ආණ්ඩුව ආර්ථිකය හදන්නේ නැතිව ණය පිට ණය අරන් ජනතාව පීඩනයට ලක් කරනවා- පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

60

ආර්ථික වර්ධනය හදාගන්න වැඩපිළිවෙළක් නොමැතිව විපක්ෂ අදහස් පිළිනොගෙන ආණ්ඩුව ණය පිට ණය ලබාගෙන රටේ ජනතාව පීඩනයට ලක් කරනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී මෙසේද කීය.

වර්තමානය වනවිට Lirne ඒෂියා වේබ් අඩවිය පසුගියදා සමීක්ෂණයක් කර තිබෙනවා. එහි සඳහන් වෙනවා 2019 දී ලක්ෂ 30ට තිබූ දිළිඳුකම ලක්ෂ 70ට වැඩිවෙලා කියලා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් සියයට 50ක් ආර්ථිකය පීඩනයට ලක්වෙලා තියෙන බවයි. නමුත් රජය ආර්ථිකය හොඳ දිශාවට හැරෙන බව කියමින් ණය අරගෙන ආර්ථිකය කඩා වට්ටන්න කටයුතු කරනවා. අපේ තියෙන ආර්ථික වර්ධනය හදාගන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන බව අපි නිතරම වගකිව යුතුයි. විපක්ෂයක් හැටියට නායකතුමා ඇතුළු ආර්ථික කණ්ඩායම දිගටම කිව්වා. නමුත් අපි කියන දේවල් ආණ්ඩුව වැඩිය ගණන් ගන්නේ නැතුව ණය පිට ණය අරගෙන රටේ ජනතාව පීඩනයට ලක් කරනවා.

අපි එම ක්‍රියාපටිපාටිය හෙළා දකිනවා. මොකද ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් දක්ෂ අවංක කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සමග. අපි උත්සාහ කරා නිතරම හොඳ දෙයක් ආණ්ඩුව කරනවා නම්, හරි ප්‍රතිපත්තියක ඉන්නවා නම්, පාර්ලිමේන්තුවේ සහ එළියේ අවශ්‍ය සහාය ලබා දෙන්න. නමුත් ආණ්ඩුව ගමන් කරන ආකාරය ඉතාමත් භයානකයි. ඒ නිසා තමයි තවත් ණය අරගෙන මේ වසර තුළ ජාතික මැතිවරණයක් පවත්වන්න කාලය තිබියදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුව උත්සාහ කරනවා මේ අවුරුද්ද ගත කරලා ආර්ථිකය හොඳ අතට හැරෙමින් තිබෙන බව කියලා ජනතාව මුළා කරලා ඒ තුළින් මැතිවරණයක් දිනාගන්න.

අපි කවදාවත් රටට ආදරේ කරන දේශපාලනඥයන් හැටියට ජනතාවට බොරු කියන්නේ නෑ. සැබෑ තත්ත්වය මේකයි කියන එක අපි නිතරම කියනවා. ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ ආණ්ඩුව දන්නවා ඇත්ත කිව්වොත් වගේම ජනතාවට ඇත්ත හෙළිදරව් කළොත් ජනතාව ඉන්න තත්ත්වය සහ ආර්ථික පීඩනය තත්වය ගැනත් ආර්ථිකය කඩා වැටීම පිළිබඳව ඇත්ත දැනගත්තේ ජනතාව මීට වැඩිය දරුණු තීන්දු ගනී කියන එක, නැවතත් රටේ අරගලයක් ඇති වෙන්න පුළුවන් කියන එක ආණ්ඩුව දන්නවා.

ඒ නිසා තමයි පසුගියදා ආණ්ඩුවයි පොහොට්ටුවයි අතර ප්‍රශ්නයක් ඇතිවෙලා ජනාධිපතිතුමා, පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කැඳවන රැස්වීම ජ්‍යෙෂ්ඨයන් වර්ජනය කරලා. එසේ කළේ ඇයි? ආණ්ඩුව මේ දවස්වල යම්කිසි ටෙලිඩ්‍රාමා එකක් රඟපානවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ එක එක ටෙලිඩ්‍රාමා පෙන්නලා ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න. අපි විපක්ෂයක් විදියට ඒ තත්ත්වය අපි දකිනවා. මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරන්නේ ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ ඉන්න නායකයින් ඉල්ලා සිටිනවා අපිට තව තවත් ඇමතිකම් අවශ්‍යයි කියලා. අපිට උදව් කරපු අයට තනතුරු තාන්න මාන්න දෙන්න කියනවා. ජනාධිපතිතුමා දන්නවා හොරුන් එක්ක ආණ්ඩුවක් කරන්න ගියාම මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම ජනාධිපතිතුමා දන්නවා හොඳම කණ්ඩායම ආර්ථිකයට හරියන සංවර්ධනයට හරියන කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ බව.

කැබිනට් එක වැඩි කරගන්න වගේම රටේ රාජපක්ෂ වරුන් නැවත වරක් බලයට එන්න කරන බලපෑමත් මේ අය රඟපාන නාට්‍යයත් සමගි ජන බලවේගයේ කණ්ඩායම තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි විකාශන නියාමන අධිකාරිය පනතක් ගේන්න උත්සාහ කරන්නේ.

දැන් ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණ පවත්වන්න ආණ්ඩුවට සල්ලි නැහැ කියනවා. එන අවුරුද්ද වෙනකොට ප්‍රධාන මැතිවරණයකට මුහුණ දෙන්න සිදු වෙනවා. සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න මේ වනවිටත් සූදානමින් සිටිනවා. එවිට මේ රටේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි ඒ තමයි සමගි ජන බලවේගයට බහුතර බලයක් ලබාදීලා සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීම.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment