ආණ්ඩුව විසඳිය යුතු ඊළඟ ප්‍රශ්නය මෙසේය

932

වසර 2019 දෙසැම්බරයේදී කොවිඩ් 19 චීනයට එයි. වසර 2020 මාර්තු මාසයේදී කොවිඩ් ලංකාවට එයි. වසර 2021 අප්‍රේල් මාසය වනවිට ලංකාව ආර්ථික අල ගොඩක් වීමට පටන් ගෙනය. මේ අල ගොඩේ ඇති කුණු අලවලින් නිකුත් වූ ඇමෝනියා සහ මීතේන් වායුවලින් මුළු ලංකාවේම ආර්ථිකය ගඳ ගසන්නට පටන් ගනී. ඒ වනවිට ලංකාව රසායනික පොහොර ඉවතදා කාබනික පොහොරවලට මාරු වෙමින් සිටියේය. අසරණ මිනිහෙකු වූ ගෝඨාභය රාජපක්ෂට කාබනික පොහොර ලණුව සම්පූර්ණයෙන්ම දෙන ලද්දේ වියත්මගේ සිටි කියත් හිමියන් විසිනි. ඒ නිසා මේ රටේ ආර්ථිකය තවදුරටත් කා දැමීමට වියත්මග වගකිව යුතුය. කෙසේ හෝ වේවා 2022 ජනවාරි වනවිට අපට කන්න බොන්න පවා සල්ලි නැති විය. දිනකට පැය 12 ක් විදුලිය කපන ලදී. දවස් තුනක් තෙල් පෝලිමේ හිටියොත් තෙල් ලීටර් 20 ක් ලබාගත හැකි විය. එයද pending තත්ත්වයක පැවතියකි. සමහරවිට තුන් දවසක් පෝලිමේ සිට පෙට්‍රල් ෂෙඩ් එකේ පොම්පය ළඟට එනවිටම තෙල් ඉවර විය. ආණ්ඩුව ඒ වනවිට කොතරම් නරක තත්ත්වයකට පත්ව තිබුණේද යත් පාසල්වල වාර විභාග පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කර ගැනීම සඳහා කඩදාසි ටික පවා පිට රටින් ගෙන්වා ගැනීමට සල්ලි නැති තත්ත්වයක පසුවිය. ඒ අනුව වාර විභාග පැවැත්වීම අත්හිටුවන ලදී. මේ අතර ශ්‍රී ලංකාව තුළ ආහාර උදෙසා ප්‍රචණ්ඩ ක්‍රියා හටගනිතැයි ඉන්දියාව බිය විය. එයට හේතුව එවැනි තත්ත්වයක් යටතේ ලාංකික සරණාගත ප්‍රශ්නයක් හටගතහොත් එහි බලපෑම කෙළින්ම ඉන්දියාවට එල්ල වීමය. මේ නිසා ඉන්දියාව අපට ණය ආධාර වශයෙන් ඩොලර් බිලියන 2.5 ක් ප්‍රදානය කළේය. අප මේ මතක්කර දුන්නේ ජනයාට අමතක වෙමින් තිබෙන කතාවකි. දැනට මේ රටේ මිනිසුන්ට මතක තිබෙන්නේ අරගලයක් හටගත් බවත් අලුත් ආණ්ඩුවක් සහ අලුත් ජනාධිපති කෙනෙක් පත්වූ බවත් පමණි.

අලුත් ආණ්ඩුව විසින් ප්‍රමුඛ ප්‍රශ්න කිහිපයක් විසඳා ඇති බව අපට වැටහේ. තෙල් ප්‍රශ්නය, විදුලි ප්‍රශ්නය සහ ආහාර හිඟය දැනටමත් විසඳනු ලැබ ඇත. එහෙත් කඩදාසි ප්‍රශ්නය විසඳා ගැනීමට අපට තවමත් හැකිව නැත. එයට හේතුව ඩොලර් හිඟයයි. රුපියල් 160 ට තිබූ ඩොලරය රුපියල් 385 දක්වා වැඩිවීමත් සමගම පිට රටින් ගෙන්වන කඩදාසි මිල හතර ගුණයකින් ඉහළ ගියේය. ලංකාවේ විශාල කඩදාසි මෝලක් ඇත. නැගෙනහිර පළාතේ වාලච්චේනායි ප්‍රදේශයේ මේ කඩදාසි මෝල තිබේ. මෙය 1970 – 1977 අතර දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ගොඩනඟන ලද ගොන් project එකකි. සාමාන්‍යයෙන් කිසියම් රටක් කඩදාසි කර්මාන්ත ශාලාවක් තනන්නේ කඩදාසි සැදීම සඳහා අවශ්‍ය දැව පල්ප් ලබාගත හැකි වනාන්තර ප්‍රමාණවත් පරිදි රට තුළ තිබෙන්නේ නම් පමණි. මේ වනාන්තර ද තේක්ක, හල්මිල්ල, බුරුත, කළුවර වැනි දැව වර්ගයන්ගෙන් නොව පුළුන් ලී වැනි සැහැල්ලු දැව වලින් පිරී ගොස් තිබිය යුතුය. එහෙත් ලංකාවේ එවැනි වනාන්තර නැත. එසේම කඩදාසි පල්ප් ගෙන්වීමට අපට සල්ලි තිබුණේද නැත. ඒ අනුව පරණ කඩදාසි රාත්තල් ගාණට මිලට ගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි සෑදීමට අපට සිදුවිය. එම කඩදාසිවලින් බ්‍රවුන් පේපර් සහ සිමෙන්ති බෑග් පමණක් සෑදීමට හැකි විය. අද වනවිට මේ රටේ අභ්‍යාස පොත්වල මිල බෙහෙවින් ඉහළ ගොස් තිබේ. සමහර තැන්වල එම මිල හතර ගුණයකින් ඉහළය. මෙහිදී 1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මෙරට ශිෂ්‍ය පරම්පරාවට ලබාදුන් මහඟු ත්‍යාගයක් ගැන සඳහන් කළ යුතුය. එනම් ලංකාවේ දරුවන්ට අවශ්‍ය අච්චු පොත් නොමිලේ ලබා දීමයි. 1977 ට පෙර පාසල් විෂය නිර්දේශයට අයත් අච්චු පොත් සියල්ල මිලදී ගතයුතු විය. අද කාලයේ හැටියට අච්චු පොතුත් සල්ලිවලට ගන්නට සිදුවුණා නම් මළ ජංජාලයක් සිදුවනවා ඇත. අච්චු පොත් නොමිලයේ ලබාදීමේ පුරුද්ද 77 න් පසු පහළ වූ සියලු ආණ්ඩු අඛණ්ඩව කරගෙන යෑම ගැන අපගේ ස්තුතිය හිමිවේ. ඒ අතර ලංකාවේ සියලු පාසල්වලට දෛනික දිවා ආහාර වේල නොමිලේ ලබා දීමටද මේ ආණ්ඩුව කටයුතු කරගෙන යයි. මේ ගැනත් අප ස්තුතිවන්ත වෙමු. හැබැයි පාසල්වලට අවශ්‍ය අභ්‍යාස පොත් සහ වෙනත් ලිපි ද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා පාසල් දරුවන් මුහුණ දී සිටින විශාල අර්බුදයෙන් ඔවුන් ගලවා ගැනීමට ආණ්ඩුව වහාම කුමක් හෝ කළ යුතුය. මේ සඳහා යුනිසෙෆ් වැනි ජාත්‍යන්තර සංවිධානවල ආධාර ලබාගත හැකි නම් එය විශාල උදව්වක් වීමට ඉඩ තිබේ.

මේ රටේ ජනයාගේ දෛනික ආදායම සහ බඩු මිල අතර විශාල පරතරයක් පවතී. අද වනවිට අග්නි දිග ආසියාවේ රටවලත්, වෙනත් රටවල් බොහොමයකත් තත්ත්වය මෙය බව අපි පිළිගනිමු. උදාහරණයක් ලෙස පකිස්ථානය වැනි රටක් ගත්තොත් ඒ රටේ ළමයි අධ්‍යාපනය සඳහා අවශ්‍ය පත පොත මිලදී ගැනීමට අතේ සතේ නැතිව නන්නත්තාරව සිටිති. එහෙත් එය නිදහසට කාරණයක් ලෙස දැකීමට අපට නොහැකිය. ලෝක තත්ත්වය කෙසේ වෙතත් අපේ ඇඟට දැනෙන්නේ අපේ බැරි අමාරුකම් සහ අපේ කුසගින්න පමණි. මේ රටේ ආණ්ඩුව සිය ඊළඟ පියවර ලෙස පාසල් දරුවන්ගේ ලිපි ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment