ආණ්ඩුව වැඩේ අනාගත්තා… දැන් ඩොලරුත් නෑ – රුපියලුත් නෑ… මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

379

ආණ්ඩුවට වගේ නෙවෙයි අපට ජාත්‍යන්තර සහයෝගය තියෙනවා.

මේ අවුලට මාධ්‍යයත් වගකිව යුතුයි

සජිත් තමයි ජනතාවගේ හදවතේ නායකයා

රටක් හැටියට අප ණය උගුලක සිරවී සිටියත් ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද ඒ සම්බන්ධයෙන් කියන්නේ විවිධ කතාය. අප ණය අර්බුදය පිළිබඳව මෙන්ම එම කාරණය හේතුකොටගෙන ආණ්ඩුව බිඳ වැටේද යන කාරණය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විමසා සිටියෙමු.

වත්මන් දේශපාලන පසුබිම පිළිබඳව ඔහු පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – ලබන වසර තුළ ගෙවිය යුතු විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා රට බංකොළොත් වී ආණ්ඩුව කඩාගෙන වැටෙන බවට සමහරුන් අනාවැකි පළ කරනවා.

ඉදිරි වර්ෂය තුළදී රට බංකොළොත් වී ආණ්ඩුව කඩා වැටේවිද?

පිළිතුර – ආණ්ඩුවට දැන් ඩොලරුත් නෑ. රුපියලූත් නෑ. මේක මහා අපරාධයක්. අපේ රජය රට භාර දෙනකොට ඩොලර් බිලියන 8කට ආසන්න විදේශ විනිමය තිබුණා. දැන් එම ප‍්‍රමාණය බිලියන 1.2 දක්වා පහතට බැහැලා තිබෙනවා. ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි අනෙක් මුදල්වලට මොකද වුණේ කියලා. ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන මහ බැංකුවෙන් ප‍්‍රසිද්ධ කරලා තිබෙනවා.

ප‍්‍රශ්නය – මහ බැංකු අධිපතිවරයා සඳහන් කරලා තිබෙනවා මේ වසර අවසන් වනවිට විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 3 දක්වා ඉහළ දමන බව

පිළිතුර – ගිනි පොලියට ආධාර ගන්න පුළුවන්. නමුත් එයින් ප‍්‍රශ්නය අවසන් වන්නේ නැහැනේ. එම මුදල අරගෙන ණය ගෙවනවා. ඊට පසුව අපට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ආහාර, වෛද්‍ය පහසුකම්, ඉන්ධන වැනි දේ මිලදී ගැනීමට මුදල් නැති වෙනවා. ප‍්‍රශ්නය තිබෙන්නේ එතනනේ. ණය අරගෙන ජනවාරි 18 ගෙවන්න තිබෙන ණය මුදල ගෙවයි. ඉහළපෙළේ ආයෝජන සමාගම් 10ක් ප‍්‍රකාශ කරලා තිබෙනවා ඔවුන්ගේ නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට ඩොලර් නොමැති නම් ඔවුන්ගේ ආයෝජන වෙන රටකට ගෙන යෑමට සිදුවන බව.

ප‍්‍රශ්නය – ආණ්ඩු පක්ෂය චෝදනා කරනවා රට ණය උගුලක පැටලූවේ යහපාලන ආණ්ඩුව බව. ඔවුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කරනවා යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට 7%කට ආසන්නව තිබුණ විදේශ ණය ප‍්‍රමාණය වසර හතරහමාරකට පසුව 14%කට ආසන්න අගයක් දක්වා ඉහළ ගිය බව.

ඒ චෝදනාව පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – 1994 සිට වසර 27ක කාලයක් පුරා මේ රටේ ආණ්ඩු කිහිපයක්ම තිබුණා. එම කාලයෙන් වසර 20ක්ම රට පාලනය කළේ පොදුජන එක්සත් පෙරමුණ විසින්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලයේ සිටියේ වසර 7කට ආසන්න කාලයක් තමයි. මෙම කාලය තුළ ලබාගෙන තිබෙන ණය පිළිබඳව සංඛ්‍යාලේඛන අපි සකස් කරලා තිබෙනවා. ඒ අනුව පෙනී යනවා එම කාලය තුළ ඒ ලබාගත් ණයවලින් 3/4ක්ම ලබාගෙන තිබෙන්නේ පොදුජන එක්සත් පෙරමුණ රජයන් විසින් බව.

ඒ වගේම ඔවුන් ලබාගත් ණය ආයෝජනය බැර කරලා තිබෙන්නේ ශත 5 ක්වත් ආදායමක් නොමැති කටයුතුවලට. හම්බන්තොට වරායෙන් තවම ආදායමක් නැහැ. මත්තල ගුවන්තොටුපළින් තවම ආදායමක් නැහැ. පෝට්සිටියෙන් තවම ආදායමක් නැහැ. ඒ වගේම සම්මන්ත‍්‍රණ ශාලා, නෙළුම් කුලූනුු හදලා තිබෙනවා. ආයෝජනයක් නම් එයින් ආදායමක් ලැබිය යුතුයි. අවුරුදු 50කින් ආදායමක් ලැබිලා වැඩක් නැහැනේ. ඒ වගේම අපි ණයක් ගන්නවා නම් අපිට එහි ණය වාරිකය ගෙවන්න පුළුවන් වෙන්න ඕනි.

ප‍්‍රශ්නය – ආණ්ඩු පක්ෂයෙන් ඔය චෝදනාවලට පිළිතුරු ලබාදී තිබෙනවා. ඔවුන් ප‍්‍රකාශ කරනවා නෙළුම් කුලූනේ ණය වාරිකය ටී. ආර්. සී. එකෙන් ගෙවන බවත්, හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණයේ වාරිකය වරාය අධිකාරියෙන් ගෙවන බවත්, ඒ වගේම ඔවුන් ප‍්‍රකාශ කරනවා සම්මන්ත‍්‍රණ ශාලාව ප‍්‍රදානයක් බවත් එම නිසා රාජ්‍ය ණය ප‍්‍රමාණය වැඩිවීමට එම ආයෝජන හේතු නොවූ බවයි ආණ්ඩු පක්ෂය ප‍්‍රකාශ කරන්නේ.

එම ප‍්‍රකාශයන් සමග එකඟ වෙන්න පුළුවන්ද?

පිළිතුර – ඔය එක එක කතා කියන්න පුළුවන්. නමුත් බලන්නකෝ රටේ සමස්ත චිත‍්‍රය දෙස. රටේ ඩොලර් නැහැ. රුපියල් නැහැ. ගෑස් නැහැ. පොහොර නැහැ. බෙහෙත් නැහැ. ඉන්ධන පිළිබඳවත් ගැටලූ තිබෙනවා.

රට භාර දෙන්නේ අවුරුදු 5කට නේ. ආණ්ඩුවක වගකීම වන්නේ එම කාලය තුළ රට කරවීමට අවශ්‍ය යාන්ත‍්‍රණය පවත්වාගෙන යෑම තමයි. දැන් නිදහසට කරුණු කියලා වැඩක් නැහැනේ.

මේ වනවිට කොයි පැත්තෙන් ද ජනතාවට සහනයක් තිබෙන්නෙ. කිසිම පැත්තකින් සහනයක් නැහැනේ. ඒ වගේම මේ වනවිට රටේ කිසිම පාලනයක් නැහැනේ. දැන් රට ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා. වී මිල තීරණය කරන්නේ පොලොන්නරුවේ වී මාෆියාව විසින්. ගෑස් මිල තීරණය කරන්නේ කොම්පැනි, පොහොර කවුරු ගෙනාවද කියලා අපි දන්නේ නැහැ. ඒ සම්බන්ධ ගැසට් පත‍්‍ර දවසින් දවස වෙනස් කරනවා.

ආණ්ඩුවක් තිබෙනවාද කියලා බලාගන්න තිබෙන හොඳම සාධකය තමයි මිල පාලනය. අපි තරුණ කාලයේදී නුවර උසාවියේ වැඩ කරන කාලයේ බඩු මිල පාලනය කඩ කිරීම නිසා වෙළෙන්දන් 40ක් 50ක් මිල පාලනයකින් තොරව බඩු විකිණීම නිසා උසාවියට රැගෙන එනවා. මොකද ඒ කාලයේ මිල පාලන දිනය කියලා දිනයක් වෙන්කර තිබුණා. ඊට පසුව බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම මිල පාලනය කෙරුවා. මේ ආණ්ඩුවට පරිපාලන හැකියාව නොමැති නිසා එම කටයුතු අත්හැරලා තිබෙන්නේ. ඊට හේතුව තමයි මෙම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය තුළ අදක්ෂ පුද්ගලයන් සිටීම. සුසිල් පේ‍්‍රමජයන්ත, එස්. බී. දිසානායක, චන්දිම වීරක්කොඩි වගේ පළපුරුදු අය සිටියානේ. ඒ අය උගත් අය. ඒ අතර නීතිඥයන්, උපාධිධාරීන් සිටිනවා. නුමත් ඒ අයට අවස්ථාවක් නැහැ. මෙතන වගකීමක්

භාරගන්න කෙනෙක් නැහැ. බෝලේ පාස් කරන එකමනේ කරන්නේ.

ප‍්‍රශ්නය – ආර්ථික විශේෂඥයන් මෙන්ම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත් යෝජනා කරලා තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. එම යෝජනාව පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද.

පිළිතුර – ආණ්ඩුව මොන තීරණයක් ගනීවිද කියලා අපට කියන්න බැහැ. නමුත් අපට එකක් කියන්න පුළුවන්. ඒ තමයි දැන් ඇති වෙලා තිබෙන මුල්‍ය අර්බුදය විසඳීමට නම් ජාත්‍යන්තර සහයෝගය තිබෙන ආණ්ඩුවක් බලයේ සිටිය යුතු බව. ජාත්‍යන්තරය සමග හොඳ හිත තබාගත්තොත් තමයි අපිට මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියදී 2012, 2013, 2014 යන වසරවලදී අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම විසින් යෝජනා සම්මත කළා. එම ආණ්ඩුව 2015 දී ඡුන්දයකට ගියේ සම්බාධකවලට මුහුණ දීමට බැරි නිසා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගමන් කරන්නේ එම ආණ්ඩුව ගිය මාර්ගයේම තමයි. පළමු අවුරුද්දේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනාවකින් අපි පරාජයට පත්වූවා. ඒ වගේම යුරෝපා සංගමයත් අපට විරුද්ධව යෝජනා සම්මත කරලා තිබෙනවා. එම නිසා මේ ආණ්ඩුවට මේ ප‍්‍රශ්නය කොහොමත් විසඳන්න බැහැ. මොකද ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය ආකාරයට මේ ආණ්ඩුව රට පාලනය කරන්නේ නැහැ. මොකද අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් යම් ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. එම ගිවිසුම් අනුව කටයුතු කරනවා නම් මේක එතරම් ලොකු දෙයක් නොවෙයි. මේ ආණ්ඩුවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය බිංදුවයි.

අපේ ආණ්ඩුවක් තිබුණ නම් අපට පුළුවන් සහන කොන්දේසි ලබා ගන්න. මොකද අපි ඒ අයත් සමග වැඩ කිරීමට සූදානම් නිසා. ජාත්‍යන්තරය සමග කටයුතු නොකරන ආණ්ඩුවකට අයි. එම්. එෆ්. දැඩි කොන්දේසි ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුව ණය ඉල්ලූවොත් දැඩි කොන්දේසි දානවා. නමුත් ජාත්‍යන්තරය සමග කටයුතු කරන අපේ ආණ්ඩුවකට අයි. එම්. එෆ්. එක සමග සාකච්ඡා කරලා ලිහිල් කොන්දේසි යටතේ ණය ලබා ගන්න පුළුවන්. එම නිසා මම විශ්වාස කරනවා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් නම් අපට ලිහිල් කොන්දේසි යටතේ අයි. එම්. එෆ්. එකෙන් ණය ලබාගත හැකි බව.

අපි කැමැති වුවත්, අකැමැති වුවත් මේ රටේ 30%ක් ඉන්නේ සුළු ජාතීන්. සුළු ජාතීන්ට හිරිහැර කරන ආණ්ඩුවකට සිද්ධාන්තයක් විදියටම ජාත්‍යන්තරය උදව් කරන්න්නේ නැහැ. මේ අයට කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නැහැනේ. 2015 දී අපි බලයට පත්වූවා. ඒ අවස්ථාවෙ මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද්ද කිව්වේ. ඒ මහතා ඒ අවස්ථාවේදී කිව්වා මාව දංගෙඩියට අරන් යන්න හදන බව. නමුත් දංගෙඩියට අපිත් ගියාද? නැහැනේ. මොකද අපේ ආණ්ඩුව පළමු අවුරුදු දෙකේදී හොඳට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළා. අපි ඔවුන් සමග වැඩ කරනවා කියන්නේ ඔවුන් කියන එකම කරන එක නොවෙයි. නමුත් ඒ අයත් සමග සංවාදයක් තිබිය යුතුයි. ඒ අය යෝජනා 5ක් ඉදිරිපත් කළොත්, එම යෝජනාවලින් 1ක් කරලා ඉතිරි 4 පිළිබඳව නිරන්තර සංවාදයක් පවත්වා ගත යුතුයි. අපි ඔවුන් සමග මිත‍්‍ර විය යුතුයි. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේදී ජාත්‍යන්තර සංවිධානවල නිලධාරීන් සමග අපි සාකච්ඡා කරද්දි ඔවුන්ගේ සම්පූර්ණ නම කියලා තමයි කතා කළේ. නමුත් වසර 2ක් පමණ ගත වෙද්දී ‘හලෝ ජොන් හලෝ මිල්’ කියලා තමයි කතා කළේ. අපි කාලයත් සමග ඔවුන් එකක් මිත‍්‍ර වූවා. කැත්තට පොල්ල වගේ ඉඳලා මේක කරන්න බැහැ.

ප‍්‍රශ්නය – යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමග ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර මතෙභේද ඇති වී තිබෙනවා.

එම ගිවිසුම සහ ආණ්ඩුව තුළ තිබෙන මතගැටුම් පිළිබඳව ඔබගේ ආකල්පය කුමක්ද?

පිළිතුර – මේ ආණ්ඩුව යුගදනවි ගිවිසුම ගැන ටෙන්ඩර් කැඳවූවා. නමුත් ටෙන්ඩර් එක යන අතරෙදී එම ටෙන්ඩරයට ඉල්ලූම් නොකළ සමාගමක් සමග මේ ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කළා. ඒක පැහැදිලිවම නීති විරෝධී කි‍්‍රයාවක්.

තරහ වෙන්න එපා කිව්වට අද රටේ ඇති වී තිබෙන තත්ත්වයට මාධ්‍යයන් වගකිව යුතුයිනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එම මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියකු
ගෝඨාභය මහතාගෙන් විමසා සිටියා ලංකාවේ තිබෙන විශාල ණය බර විසඳන්නේ කෙසේද කියන එක. නමුත් ඔහුට එම ප‍්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට නොහැකිව මහින්ද රාජපක්ෂ මහතා දෙස බලා සිටියා. එම අවස්ථාවේදී ඒ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින්.

එබඳු සිදුවීමක් පිටරටකදී සිද්ධ වූවා නම් ගෝඨාභය මහතා ඡුන්දයෙන් පරාජයට පත් වෙනවා. මොකද වෙන රටකදී එහෙම දෙයක් සිද්ධ වූවා නම් එම රටවල මාධ්‍ය එම සිද්ධිය දිගින් දිගට අරගෙන යනවා. නමුත් ලංකාවේ මාධ්‍ය ඔහුගේ හැකියාව නොහැකියාව පෙන්වූයේ නැහැ. මාධ්‍යවල යුතුකම තමයි අපේක්ෂකයන්ගේ හැකියාව සහ නොහැකියාව ජනතාවට පෙන්වාදීම. නමුත් ලංකාවේ මාධ්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා පුම්බන එක තමයි කළේ.

එම නිසා අද මේ රට තුළ මේ ආණ්ඩුව බලයට පත්වන විට නොතිබුණ ප‍්‍රශ්න ඇති වී තිබෙනවා. ගොවි ජනතාව අද මුහුණ දී තිබෙන ප‍්‍රශ්න කොවිඞ් වසංගතය නිසා ඇති වූ ඒවා නොවෙයිනේ. අවුරුදු 10 තුළ හඳුන්වා දෙන කාබනික පොහොර වැඩපිළිවෙළ වසරක් තුළ කි‍්‍රයාත්මක කිරීමට ගියා. ඒකයි මේ ප‍්‍රශ්න ඇති වුණේ.

අනික මේ ආණ්ඩුව තුළ එකමුතුකමකින් වැඩ කරන්නේ නැහැනේ. ජනාධිපතිතුමා ඇමැති මණ්ඩලය කොන් කරලා වගේ තිබෙන්නේ. වැදගත් අමාත්‍යාංශවලට කාර්යසාධක බලකායන් පත් කරලා. එම නිසා ඇමැතිවරුන්ට කරන්න වැඩක් නැති තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවහොත් දැනට තිබෙන ප‍්‍රශ්න විසඳිය හැකි බව.

එහෙත් සජිත් පේ‍්‍රමදාස මහතා ඉවත් කර ජනාධිපති අපේක්ෂක ධුරය ලබා ගැනීමට චම්පික රණවක වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා නේද?

පිළිතුර – මම නම් දන්නේ නැහැ. කොහොම ගන්න හදනවද කියලා. නමුත් මම නම් ඇස් දෙකෙන්ම දැක්කා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් වෙන කොට අපිට හරියට පක්ෂයක්වත් තිබුණේ නැහැ. අපට කාර්යාලයක් තිබුණේ නැහැ. පාක්ෂිකයන්ගේ නම් ලැයිස්තුව තිබුණේ නැහැ. නමුත් අපි රට වටේම ගියේ ‘සජිත්, සජිත්’ කියන මන්තරය ජප කරලානේ. එම නිසා තමයි ආසන පනස් ගණනක් ලැබුණේ.

සජිත් පේ‍්‍රමදාස මහතාට ග‍්‍රාමීය ජනතාවගේ විශාල ආකර්ෂණයක් තිබෙනවා. අපි ඡුන්දය ඉල්ලන්න ගිය ගමන් ජනතාව ඇසුවේ අපි සජිත්ගේ පැත්තේ ද කියන එක තමයි. දුප්පත් මිනිසුන් තුළ විශාල විශ්වාසයක් ඇති වී තිබෙනවා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඔවුන් බලාගනීවි කියලා. ඒක තමයි දැන් රටේ තිබෙන තත්ත්වය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන රටවල්වල වසර දෙකකට වරක් කුමක් හෝ මැතිවරණයක් පවත්වනවා. එම නිසා ජනමතය උරගා බැලීමට අවස්ථාව උදාවනවා. මම හිතනවා දැන් ඒ සඳහා කාලය උදා වී ඇති බව. ඒක ආණ්ඩුවටත්, විපක්ෂයටත් හොඳයි. පළාත් පාලන මැතිවරණය නම් කල්දාන බව කියනවා. පළාත් සභා මැතිවරණය නීතිමය ගැටලූ නිසා පවත්වන්න බැහැ. මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය සංශෝධන කිරීමට අවශ්‍ය සහයෝගය දෙන්න අපි සූදානම්. ඡුන්දයක් තිබ්බොත් ආණ්ඩුවටත් තමන්ගේ ජනපි‍්‍රයතාවය මැන ගැනීමට අවස්ථාව උදාවනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment