ආණ්ඩුවේ වැරදිවලින් ජනතාවට උරුම වූ දුක්ඛිත ඉරණම: දසුන් ශානක හා ජනපති රනිල්

611

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද විසඳීම සඳහා කවර හෝ දේශපාලන සම්මුතියක්, එකඟතාවක් ඇතිකර ගැනීම වෙනුවට ආණ්ඩුව ක්‍රියාකරන්නේ යළිත් පොහොට්ටු පාලනයක් ස්ථාපිත කිරීමට බවට විවෘත විවේචනයක් තිබේ. හිටපු ජනාධිපති වත්මන් ශ්‍රී. ල. නි. ප. සභාපති මෛත්‍රිපාල ප්‍රකාශ කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අදහසට පොහොට්ටුව අකමැති වූ නිසා එම යෝජනාව නිෂ්ක්‍රිය වූ බවකි. ආණ්ඩුව යළිත් සුදානම් වන්නේ ඇමැති මණ්ඩලය ද පුළුල් කර එයට පොහොට්ටුවේ සිටි පරණ චරිත කීපයම පත් කිරීමට බව ද ඔහු පෙන්වා දෙයි. පොහොට්ටුවේ නායකයන්ගේ වුවමනාව පාර්ලිමේන්තුව තුළ තමන්ට හිමිවී තිබෙන වැඩි බලය යොදා ගනිමින් පොහොට්ටුව සවිබල ගැන්වීම බව අද සිදුවෙමින් තිබෙන දේශපාලන ක්‍රියාකාරකම්වලින් ද එළැඹිය හැකි එක් නිගමනයකි. සැබැවින්ම පොහොට්ටු නායකයන්ට තමන්ට මුහුණදීමට සිදුවූ ගාලුමුවදොර විරෝධතාව පිළිබඳ සියල්ල මෙතරම් කෙටි කාලයකින් අමතක වී තිබේද? දේශපාලන බලය යනු මහජන කැමැත්ත අනුව පෙරළෙන වෙනස්වන දෙයකි. එයට ප්‍රධාන හේතුව බලයට පත්වීමත් සමග බොහෝ පක්‍ෂවලට ජනතා අභිලාෂයන් අමතකවීමත්, ස්වාර්ථය පමණක් මූලික වීමත්ය.

ගෝඨාභය ජනාධිපතිවරයාට රටින් පැනයෑමට තරම් උග්‍ර වූ ඒ ජනතා විරෝධතාව නොතකා එදා තමන් විසින්ම ගෙනයන ලද දේශපාලන සැලැසුම් ක්‍රියාත්මක කළ නොහැකි බව අද ඔවූහු අවබෝධ කර ගත යුතු වෙති. මතු එළැඹෙන මහ මැතිවරණයකින් යළි ජනතා ප්‍රසාදය දැන මැන ගැනීමට ඔවුන්ට බාධාවක් නැත. එහෙත් අද පොහොට්ටුව ක්‍රියා කරන්නේ දැවැන්ත මහජන විරෝධතාවකට එරෙහිව යළි තම බලය තහවුරු කර ගැනීමේ සැලසුමක් අනුවය. තමන්ට පාර්ලිමේන්තුව තුළ හිමිවී තිබෙන බහුතර ඡන්දය හැර වෙනත් කිසිදු ජන ප්‍රසාදයක් පොහොට්ටුවට තිබේද? ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් රාජ්‍ය ඇමැතිවරුන් 38 ක් පත් කිරීමෙන් අනතුරුව යළි පොහොට්ටුවෙන්ම තවත් ඇමැතිවරුන් පත්කර ගැනීමට මේ ආණ්ඩුවේ නියමුවන් දරන උත්සාහය කෙතරම් පසුගාමී ද? ඇත්තටම ඔවුන්ට වුවමනා රට නොව තමන් හා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය සමග යළිත් නැඟී සිටීම බව පෙනේ. දේශපාලනයේ සදාකාලික පසුබැසීම් හෝ විජයග්‍රහණයන්ද නැත. එය මහජන මතය සමග බැඳී තිබෙන නිසාම ධර්මයකි. එහෙත් ජනාධිපති රනිල් ලවා සිදු කරමින් තිබෙන මේ දේශපාලන කොස්ඇටබෑම මොන තරම් ප්‍රාථමිකද? මේ වන විට රට මුහුණ දී සිටින සකලවිධ අර්බුදවලට දායක වූ ප්‍රමුඛ පාර්ශ්වය රාජපක්‍ෂ කඳවුර බව සැඟවිය නොහැක. ගාලුමුවදොර විරෝධතාව විසින් නන්නත්තාර කරන ලද දේශපාලනයක පරණ මුහුණු යළි සමාජගත කළ නොහැකි බව ජනාධිපති රනිල් ද දනී. එහෙත් පොහොට්ටුවේ තෙරපීම ඔහුගේ ස්වාධීන ගමන අහුරා තිබෙන බව අද රටටම පෙනෙන සත්‍යයකි.

ජනාධිපති රනිල් පසුගිය දිනක ලංකාවේ ක්‍රිකට් හා නෙට්බෝල් ජයග්‍රහණ අගය කරමින් ප්‍රකාශ කළේ තමන්ට ද වුවමනා දසුන් ශානක ක්‍රිකට් නායකයා මෙන් රටට විජයග්‍රහණයක් ලබාදීම බවය. එය රාජ්‍ය නායකත්වය මෙහෙයවන ප්‍රධානියා ලෙස ඉතා උතුම් අරමුණක් බවට විවාදයක් නැත. එහෙත් එය හිතලුවක් නැතහොත් සිහිනයක් පමණක් බව දසුන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමග රනිල්ගේ දේශපාලන කණ්ඩායම සැසඳීමෙන් මනාව පැහැදිලි වනු ඇත.

දසුන්, විස්සයි විස්ස ශූරතාව මේ රටට රැගෙන ආවේ ඒ ජයග්‍රහණය අහසින් කඩාවැටුණු එකක් නිසා නොවේ. ඉතා සැකෙවින් කිවහොත් නවක නායකත්වය සමග නවීන කුසලතා පිරි කණ්ඩායමක් ඔහුට හිමිවිය. කැපවීම, අධිෂ්ඨානය, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඒ විජයග්‍රහණයට බලපෑ හේතු අතර කැපී පෙනුණි. කකුල් කැඩුණු අබ්බගාත අශ්වයන් වැනි නඩයක් ඔහුට ලබා දුන්නේ නම් කිසි දිනක එබඳු ජයග්‍රහණයක් මේ රටට රැගෙන ඒමට ඔවුන්ට නොහැකි වනු ඇත. අනෙක් වැදගත්ම දෙය නම් නායකත්වය සමග පල්වන ක්‍රීඩාවකට එබඳු අභියෝගයකට උචිත සටන්කාමිත්වයක් ද නොවිය හැකි බවය. දසුන් නැවුම්ය, පිවිතුරුය. ඔහුට තුන් ඉරියව්වේම හපන් අයද ක්‍රීඩාශීලී සටන්කරුවන් ද ලැබුණි. එයට අමතරව යම් තැනක හිඩැසක්, දුබලතාවක් වුවහොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයන් කීප දෙනෙක් ද ඔහුට ලබා දී තිබිණි. දසුන් ඒ සියල්ල නිවැරදිව කළමනාකරණය කර රටට ජයග්‍රහණය ලබාදී ඉතිහාසයට එක්ව සිටියි.

ජනාධිපති රනිල්ගේ වර්තමාන කණ්ඩායමේ සංයුතිය කෙබඳු ද? ඔහුගේ තේරීම් මණ්ඩලයේ භූමිකාව කුමක් ද? යන ප්‍රශ්න දෙක මෙරටේ ජනතාවට ලබා දුනහොත් බහුතරයක්ම දෙනු ලබන පිළිතුර, එය අසාර්ථක, අකාර්යක්‍ෂම, දුර්වලම කණ්ඩායමක් බවය. ඔහුගේ තේරීම් මණ්ඩලය ලෙස සිටින පොහොට්ටුව, රනිල්ට කරන බලපෑම්වල සුළමුළ ද ජනතාව ඉඳුරා දනී. රනිල්ට මේ කණ්ඩායම භාරවීම ද දෛවෝපගත සිද්ධියක් වැන්න. මෙහි සිටින සියලුම ක්‍රීඩකයන් හිටපු කණ්ඩායම් නායක ගෝඨාභයගේ හා එයට දිරි දුන් මහින්දගේ නිර්දේශ ලද අය වෙති. රනිල්ට කණ්ඩායමේ භාරකාරත්වය ලබා දුන් රාජපක්‍ෂවරු අද තේරීම් කමිටුව ලෙස රනිල්ට උපදෙස් දෙති. කැබිනට් ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකු ද රනිල්ගේ කණ්ඩායමට තෝරා දී ඇත්තේ පොහොට්ටුවේ තේරීම් මණ්ඩලය විසිනි. එයට පිටින් කිසිවෙක් ඒ කණ්ඩායම තුළ නොවෙති. ඇත්ත වශයෙන්ම රනිල්ගේ අසාර්ථකත්වයට එය ප්‍රධාන හේතුවකි. සාමාන්‍ය ජනවහරේ ඇසෙන උපමාවකින් කිවහොත් පොල්පිත්තෙන් කපන අශ්වයකුගෙන් නේරංජනා ගඟ තරණය කළ හැකිද?

මේ අනුව රනිල්ගේ කණ්ඩායම දේශපාලනයටම මහලු වූ වයසින් විනා කුසලතාවෙන් නොවැඩුණු, බහුතරයකින් සමන්විත වූවකි. එසේම වෙන වෙන කණ්ඩායම්වල සිටි එහෙත් රට වෙනුවෙන් සාධනීය යමක් සිදු කළ කිසිවෙක් ද ඒ කණ්ඩායම තුළ නොවෙති. එසේම රනිල්ට තෝරා දී තිබෙන කණ්ඩායම බොහෝ විට තමන් වෙනුවෙන් ලකුණු රැස්කළ අය වෙති. සමහරුන්ට බරපතළ චෝදනා තිබේ. සමහරු අධිකරණවලින් දඬුවම් නියමව සමාව ලද අය වෙති. රනිල්ගේ කණ්ඩායමේ අරමුණ රට ඉදිරියට ගෙනයෑම ද යන්න ප්‍රශ්නයකි. රනිල්ගේ කණ්ඩායමේ දේශපාලන සුජාතභාවය, බුද්ධිමය දැක්ම, අවංකත්වය ආදී යහපත් ලක්‍ෂණ දැකගත හැකිද? දූෂණ, වංචා, හොර මැරකම් ආදියට කුප්‍රකට වූවෝ ද අද ඒ කණ්ඩායම නියෝජනය කරති. රටේ උද්ගතවූ සකලවිධ සමාජ ආර්ථික අර්බුද මේ කණ්ඩායම්වල මුග්ධ දේශපාලන ක්‍රියාකාරකම් නිසා වූ බවට බරපතළ චෝදනා පත්‍රයක් ද ඇත. මේ නිසා අපේ ක්‍රිකට් පිටිය හා දේශපාලන පිටිය යනු අහසට පොළොව මෙන් දුරස්ථය.

ගාලුමුවදොර අරගලයේ අපේක්‍ෂාව මේ ජරපත් දේශපාලන ක්‍රමයට පෙරළා අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමය. කුමක් වුවත් මේ දේශපාලන කණ්ඩායමට නම් අපේ ක්‍රිකට් හා නෙට්බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රටට ලබා දෙන ලද ගෞරවය, අභිමානය ලබාදිය නොහැකි බව ද සඳහන් කළ යුතුය. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තරයෙන් ලැබෙන කිත් පැසසුම් කිසිවක් මේ දේශපාලන කණ්ඩායමට නොලැබෙන බවද කවුරුත් දනිති. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඇතැම් නිල බලවලට ද මෙම දේශපාලනය සමග ප්‍රසාදයක් නැත. පසුගිය දිනවල මෙරටට පැමිණි ඇමෙරිකානු නිලධාරිනි සමන්තා පවර් සෘජුවම කියා සිටියේ දූෂණය, කොමිස් කුට්ටිවලට හුරු වී සිටින නිලධාරීන් හා දේශපාලනඥයන් මේ විනාශයට වගකිවයුතු බවය. ජගත් ආයතන අපට යෝජනා කරන්නේ ද දූෂණය හා වංචාව අවම කර ගැනීමේ සැලසුම් අත්‍යවශ්‍ය බවය. ලංකාව දූෂිත රටක් බව ජාත්‍යන්තරය අද සඳහන් කරන වග ද රහසක් නොවේ. මේ වන විටත් රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය පිළිබඳ වාර්තා ලැබෙමින් තිබේ. එහෙත් පාර්ලිමේන්තුවට මෙතෙක් කෝප් හා කෝපා කමිටු ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වී තිබෙනවා.

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව චෝදනා නැඟුණි. එය සුවිශේෂී තත්ත්වයකි. සාමාන්‍යයෙන් එහිදී අවධානයට යොමු වන්නේ මානව හිමිකම් කඩවීම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට බාධාකිරීම් වැනි කරුණුය. එහෙත් ඉතිහාසයේ පළමු වරට මෙබඳු ආර්ථික ඝාතන චෝදනා එල්ල වී ඇත. අපට ජාත්‍යන්තර ආධාර ලබාගැනීමේදීත් රටේ ආර්ථික හා දේශපාලන කළමනාකරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු වේ.

පසුගිය දිනවල බත්තරමුල්ලේ වෝටර්ස් ඒජ් හෝටලයේදී ඇමෙරිකානු නිලධාරිනි සමන්තා පවර් හා මෙරට විපක්‍ෂයේ නායකයන් වැඩි පිරිසක් එක්වූ හමුවක් තිබුණු බව දේශපාලන අංශවල කතාබහට ලක්විය. ස. ජ. බ., ශ්‍රී. ල. නි. ප. මෙන්ම දෙමළ හා මුස්ලිම් නායකයන් ද එක්වූ මෙම හමුවට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ද සහභාගි වී ඇත. එහිදී වූ සාකච්ඡාවල හරය වී ඇත්තේ ද රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය බව ද කියති. කුමක් වුවත් ඒ සම්බන්ධව නිල නිවේදනයක් හෝ නැත. එහිදී මෙරටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා මහ මැතිවරණයක අවශ්‍යතාව ගැන ද පක්‍ෂ නායකයන් විසින් කරුණු දැක්වූ බවක් ද වාර්තා වේ. කුමක් වුවත් පොහොට්ටුව කල්පනා කරන ආකාරයේ දේශපාලන ස්ථාවරත්වයක් අද මෙරටේ නැත. ජනාධිපතිවරයා ලෙස රනිල්ට සිදුව ඇත්තේ පොහොට්ටු නායකයන්ගේ දේශපාලන පැවරුම් සපුරා දීමට බව පැහැදිලිය.

ඇමෙරිකානු සෙනෙට් සභිකයන් අතර ද ලංකාවේ රාජපක්‍ෂ පාලනය පිළිබඳ බරපතළ සංවාදයක් ගොඩනැඟී තිබේ. ඔවුන් සෘජුවම චෝදනා කරන්නේ රාජපක්‍ෂ පාලනයේ ආර්ථික දූෂණ පිළිබඳවය. අද මේ රට ඉදිරියට යෑමට වුවමනා දේශපාලන ප්‍රතිසංස්කරණයේ පදනම හොරකම, බොරුව, වංචාව, නාස්තිය හා අල්ලස දුරලීමය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සමග පාරදෘශ්‍යභාවයෙන් ක්‍රියා කිරීම ද අද අත්‍යවශ්‍ය බව බහුතර ජනතාවගේ ද අදහසය. දැන් ආණ්ඩුව යෝජනා කරන ජාතික සභාව වුව ද යථාර්ථයක් වනු ඇතැයි සිතිය නොහැක. ශ්‍රී. ල. නි. ප. මහ ලේකම් දයාසිරි එය නිෂ්ඵල ක්‍රියාවක් බව සඳහන් කර තිබිණි. ආණ්ඩුව පෙර පරිදිම තම අභිමතය පරිදි ක්‍රියාත්මක කළ හැකි දේශපාලන යාන්ත්‍රණයක් පොහොට්ටු නායකයන්ට අවශ්‍යව තිබේ. තමන්ට එල්ලවන දේශපාලන විවේචන නොතකා ඒ ගමන යෑමට ඔවුන් පසුබට නොවන බව ද පෙනේ.

පසුගිය දිනක අනුරාධපුරයේ සංචාරයක යෙදුණු අගමැති දිනේෂ්ට මිහින්තලා විහාරාධිපති හිමියන් සෘජුවම අනුශාසනා කළේ මේ රටට වුවමනාවටත් වඩා ඇමැතිවරුන් සිටින බවය. අගමැතිවරයාට එය නිහඬව ඉවසීම හැර කළ හැකි වෙනත් කිසිවක් නොවූ බව ද පෙනුණි. එහෙත් ප්‍රශ්නය වන්නේ පොහොට්ටුවේ අරමුණ ඉටු නොකර ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබීමය. ඉහත සඳහන් කළ ආකාරයටම මේ වන විටත් ශ්‍රී. ල. නි. පයේත් ඇමැතිකම් ලබාගත් අයට අමතරව තවත් කීප දෙනෙක් ද ඇමැතිකම් අපේක්‍ෂාවෙන් සිටිති. දේශපාලන විචාරකයන් පවසන අකාරයට නම් අලුතින් පත්වන ඇමැතිවරුන්ට තබා මේ සිටින ඇමැතිවරුන්ට හෝ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැත. එහි ඇත්ත නැත්ත දන්නෙත් ආණ්ඩුවය. කුමක් වුවත් රටේ උද්ධමනය වැඩිවී තිබෙන බව නම් ප්‍රකට කරුණකි. විශේෂයෙන් අධ්‍යාපන හා ළමයින්ගේ අභිවර්ධනයට වුවමනා සාමාන්‍ය පහසුකම් ටිකවත් ලබාදීමට ආණ්ඩුවට නොහැකිය.

පසුගිය දිනක අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරිනියක් ප්‍රකාශ කළේ අද උසස් අධ්‍යාපනය ලබන ඇතැම් පාසල් දරුවන් කුසගිනි නිවීම සඳහා බුද්ධ පූජාව ආහාරයට ගන්නා බවකි. එහි පව් පින් කුමක් වුවත් මෙරටේ බෞද්ධ ජනතාව කිසි දිනක එබඳු තත්ත්වයකට පත් නොවූ බව ද සඳහන් කළ යුතුය. බුදුන් වහන්සේ වදාළේ සියලු සත්ත්වයන්ටම ආහාර අත්‍යවශ්‍ය බවය. බුද්ධ කාලීන සමාජයෙහි දුගියන්ට ආහාර ලබාදීමට තරම් බුදුන් වහන්සේ කාරුණික වූ බව තහවුරු කරන කතා ද තිබේ.

කුමක් වුවත් ආහාර අතින් ස්වයංපෝෂණය වූ රටක අද උද්ගතව තිබෙන ආහාර අහේනියට ද වගකිව යුත්තේ රට කරවන නායකයෝය. ජනාධිපති රනිල් ඒ වෙනුවෙන් විශේෂ ක්‍රියාන්විතයකට ද මුලපුරා තිබේ. එහෙත් තවමත් මෙරටේ ගොවියන්ට උදාවී ඇත්තේ අවම වශයෙන් තම අස්වනු හෝ විකුණාගත නොහැකි දුක්බර ඉරණමකි. කෘෂිකර්ම ඇමැතිවරයා මැදිවී සිටින්නේ ද සහල් ආනයනය පිළිබඳ උද්ගතවූ ගැටලුවකටය. ඇමැතිවරයාට සිදුවී ඇත්තේ තමන් පෙන්වාදුන් සත්‍යය හා යථාර්ථය වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිරූපය රැක දීමටය. අපට ඒ වාද විවාද වැදගත් නැත. අපට වුවමනා මේ රටේ දරුවන්ට යම් පමණක හෝ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙන මගකි. මරණ මංචකය අසල බලා සිටින රෝගීන්ට වුවමනා බෙහෙත් හේත් ලබා ගන්නා ක්‍රමයකි. ආණ්ඩුවේ වැරදි නිසා දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන භාණ්ඩ මිල හා විදුලි බිල්, වතුර බිල්වලට සහනයකි. මේ වනවිට විහාරස්ථාන අඳුරේ තැබීමට අපේ හාමුදුරුවරු ද සම්මුතියකට එළැඹෙමින් සිටිති. ඒ කිසිවක් නොතකා ආණ්ඩුවට ක්‍රියා කළ හැකි ද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment