ආණ්ඩුව නිසැකයෙන්ම අසමත් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්

123

කොවිඞ් වසංගතය භණ්ඩ හිඟය, භාණ්ඩ මිල ඉහළ යෑම ඇතුළු හේතු සාධකයන් නිසා ආණ්ඩුව වෙත එල්ල වන විවේචනය මේ වන විට වැඩි වී තිබේ. එම පසු බිම තුළ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කරන ප‍්‍රකාශ දෙස බැලූවිට හැඟී යන්නේ ඔවුන් බලයේ සිටියා නම් එම එකදු ප‍්‍රශ්නයකට හෝ ජනතාවට මුහුණදීමට සිදුනොවන බවයි. එබැවින් අප ආණ්ඩුව වෙත එල්ල කරන චෝදනා පිළිබඳව විපක්ෂයේ වේගවත් කථිකයකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමු. ඒ පිළිබඳව මන්ත‍්‍රීවරයා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – අත්‍යවශ්‍ය භාණ්ඩ ‘හිඟවීම එම භාණ්ඩ වල මිල ඉහළ යෑම ඇතුළු විවිධ ප‍්‍රශ්න මේ වන විට පෙනී යන්නේ ඔබලා බලයේ සිටියා නම් මෙබඳු තත්ත්වයක් ඇති නොවන බව තමයි. ඇත්තටම සමගි ජන බලවේගය බලයේ සිටියා නම් භාණ්ඩ මිල ඉහළයෑමක් හිඟවීමක් ඇතිවන්නේ නැද්ද?

පිළිතුරු – මෙහෙමයි පැවති අපගේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්, ජනාධිපතිතුමා එක් පක්ෂයක අගමැතිතුමා තවත් පක්ෂයක, එම ජාතික ආණ්ඩුව ගොඩනැ`ගුවේ ජාතික වශයෙන් පැවති ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා තමයි. නමුත් එම නායකයන් දෙදෙනා අතර ඇතිවුණු අර්බුද නිසා සමහර අරමුණු ඉෂ්ට කරගත හැකි වුවත් අවාසනාවකට තවත් සමහර අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූවා.

නමුත් ඒ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව සංසන්දනය කරලා බැලූවොත් පෙනෙනවා ඒ ආණ්ඩුව කාලයේ ජනතාවගේ ජීවන තත්ත්වය වගේම ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වගේ දේවල් හොඳ තත්ත්වයක තිබුණු බව, අද වන විට ජීවන බර වැඩි වෙලා. ජනතාව කඬේට ගියහම තමයි දන්නේ භාණ්ඩ මිල ඉහළ ගොසින් ඇති බව. අත්‍යවශ්‍ය භාණ්ඩ වල පාලන මිල සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා. ජනතාව කබලෙන් ලිපට දාලා තිබෙනවා. එම නිසා අපගේ ආණ්ඩු කාලයේ දී ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් තිබුණු බව ප‍්‍රකාශ කිරීමට පුළුවන්කම තිබෙනවා.

එදා පැවති ආණ්ඩුව වැටෙන්න ප‍්‍රධාන හේතුව තමයි අවාසනාවන්ත පාස්කු ප‍්‍රහාරය. මේ ආණ්ඩුව නිසා රට පස්සට ගිහින් තිබෙනවා. ඒක සිද්ධ වූයේ පසුගිය වසර දෙකක කාලය තුළදී තමයි. මේ ආණ්ඩුව තවදුරටත් බලයේ ඉන්න ඉන්න රට ආපස්සට යනවා. මේ රට යළිත් ඉස්සරහට ගන්නේ කෙසේද කියන එක විශාල අභියෝගයක්.

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩු කාලයේදී මෙරට ආර්ථික සංවර්ධන වේගය 5% සිට 2.3% දක්වා පහත වැටී තිබෙනවා. යුද්ධය හෝ කොරෝනා වසංගයක් නොතිබුණු තත්ත්වයක් තුළ රටේ ආර්ථික සංවර්ධන වේගය ඒ ආකාරයෙන් පහත වැටුණා නම් මේ වන විට ඔබලා බලයේ සිටියා නම් රටේ ආර්ථික මට්ටම නංවාලන්නේ කෙසේද යනුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ප‍්‍රශ්න කරනවා නේද ?

පිළිතුර – ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඒ ආකාරයට ප‍්‍රශ්න කරනවා තමයි. එම තත්ත්වයට එක හේතුවක් තමයි මුළු රටම යටවුණු ගංවතුර තත්ත්වයක් දෙවරක්ම ඇතිවීම, ඊට අමතරව ලෝක ආර්ථිකයේ අවපාත තත්ත්වයක් ඇති වූවා. විශේෂයෙන්ම ඇමෙරිකාව තුළ පොලී අනුපාතයන් ඉහළ දැමීම නිසා සෑම රටකම මුදල් ඒකක වල වටිනාකම පහළ බැස්සා. එම තත්ත්වය ඇතිවූයේ ඒ රටේ පොලී අනුපාතය ඉහළ දැමීම නිසා වෙනත් රටවල්වල ආයෝජනය කරලා තිබුණු ඩොලර් නැවත ඇමෙරිකාව වෙත රැගෙන යෑම නිසයි. චීනය ඇතුළු ලෝක ආර්ථිකයටම එම තත්ත්වය බලපෑව. අනෙක් කාරණය තමයි ඔක්තෝම්බර් මාසයේ දී ඇතිවුණු කුමන්ත‍්‍රණය. එම කුමන්ත‍්‍රණය නිසා ඇති වුණු දේශපාලන අස්ථාවරත්වය තුළ මේ රටට එන්න සිටිය අයෝජකයන් නතර වූවා. එම තත්ත්වය ඇතිවීම සඳහා බලපෑ තවත් හේතුවක් තමයි අපේ‍්‍රල් මාසයේ දී ඇතිවුණු පාස්කු ප‍්‍රහාරය. එම ප‍්‍රහාරය සංචාරක ව්‍යපාරය සඳහා මෙන්ම ආයෝජකයන් මේ රටට නොපැමිණීම සඳහත් බලපෑවා. අද ඇතිවී තිබෙන වසංගත තත්ත්වය මේ ආණ්ඩුවට යම් කිසි ආකාරයකට බලපා ඇති ආකාරයට එම හේතු සාධකයන් අපේ ආණ්ඩුව සඳහාත් බලපෑවා. නමුත් එම තත්ත්වයන් අපි ජනතවට බරක් වෙන්න දුන්නේ නැහැ. අපි ජනතාවගේ සහන කප්පාදු කළේ නැහැ. අපි ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැම්මේ නැහැ. අපි මිල පාලනය ඉවත් කළේ නැහැ. ඒ අතරේ අපි රට ඉදිරියටත් අරන් ගියා.

ප‍්‍රශ්නය – පාස්කු ප‍්‍රහාරය නිසා පසුගිය ආණ්ඩුව පරාජයට පත්වූ බව ඔබ සඳහන් කළා. නමුත් පාස්කු ප‍්‍රහාරයට පෙර පැවති පළාත් පාලන මැතිවරණයෙන් එම ආණ්ඩුව පරාජයට පත්වූවා නේද?

පිළිතුර – එම මැතිවරණයේ දී අපි යම් පසුබෑමකට ලක්වූවා තමයි. නමුත් එම මැතිවරණයේ ප‍්‍රතිඵල විමර්ශනය කරලා බැලූවිට පෙනී යනවා එම මැතිවරණයේ දී අපත් සමග සිටිය සමහර අය වෙනම තරග කරලා තිබෙන බව. ජනාධිපතිවරණයේ දී අපත් සමග තරග කළ කණ්ඩායම්වල ඡන්ද එකතු කර බැලූවිට පෙනී යනවා අපි එම මැතිවරණයේ දීත් වැඩිපුර ඡන්ද ලබාගෙන තිබෙන බව.

අනෙක් කාරණය තමයි 2018 ඔක්තෝම්බර් මාසයේ සිදුවූ කුමන්ත‍්‍රණයෙන් පසුව අපි යළි නැඟිටල ආවා. මොකද ජනතාව එම කුමන්ත‍්‍රණය සම්පූර්ණයෙන් හෙළා දැක්කා. එදා එම කුමන්ත‍්‍රණයට එරෙහිව ගෝල්ෆේස් එකේ තිබුණු ජනරැළියට ලක්ෂ ගණනක ජනතාව සහභාගි වූවා. නමුත් අපේ‍්‍රල්වල සිදුවූ පාස්කු ප‍්‍රහාරයත් සමග යළිත් සියල්ල කඩාගෙන වැටුණා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා පාස්කු ප‍්‍රහාරය නිසා යහපාලන ආණ්ඩුව පරාජයට පත්වූ බව. එම ආණ්ඩු සමයේ දී විජයදාස රාජපක්ෂ මහතා මුස්ලිම් කණ්ඩායම් වල සමහර කි‍්‍රයාකාරකම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. එම අවස්ථාවේදී එම ප‍්‍රකාශයට විරෝධය පළ කළ ඔබට දැන් ඒ පිළිබඳව කියන්න තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී මෙරට මුස්ලිම් තරුණයන් පිරිසක් අයි එස් අයි එස් සංවිධානය සම්බන්ධවීම සඳහා ගොස් ඇති බව සඳහන් කළා. එම සංඛ්‍යවත් සඳහන් කළා. එම අවස්ථාවේදී එම සංඛ්‍යාව වැරදියි කියලා තමයි මම කිව්වේ.

ප‍්‍රශ්නය – එම අවස්ථාවේදී සැලකිලිමත් වූවා නම් එම ප‍්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා නේද?

පිළිතුර – ඒකට මේ රටේ ආරක්ෂක අංශයක් වගේම බුද්ධි අංශයකුත් සිටිනවා. සහරාන්ට එරෙහිව පැමිණිලි රාශියක් ලැබිලා තිබෙනවා. ආරක්ෂක අංශයේ සමහර අයගේ නොසැලකිල්ල නිසානේ මේක සිද්ධ වූයේ. ප‍්‍රහාරයක් එල්ල වන බව දැනුම් දී තිබුණ බව කියනවා. ඇයි ඒ සම්බන්ධයෙන් කි‍්‍රයා නොකළේ. එවකට සිටිය ජනාධිපතිවරයා තමයි ආරක්ෂාව භාරව සිටියේ.

ප‍්‍රශ්නය – රසායනික පොහොර ඉල්ලා කළ උද්ඝෝෂණ මේ වන විට නතර වී තිබෙනවා. නමුත් වකුගඩු රෝගය පිළිකා ඇතිවීම වැනි බෝ නොවන රෝග පිළිබඳ අනතුර යළිත් වැඩිවිය හැකි බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ වගකීම රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළ අය භාරගන්නවාද ?

පිළිතුර – අපි කවුරුත් කාබනික වගාවට විරුද්ධ නැහැ. එම වගාවට යොමුවීම පිළිබඳව මේ රට තුළ දීර්ඝ සංවාදයක් තිබුණා. ඒ වගේම 2015 සහ 2019 ජනාධිපතිවරණ වලදී ඒ පිළිබඳව යම්යම් තීන්දු අරගෙනත් තිබුණා.

එහෙත් ආණ්ඩුව එම ප‍්‍රතිපත්තිය පැය 24 න් කි‍්‍රයාත්මක කිරීමට ගිය නිසා තමයි එය අර්බුදකාරී තත්ත්වය ඇතිවූයේ. කැබිනට් මණ්ඩලය තුළ පවා ඒ පිළිබඳව විවිධ මතවාදයන් තිබෙනවා. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පවා තිබෙන්නේ ප‍්‍රතිපත්තිය දස වසරක් තුළ කි‍්‍රයාත්මක කරන බව තමයි. නමුත්් පැය 24 න් එම ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට ගිය නිසා තමයි අර්බුදකාරී තත්ත්වයක් ඇති වූයේ. කාබනික ගොවිතැනට ක‍්‍රමානුකූලව යොමුවනවාට අපේ විරෝධයක් නැහැ.

සාකච්ජා කළේ –
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment