ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව හෑල්ලු කරනවා… සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර

116

ආණ්ඩු පක්ෂය විපක්ෂයට කතාකරන්නවත් අවස්ථාව දෙන්නේ නෑ

ආන්ඩුවේ මන්ත්‍රීවරු ගැන අපි කියන්නේ ඇත්ත

පෞද්ගලික දේවල් ඇදලා ගන්නවා.එතකොට අපිටත් කියන්න දේවල් තියෙනවා

අය – වැය විවාදය අතරතුර දී ඇති වූ සිදුවීමක් පදනම් කර ගනිමින් පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේය. ඒ සම්බන්ධයෙන් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් එක් කතාවක් කියන අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියන්නේ තවත් කතාවකි.

සැබවින්ම පාර්ලිමේන්තුව තුළ දී සිදුවූයේ කුමක්ද යන්න විමසා බැලීම සඳහා අප ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගෙන් මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන මනුෂ නානායක්කාර මහතාගෙන් එම සිදුවීම පිළිබඳව විමසා සිටියෙමු. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳව ඔවුන් පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – විපක්‍ෂයේ මන්ත‍්‍රිවරු ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ට චෝදනා කරනවා ඔබට පහර දෙන්න සිටිය බවට. නමුත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රිවරු චෝදනා කරනවා ඔබ කතානායකතුමාට පහරදීමට ගිය නිසා මෙම ප‍්‍රශ්නය ඇතිවූ බව. මෙම ප‍්‍රශ්නයේ දී ඇත්ත කියන්නේ කවුද කියලා ජනතාව තීරණය කරන්නේ කෙසේද?

පිළිතුර – ජනතා නියෝජිතයෙක් ලෙස මම පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිටියා. එම කතාව තවදුරටත් කරගෙන යෑම සඳහා මට කථානායකතුමා කාලය ලබා දුන්නා. එම අවස්ථාවේදී ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකයා ප‍්‍රකාශ කර සිටියා තවදුරටත් කාලය ලබාදිය නොහැකි බව. ඊට පෙරත් ඒ ආකාරයට කාලය ඉල්ලාගෙන කතා කරලා තිබෙනවා. එම අවස්ථාවේදී මම කතාව නතර කළා. නමුත් මට ස්තුතියි කියලා කියන්නවත් අවස්ථාව දුන්නේ නැහැ. එවැනි අවස්ථාවල දී අපි කථානායකතුමා ළඟට ගිහින් අහන එක කතා කරන එක සාමාන්‍ය දෙයක්. සම්ප‍්‍රදායක්. එම අවස්ථාවේදී මමත්, හර්ෂ ද සිල්වා මන්ත‍්‍රිවරයාත් කථානායකතුමා ළඟට ගිහින් වෙනදා වෙලාව දෙනවා නම් එම අවස්ථාවේදී වෙලාව නුදුන්නේ ඇයි කියන එක විමසා සිටියා. අපි කිසිම ගැටුම්කාරී ස්වභාවයකින් නොවෙයි ඒ පිළිබඳව විමසා සිටියේ. අපි එහෙම ගැටුම්වලට යන පුද්ගලයින් නොවෙයි නේ.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව හෑල්ලු කරනවා… සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර

එම අවස්ථාවේදී තමයි ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා අසභ්‍ය වචන කියමින් කථානායකතුමාගේ පිටුපස සිට දුවගෙන ආවේ. ඔහු දුවගෙන ආවේ අපි කථානායකතුමාට තර්ජනය කළ නිසා නොවෙයි. ඔහු දුවගෙන ආවේ පරයා උඹ මගේ පුද්ගලික දේවල් ඇද්දේ ඇයි කියමින්. ඔහු එහෙම කියාගෙන එනවත් සමගම කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා ඇවිත් මාව තල්ලූ කළා.

පාර්ලිමේන්තුව තුළ දී මගේ පුද්ගලික කාරණා කියමින් මට මඩ ගහනවා. මගේ දික්කසාද වූ කාන්තාව ගැන කිනවා. මගේ දරුවා ගැන කියනවා. ඒ වගේ මොනවා හරි කියනවා. මම ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. නමුත් එදා ලොහොන් රත්වත්තේ මන්ත‍්‍රීවරයා රීති ප‍්‍රශ්නයක් මතුකරන බව ප‍්‍රකාශ කර නැගී සිටිමින් මගෙන් විමසා සිටියා ඔබතුමාගේ හිටපු නෝනාට සලකනවද, දරුවා ගැන බලනවද කියලා. ඒක රීති ප‍්‍රශ්නයක්ද? පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් ද? නමුත් මම ඒකට උත්තර නොදී ටිකක් වෙලා හිටියා. නමුත් මම බැරිම තැන ප‍්‍රකාශ කළා ලොහාන් මහත්තයෝ මම ඔයා වගේ බන්ධනාගාර ගානෙයි තැන් තැන්වලයි රූප සුන්දරියෝ අරගෙන යන්නේ නැහැ. ඒ වගේම මට දරුවෙක් ඉන්නවා තමයි. හැබැයි ඒ මගේ නීත්‍යානුකූල දරුවා බවත් ඔය ගොල්ලන්ගේ ප‍්‍රධාන සංවිධායක වගේ තැන් තැන්වල දරුවන් හදලා නොමැති බවත් මම ප‍්‍රකාශ කළා. ඒ වගේම මට ඉන්න දරුවන් මම බලාගන්න බවත් ඒක පාර්ලිමේන්තුවට අදාල නොවන බවත් ප‍්‍රකාශ කළා.

මම හිතන්නේ ජොන්ස්ටන් මහතාට තරහ ගිහින් තිබෙන්නේ ඒ කතාවට තමයි. ඒ නිසා විය යුතුයි තෝ මගේ පුද්ගලික දේවල් ඇද්දා නේද කියමින් දුවගෙන ආවේ. ඒ අය මෙච්චර කල් මගේ පුද්ගලික දේවල් ප‍්‍රකාශ කරමින් මට පහර දුන්නා. නමුත් මගෙන් එක වචනයක් පිටුවුණ හැටියේ මට ගහන්න ආවා. මම කළේ මෙච්චර කල් මා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ වලට පිළිතුරු දීම පමණයි.

මේ ප‍්‍රශ්නය පිළිබඳව සෙනසුරාදා දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළා. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායක කථානායකතුමාගේ ආසනයේ පිටුපසින් විපක්‍ෂය දෙසට ඇවිත් විපක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකුට පහර දෙන්න හදපු බව ප‍්‍රකාශ කළවිට ඔවුන් ලැජ්ජාවට පත් වූවා. ඒ ගැන කතාකරන කොට ඔවුන් ප‍්‍රකාශ කරන්න ගත්තා කථානායක තුමාට තර්ජනය කළ බව. ඒ සැනින්ම මම කථානායකවරයාගෙන් විමසා සිටියා මම ඔබතුමාට යම්කිසි හෝ තර්ජනයක් කළාද යන්න පිළිබඳව. නමුත් ඒ අවස්ථාවේදී එතුමා ඒ පිළිබඳව කිසිම උත්තරයක් දුන්නේ නැහැ. මමත් අනෙක් මන්තී‍්‍රවරුනුත් දිගින් දිගටම කථානායකතුමාගෙන් විමසා සිටියා. තර්ජනයක් කරා නම් කියන්න කියන එක. නමුත් ඒ අවස්ථාවේදී කථානායකතුමා ඒ පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ කළේ නැහැ.

මම කථානායකතුමාට ගහන්න ගියා නම් ඒ බව කැමරාවල සටහන් වී තිබිය යුතුයි. ඒ වගේම මයික්වල සටහන් වෙලා තිබෙනවා මම මොනවාද කිව්වේ කියන එක. මම පහර දෙන්න යනවා වීඩියෝ වල තිබුණ නම් මේ වනවිට ඒවා එළියට දාලා. නමුත් මේ වනතුරු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රසිද්ධියට පත්කරලා නැත්තේ එහෙම දෙයක් සිදු නොවුණ නිසා තමයි. එසේ තිබියදී ආණ්ඩුව මම කථානායකතුමාට පහර දීමට ගිය බව ප‍්‍රකාශ කරමින් මනඃකල්පිත ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමට සූදානම් වනවා.

ප‍්‍රශ්නය – දෙවනුවත් ඔබට පහර දෙන්න උත්සාහ කළ බව කියන්නෙ ඇත්තද?

පිළිතුර – මම ධීවර අමාත්‍යාංශයේ සිදුවූ ගනුදෙනුවක් පිළිබඳව හෙළිදරව් කළා. එම අවස්ථාවේදී කාංචන විජේසේකර මන්තී‍්‍රවරයා එතන සිටම ගහන බව ප‍්‍රකාශ කරමින් ආණ්ඩු පක්ෂයේ ආලින්දයේ සිට විපක්ෂ නායක ආලින්දය හරහා ඇවිත් මට පහර දෙන්න උත්සාහ කලා. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්තී‍්‍රවරු ඔවුන් සමග සාකච්ඡා කරලා එම තත්ත්වය නිරාකරණය කිරීමට කටයුතු කළා. එම අවස්ථාවේදී මගේ ජීවිත ආරක්ෂාව පතා වෙනත් දොරටුවකින් පිටවීමට සිදු වුනා.

පාර්ලිමේන්තුව තුළ ඇත්ත කතා කිරීම, අදහස් දැක්වීම මේ අයට විශාල ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. අපි පාස්කු ප‍්‍රහාරය පිළිබඳව, මේ අයගේ වංචා දූෂණ හෙළිදරව් කරන විට මේ අයට ඒක දිරවගන්න බැරි වී තිබෙනවා. අතින් පයින් හෝ පහර දීලා එම තත්ත්වය පාලනය කරගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ.

ප‍්‍රශ්නය – පසුගිය බදාදා, බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ඔබලා පාර්ලිමේන්තු සැසියට සහභාගි වූවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම අත්හැර දැමුවාද?

පිළිතුර – නැහැ. මෙහෙම තැනකට තමයි අපි ආවේ. බදාදා කථානායකතුමා ප‍්‍රකාශයක් කරලා කමිටුවක් පත් කරලා තහවුරුවක් ලබාදුන්නා මින් ඉදිරියට එබදු ප‍්‍රශ්න ඇතිවීමට ඉඩ නොතබන බවට.

අපි පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නා කණ්ඩායමක් ලෙස තමයි. එහිදී අපි ජනතාවගේ මතය පාර්ලිමේන්තුව තුළදී ප‍්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ප‍්‍රශ්න ඉදිරිපත් කළ යුතුයි.

ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් උත්සාහ කළේ අපිට ගහල අපේ කට වහන්න. අපි පාර්ලිමේන්තුව වර්ජනය කළොත් ඔවුන්ගේ එම අපේක්ෂාව ඉෂ්ඨ වෙනවා. එහෙම වුවහොත් කිසිම වංචාවක් දූෂණයක් හෙළිදරව් වන්නේ නැහැ.

එම නිසා අපට පහරදෙන්න උත්සාහ කිරීම පිළිබඳ අවශ්‍ය නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග, අන්තර්ජාතික පාර්ලිමේන්තු දැනුවත් කිරීම ඇතුළු කි‍්‍රයාමාර්ග ගැනීමෙන් අනතුරුව අපි තීරණය කලා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්න. අපි එම තීරණය ගන්නේ කථානායකතුමාගේ ප‍්‍රකාශයෙන් පසුව තමයි. අපි බලාපොරොත්තු වෙනවා එතුමා ඒ සම්බන්ධයෙන් නිවැරදිව කටයුතු කරාවි කියලා. එනම් දැක්ක දේ පිළිබඳව නිවැරදි තීන්දුවක් දේවි කියලා අපි අපේක්ෂා කරනවා.

අපි අතින් පයින් ගහගන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එහෙම අවශ්‍යතාවක් තිබුණා නම් අපි කරාටේ තරගයකට ඉදිරිපත් වෙනවා. අපි පාර්ලිමේන්තුවට ආවේ කතා කරන්න. අතින් පයින් ප‍්‍රශ්න විසඳන වනචාරි ක‍්‍රමවලට අපි විරුද්ධයි. ඒ වගේම අපි බයේ ඉන්නවා කියලා වරදවා තේරුම් ගැනීමත් නොකළ යුතුයි. අපේ ක‍්‍රමය ඒක නොවෙයි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම සඳහා අවශ්‍ය සෑම කි‍්‍රයාමාර්ගයක්ම අපි ගන්නවා.

ප‍්‍රශ්නය – කථානායකතුමා විසින් පත්කරන ලද කොමිටියෙන් අපේක්ෂා කරන විසඳුම් නොලැබුණහොත් යළිත් පාර්ලිමේන්තුව වර්ජනය කරනවාද?

පිළිතුරු – අපි ඒ අවස්ථාවේදී අවශ්‍ය කි‍්‍රයාමාර්ගය සාකච්ඡා කරලා ගන්නවා.

ප‍්‍රශ්නය – පාර්ලිමේන්තුව වර්ජනය කළත් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු ආපන ශාලාව වර්ජනය කර නොමැති බව ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් චෝදනා කරනවා.

පිළිතුර – අපි ඒ අවස්ථාවේදී සාකච්ඡාවක නිරත වෙලයි සිටියේ. කොහෙන් කෑම කෑවත් කන්නේ තමන්ගේ අතින් සල්ලි දීලානේ. කිහිපදෙනකු පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් කෑම කාලා තිබුණ තමයි. මෙතන තිබෙන ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවෙන් කෑවද කියන එක නොවෙයිනේ. මෙතන තිබෙන්නේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පහරදීම පිළිබඳ ප‍්‍රශ්නයක්. මාධ්‍යයන් වාර්තා කළ යුත්තේ ඒකනේ.

ප‍්‍රශ්නය – කාංචන විජේසේකර මන්තී‍්‍රවරයාත් ඔබට චෝදනා කළා මුදල් අරගෙන පැත්ත මාරු කළ බවට. එම චෝදනාව පිළිබඳව මොකක්ද කියන්න තිබෙන්නේ.

පිළිතුර – කාංචන විජේසේකර මන්තී‍්‍රවරයා පමණක් නොවෙයි තව කිහිප දෙනකුම ඔය චෝදනාව කර තිබෙනවා. අපි මුදල් අරගෙන පැත්ත මාරු කරනවා නම් ජනතාව අපත් සමග සිටිනවාද? තමන්ට කියන්නදෙයක් නැති වෙනකොට අපි හොරකම් ගැන, වංචා ගැන කියන කොට මොකක් හරි චෝදනාවක් කරන එක සාමාන්‍ය දෙයක්. මේවා හැමදාම කියනවා. ඔය චෝදනා ඔප්පු කරන්න පුළුවන්ද? නමුත් අපි එල්ල කරන චෝදනා සියල්ල ඔප්පු කරන්න පුළුවන්. අනික අපි කියන්නේ පුද්ගලික කාරණා පිළිබඳව නොවෙයි. අපි කියන්නේ රාජ්‍ය අරමුදල් වලට සිද්ධවෙලා තිබෙන දේ පිළිබඳව.

අවස්ථා දෙකකදී මම දේශපාලන තීන්දු අරගෙන තිබෙනවා. එම තීන්දු ඒ අයගේ දේශපාලනයට බලපාල තිබෙනවා. දින 52 හොර ආණ්ඩුව වෙනස් කිරීමට පළමු තීරණය ගත්තේ මම. එම නිසා මමත් සමග වෛරයක් තිබෙන එක සාධාරණයි. මේ අය මට මඩ ගහල බැරි තැන මට අතින් පයින් ගහන්න උත්සාහ කළා. ඒක බැරි වුණොත් මගේ ජීවිතය නැති කරලා මගේ කටවැසීම තමයි මේ අයගේ සැලසුම.

ප‍්‍රශ්නය – පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට වැය වන මුදල පිළිබඳව විවිධ වාර්තා පළ වනවා. ඒ අතර මාධ්‍ය මගින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කි‍්‍රයාකලාපය පිළිබඳවත් විශාල ප‍්‍රචාරයක් ලබා දෙමින් සිටිනවා. පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සමහර මන්තී‍්‍රවරුන් හැසිරෙන ආකාරය අනුව ජනතාව තුළ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කලකිරීමක් ඇති වීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – මෙහි පළමු වැරදිකාරයා මාධ්‍යය තමයි. අනවශ්‍ය කතා මාධ්‍යයෙන් ප‍්‍රචාරය නොකරනවා නම් මේ අය මේවා කියන්නේ නැහැ. මේ අය මේවා කියන්නේ මාධ්‍යයෙන් ප‍්‍රචාරයක් ගැනීම සඳහා තමයි. මාධ්‍යයෙන් වීරයන් වීමට තමයි ඔය කතා කියන්නේ.

පාර්ලිමේන්තු කතාවට අදාළ නොවන අසභ්‍ය වචන, පුද්ගලික පරිභවයන් මාධ්‍යයෙන් ප‍්‍රකාශ නොකර සිටියා නම් ඔය අනවශ්‍ය ප‍්‍රකාශ නවතිනවා. කථානායකතුමාත් රීති ප‍්‍රශ්නයක් කියලා පුද්ගලික ප‍්‍රශ්න අහන කොට ඒවා ඉවත් කිරීමට එතුමා කටයුතු කළ යුතුයි.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment