ආණ්ඩුව යවන එක ජනතාව තීරණය කරල ඉවරයි

126

යන විදිය ඒගොල්ලො තීරණය කරගන්න ඕන

සෑම තැනම විරෝධතා ය. ආණ්ඩුවට එරෙහිව එසවෙන පුවරු ය. ජනාතාව ලාබාදුන් පරමාධිපත්‍ය බලය ජනතාව විසින්ම යළි ඉල්ලමින් සිටින සටන් පාඨයන් ය. ගෙවෙමින් තිබෙන්නේ මේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක් ය. ඒ තුළ ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ දේශපාලන හැසිරීම රටේ අනාගතය තීරණය වීම කෙරෙහි වෙනකවරදාටත් වඩා බලපෑම් ඇති කරමින් ඇත. මතු දැක්වෙන ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ මේ සංවාදයට පසුබිම වූයේ පෙර කී සංකිර්ණ දේශපාලන වටපිටාව පිළිබඳ පැහැදිලි කරගැනීම ය.

අග්‍රාමාත්‍ය තනතුර භාරගන්නැයි රනිල් වික්‍රමසිංහ ඔබේ පක්ෂයේ නායකයාට ආරාධනා කළා. රට වැටෙන්න පුළුවන් පහළම තැනට වැටිල තියෙද්දී දැන් ජනතා විමුක්ති පෙරමුණට මේ රට භාරගෙන ගොඩගන්න පුළුවන්ද?

ජාතික ජන බලවේගය හැටියටත් ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් මේ වට්ටපු රට යළි නැඟිට්ටවන්න අපිට වැඩ පිළිවෙළක් තියෙනවා. කොහොමත් අපේ රටේ ජනතාව අපිට රට භාරදෙන්නෙ මේ රට හොඳ තැනක තියෙද්දි නෙවෙයි කියලත් අපි දැනන් හිටියා. අමාරු වෙලාවේ තමයි අපිට රට භාර දෙන්නෙ. හැබැයි නැවත ඒක වෙන කාටවත් භාර නොදෙන ම්ට්ටමකට මේක අපිට හදන්න පුළුවන් කියලත් අපි දන්නවා. මොකද හේතුව මේ රට වට්ටපු රටක්. වැටුණ රටක් නෙවෙයි. සුනාමි නිසාවත්, වෙන වසංගත රෝගයක් නිසාවත් වැටුණ රටක් නෙවෙයි මේ තියෙන්නෙ. මේක “ මෑන් මේඩ් ඩිසාස්ටර්” එකක්. මිනිස්සු කිහිපදෙනෙක් විසින් වැරදි ක්‍රමයට රට පාලනය කරල හදපු විපත්තියක් මේ තියෙන්නෙ. ඉතින් මේ වැරදි ක්‍රමය නිවැරදි කරන්නයි ඕන.

ඔබ කියන ඔය වැරදි ක්‍රමය මොකක්ද?

මේ ආර්ථික ක්‍රමය. මේ දේශපාලන ක්‍රමය. හැමදාම අපේ රටේ මිනිස්සු හදල තියෙන්නෙ ඔළුගෙඩි ගාණක ස්ථාවර ආණ්ඩු මිසක ප්‍රතිපත්තිවලින් ස්ථාවර ආණ්ඩු නෙවෙයි. දැන් ජනතාවට පළමු වතාවට අවස්ථාවක් ලැබිල තියෙනවා ප්‍රතිපත්ති වශයෙන් ස්ථාවර, දේශපාල වශයෙන් ස්ථාවර, ආර්ථික අතින් ස්ථාවර විශ්වසනීය ආණ්ඩුවක් හදන්න. ස්ථාවර විතරක් මදි. විශ්වාසය තියෙන්නෙත් ඕන. දැන් ගෝඨාභය හදපු ආණ්ඩුව ස්ථාවර වුණාට විශ්වාසය තිබ්බෙ නෑනෙ.

ආර්ථික අතින් ස්ථාවර ආණ්ඩුවක් හදන්න කියල කිව්වට ඒක හැදෙන්නෙ බලය ගත්තට පස්සෙ ඔවුන්ගෙ ක්‍රියාකලාපයත් එක්කනෙ. දැන් ආර්ථික ස්ථාවරත්වයක් පේන මානයක නැති එකේ කොහොමද ඒක ඇති කරන්නෙ?

අපේ රටේ අර්බුදය කොතැනද තියෙන්නෙ. අපේ රටේ දැන් තියෙන්නෙ ඩොලර් අර්බුදය. ඩොලර් නැති නිසා තෙල් ගේන්නෙ නෑ. ගෑස් ගේන්න බෑ. පෝර ගේන්න බෑ. හැබැයි ඩොලර් අර්බුදය ඇති වුණේ කොහොමද. ණය අර්බුදය නිසා. ණය අර්බුදය ඇතිවුණේ නිෂ්පාදන අර්බුදය නිසා. අපේ රටට ප්‍රමාණවත් විදේශ විනිමය උපයන්න පුළුවන් නිෂ්පාදනයක් රටේ නෑ. තියෙන නිෂ්පාදනයෙන් රටට ඩොලර් උපයන ආර්ථිකයක් නෙවෙයි තියෙන්නෙ. අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම දෙගුණයක් වැඩියි. ඉතින් අපි අපනයන ආදායම ආනයන වියදමට ගැළපෙන විදියට සකස් කරන්න ඕන. හැබැයි ආනයන වියදම අපනයන ආදායමට ගළපන්න පුළුවන් නිෂ්පාදනයක් තියෙන්න ඕන. ඒක නිසා තමයි එදත් අදත් හැමදාමත් අපි කියන්නෙ නිෂ්පාදන ආර්ථිකයක් රටේ හදන්න ඕන. ආර්ථිකයේ ජාතික පංගුව නිෂ්පාදනයෙන් සමන්විත වෙන්න ඕන. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ ජනතා සහභාගීත්වය නැතිව. ජනතාව සම්බන්ධ වෙන්නෙ නෑ ප්‍රතිලාභ නැතිව. ඒ නිසා අපේ ආර්ථිකයේ පදනම තමයි ජන සහභාගීත්වය. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන නිෂ්පාදන ආර්ථිකයක්. දැන් එහෙම එකක් නෑ. දැන් තියෙන්නෙ භාණ්ඩ ගෙනැල්ලා විකුණන ආර්ථිකයක්.

නිෂ්පාදන අමුද්‍රව්‍ය ගෙනෙන්නත් ඩොලර් ඕන. ගොවිතැන් කරන්නත් ඩොලර් ඕන. කොහොමද එකපාරට මේවා කරගන්නෙ?

නෑ නෑ. එකපාරට කරන්න බෑ. පළමු වැනි පියවර විදියට මේ දේශපාලන අස්තාවරත්ය නැති කරන්න ඕන. ඔබ කිව්වත් වගේ දැන් ආර්ථිකයේ එන්ජින් එක නතර වෙලා තියෙන්නෙ. මේක පණ ගහගන්න එපැයි. පණගහ ගන්නකොට මේ වාහනයේ හැඩය පෙනුම බලල වැඩක් නෑ. මුලින්ම ස්ටාර්ට් කරගන්න ඕන. ඒකට ඩොලර් ඕනනෙ. තෙල් ටික ගෑස් ටික මූලික ආහාර ටික ගේන්න ඩොලර් ඕන. මේ පෝලිම් ටික නැති කරගන්න ඕන. ලංකවේ එළියෙ ඉන්නවා ඩොලර් උපයන මිනිස්සු. මිලියන දෙකාහමාරක් විතර. මේ අය ලංකාවට ආදරය කරන අපේ රටේ මිනිස්සු. ඒගොල්ලන්ට විශ්වාසයක් හැදුවොත් හොරකන් කරන්නෙ නැති ආණ්ඩුවක් දැන් තියෙන්නෙ කියල අවම වශයෙන් එක්කෙනා ඩොලර් දාහ ගාණේ රටට එවනවා. අපි මේ පිනට ඉල්ලනවා නෙවෙයිනෙ. අපි ඉල්ලනවා තමන්ගෙ එකවුන්ට් එකට එවන්න කියල. දැනටත් අපේ ආර්ථිකය පවතින්නෙ මේ ලංකාවේ ඇතුළෙ ඉන්න සෝබන මිනිස්සුන්ගෙන් නෙවෙයි. මැදපෙරදිග, යුරෝපේ රටවල්වල රැකියාව කරල තමන්ගෙ දරු පවුල්වලට නෑදෑයන්ට සල්ලි එවන මිනිස්සු නිසා. ආසන්න වශයෙන් වසරකට එහෙම ඩොලර් බිලියන හතක් එනවා. අපේ අපනයන ආදායම වෙන්නෙත් ඩොලර් බිලියන දහයයි. ඉතින් අපි විශ්වාසයක් හැදුවොත් අපි බලය අරන් තියෙන්නෙ මේ රට හදන්න කියල අවම වශයෙන් ඩොලර් දාහක් එක ශ්‍රී ලාංකිකයකුගෙන් රටට ගෙන්න ගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට ඒ විශ්වාසය ඇතිකරල ඒක කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් ලෝකයත් එක්ක කතා කරල අපේ ණය කපා හරින්න ඉල්ලීමක් කරන්න. වංචාකාරී පාලනයකින් එහෙම ඉල්ලීම් කළාට ලෝකයා ඒක කරන්නෙ නෑ. කොමිස් ඉල්ලන ආණ්ඩුවලට එහෙම ණය කපා හරින්න කියල ඉල්ලන්නත් බෑ.

මේ රටේ දේශපාලන ව්‍යුහය විතර ද දූෂිත. එය වෙනස් කළ පමණින් සියල්ල නිවාරණය වෙයිද?

නෑ.. නෑ.. නෑ… දූෂිත දේශපාලන වළල්ලක් එක්ක දූෂිත නිලධාරී වළල්ලක් ඉන්නවා. ඒ අතර මැද දැන් අලුතින් බිහිවෙච්ච ව්‍යාපාරික වළල්ලක් ඇතිවෙලා තියෙනවා. මේ තුනම එකට ඉන්නෙ දැන්. ඉස්සරනම් දේශපාලකයා යොදා ගත්තා ව්‍යාපාරිකයා විසින්. දැන් ව්‍යාපාරිකයාම දේශපාලකයා වෙලා ඉන්නවා.

හැබැයි මෙවැනි වාතාවරණයක් හමුවේ වුණත් ජනාධිපතිවරයා ඉවත්වෙන්නෙම නැත්නම් ඔබලාට දැන් මොකක්ද කරන්න පුළුවන් ?

ඔව්.. මෙයාල යන්නෙ නෑ. යවන්නයි වෙන්නෙ. මැයි එකොළහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගියේ නෑ. ජනතාව යව්වා. ප.’ බී. ජයසුන්දර, කබ්රාල්, බැසිල්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ගියේ නෑ. තුනෙන් දෙකක් තියාගෙන යන්න කැමැත්තෙන් ආවෙත් නෑ. හැබැයි යන්න සිද්ධ වුණා. කිසිදු ඒකාධිපතියෙක් බලය අතහැරල කැමැත්තෙන් ගිහින් නෑ. ඒ නිසා ජනතාවට සිද්ධවෙනවා යවන්න. දැන් නම් ජනතාව මේගොල්ලන්ව අනිවාර්යයෙන් යවනවා. යන විදිය ඒගොල්ලො තීරණය කරගන්න ඕන. යවන එක ජනතාව තීරණය කරල ඉවරයි.

නව වැනිදායින් ආරම්භ වෙන විරෝධතාවේ ජ. වී. පෙ. කාර්යභාරය මොකක්ද?

නව වැනිදා කියන්නෙ එක දිනයක් විතරයි. අපි හිතනවා එක දිනයකින් තීරණය වෙන දෙයක් නෙවෙයි මේක. නව වැනිදාත් සටන්කාමී දිනයක් නිසා එදාට අපි මේ ජන අරගලයට සහාය දෙනවා. අපේ වෘත්තීය සමීති, ශිෂ්‍ය සමීති, තරුණ සංවිධාන, ග්‍රාමීය මට්ටමේ ජනතාව ඊට සහාය වෙනවා. හැබැයි අපි එදාට විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ගෙදර යවනකන්ම අපි සටන් කරනවා.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment