ආණ්ඩුව හූනියම්වලට බයද?

1091

ලබන අවුරුද්දේ ජනවාරි මාසය වෙද්දී කන්න නැතිව රට සෝමාලියාවක් වන බවත්, ගණිකා වෘත්තිය නීතිගත කරනු ඇති බවත් ජ්‍යෝතීර්වේදියකු විසින් පවසනු ලැබ ඇත. මේ අතර මීට සති කිහිපයකට පෙර ආධ්‍යාත්මවේදියකු ලෙසත් රෙකී මාස්ටර් කෙනකු ලෙසත් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන්නකු ලෙසත් පෙනී සිටින තවත් පුද්ගලයකු කියන පරිදි මේ මාසයේ 13 වැනිදායින් පසු ජනාධිපතිතුමාට බලය අතහැර යෑමට සිදුවේ. ආධ්‍යාත්මවේදය යනු කිසිදු ආකාරයකින් අර්ථ නිරූපණය කළ හැකි ක්‍රමවේදයක් නොවේ. ආධ්‍යාත්මවේදියා සතු බලය කුමක් ද යන්න කිසිදු තැනක හරිආකාරව නිර්වචනය වී නැත. කෙසේ වුවද මෙවැනි පුද්ගලයන් කියන දේවල් අසා ජනතාව සංත්‍රාසයට පත්වෙති. ලබන අවුරුද්දේ රට සෝමාලියාවක් බවට පත්වන්නේ යැයි කියන එකා දැමූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී. රට සෝමාලියාවක් වීම කිසිදු ආකාරයක සෙල්ලමක් නොවේ. සෝමාලියාව යනු ඉතා භයානක සමාජ සහ ආර්ථික ක්‍රමයක් තිබෙන පරිහානිගත රටකි. මුහුදු කොල්ලකරුවෝ ඒ රටේ එක් පැත්තක් පාලනය කරති. ඒ කියන කොටසේ නීතියක් නැත. ස්ත්‍රී දූෂණ, ගණිකා වෘත්තිය, ආහාර අහේනිය, සමාජ රෝග, මිනීමැරුම්, මං පැහැරීම් යනාදිය ඒ ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයේ කොටස්ය. මේ නිසා ඒ රටේ නව යෞවනයන් අත පවා ගිනි අවියක් තිබේ. ඒ හැම කෙනෙක්ම කල්පනා කරන්නේ ඉස්සරහින් එන එකා හෝ පිටුපසින් එන එකා තමන්ට වෙඩි තියනු ඇති බවය. ඒ අනුව කිසියම් රටක් සෝමාලියාව බවට පත්කිරීම ඉතා බියකරු සහ පරිහානිගත තත්ත්වයක් බවට පත්වන්නේය.

ශ්‍රී ලංකාව, ආර්ථික වශයෙන් අප්‍රිකානු මහාද්වීපයේ කිසියම් දුප්පත් රටක තත්ත්වයකට පත්වුණත් සෝමාලියාව වැනි රටක් හා සම වීමට කිසිසේත්ම ඉඩ නැත. එබැවින් මේ කතාව පෙරකී ආධ්‍යාත්මවේදියාගේ මොළයේ හටගත් මාන්දම් තත්ත්වයක් බව විශ්වාස කරමු. ඇඟේ මාන්දම පෝෂ්‍යදායක ආහාරවලින් ගොඩදමාගත හැකිය. එහෙත් මොළේ මාන්දමට බෙහෙත් අප දන්නා පරිදි තවම හොයාගෙන නැත. එසේම ලබන අවුරුද්දේදී ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කිසිදු ඉඩක් නැත. ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් අමුතු රටකි. මේ රට අදටත් යම් ප්‍රමාණයක Conservative තත්ත්වයක පවතී. ලිබරල් සහ රැඩිකල් අදහස් රට පුරා එමට ඇතත් අවසාන විග්‍රහයේදී වැඩි දෙනා රාත්‍රී කාලයේදී නින්දට යන්නේ Conservative මතධාරීන් ලෙසය. ගණිකා වෘත්තීය මේ රට තුළ හැමදාමත් තිබුණේය. එහෙත් එය තව අවුරුදු පනහකටවත් නීතිගත වීමට කිසිදු ඉඩක් නැත. සමරිසි ප්‍රජාව සහ සමරිසි අයිතිවාසිකම් පිළිබඳ කතන්දරය බරපතළ විවාදවලට තුඩු දෙමින් ශ්‍රී ලංකාව තුළ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවතින. එසේම සමරිසි සම්බන්ධකම් ද එදත් අදත් මේ රටේ ලිංගික සංස්කෘතියේ උප කොටසක් ලෙස තිබිණ. එහෙත් තව දශක ගණනාවකටවත් සමලිංගික විවාහ නීතිගත කිරීමට මේ රටේ තිබෙන Conservative මතධාරීත්වය ඉඩ දෙන්නේ නැත.

ජ්‍යෝතිෂය බොරුවක් යැයි අපි නොකියමු. විශ්ව ශක්තිය නමැති සාධකය විශ්වයෙන් උරාගෙන එමගින් රෝගියකුට බෙහෙත් කිරීමට හැකි බවක් විද්‍යාත්මකව ඔප්පු කර නැත. ඒ නිසා ආධ්‍යාත්මවේදය, විශ්ව ශක්තිය වැනි සාධක විකුණමින් ධනය උපයන පල් හොරුන්ට එරෙහිව ආණ්ඩුව කුමක් හෝ කළ යුතුය. දේවගැතිවරුන් විසින් දේව බලයෙන් ලෙඩ සුව කරන්නට යෑම නිසා මිය යන රෝගීන් ගැන අපට විටින් විට අසන්නට ලැබේ. ඒ අතර ලෙඩ සුව කිරීමට යැයි කියමින් නව යොවුන් ගැහැනු දරුවන් සිය දේවාලයට ගෙන්වා ගන්නා හොර කපුවෝ ඔවුන් දූෂණය කරති. මෙවැනි හොර කපුවෙක් මේ දිනවල රිමාන්ඩ් කූඩුවේ කල්ගත කරයි. මෙයට කලකට පෙර උතුරු පළාතේ සිටි දේවගැතිවරයෙක් විශාල ටැංකියකට වතුර පුරවා ඒ ශුද්ධ වූ ජලය බව කියමින් රෝගීන් ඒ ටැංකියේ ඔබා ඔවුන්ගේ රෝග සුව කිරීමට උත්සාහ කළහ. එහෙත් රෝග සුවවීම කෙසේ වුවද මෙහිදී ස්වසන රෝගීන් දෙතුන් දෙනෙක් ජල සන්නිය හැදී මිය ගියහ. 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදුනොත් හිසට වෙඩි තබාගන්නා බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක් දුන් ආධ්‍යාත්මවේදියෙක් පිළිබඳවද මෙහිදී සිහිපත් කළ යුතුය. අන්තිමේදී මහින්ද රාජපක්ෂ පැරදුනේය. ආධ්‍යාත්මවේදියා අදටත් ජීවතුන් අතර ය.

ජනතාව තුළ භීතිය හටගන්වන කට කතා පැතිරවීම නීති විරෝධී ක්‍රියාවකි. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස ද සැලකිය හැකිය. කිසියම් රටක් කඩා වැටෙන බව කියමින් සහ එම රටේ අනාගතයට බලපාන සහ ජන ජීවිතය කඩාකප්පල් කරන කතන්දර පතුරවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආණ්ඩුවට අයිතියක් ඇත. කිසියම් තරුණයෙක් ෆේස්බුක් එකෙන් බොරුවක් ඇදබෑවොත් ඒකා අල්ලාගෙන කෝටුමස් කිරීමට හැම ආණ්ඩුවක්ම සූදානම් ය. එහෙත් ජනතාව බියපත් කරමින් කටකතා පතුරන චෞර ආධ්‍යාත්මවේදීන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගැනීමට ආණ්ඩුව භය ඇයි? ඔවුන් හූනියම් කරනු ඇතැයි ආණ්ඩුව සිතන්නේද?

advertistmentadvertistment
advertistmentadvertistment