ආතරයිටිස් රෝගයට හොඳම ඔසුව ව්‍යායාම

1109

බොහෝ දෙනකුට පීඩාකාරී රෝගයක්වන ‘ආතරයිටිස්’ හෙවත් ‘හන්දිපත් රුදාව’ රෝගයේ සන්ධිවල හටගන්නා වේදනාව අඩු කරගැනීම සඳහා ව්‍යායාමය හොඳ ඔසුවක් වන අතර එය එම රෝගය සඳහා ප්‍රධාන ප්‍රතිකාරයක් වශයෙන් භාවිත කළ යුතු බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් විසින් මාර්ගෝපදේශ මාලාවක් හරහා නිර්දේශ කර තිබේ.

ආතරයිටිස් රෝගීන්ට ව්‍යායාම කිරීම ආරම්භයේදී දැඩි වේදනාවක් විය හැකි වුවද පසුව ක්‍රමයෙන් සන්ධි වේදනාව ඒ හරහා අඩු කරගත හැකි බවත් ‘ඔස්ටියෝ ආතරයිටිස් ’ රෝගයෙන් පෙළෙන රෝගීන්ට මෙම ව්‍යායාම සිදු කිරීමෙන් අත් පා නැවීමේ හා දික් කිරීමේ කාර්යයන් සිදු කිරීමට හැකි වනවාක් මෙන්ම නීරෝගීව හා කෘෂ ශරීරයක් පවත්වාගෙන යා හැකි බව අදාළ  මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

එංගලන්තයේ ජාතික සෞඛ්‍ය ආයතනයට අනුව ආතරයිටිස් රෝගය හඳුනාගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණ අනවශ්‍ය වන අතර මින් ඉදිරියට ප්‍රබල වේදනා නාශකයන් නිර්දේශ කිරීම ද අවශ්‍ය නොවේ.

ව්‍යායාම සිදු කිරීමෙන් ‘ඔස්ටියෝ ආතරයිටිස්’ රෝගයෙන් පෙළෙන රෝගීන්ට මාංශපේශීන් වර්ධනය කරගැනීමට හැකි වනවාක් මෙන්ම ඔවුන්ට නීරෝගී ශරීර බරක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබීමෙන් රෝග තත්ත්වය කළමනාකරණය කරගත හැකි බව වෛද්‍ය මතය වී තිබේ. වයස්ගත වීමත් සමග ම අත් හා පාදවල සන්ධිවලට හානි වීම හා තුවාල වීම හේතුවෙන් ආතරයිටිස් රෝගය හටගන්නා අතර ඇතැම් රෝගීන්ට සන්ධිවල වේදනාව තද ගතිය හා ඉදිමීම තදින් ඇති වේ.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment