ආණ්ඩුවේ වැඩ ගැන ජනතා කැමැත්ත 10% යි – වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් හෙළිවෙයි

184

වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්‍ෂණයේ ඔක්තෝබර් මාසය සඳහා වන ප්‍රතිඵල අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10% ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවැති අතිශය පහළ මට්ටමට සමාන වන නමුත්, එය 2022 ජුනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි.

රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද යන්නත් මෙම ජනමත විමසුමේ දී අවධානයට ගෙන තිබෙන අතර, ඔක්තෝබර් මාසය සඳහා එය දැක්වෙන්නේ ජනතාවගෙන් 7% ක් රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සෑහීමකට පත්වන්නේය ලෙසය. මෙම ශ්‍රේණිගත කිරීම 2022 ජනවාරි මාසයේදී 6% සහ ජුනි මාසයේ 2% විය.

ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේදී, ජුනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 77.9 ක (-77.9) ලෙසය. (-78 ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා ඇත) මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් ඝෘණ 100 (-100) සිට ධන 100 (ූ100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක්කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0 ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන ඝෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුම දෙනා සිතන්නේ නම්, ලැබෙන අගය ඝෘණ 100 (-100) වේ. රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට 2022 ඔක්තෝබර් මාසය වන විට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.5% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 4.8% ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම තවත් 16.2% ක ප්‍රතිශතයක් ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙන විශ්වාසයට ලැබෙන්නේ ඝෘණ 77.9 ක (-77.9) අගයකි. (-78 ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ.) ගෙවුණු ජනවාරියේ මෙම අගය ඝෘණ 83 ක් (-83) වූ අතර, ජුනි මාසයේ දී, ඝෘණ 96 ක් (-96) විය.

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක්කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරින් සකසා මෙම සමීක්‍ෂණය සිදුකර ඇත. රටපුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයන් 1018 දෙනකුගේ නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබාදී තිබෙන්නේ වැන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment