ආණ්ඩුව බදු පිට බදු ගහන එක අසාධාරණයි – සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

55

රජයේ බදු ප්‍රතිපත්ති සංශෝධනයත් සමග ජනතාව මත තවත් බදු බර පැටවෙමින් තිබේ. දිනෙන් දින හඳුන්වාදෙන නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් තවදුරටත් ජනතාව පීඩාවට පත්වන බව විපක්ෂය කියයි. එසේ වුවද මේ පීඩාකාරී වාතාවරණය හමුවේ විපක්ෂයේ කාර්යභාරය හරිහැටි ඉටු නොවන බවටද චෝදනා නැගේ. මේ ඒ ගැන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග කළ අදහස් දැක්වීමයි.

ප්‍රධාන විපක්ෂය හැටියට සජබය තමන්ගෙ භූමිකාව හරි හැටි ඉටුකරන්නෙ නැති බවට යම් චෝදනාවක් තියෙනව. ඔබතුමන්ලත් රටේ ජනතාව විඳින පීඩාව ගැන සංවේදී නැති බවටත් ඇතැමුන් කියනව. එම චෝදනාවට ඔබේ ප්‍රතිචාරය කෙසේද ..?

මම ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනව. අපි අලුත් දේශපාලන පක්ෂයක්. අපේ ආයුෂ තවම අවුරුදු දෙකහමාරයි. පසුගිය මහමැතිවරණයට අපි ඉදිරිපත් වෙද්දි සජබයට අඩුම තරමේ ගම් මට්ටමේ ශාඛා සමිතියක්, කාන්තා සමිතියක් තිබුණෙ නෑ. දැඩි විශ්වාසයක් මත තමයි අපිට ඒ මහ මැතිවරණයෙදි ඡන්දය ලබාදුන්නෙ. ඉතා කෙටි කාලයක් තුළ ආසන 54ක් සජබය ලබාගත්ත. ඒක ඇත්තම වාර්තාවක්. බණ්ඩාරනායක මහත්තයටත් බැරිවුණා අලුත් පක්ෂයකින් ඒ තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්න.

දැන් අපි ගම් මට්ටමේ, බිම් මට්ටමේ, කොට්ඨාස මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමින් සජිත් ප්‍රේමදාස මැතිතුමගෙ ප්‍රධානත්වයෙන් ශක්තිමත්ව සංවිධානය වෙමින් තියෙනව. දේශපාලන පක්ෂයක් හැටියට අපි අපේ යාන්ත්‍රණය පිහිටුවමින් යමින් තියෙන්නෙ. හැබැයි පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ හොඳ ප්‍රතිපත්තිවලට සහයෝගය දෙනව කියන ස්ථාවරයේ සජබය ඉන්නව. ඒ වගේම ආණ්ඩුව කරන වැරැදි වැඩ විවේචනය කරන්නත් පසුබට වෙන්නෙ නෑ. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක ගල් අඟුරු ටෙන්ඩරය ගැන මුදල් කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට මම වගකීමෙන් කියන්නෙ ආණ්ඩුව හැදුව ඒ ටෙන්ඩර් එක ඩොලර් මිලියන 450ක විතර ලංකාවට පාඩුවක් ලබාදෙන්න. හැබැයි ඇමැතිතුමාත් මුදල් කාරක සභාවේ වාර්තාව බලල ඒක අහෝසි කළා. අපේ සමගි තරුණ බලවේගයෙන් තමයි අල්ලස් හෝ දූෂණ කොමිසමට ගිහින් පැමිණිල්ලක් කරල පළමු වතාවට සීනි වංචාව ගැන හෙළිකළේ. රජයේ වෙන හොර වැඩ අපි හෙළිකරල තියෙනව. අපි බලාපොරොත්තු වෙනව කෙටිකාලයක් තුළ අපේ රජයක් හදන්න.

ඔබතුමා සජබ රජයක් හදන බව කියනව. ඒත් එජාපයත් දැන් දැන් ඉතා ප්‍රබල විදිහට සංවිධානය වෙමින් ඉදිරියට එන බව තමයි පේනන තියෙන්නෙ. අනෙක ඔබතුමන්ලත් එක්ක හිටපු ප්‍රබලයො කීප දෙනෙකුත් දැන් ඉන්නෙ එජාපයෙ. ඉතින් ඔබ කියන ඉලක්කයට යන්න පුළුවන් වෙයිද?

මනූෂයි, හරීනුයි වැනි අය ඉක්මන් වුණා වැඩියි කියලයි මට හිතෙන්නෙ. වෙන කවුරුවත් නම් අපෙන් එජාපයට යන්නෙ නෑ. දැන් රටේ රාජ්‍ය නායකයා විදිහට ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙද්දි රාජපක්ෂ පවුලෙ හිරකරුවෙක් බවට පත්වෙලා. ඔහුට තිබුණා සියලු පක්ෂවලට ආරාධනා කරල ආණ්ඩුවක් හදන්න. ඒක කළේ නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයත් කියල තිබුණ දැන් රනිල් මහත්මයාත්, ඉන්නෙ ඔවුන් එක්ක කියල. මම විශ්වාස කරනව සමගි ජනබලවේගයේ කිසිම කඩාවැටීමක් වෙන්නෙ නෑ කියල.

එජාපයට යන්න ඉන්නව කියන ලිස්ට් එකේ ඔබේ නමත් කියැවුණා. මොකද ඉදිරියෙදි එජාප නායකත්වයට ඔබතුමත් සුදුසුයි බව ඇතැමුන් කියනව….

මම හදිසි තීන්දු ගන්න කෙනෙක් නෙමෙයි. මම තීන්දු ගන්නෙ ජනතාවගෙ පැත්තෙන් බලල. ගාමිණී දිසානායක මැතිතුමත් ඒ වගේ. මගේ පියා ජීවිතය පරිත්‍යාග කළේ එජාපය වෙනුවෙන්. මගේ මෑණියන් තමයි එජාප ඉතිහාසයේ එකම ජනාධිපති අපේක්ෂිකාව. එජාපය මගේ මහගෙදර. ඒ නිසා අපි එජාපයට ආදරෙයි. අපි තාමත් කියන්නෙ කැපුවක් කොළ කියල. ඒ වුණාට එජාපය අද වැටිල ඉන්න තත්ත්ය ගැන කනගාටුයි. ඒ නිසා මම සහතිකයක් දෙනව සමගි ජනබලවේගයේ ඉන්න කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට, එජාපයට යන්නෙ නෑ.

ඔබ කිව්ව ඔබ කැපුවත් කොල කියල. එය ඔබේ මහගෙදර කියල. ඉතින් මහගෙදරට ගිහින් අකිල, රුවන් වගේ අනෙක් දේශපාලන සහෝදරයන් එක්ක එජාපය නැවත එසවීමට කැමැත්තක් නැද්ද?

ඇත්තටම මට මේ අවස්ථාවෙ එහෙම අදහසක් නෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා මෑතකදි කියල තිබුණ මාර්තු මාසය පහුවෙනකොට පළාත් පාලන මැතිවරණයක් ඉල්ලනව කියල. ඒකට පක්ෂයක් විදිහට සජබය දැන් සූදානම්ද?

ඕනම මැතිවරණයකට මුහුණදෙන්න තමයි අපේ හැම ආසනයකම බල මණ්ඩල සහ පක්ෂයේ සංවිධාන කටයුතු කරගෙන යන්නෙ. ඒත් එක්කම කාන්තා සමිති, තරුණ සමිතිත් හදාගෙන යනව.

පළාත් පාලන ඡන්දයෙදි සජබයට ජයගන්න පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි අපි දන්නව ආණ්ඩුව මේ වෙලාවෙ එකපාරටම මැතිවරණයකට යන්න බයයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු හදන්නෙ කොහොම හරි මැතිවරණ කල් දාගන්න.

මැතිවරණ කොමසාරිස්වරය කියනව මාර්තුවල කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන කියල. ඔබ ආණ්ඩුවට චෝදනා කරනවා ඔවුන් මැතිවරණ කල්දාන්න හදනව කියල. යම් හෙයකින් ආණ්ඩුවට මේ කල්දාගත්තොත් විපක්ෂය හැටියට මොකද කරන්නේ…

අපි මේ වෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් විතර එකතුවෙලා ඉන්නව. තව කීප දෙනෙක් එකතුවෙන්න ඉන්නව. ඒ තත්ත්වය අධ්‍යනය කරල අපි සියලු දෙනා එකතුවෙලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනවා පාර්ලිමේන්තුව වහා විසුරුවන්න කියල. එහෙම පාර්ලිමේන්තුව විසුරුවල අනිවාර්යයෙන්ම අපි ආණ්ඩුවක් පිහිටුවනව. යම් හෙයකින් ආණ්ඩුව ඡන්දය මග හරින්න හැදුවොත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.

තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවකට අවසානයේ ජනතා නැගිටීමත් එක්ක ගෙදර යන්න වුණා. ලක්ෂ 69 ඡන්ද ගත්ත ජනාධිපතිවරයටත් ඉල්ලා අස්වෙන්න වුණා. හැබැයි මේ දේශපාලනික අවස්ථාවක් නිවැරැදිව කළමනාකරණය කරගන්න සජබය සමත්වුණේ නෑ කියල බොහෝ දෙනෙක් කියනව…

සජබය හැටියට අපි මේ රටේ ප්‍රශ්නවලට දැවැන්ත විසඳුම් හොයන පක්ෂයක්. අපි අලුත් දේශපාලන පක්ෂයක්. හැබැයි පක්ෂය තුළ සංවිධාන ශක්තිය ගොඩනගාගෙන පියවරින් පියවර ඉදිරියට දේශපාලන පක්ෂයක්. අපි එකපාරටම බලය ගන්න හදන දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඒත් අපි අනිවාර්යයෙන්ම බලයට එනව කියන විශ්වාසය පාක්ෂිකයන්ට ඇතිවෙලා තියෙනව. අරගලය දිහා බලද්දි අපේ බොහෝ දෙනා තිරය පිටුපස ඉඳගෙන අරගලයට උදව් කළා. ඒ අරගලය ජගග්‍රහණය කරවන්න කටයුතු කළා. ඒ වගේම අපේ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කළේ. ඒ හරහා ජනතාවගේ දුක වේදනාව ගැන අපි කතා කළා. වාත්තීය සමිති හරහා මේ ආණ්ඩුව දණගස්වන්න අපි කටයුතු කළා. සමුපකාර ඡන්ද දැන් තියනව. ඒවායෙ දිනන්නෙ සමගි ජනබලවේගය.

සජබයේ නායකත්වය පණ මදි. ඒ නිසා පක්ෂය ඇතුළෙ තව නායකයන් මතුවෙමින් ඉන්නව කියලත් ඇතැම් වෙලාවට ඇහෙනව. ඔබතුමා හිතන්නෙ සජබයේ නායකයා තවදුරටත් සජිත් ප්‍රේමදාස විය යුතුයි කියලද?

ඔව්… සජිත් ප්‍රේමදාස මැතිතුමා. අනෙක් කාරණය තමයි සමගි ජනබලවේගය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. නායකත්වය වෙනස් විය යුතු නම් ඒක වෙනස් කරන්න පුළුවන්. පක්ෂයේ ව්‍යවස්ථාවේ යාවජීව නායකයො නෑ. හැබැයි මම ආයෙත් කියනව, මේ අවස්ථාවෙදි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්නව. එතුමා අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපති විදිහට තරග කරල දිනනව. ඔහු අවංක නායකයෙක් කියල සජබ ඉන්න මන්ත්‍රී මඬුල්ලත්, ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලය, සියලු පාක්ෂිකයන් පිළිගන්නව. මත ගැටුම් තියෙනව. ඒක දේශපාලන පක්ෂයකට සාමාන්‍ය දෙයක්. අපි නව දේශපාලන සංස්කෘතියක් දේශපාලන පක්ෂ තුළ වගේම රට තුළත් ඇතිකරනව. ඒ ගමන යන්න අපි ලෑස්තිවෙලා ඉන්නව.

ආණ්ඩුව මේ වෙද්දි ආදායම් බදු ප්‍රතිපත්තිය සංශෝධනයට ලක්කර තියෙනව. ලක්ෂයට වැඩි මාසික ආදායමක් ගන්න අයගෙන් බදු අය කරන්න සැලසුම් කරල තියෙනව. මේ අලුත් බදු සංශෝධන ගැන මොකද හිතන්නෙ…?

ඒ ගැන අපි දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. පක්ෂය තුළ තියෙනව ආර්ථික කමිටුවක්. හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් කියන මැතිතුමන්ලගෙ ප්‍රමුඛත්වයෙන්. අපි පිළිගන්නව ආණ්ඩුව මේ විදිහට බදු පිට බදු ගහන එක අසාධාරණයි කියල. ජනතාවට මේ විදිහට ලොකු බදු බරක් දැනෙනව. ඒ නිසා ජීවත්වීම තවත් අසීරු තත්ත්වයට පත්වෙලා තියෙනව. තුන්වේලක් කාපු ජනතාව දැන් ඒ වේලයි කන්නෙ. ඒ නිසා බදුවලින් පමණක් රජය ආර්ථිකය හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් ඒකට අපි විරෝධය දක්වනව. අපි හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ අපේ හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මැතිතුමා හඳුන්වා දුන්න තෙල් මිල සූත්‍රය ගනිමුකො. ලෝකයේ ඉන්ධන මිල වැඩිවෙද්දි මිල සූත්‍රය හරහා මිල වැඩිවුණා. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ. රුපියල් 117 තිබුණු ප්‍රෙටල් ලීටරයක් රුපියල් 410ක් වෙලා. ඒ නිසා ජීවන වියදම දරාගන්න බෑ. අපි රුපියල් 5000 කින් ෂොපින් බෑග් එකක් පිරෙන්න බඩු ගන්න පුළුවන්ද?

අද රට වැටිල තියෙන තැනට වගකියන්න ඕනේ මේ රජය විතරයිද? මොකද මේ රටේ පාලනය කළ පක්ෂ දෙකෙන් එකක් තමයි ඔබතුමන්ල නියෝජනය කරපු එජාපය. ඒ නිසා පොදුවේ අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයො ගත්ත වැරැදි තීන්දුවල වන්දිය නේද අපි මේ ගෙවමින් ඉන්නේ…?

රට ගෝඨභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සෙ ඔහුගෙ හිතවතුන්ට විශාල බදු සහනයක් ලබාදුන්න. ඒකෙන් රජයේ ආදායම් විශාල ලෙස පහළ ගියා. ඒක තමයි ආරම්භය. ඒ වගේම ඔහුට අත්දැකීම් නැති නිසා මෝඩ තීන්දු තීරණ ගත්ත. ඒ නිසා තමයි මේ රට මේ තත්ත්වයට වැටුණෙ. මතක තියාගන්න එජාපය මේ රට බාරදෙද්දි ඩොලර් බිලියන 7.8ක් එක්ක තමයි බාර දුන්නෙ. ඒක මේ අය පාවිච්චි කළේ ඩොලරය රුපියල් 203කට තියාගන්න ඒ අය ඩොලර් බිලියන 4ක් නිකං පාවිච්චි කළා. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙදි අපි ප්‍රශ්න කරද්දි මේ ආණ්ඩුවෙ අය කිව්වෙ අපට ඕන තරම් සල්ලි තියෙනව කියල. අපට ඕන තරම් පාරවල් හදන්න පුළුවන් කියල. අපට ඕන තරම සල්ලි අච්චු ගහන්න පුළුවන් කියල. ඒ නිසා මේ ආර්ථිකය කඩා වැටීමට මුල රාජපක්ෂවරුන් කියල ජීනීවා මානව හිමිකම් සමුළුව දක්වා ගිහින් තියෙන්නෙ.

22 වැනි සංශෝධනය ගැන සජබ මොනව වගේ ස්ථාවරයකද ඉන්නේ…

මම නම් පෞද්ගලිකව විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. පක්ෂය යෝජනා කරල තියෙන්නෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන කියල. අපි ඉදිරිපත් කරල තියෙනව 21 වැනි සංශෝධනය. එය අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. හැබැයි ආණ්ඩුව ඒකට සූදානම් නෑ. අපේ යෝජනා ආණ්ඩු පක්ෂය පිළිගන්න කැමැති නම් අපි ඒ ගැන සලකා බලන්න කැමැතියි. හැබැයි ඉදිරිපත් කරල තියෙන යෝජනාවලට නම් සහයෝගයක් දෙන්න අමාරුයි. පොරොන්දු වුණ දේ කරල තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්න හදන්නෙ විධායක බලතල තියාගෙන පාර්ලිමේන්තුව හසුරුවන්න.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment