ආත්ම ශක්තිය සහ ධෛර්යය සමග සියලූ අභියෝග ජයගැනීමට පෙරමුණ ගනිමු

318

නව වසරක සමාරම්භය සෑම විටම පාහේ නැවුම් බලාපොරොත්තු, අලූත් වන පැතුම් හා නවමු අපේක්ෂාවන්ට මඟ පාදන සුළු අවස්ථාවකි. දිවයිනේ ප‍්‍රමුඛතම ඉතිරිකිරීමේ ආයතනය වන අප බැංකුව මෙතෙක් පැමිණි ගමන් මගෙහි වැදගත් සංධිස්ථානයක් සලකුණු කරනු ලබන වසරක්වීම හේතුවෙන් 2022 වසරේ උදාව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප සැමට තව තවත් සුවිශේෂී වෙයි. 2022 නව වසර අපගේ ස්වර්ණ ජයන්තිය සැමරීමට අවකාශය සලසන වර්ෂයයි.

මෙතෙක් ආ ගමන් මඟ දෙස හැරී බලත්ම පුරා දශක 5 ක් පුරාවට සමාජයේ සියලූ ස්ථරයන්ට බැංකුකරණයෙහිලා පාර්ශ්වකරුවෙකු ලෙසින් අත්පත් කරදුන් ජයග‍්‍රහණ පිළිබඳ අපට ආඩම්බර විය හැකියි. අප විසින් සමු දුන් 2021 වර්ෂය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව රුපියල් බිලියන 192 ඉක්ම වූ තැන්පතු සංචලනයක් රුපියල් බිලියන 25.9 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 20.2 ක බදු පසු ලාභයක් වාර්තා කරමින් අභියෝග හමුවේ ආයතනයේ ශක්තිමත් බව අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය ප‍්‍රකට කරන ලදී.

මෙරට ජනතාවට සකසුරුවම්කම හා ඉතිරිකිරීම පුහුණු කිරීමටත් ඉතිරිකිරීමේ සංස්කෘතියක් ප‍්‍රචලිත කිරීම සඳහාත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගතවූ වසර 50 කට වැඩි කාලයක් මුළුලේලේ නිරන්තරයෙන්ම කැපවුණි. එබැවින් අපි, මෙරටට ශක්තිමත් ඉතුරුම් සංචිතයක් නිර්මාණය කරදීම හා ඒ ඔස්සේ ජනතාව රටේ සංවර්ධන ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක කර ගැනීම යන අපගේ වගකීම හා කාර්යභාරය මැනවින් ඉටු කර තිබෙන බව අපගේ විශ්වාසයයි.

ව්‍යාපාරික මෙහෙයුම් අරඹා 50 වන වසර සම්පූර්ණ කරන ආයතනයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙරට විශාලතම හා සුරක්ෂිතම විශේෂිත බැංකුව ලෙස නැඟී සිටියි. එසේම, 100% ක සුවිශේෂී රාජ්‍ය ආරක්ෂාව හිමි දිවයිනේ එකම බැංකුවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව වේ. ඉතිරිකිරීමේ පුරුද්ද ප‍්‍රවර්ධනය කිරීම ඔස්සේ බැංකුව ධන උත්පාදනය දිරිමත් කිරීමත් එමගින් එම ඉතුරුම් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා වන ආයෝජන කෙරෙහි ඵලදායීව යොමු කිරීමත් අපගේ අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment