරාගැනීමකින් තොරව යුද හමුදාව විසින් පරිහරණය කරමින් තිබුණි. මේ සම්බන්ධයෙන් යුද හමුදාව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මෙකී වාහන රජයේ දෙපාර්තමේන්තු ඇතුළු ආයතන විසින් යුද හමුදාවට පරිත්‍යාගකොට ඇති බවය. යුද්ධ හමුදා ක්‍රමවේදයට අනුව පරිපාලන කටයුතු පහසුකරගැනීම සඳහා යුහ අංක ලබාදී ඇති බවද විගණනයට සඳහන් කොට ඇත.

අදාළ වත්කම් විධිමත්ව පවරාගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. එමෙන්ම විධිමත් අනුමැතියකින් තොරව යුද හමුදාවට අයත් ටොයෝටා කොරොල්ලා කාර් රථයක් සහ නිශාන් ඩබල්කැබ් රථයක් තෙවන පාර්ශ්වයක් වෙත අවිධිමත් අයුරින් මුදාහැර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. කාර්රථය හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයකුගේ ළඟම ඥාතියකුගේ ප්‍රයෝජනය සඳහා ලබාදී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබූ වාහන 56ක් භෞතික පැවැත්ම තහවුරු කරගෙන නොතිබුණි. එසේ කාර්යාලයේ නොතිබූ එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කළ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබුණි. ජනාධිපති ලේකම් නමින් ලියාපදිංචිව ඇති වාහන පිළිබඳ තොරතුරු කැදවීම් කර පොලිස්පති වෙත ලිපි යොමුකර ඇති බවත් මේ පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සමග සාකච්ඡා කරමින් පවතින බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ එය අධික්ෂණය කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

ඒ විතරක් නොව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිර සහ ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් ලියාපදිංචිකොට තිබූ වාහන සංඛ්‍යාව 45කි. ඒ අනුව ජනාධිපති කාර්යාලය සහ ඒ ආශ්‍රිත ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් වාහන ලියාපදිංචිවීමට හෝ එම ලිපිනයන් භාවිතා කිරීමට හේතු වූ කරුණු පිළිබඳ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබුණි. එමෙන්ම ජනාධිපති කාර්යාලය නමින් ලියාපදිංචිකොට තිබූ වාහන 20ක් වෙනත් ආයතනවලට නිකුත්කොට තිබුණි. එසේ වුවද එම වාහන නැවත පවරා ගැනීමට හෝ එම වාහන අදාළ ආයතන වෙත විධිමත් ලෙස පැවරීමට 2022 මාර්තු මස වනවිටත් කටයුතු කර නොතිබුණි. වෙනත් ආයතනවලට අයත් වාහන 13ක් ජනාධිපති කාර්යාලය විසින් පරිහරණය කර තිබුණි එම වාහන ආපසු භාරදීමට හෝ ඒවා විධිමත්ව කාර්යාලය වෙත පවරාගැනීමට කටයුතු කර නොතිබුණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු විසින් මණ්ඩලයේ නමින් පුද්ගලික ආයතනයකින් නවීන මිට්සුබිසි 1200 කැබ් රථයක් මුදල් නොගෙවා රැගෙන ගොස් තිබූ අතර එම කැබ්රථය සඳහා මණ්ඩලය වීසින් රුපියල් එක්කෝටි, හැටඅටලක්ෂ, හතලිස් දෙදහස්, පන්සිය පනස්හතරක මුදලක් (16,842,554) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ. 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වනවිට මණ්ඩලය විසින් මෙකී මුදල අදාළ ආයතනය වෙත ගෙවා තිබුණි. එම මුදල හිටපු සභාපතිවරයාගෙන් අයකර ගැනීමට ලොතරැයි මණ්ඩලය විසින් නීතිමය කටයුතු සිදුකරමින් පැවති අතර නඩු කටයුතු පිළිබඳ තොරතුරු මුල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබුණ ද අයකරගත යුතු මුදල පිළිබඳ තොරතුරු දක්වා නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකී කැබ්රථය මණ්ඩලය වෙත ලබාගැනීම සහ වැඩිපුර ගෙවනු ලැබූ මුදල අයකරගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මෙහිදී ලොතරැයි මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ අයකරගත යුතු මුදල වන රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂ, හතළිස් දෙදහස් පන්සිය පනස්හතරක මුදල (16,842,554) 2022 වර්ෂයේ ගිණුම් වාර්තාවලින් හෙළිදරව් කිරීමට කටයුතු කරනු ලබන බවය.

වාහන අවභාවිතා කිරීම පමණක් නොව ඇතැම් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් තමන්ගේ නිල වාහනයට හිමි ඉන්ධන දීමනාව ඉක්මවා ඉන්ධන ලබාගෙන තිබුණි. රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුට එක් වාහනයක් සහ මසකට ඉන්ධන ලීටර 150ක් ලබාගැනීමට හිමිකමක් ඇත. එහෙත් ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ දී ඔහුට හිමි ඉන්ධන දීමනාව ඉක්මවා ඉන්ධන ලීටර් 8133ක් ලබාගෙන තිබුණි. එහි වටිනාකම රුපියල් 11,35,748කි. එමෙන්ම සභාපතිවරයා සඳහා වෙන්කොට තිබූ වාහනයේ ඉන්ධන ධාරිතාවය ලීටර් 80කි. එහෙත් සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉන්ධන බිල් සහිත වවුචර්පත් පරීක්ෂාවේ දී බොහෝ බිල්පත්වල ලීටර් 100 ඉක්මවා ඉන්ධන ලබාගෙන තිබුණි. එමෙන්ම සභාපතිවරයාට වෙන්කොට තිබූ වාහනයට අමතරව වෙනත් වාහන සඳහා ද ඉන්ධන ලබාගෙන තිබුණි.

ලංකා ඛනිජ වැලි සමාගම විසින් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ පළමු මාස 04 සඳහා ප්‍රධාන කාර්යාලයේ සේවකයින්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා කුලී පදනම මත වාහන 05ක් ලබාගෙන තිබුණි. ඒ වෙනුවෙන් රුපියල් 4,172,595ක මුදලක් වැයකර තිබුණි. එම මාස සඳහා සේවකයින් හට ප්‍රවාහන දීමනාව ලෙස 2,626,500ක මුදලක් ගෙවා තිබුණි. එමෙන්ම පුල්මුඩේ යන්ත්‍රාගාරයේ සේවකයින් හටද ආයතනයේ වාහනය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදී ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,379,520ක මුදලක් ගෙවා තිබුණි. මේ අනුව එකම කාර්යයක් වෙනුවෙන් ද්විත්ව ගෙවීමක් සිදුකොට තිබුණි.

ඒ විතරක් නොව කොවිඩ් වසංගත සමයේ කුලී පදනම ඛනිජ වැලි සමාගමට වාහන ලබාගෙන තිබුණි. එකී වාහන ලබාගත් ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාය. වාහන කුලී පදනම මත ලබා ගැනීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුවී ඇතත් ලංසුකරුවකු තෝරාගැනීමේ දී සමාගම විසින් ඒ සඳහා රුපියල් 4,172,595ක ගෙවීම් කිරීමේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත 2021 සැප්තැම්බර් මස සිට වසරක කාලසීමාවක් සඳහා සමාගමේ දැනට වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා කොන්ත්‍රාත් පදනම මත නැවත එම තනතුරට පත්කොට තිබුණි. සමාගමේ රාජකාරි කටයුතු සඳහා නිවසේ සිට ප්‍රධාන කාර්යාලයට යෑමට ඒමට මෙන්ම පුල්මුඩේ යන්ත්‍රාගාරයේ කටයුතු සඳහා යෑමට ඒමට ඉන්ධන සහිත වාහනයක් රියදුරකු ලබා දී තිබුණි. එසේ තිබියදී රාජකාරි කටයුතු සඳහා පුල්මුඩේ යන්ත්‍රාගාරයට යෑමට ඒමට සහ දිනකට රුපියල් 12000ක් බැගින් මසකට දින 10ක් සඳහා ගෙවීම් කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබුණි. මෙය අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ පත්කිරීමකි. එම පත්කිරීමට අදාළ ගෙවීම් අභිබවා අධ්‍යක්ෂක මණ්ඩලය තීරණ මත ගෙවීම් කළ නොහැකි බව විගණන වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයේ ඔක්තෝබර් මස සිට 2022 වර්ෂයේ පෙබරවාරි මස දක්වා පුල්මුඩේ යාමට සහ ඒමට රුපියල් 12000ක් බැගින් රුපියල් 444,000ක මුදලක් සාමාන්‍යාධිකාරීවරයා වෙත ගෙවා තිබුණි. 2021 වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළ යන්ත්‍රාගාරයට පැමිණි බවට හෝ පිටවූ බවට ගේට්ටු වාර්තාවන්හි සටහන්ව නොතිබුණි. එහෙත් දින 11ක් සඳහා ගෙවීම් සිදුකොට තිබුණි. කෙසේ වුවද 2022 අප්‍රේල් මස මහා භාණ්ඩාගාරය විසින් නිකුත්කොට ඇති චක්‍රලේඛයට අනුව සාමාන්‍යාධිකාරිවරයා විසින් මෙම දීමනාව ලබා ගැනීම අප්‍රේල් මස සිට ප්‍රතික්ෂේපකොට ඇත.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ද නිලධාරීන් සඳහා වාහන ඉන්ධන දීමනා ලබාදීම පිළිබඳව හෝ භාවිතා කරන ආකාරය පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කර නඩත්තු කර නොතිබුණි. විගණනය සඳහා ලැබී ඇති තොරතුරුවලට අනුව වාහන භාවිතා කිරීම සඳහා හිමිකම් නොමැති නිලධාරීන්ට හා පාර්ශ්වයන්ට වාහන ලබා දී තිබුණි. එක් නිලධාරියකුට එක් වාහනයකට වඩා වැඩි සංඛ්‍යාවක් වෙන්කර තිබූ අවස්ථාවන්ද නිරීක්ෂණය වී ඇත. ඒ විතරක් නොව වාහන ධාවනයට අදාළ වාර්තා නිසි පරිදි නඩත්තු නොවීය. සමාගම විසින් එම කටයුතු අධීක්ෂණය කර නොතිබුණි. විධිමත් අනුමැතියකින් තොරව වාහන ධාවන වාර්තා තබා ගැනීම වාහනවල ඉන්ධන භාවිතය පිළිබඳ විස්තර නොමැතිවීම ධාවන වාර්තා දුර්වල ලෙස යාවත්කාලීන කිරීම නිරීක්ෂණය වී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී සමාගමේ වාහන පරිපාලනය නඩත්තුව සහ ඉන්ධන භාවිතය පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රමවේදය අපේක්ෂිත ප්‍රමිතියට නොමැති බවට රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුකූල නොවන බවටත් නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය සතු වාහන 30ක් විධිමත් පවරාදීමකින් තොරව වෙනත් ආයතන වෙත ලබා දී තිබුණි. මෙකී වාහන 2022 වර්ෂයේ මාර්තු මස 23 වැනි දින විටත් විධිමත් පරිදි පවරා දී නොතිබුණි.

ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ සිදු කළ නියැදි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය දුර්වල තත්ත්වයකට පත්ව තිබුණි. මේ හේතුවෙන් විවිධ ආකාරයේ සාවද්‍ය ගෙවීම්වලට ඉඩකඩ ලැබී තිබුණි. වෙන්කරනු ලැබූ වාහන 16කට අනුයුක්ත කර තිබූ රියදුරන් වැඩ කර තිබූ සැම දිනකදීම පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා පැය 24ක් රාජකාරී කළ බවට වාහනය වෙන්වූ නිලධාරියා විසින් සහතික කර තිබුණි. අදාළ රියැදුරන් අසාමාන්‍ය ලෙස අතිකාල දීමනා ලබාගෙන තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් 30 දෙනකු සඳහා නිල වාහන 30ක් වෙන්කොට තිබුණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජෙනරාල් නමින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ තනතුරු නාම නමින් ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 5,556කි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන ලේඛනය අනුව එම වාහන සංඛ්‍යාව 5972කි. ඉන් වාහන 1794ක අමාත්‍යාංශය සතුව නොතිබුණි. ඒ විතරක් නොව අමාත්‍යාංශය සතු වාහන ලේඛනයේ ඇතුළත්ව තිබූ මෝටර් රථ සහ යතුරුපැදි 177ක් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබුණි. මෙසේ බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ද තහවුරුකොට තිබුණි. එහෙත් මෙකී වාහන එම පාර්ශ්ව වෙත පවරනු ලැබුවේ කුමන පදනමකින් ද යන්න පිළිබඳ තහවුරු කර නොතිබුණි. එමෙන්ම භෞතික පැවැත්ම තහවුරු කරගැනීමට නොහැකිවූ මෝටර් රථ 584ක් ස්ථාවර වත්කම් ලේඛනයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 වර්ෂයේ දී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ඒ සඳහා අනුමැතිය ලබා දී නොතිබුණි.

අමාත්‍යාංශය සතු වුවත් පැවැත්ම හඳුනා ගැනීමට නොහැකිවීම තුළ අස්ථානගත වී ඇති බවට සැලකෙන වාහන සොයා ගැනීම සඳහා විධිමත් පියවර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. ඒ විතරක් නොව ඇතැම් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ වෙත තාවකාලිකව පවරා දී ඇති රථවාහන නැවත එකී අමාත්‍යාංශ වෙත භාර දී නැත. මේ අයුරින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සතු වාහන 07ක් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සතු වාහන 06ක් වෙනත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත ලබා දී තිබුණ ද එකී ආයතන වෙත විධිමත් පරිදි පවරා දීමට හෝ නැවත ආපසු ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.

අනික් කාරණය වන්නේ වෙනත් රාජ්‍ය ආයතන සතු වාහන පරිහරණය කිරීමේ දී එකී වාහන විධිමත්ව පවරාගැනීමට කටයුතු කර නොතිබීමයි. ජලසම්පාදන අමාත්‍යාංශය විසින් වෙනත් රාජ්‍ය ආයතන 04ක් සතු වාහන 09ක් 2021 වර්ෂයේ දී අමාත්‍යවරයාගේ හා කාර්යමණ්ඩලයේ භාවිතය සඳහා යොදාගෙන තිබුණි.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් මෝටර් රථ දෙකක් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 17 වැනිදින එවකට සිටි නියෝජ්‍ය ඇමැතිවරයා විසින් නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයට රැගෙන ගොස් තිබුණි. මෙකී මෝටර් රථ ආපසු ගෙන්වා ගැනීමට හෝ පවරාගැනීමට කටයුතු කර නොතිබුණි.

අමාත්‍යවරුන්ගේ පරිහරණය සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන්කරනු ලබන උපරිම නිල වාහන සංඛ්‍යාව 03කි. එහෙත් 2021 වර්ෂයේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට මෙකී වාහන තුනට අමතරව ලංකා මිනරල් සමාගමට අයත් ඩබල් කැබ් රථයක් 2021 මාර්තු මස සිට භාවිතා කොට තිබුණි. ඒ විතරක් නොව මෙකී රථයේ රියදුරු වෙත 2021 වර්ෂයේ මාර්තු මස සිට දෙසැම්බර් දක්වා වැටුප් හා අතිකාල දීමනා වශයෙන් රුපියල් 1,138,140 ලංකා මිනරල් සෑන්ඩ් සමාගමෙන් ගෙවීම් කර තිබුණි.

ඇතැම් සංස්ථා, මණ්ඩල, අධිකාරිවල සභාපතිවරුන් තම නිල රථ සඳහා මාසිකව අනුමත ඉන්ධන ලීටර් ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලබාගෙන තිබුණි. ඒ සඳහා බොහෝ අවස්ථාවලදී රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. ලංකා ලුණු සමාගමේ හිටපු සභාපතිවරයාට හිමි උපරිම මාසික ඉන්ධන දීමනාව ලීටර් 170ක් වුවත් ඔහුට ඉන්ධන ලීටර් 400ක් ලබාදීමට සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි. ඒ විතරක් නොව හිටපු සභාපතිවරයාට ලබා දී තිබූ නිල රථයට අමතරව වෙනත් වාහනයක් සඳහා ද ඉන්ධන වියදම සමාගම මගින් දරා තිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඒ විතරක් නොව ලංකා ලුණු සමාගම විසින් නිශ්චිතව ප්‍රවාහන පහසුකම් හිමි තනතුරු හඳුනාගෙන නිලධාරීන් 07 දෙනකු සඳහා සමාගමේ වාහන වෙන්කර දී තිබුණි. මේ අයුරින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා 2021 වර්ෂයේ දී කිසිදු අනුමැතියකින් තොරව හා චක්‍රලේඛවලට පටහැනිව ඔහුට හිමි ඉන්ධන ප්‍රමාණයට අමතරව තවත් ඉන්ධන ලීටර 2600ක් වැඩිපුර ලබාගෙන තිබුණි.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂයට අදාළ විගණන වාර්තාවට අනුව අමාත්‍යවරයා වෙත වෙන්කර තිබූ වාහන 03ක් සහ කාර්ය මණ්ඩලය වෙත වෙන්කොට තිබූ වාහනයක් 2022 වර්ෂයේ ජුලි මස 20 වැනි දින වනවිටද අමාත්‍යාංශය වෙත භාර දී නොතිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment