ආණ්ඩුවේ සටනට එරෙහිව අරගලයට සූදානම් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

168

රනිල්ට ඇත්තේ පාර්ලිමේන්තුවයි ව්‍යවස්ථාවයි විතරයි

පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ පවතින රනිල් වික්‍රමසිංහගෙ සටන් බිමට එරෙහිව මේ රටේ පොදු ජනතාව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් අරගලයට සූදානම් වෙනවා යැයි ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

මේ දක්වා රට පාලනය කළ අවුරුදු 74 තුළ රටකට සිදුවිය හැකි සියලු‍ම ව්‍යසනයන් අත්කර දී අවසන්. ලෝකය ඉදිරියේ ලැජ්ජාවට, හිඟමනයට පත්වූ රටක් බවට මේ රටේ මේ දක්වා සිටි පාලකයන් ගෙනත් තිබෙනවා. අපි මේ තත්වය වෙනස් කළ යුතු නැද්ද? මේ තත්වයට යටත් වෙමින්, එය දරාගෙන සිටිනවා වෙනුවට එය වෙනස් කිරීමට ජාතික ජන බලවේගය සමග සංවිධානය වී සටන් කිරීමට සූදානම් බව අවධාරණය කරනවා.

වසර සිය ගණනකට පසුවත් මේ රටේ ආර්ථිකය ගැන ඓතිහාසික ලිපියක් ලියනවා නම් පසුගිය අප්‍රේල් 12 වෙනිදා නිතැතින්ම සටහන් වෙනවා. ලබාගෙන තිබෙන ණය නොගෙවා අත්හිටුවන රටක් බවට මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිස ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නේ ලෝකයට පොලු‍ තිය තිය ණයකාරයෙක් බවට පත්කර තිබෙනවා. මේ අර්බුදයට මඟපෑදුනේ ආණ්ඩුවට වියදම් කරන්න ආදායම් නැතිවීමත් රටට ඩොලර් නැතිවීමත් නිසයි. රටේ අවශ්‍ය කටයුතුවලට වියදම් කිරීමේ ආදායම් මහා

භාණ්ඩාගාරයට ලැබෙන්නේ නෑ. ඒ වගේම ඖෂධ, කිරිපිටි, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න ඩොලර් නැහැ. එදා නිදහස ලබාගන්නා විට ජපානයට දෙවැනි වුණු ලංකාව අද ඩොලර් 4000කට ආසන්න ඒක පුද්ගල ආදායමක් ලබාගන්නා විට ජපානයේ ඩොලර් 36000ක් ලබා ගන්නවා. මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබීම ක්‍රමානුකූලව බිඳ වැටී අපනයන ආදායම අහිමි වීමෙන් අත්‍යවශ්‍ය ආනයන ලබාගන්න නොහැකි වී තිබෙනවා. අපනයන ආදායම් වර්ධනය කර ගන්න, ඩොලර් හොයන්න දිගු කාලීන ක්‍රමානුකූල සැලසුම් මේ පාලකයන් සැකසුවේ නැහැ. මේ නිසා භාණ්ඩාගාරයට රුපියල් වගේම රටට ඩොලර් අහිමිවීම නිසා 1980 සිට රටේ සම්පත් විකුණමින් ණය ලබාගනිමින් හිඟය පියවන්න ක්‍රියා කළා. 2020 වන විට සංචිත අහිමිවෙන තත්වයක් ඇවිත්. 2022 වන විට සංචිත හිඳුනා. අද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් තිබෙන්නේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඩොලර් කෝටි 320ක ණය වාරික නොගෙවීම නිසයි. ඒ හැර රනිල්ගේ හපන්කමක් නිසා නොවෙයි. වැරදිලාවත් ණය ගෙව්වා නම්, මාර්තු මාසයටත් වඩා බිඳවැටීමක් සිදුවෙනවා.

රට ගොඩනැගීමට බව කියමින් රනිල් අයවැයක් ඉදිරිපත් කළා. ඒ අනුව ලබන වසරේ මුළු වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අනූදාහක් වෙනවා. රුපියල් කෝටි හාරලක්ෂ අනූදාහක් ණයට ගන්න යෝජනා කර තිබෙනවා. ණයවලින් රුපියල් කෝටි ලක්ෂ දෙකක් ණය වාරිකයටත් කෝටි දෙලක්ෂ විසිදාහක් පොලී ගෙවන්නත් වැය වෙනවා. ණය වාරිකය සහ පොලිය ගෙවන්න විතරක් රුපියල් කෝටි හාරලක්ෂ විසිදහසක් වැය වෙනවා. රනිල්ගේ යෝජනාව නැවත නැවතත් ණය ගැනීම සහ සම්පත් විකිණීමයි. දැන් විකුණන්න දෙයක් ඉතිරිවෙලත් නැහැ. වතු ටික වික්කා, නිෂ්පාදන කර්මාන්ත ටික වික්කා. දැන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු මූල්‍ය ආයතන විකුණන්න සූදානම් වෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගිය අවුරුද්දේ රුපියල් 1000400/- ලාභයක් ලැබුවා. ලිට්රෝ ගෑස් සමාගම අයිති වෙන්නෙත් රක්ෂණ සංස්ථාවට. පාඩු ලබන ආයතන විකුණන බව පසුගිය කාලයේ කිව්වා. දැන් ලාභ ලබන ආයතන විකුණන්න සැලසුම්කර තිබෙනවා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ පාඩු ලබන ආයතන ගන්න කෙනෙක් නැහැ කියලා. දැන් විදුලි උත්පාදන බලාගාර වෙන වෙනම විකුණන්න සැලසුම්කර තිබෙනවා. රන්ටැඹේ, රන්දෙනිගල, මාඋස්සාකැලේ, කොත්මලේ, සියලු‍ උත්පාදන බලාගාර වෙන වෙනම විකුණන්න සැලසුම්කර තිබෙනවා. ජාතික ජන බලවේගය ගාල්ලේ විරෝධතා පවත්වන්නේ මේ සම්පත් විකිණීම නැවැත්වීමට පාලනයක් පිහිටුවන්නයි. රනිල් වික්‍රමසිංහට අනුව මුහුදු තීරණය, රක්ෂණ සංස්ථාවද විදුලි බලාගාර, වරායවල් ජාතික සම්පත් නොවෙයි. මේ දක්වා ගමන් කළ ආර්ථික මාවතේ විනාශකාරීම අන්තයට රනිල් වික්‍රමසිංහ දැන් ගමන්කරමින් තිබෙනවා. මේ රටේ ජනතාව යහපත් අපේක්ෂාවන් සහිතව ආණ්ඩු වෙනස් කිරීම් සිදුකළා.

වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන බව සජිතුත් කියනවා. ඔහුගේ දෙපැත්තේම ඉන්නේ වංචනිකයන්. දූෂිතයන්. අපේ රටේ වංචනිකයන් සහ දූෂිතයන්ට දඬුවම් ලබාදී ඒ දේපළ නැවත අත්පත් කර ගන්න ජාතික ජන බලවේගයෙන් පමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment