ආණ්ඩුව හදන්නේ පොහොට්ටුවෙන් ජනපතිවරයෙක් හා අගමැතිවරයෙක් පත්කරන්න

157

සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රට ගොඩගන්න අපි සූදානම්
ජාත්‍යන්තර ප්‍රජාව කැමති අලුත් ආණ්ඩුවකට

වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ පොහොට්ටුවෙන් අගමැතිවරයකු පත් කර ඉදිරියට යෑමට බවත් ඒ තුළින් ජනතා අභිලාෂයන් ඉටු වෙයිද කියා කියන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අපේ එකඟතාව වන්නේ සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුව බව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15)පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය

වර්තමාන තත්ත්වය තුළ සමගි ජන බලවේගය පසුගිය දිනවල උත්සාහ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අපේ දායකත්වය ලබා දෙන්න. සමගි ජන බලවේගය සහ අපිට සහාය දෙන මන්ත්‍රීවරුන් ඉන්නේ 62යි අණ්ඩුවක් හදන්න බෑ. නමුත් දස දෙසින් එන පණිවිඩය තමයි සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදන්න කියන එක. අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලා, ක්‍රිස්තියානි ආගමික නායකයින්, හින්දු මුස්ලිම් ආගමික නායකයින්, විද්වතුන් හැමකෙනාම කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. අපි එයට උත්සාහ දැරුවා. අදත් උත්සාහ කරනවා. නමුත් විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ එකතුවෙලා රැස්වීම් ගණනාවක් පැවැත්වූවා එහිදී ඊයේ තිබුණු සම්මුතිය අද තිබුණේ නැහැ.

ඊයේ විපක්ෂයේ ඉන්න සියලු දෙනාගේ සම්මුතියක් තිබුණා එහි දී ප්‍රකාශයට පත් කළේ රජයේ ප්‍රධාන නිලතල දෙක ආණ්ඩුව සහ විපක්ෂය බෙදාගෙන කටයුතු කළ යුතුයි කියලා. ඒ මතය සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් හා ඊයේ රැස්වීමට සහභාගි වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැමැත්ත පළ කළා. නමුත් අද අපි උත්සාහ කළේ පක්ෂ නායක රැස්වීමට කලින් විපක්ෂයේ මන්ත්‍රීවරු නැවත රැස්වෙලා ඊයේ ගත්ත අදහස තුළ තවම ඉන්නවද බලන්න. නමුත් අද අපි රැස් වෙන කොට එම කණ්ඩායමේ කිහිප දෙනෙක් ඊයේ ගත්ත මතයේ හිටියේ නැහැ. කොටින්ම කියනවා නම් විපක්ෂයේ සම්මුතිය ඇති කර ගන්න බැරි වුණා. විපක්ෂය කියන්නේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් විතරක් නෙමෙයි අනිකුත් පක්ෂවල ඉන්න මන්ත්‍රීවරු ආණ්ඩුවේ විපක්ෂයේ පැත්තේ වාඩි වෙච්ච මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්. අපි අද කතානායකතුමාට යෝජනා කරන්න සිටියේ විපක්ෂයේ අදහස සම්මුතියකින් මේ රටේ නිලතලවලට කෙනෙක් ඉදිරිපත් කරනවා කියන්න. නමුත් සම්මුතිය අද උදේ ගන්න බැරි වුණ නිසා අපි ඒ අදහස අත්හැරියා. අපි තවම ඉන්නේ ඒ මතයේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් තමයි මේ රටේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ. ඒ වගේම ජනතා අරගලයත් බලාපොරොත්තු වෙන්නේ දැන් ඉන්න ආණ්ඩුවට අලුත් මුහුණ දාලා ඉදිරියට යෑමක් නෙමෙයි. වර්තමාන ආණ්ඩුව හදන්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත් කරගෙන ඉදිරියට යන්න එහිදී ජනතා අභිලාෂයන් කෙසේ ඉටුවේද කියලා කියන්න බැහැ. නමුත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාදාමය එය බව ප්‍රකාශ කරන්න කැමතියි.

අපි අදත් සූදානම්. නමුත් මන්ත්‍රීවරු 62 යි අපිට ඉන්නේ.මිලදී ගන්න අවශ්‍ය මුදල් අපිට නැහැ. නමුත් ඒ 62 වුනත් සර්වපාක්ෂික ආණ්ඩුවට ලබා දීලා මේ රට වැටිල තියෙන අගාධයෙන් ගොඩ ගන්න අපි සූදානම්. නමුත් ඉතාමත් පැහැදිලියි මේ රජය සූදානම් නැහැ කියන එක. රජය උත්සාහ කරන්නේ පරණ ක්‍රමයට විවිධ පක්ෂවලින් කණ්ඩායම් කඩාගෙන මන්ත්‍රීවරු මිලදී අරගෙන ආණ්ඩුවක් හදන්න. නමුත් රට දැනගන්න ඕන අපි පක්ෂයක් හැටියට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කැමැත්ත පළකර එයට දායකත්වය දෙන්න සූදානම් බව. නමුත් රජයෙන් එයට ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. මෙවැනි ආණ්ඩුවලින් ජනතා අභිලාෂයන් ඉෂ්ට වෙයිද හිතන්න අමාරුයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච කණ්ඩායම් පසුගිය කාලයේ ආණ්ඩුවේ අණ පනත්වලට ඡන්දෙ දුන්නා. විදුලි බල පනත නියෝජ්‍ය කථානායක තේරීමේ වැනි දේවල් වලදී ඡන්දය දුන්නා.මෙහිදී කුමක් කරයිද විශ්වාසයක් නැහැ.

විපක්ෂයේ සම්මුතියක් නැත්තම් ඉදිරිපත් වෙන්න වැඩක් නැහැ. සම්මුතියක් ඇති කර ගන්න පුළුවන් වුනොත් හොඳයි. අපි උත්සාහ කරනවා සම්මුතියක් ඇතිකර ගන්න. ජනතා අපේක්ෂාව පොහොට්ටුවෙන් ආණ්ඩුවක් නෙමෙයි. පොහොට්ටුවෙන් අගමැතිවරයා ගේන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ අපේ පැත්තෙන් කිහිපදෙනෙක් කඩාගන්න බලයි. නමුත් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. පක්ෂ නායකයන්ගේ නායකත්ව කැමැත්ත අනුව ආණ්ඩුවට එකතු වුණොත් පමණයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment