ආණ්ඩුව ගෙදර යවන්න පෙර ඔවුන් ලවාම ව්‍යවස්ථාව වෙනස් කරගත යුතුයි – හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ

315

රටේ ව්‍යවස්ථාදායකය සහ විධායකය රටේ පවතින සාමාන්‍ය නීතිය යටතට ගෙන ආ යුතු බවත් එසේ  නොගෙනෙන තෙක් ඉදිරියේදී අපට කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් ණය ලබා නොදෙනු ඇති බවත් හිටපු  විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

 එනිසා රටේ ජනතාවට හෙට දවසේ කුසගින්නේ නොසිටීමට නම් වහාම පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි ද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

 පාර්ලිමේන්තුවේ දැන් සිටින සියලූදෙනා අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි. එසේ යවන්න පෙර ඔවුනට කියා පවතින ආණ්ඩුවේ ව්‍යවස්ථාව වෙනස් කර ගත යුතුයි.

 රටේ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් විය යුතුයි. එක නීතියක් සෑම දෙනාට බලපැවැත්විය යුතුයි. එහිදී ව්‍යවස්ථාදායකයද විධායකයද රටේ සාමාන්‍ය නීතිය යටතට ගෙන ආ යුතුයි.

 එසේ නොවුණහොත් මින් ඉදිරියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තබා කිසිදු ජාත්‍යන්තර ආයතනයක් අපට උදවු කරන එකක් නැහැ.

 දේශපාලනඥයින්ට දැනට ලබාදී ඇති වරප‍්‍රසාද ඉවත් කළ යුතුයි. එසේ නොවුණහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ශක්තිමත් උගත් බුද්ධිමත් ජනතාව එන එකක් නැහැ. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඊට පත්වන්නේ වරප‍්‍රසාද භුක්ති විඳින්නයි.

 දේශපාලනඥයින්ද විගණනයට ලක්විය යුතුයි. එය අනිවාර්යයෙන් කළ යුතුයි.

 පොහොර නැවකට මුදල් මිලියන 06ක් ගෙව්වා. කවුද ගෙව්වේ මේකට ගෙව්වේ කවුද කියා දන්නේ.? මේ මුදල් ගෙව්වේ ඩොලර්වලින්.

 2021 වසරේ අපට ගොඩඑන්න බැහැ කියා අප පැවසුවා. නමුත් කවුරුත් පිළිගත්තේ නැහැ. තමුන්ගේ නිවසේ ලයිට් කැපෙනකම් ඒ ගැන හිතුවේ නැහැ. තව ටික දිනයකින් දිගටම ලයිට් කැපෙනවා. ඞීසල් නැතිවෙනවා. ගෑස් නැති වෙනවා.

 අපිට තව මාසයකින් බිලියනයක ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. මේ ණය ගෙවන්න අපිට ඩොලර් නැහැ. මා දන්නේ නැහැ එය කෙසේ ගෙවයිද කියලා.

 අපිට ටි‍්‍රලියනයක ණය තිබෙනවා. එහෙම ණය තියෙන රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 05ක් 06ක් ණය ලබා දෙන්නේ නැහැ.

 ඔවුන් දෙන සෑම ඩොලරයකටම වගකිව යුතුයි. එසේ නැත්නම් ඔවුන් අපට ණය දෙන්නේ නැහැ. එනිසා අනිවාර්යයෙන්ම සෑම කෙනෙක්ම විගණනයට ලක්කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment