ආණ්ඩුව සර්වපාක්ෂික නෑ! විපක්ෂයත් හරි පාරක යන්නේ නෑ! – පාඨලී චම්පික රණවක

193

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාඨලී චම්පික රණවක මහතා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය. එවැනි තීරණයක් ගැනීමට හේතු කවරෙක් ද යන්න ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව විමසීම සඳහා දිවයින ඉරිදා සංග්‍රහය ඒ මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු.

පහතින් පෙළ ගැසෙන්නේ 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග සිදු කළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ඔබ බලාපොරොත්තු වූ දේශපාලන වෙනස සමගි ජන බලවේගය තුළින් සිදු වුණේ නැද්ද.?

පිළිතුර – අපට එහෙම එකක් දකින්න ලැබුණේ නැහැ. ඒ ගැන විවේචනයක් අපට තිබෙනවා.

ප්‍රශ්නය – එම විවේචනය තිබෙන්නේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සමගද? එසේ නොමැති නම් මුළු පක්ෂය සමඟ ද?

පිළිතුර – අපගේ විවේචනය කුමක්ද යන්න අප සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂයට ඉදිරිපත් කර තිබෙනවා. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අනවශ්‍යයි. ඔවුන් අප මිත්‍ර පක්ෂයක්.

ප්‍රශ්නය – ඔබතුමා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කරන්නේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට යැයි චෝදනා එල්ල වෙනවා.

පිළිතුර – මතක තියාගන්න අපි පදවි තානාන්තර වලට අපේ ප්‍රතිපත්ති පාවා දෙන අය නෙමෙයි. අපි පදවි තානාන්තර අත ඇරලා රාජපක්ෂලා පරාජය කර හිර ගෙවල්වල ලැගපු අය. ඔය චෝදනා කරන කිසිවෙක් එහෙම දේවල් කරලා නැහැ. අපි තීරණ ගන්න බය මිනිස්සු නෙවෙයි. අපි කිසිසේත් මේ රජයට එකතුවෙන්නේ නැහැ. නමුත් මෙම ආණ්ඩුවට අප ගල් ගහන්නේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන්න මාර්ග සිතියමක් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි මාස හයක කාලයක් සඳහා රට ගෙනයන්න ඩොලර් බිලියන හයක් සහ රුපියල් ටි්‍රලියනයක් අවශ්‍ය බව ඔහු සඳහන් කර තිබෙනවා. රුපියල් ටි්‍රලියනය මුද්‍රණය කර ලබාගත හැකියි. නමුත් ඩොලර් බිලියන හය ලබාගන්න වෙන්නේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරලා. ඊට අපේ මිත්‍ර රටවලුත් ඇතුළත්. අපි ඔය කතා කරන ජපානයත් ඊට අයත්. අපි ණය බලාපොරොත්තුවන ඉන්දියාව, චීනයත් ඒකට අයත්. ඔවුන්ට සහ අන්තර් ජාතික මූල්‍ය වෙළෙඳපොළට අයත් ඩොලර් බිලියන 26ක ණය අපි ගෙවන්නෙ නෑ කියල අපි අප්‍රේල් 12දා ප්‍රකාශ කළා. එසේ තිබියදී ඒ අය අපට උදව් කරන්නෙ කොහොමද.

සමහරු උදව් දෙන්න ඉන්නවා නම් අපේ දේශපාලන ස්වෛරීත්වය විනාශ කරන්න ඒ උදව්ව අපට පිළිගන්න අමාරුයි. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවෙදි විකල්ප මාර්ගයක් තෝරගන්න ඕන. අපි විසින්ම අපේ ඩොලර් ඉපයීම ධනාත්මක එකක් කරගන්න ඕන.

රුපියල් ඉපයීම ධනාත්මක එකක් කරගන්න ඕන. ඒ වගේම දැනට අයාලේ යන ආර්ථිකය සෘණ වෙනව. දැනට වාර්තාගත වන විදිහට මේ වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 7යි. මේ විදිහට සෘණ වන ආර්ථිකය ඇතුළෙ අපි ඒක සැලසුම්සහගත විදිහට අත්‍යවශ්‍ය දේවල් තබාගනිමින් ඒ කටයුත්ත කරන්න ඕන. උදාහරණයක් හැටියට මේ රටට අත්‍යවශ්‍යයෙන්ම ඩොලර් උපයන කර්මාන්ත ශාලාවකට ඩීසල් නැත්නම්, දේශපාලන හයිය තියෙන දේශපාලනඥයන්ගෙ හෝටල්වලට ඩීසල් ගස්සනව නම් ඒක වැරැදියි. අප ආණ්ඩුවට එක් නොවන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා.

ප්‍රශ්නය – එම ප්‍රතිපත්තිමය ගැටලුව කුමක්ද ?

පිළිතුර – මෙම ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂය වන සමගි ජන බලවේගය, ආණ්ඩුවෙන් කැඩී වෙන්ව ගිය ස්වාධීන කණ්ඩායම්, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග පොදු ප්‍රතිපත්තියක් පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙන යෑමට නායකත්ව මණ්ඩලයක් පත්කළ යුතුව තිබුණා. එසේම ප්‍රජාතන්ත්‍රවාදී හා ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳ කාලවකවානු සහිත න්‍යාය පත්‍රයක් සකස් කළ යුතුව තිබුණා. අර දින සීයේ වැඩසටහන වගේ. එසේම බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ හිතවතුන්, අතිශය දූෂිත නිලධාරීන් වෙනුවට, වෘත්තීය මට්ටමේ නිලධාරී පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතනවලට පත් කොට, ඔවුනට යම් ඉලක්කගත වැඩපිළිවෙළක් ලබා දිය යුතුව තිබුණා. කිසිවක් සිදු වෙලා නැහැ. අපට තවම පෙනෙන්න තිබෙන්නේ සැලුන් දොර ඇරුනා වගේ තත්ත්වයක්. පොදුජන පෙරමුණ කතා පවත්වන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් කුලියට මන්ත්‍රී දුන්නා වගේ තත්ත්වයක සිට. ඔහු ආවේ ඩොලර් හොයන්න. ඩොලර් හොයන්න බැරිනම් යන්න වගේ කතා තමයි දැන් කියන්නේ. විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන දින පිළිබඳව හෝ තවම එකඟතාවක් නැහැ.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොලැබුණහොත් කුමක්ද වෙන්නේ යන්න ප්‍රශ්නයක්. ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද?

පිළිතුර – අපි පුළුල් සාකච්ඡා මණ්ඩපයක් ඇති කර වෘත්තීය මට්ටමේ පිරිස් එකතු කර ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමට අප උත්සාහ ගන්නවා. ශ්‍රී ලංකාවේ ආර්ථික පදනම ශක්තිමත් කරගැනීමට, දේශීය වශයෙන් ආර්ථික බලයක් නැවත ගොඩනඟා ගැනීමට හැම ක්ෂේත්‍රයක්ම ගොඩනගා ගැනීමට මේ අර්බුදය අපි අවස්ථාවක් කරගත යුතුයි. ඒ මතයේ ඉඳගෙන ඒ හා සමානව හිතන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වගේම පිටතින් ඉන්න අරගලයට සම්බන්ධ වී ඉන්න පිරිස්, වෘත්තීයවේදීන් සමග සංවාදයක් ගොඩනගා ගනිමින් රටෙන් පලා නොගොස් මේ රට ගොඩනගා ගැනීම සඳහා කැප වෙන්න කැමති සෑම කෙනෙක් එක්කම පුළුල් වේදිකාවක් තනා ගැනීම තමයි අපි අරමුණු කරගෙන තියෙන්නේ. ඒක පටු අරමුණක් නෙවෙයි. සමගි ජන බලවේගය අපි මිතුරු බලවේගයක් කොටයි සලකන්නේ. එහි අනාගත පියවර මත, අපේ අනාගතය තීරණය වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න රාජපක්ෂ විරෝධී අවංක පිරිස් සියල්ලටම අපි ආරාධනා කරනවා. දැන් ඇති ඔය බලවේගෙන් අත් මිදිලා මේ රට නව මාවතකට ගෙනියන්න අපි එකට අත්වැල් බැඳගමු. අපි එක ගමනක් යමු. පවුල්වාදයටත්, පාදඩ වාදයටත් එරෙහිව අපේ මව්බිම ගලවා ගැනීම සඳහා මෙහෙයුමක් කරන්න අවශයි.

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහතා මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණා. ඒ වෙනුවට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට එන බව සඳහන් වෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – ධම්මික පෙරේරා මහත්මයත් ආණ්ඩුවේ වගකීම් දැරුවා. ආයෝජන මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කළා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කළා. ඔහුත් විටින් විට නොයෙක් දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට. ඉතින් ඔහු මොකක්ද කරන්නේ කියලා අපි බලමු. මම හිතන්නෑ ඔහුගේ පුද්ගලික ධනයට හෝ ඔහුගේ පුද්ගලික හැකියාවට මේ බංකොලොත් රට ගොඩනගා ගැනීමට තියෙන වැඩසටහනට ඔහුට හැකිවෙයි කියලා දායකත්වයක් ලබා දෙන්න. හැබැයි ඒක ඔහුගේ පුද්ගලික තීරණයක්. ඔහුව දැන්ම විවේචනය කරන්න අපි ඉදිරිපත් විය යුතු නෑ.

බැසිල් රාජපක්ෂ මහත්තයා තවත් රඟපෑමක්ද දන්නෑ කරන්නේ. මේ අවස්ථාවේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙන් ගැලවෙන්න. බැසිල් මහත්තයා විතරක් නෙමෙයි, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක, මේ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා දේශපාලනයෙන් ඉවත් වීම තමයි ලංකාවේ මේ මොහොතේ මේ පවතින තත්ත්වයට තියෙන යුක්ති සහගත විසඳුම්. මොකද යුක්ති සහගත විසඳුම කියන්නේ මේ පවුල තමයි මේ රට මෙතෙන්ට වැට්ටුවේ. අපේ දරුවොත් අපිවත් 1960 ට අරන් ගියේ. නැවත වතාවක් අපේ මිනිස්සුන්ට පයින් යන්න, බයිසිකලෙන් යන්න, හරක්ගෙන් කුඹුරු හාන්න, වෙලෙන් වතුර ටික බීලා, ඇළෙන් නාන්න සකස් කළේ. විදුලිය නැති රටක් හැදුවේ මේ පවුල. මේ පවුල තමන්ගේ ධනය උපයාගෙන තියෙනවා 2300 දක්වා. ඒ නිසා යුක්ති සහගත විසඳුම තමයි මොවුන් ඉවත් වීම. ඉතින් ඔහු සද්භාවයෙන් ඉවත් වෙලා, ඔහුගේ මව් රටට යනවා නම්, රටට ලොකු උදව්වක්.

ප්‍රශ්නය – මේ වෙද්දි රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තියෙනව. මිනිස්සුන්ට කන්න බොන්න නෑ, විදුලි නෑ, ගෑස් නෑ.. කොයි අතකින්වත් සහනයක් නෑ. මේකට ආණ්ඩුවට දෙන්න පුළුවන් විසඳුමක් තියෙනවද ඔබ දකින විදිහට.

පිළිතුර – කවුරු හරි කියනව අපි ආවම ඩොලර් වැහි වහිනව, අපි ආවම මිත්‍ර රටවල් උදව් කරනව කියන පුරාජේරු කතා අපට ඇහෙනව. මේවා පට්ටපල් බොරු. අපි කරන්න ඕන දැනට අපි විඳින මේ ආර්ථික පීඩාව කිසියම් ආකාරයකට අඩුවන ආකාරයකට අවම කරගැනීමට කටයුතු කිරීම. ප්‍රමුඛතාව හඳුනාගන්න ඕන. උදාහරණයක් විදිහට ඩීසල්වලට අපි ප්‍රමුඛතාව දෙන්න ඕන. ඩීසල්වල මිල පෙට්‍රල් මිලට වඩා රුපියල් 150 කින් අඩුකරන්න ඕන. බස් එකට දුම්රියට, පාසල් ප්‍රවාහන රථවලට, කාර්යාල ප්‍රවාහන වාහනවටල ඩීසල් ටික දෙන්න ඕන. ඊට පස්සෙ තමයි පුද්ගලික ප්‍රවාහනයට තෙල් දෙන්න ඕන.

ප්‍රශ්නය – මේ වෙද්දි ගෝල්ෆේස් අරගලයට දින 50ක් ගතවෙලා තියෙනව. තාම අරගලකරුවන් කියන දේ ගැන පාර්ලිමේන්තුව සංවේදී නැහැ. ඇයි මේ එහෙම වෙන්නෙ?

පිළිතුර – මෙහෙමයි… නායකයොනෙ මේ පාලනය කරන්නෙ. අද දේශපාලනය පක්ෂ නෑ. අද තියෙන්නෙ නායකයො විසින් හසුරුවන දේවල්. දේශපාලන පක්ෂයක් නම් යම් වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් මත ගොඩනැගෙන්න ඕනනෙ. එහෙම යම් ප්‍රමාණයකට විතර තියෙන්නෙ මාක්ස්වාදී දේශපාලන පක්ෂ කීපයකට විතරයිනෙ. අනෙක් පක්ෂ නායකයො හසුරුවන දේවල්. නායකයො අත උස්සන්න කිව්වාම අත උස්සනව. 17ටත් අත උත්සනව, 18ටත් අත උත්සනව, 20ටත් අත උස්සනව, 21ටත් අත උස්සනව. මේක තමයි පාර්ලිමේන්තුවෙ ක්‍රමය. මේක අපි වෙනස් කරන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විතරක් නෙමෙයි වෙනස් කරන්න ඕන, පක්ෂවල ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕන. එහෙම වෙනස් කරල ප්‍රජාතාන්ත්‍රිත සම්ප්‍රදායයක් රටේ ඇතිකරන්න ඕන නායකයන් ඉවත් කරන්න.

ප්‍රශ්නය – ඔබගේ ස්වාධීන වීම මහපොළොවෙන් හටගෙන තියෙන අරගලයට නායකත්වය දීම සඳහාද?

පිළිතුර – නෑ… මම නායකත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අලුත් නායකයන් බිහිවිය යුතුයි. තරුණ පෙළක් නැගිටලා තියෙනව. ඔවුන්ට මේ රටේ දේශපාලන නායකත්වය ලැබිය යුතුයි. ඒ සඳහා කරන්න ඕන කැපවීම කරන්න මම ලෑස්තියි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment