ආණ්ඩුව පොහොර තහනම් කර ගොවියා මරණ මංචකයට ගෙන යනවා

107

පොහොර තහනම් කොට මේ රටේ ගොවියා මරණ මංචකයට ගෙනයන අධිවේගී මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉතා සාර්ථකව ඉදි කොට ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මිනිසාගේ පරම වගකීම මිනිසා ජීවත් කරවීම බව පැවසූ විපක්ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුව විසින් සිදු කරන්නේ අන්ත අසරණ ගොවියාව කබලෙන් ළිපට ඇද දමා ඔවුන්ගේ ජීවිත තව තවත් අසරණ කරවීම බව පැවසීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක‍්‍රියාත්මක ‘ගොවිජන දුක විමසන ගොවි හදගැස්ම’ වැඩසටහනේ එක් පියවරක් ඊයේ (12දා) අනුරාධපුර කලාවැව ආසනයේ එප්පාවල කටියාවදී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා එළවළු ගොවීන් හමුවිය.

ගොවි හදගැස්ම වැඩසටහනට පෙර විපක්ෂ නායකවරයාා කටියාව ගොවි ජනපද නිර්මාතෘ හිටපු අගමැති මහාමාන්‍ය ඞී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර, හිටපු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී. හැරිසන්, කලාවැව සමගි ජන බලවේගය ප‍්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී අනිල් රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ. විපක්ෂ නායකවරයා මෙහිදී ප‍්‍රදේශයේ ගොවි ජනතාව සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් හිතුවක්කාරී තීරණය හේතුවෙන් අද වන විට රට බලවත් ව්‍යසනයක දොරටුවෙහි සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ පිළිබඳව ආණ්ඩුවට කිසිදු සංවේදී කමක් නැතැයිද පැවසීය.

අද වන විට ගොවියා ණය බරින් පීඩා විඳින බවත්, ණය වාරික ගෙවා ගත නොහැකිව සුසුම්ලමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment