ආණ්ඩුව වමේ පක්‍ෂවලට කන් දෙන්නේ නැහැ: රටේ පවුල්වලින් 60% ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා

85
  • ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ

ආණ්ඩුව නියෝජනය කරන වමේ පක්‍ෂවල යෝජනා පිළිනොගැනීම නිසා ඉදිරියේදී ජනතාව සම්බන්ධ කරගනිමින් රජයට බලපෑම් කිරීමට සිදුවන බව ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (17 දා) එම පක්‍ෂයේ 86 වන සංවත්සර සමරුවේදී ප‍්‍රකාශ කළේය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මෙම සංවත්සර උළෙලේ මුලසුන ලංකා සමසමාජ පක්‍ෂයේ සභාපති වයි. ජී. පද්මසිරි මහතා විසින් හොබවන ලද අතර වමේ පක්‍ෂවල නායකයන් හා ල.ස.ස.ප. පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන් ඇතුළු පක්‍ෂ සාමාජිකයෝ පිරිසක් මෙම සමරුවට එක්ව සිටියහ.

මෙහිදී ‘වත්මන් අර්බුදය හමුවේ වමේ කාර්යභාරය’ නමින් සංවත්සර දෙසුම පවත්වමින් මෙසේද කීවේය.

වර්තමාන ආණ්ඩුව පිහිටුවූ දා සිට මේ දක්වා සිදුවූ ක‍්‍රියාදාමය සලකා බැලීමේදී අපට පැහැදිලිව පේන්න තිබෙනවා සංධානයේ ඉන්න සහෝදර පක්‍ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නැති බව. පොදුජන පෙරමුණට ඡුන්දය දුන් ඔක්කොම අහනවා අපි බලාපොරොත්තු වූ වෙනස ඇතිවෙන්නේ නැද්ද කියලා. ඔළුගෙඩි වෙනස් වුණාට වැඩක් නැහැ. ප‍්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැත්නම්.

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට පැහැදිලි වැඩපිළිවෙළක් රජය පැත්තෙන් ඉදිරිපත් වී නැහැ. අද බඩගින්න හතර අතේ පැතිරිලා. මේ රටේ පවුල් අතරින් සියයට 60 ක් දරිද්‍රතාවෙන් පෙළෙනවා. ඒ අයට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය

ලබාගැනීමට හැකි වී නැහැ. මේ තුළින් අපේ ඉදිරි පරම්පරාව මන්දපෝෂණයෙන් පෙළීමේ අවදානමක් තිබෙනවා. දැනටමත් අවුරුදු පහට අඩු ළමයින් අතරින් පස්දෙනකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ නිසා ඉදිරියේදී ශාරීරික හා මානසික දියුණුව අපට බලාපොරොත්තු වෙන්න බැහැ. මේ තත්ත්වය පදනම් කරගෙන අපිට කරන්න තියෙන්නේ කුමක්ද කියා තීන්දු කළ යුතුව තිබෙනවා.

ජනතාවට දිගින් දිගටම පීඩනය කිරීම තුළ ජනතාවගේ ඉවසීම ඉක්මවා ගිය අවස්ථාවකදී ආණ්ඩුව පරාජය වීමට ඉඩ තිබෙන බව මතක තබා ගත යුතුයි. අද අපේ මුදල් ඇමැති ඇමෙරිකානු පුරවැසියෙක්. ඔහු දිව්රා තිබෙනවා ඇමරිකාවට පළමු තැන දෙනවා කියලා. එහෙනම් අපට, අපේ රටට මුල්තැන දෙන්නේ කොහොමද?

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment