ආදරණීය අරගලය දිනයි – කඳුළු ගෑස්, ජල ප්‍රහාර,  වෙඩි තැබීම් මැද…  යකඩ බාධක බිඳ දමමින්…. – සියලු බල පරදා ජන බලය පෙරට

449

ඉතිහාසයේ දැවැන්තම ජන අරගලය, අප මාතෘ භූමියේ සටහන් කරමින් ගෝඨා ගෝ හෝම් එකම හඬ බවට පත්කරගත් ලක්‍ෂ සංඛ්‍යාත මහා ජන සන්නිපාතය පෙරේදා (09 දා) උදෑසන සිට විවිධ බාධක මැදින් ගොස් ජනපති නිල නිවස, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සියතට ගනිමින් සිය අරගලයේ ප්‍රධානම ජයග්‍රහණය ලබා ගත්හ. ත්‍රිවිධ හමුදා බලඇණි, පොලිස් කැරලි මර්දන ඒකක ඇතුළු ආරක්‍ෂක අංශ වෙඩි ප්‍රහාර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නොනවත්වා එල්ල වෙද්දී ඒ සියලු බලයන්ට වඩා ජන බලය බලවත් බව යළි යළිත් සනාථ කරන්නට සමත් වූ ජනතාව සහෝදරත්වයෙන් යුතුව සිය අරමුණු කරා ගමන් කළහ.

ආදරණීය අරගලය දිනයි - කඳුළු ගෑස්, ජල ප්‍රහාර,  වෙඩි තැබීම් මැද...  යකඩ බාධක බිඳ දමමින්.... - සියලු බල පරදා ජන බලය පෙරට

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂටත් වර්තමාන රජයේ ක්‍රියාකලාපයටත් විරෝධය පළ කරමින් මේ මහා ජන අරගලය ඉකුත් මාර්තු මස 31 වැනිදා මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටින් ආරම්භ කරන ලදී.

ආදරණීය අරගලය දිනයි - කඳුළු ගෑස්, ජල ප්‍රහාර,  වෙඩි තැබීම් මැද...  යකඩ බාධක බිඳ දමමින්.... - සියලු බල පරදා ජන බලය පෙරට

ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ වර්තමාන රජයට ඉවත්ව යන ලෙස බල කරමින් ආරම්භ කළ ඒ මහා ජන අරගලය ජූලි 09 වැනිදා දක්වා නොනවත්වාම එක දිගටම ක්‍රියාත්මක කළ ජනතාව පෙරේදා සිය අරගලයේ ප්‍රධානතම ජයග්‍රහණය අත්පත් කර ගත්හ.

ආදරණීය අරගලය දිනයි - කඳුළු ගෑස්, ජල ප්‍රහාර,  වෙඩි තැබීම් මැද...  යකඩ බාධක බිඳ දමමින්.... - සියලු බල පරදා ජන බලය පෙරට

ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් “ගෝඨා ගෝ ගම” නමින් අරගල භූමියක් ගාලු මුවදොර ඉදිකර ගත් අරගලකරුවෝ පුරා මාස 3 ක කාලයක් එහි රැඳී සිටිමින් සිය විරෝධතාව පැවැත්වූහ.

මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මුළු රට පුරාම ගිනි ඇවිලී ගිය අතර රජයේ අමාත්‍යවරුන් දේශපාලනඥයන් ඇතුළු පාක්‍ෂිකයන්ගේ නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් ගිනිතබා විනාශකර තිබිණි.

මේ අතර ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස අරගලකරුවන් අවසන් නිවේදනය නිකුත් කළ අතර ජූලි 09 වැනිදා මහා ජන ගඟක් සමඟ කොළඹට පැමිණෙන බවට දැනුම් දුන්හ.

ජන ගංගාවක් කොළඹට පැමිණ පැවැත්වීමට සූදානම් කළ මහා උද්ඝෝෂණය පාලනය කිරීමට පොලිසිය, ත්‍රිවිධ හමුදාව, කැරලි මර්දන ඒකකය ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් විසිදහසකට ආසන්න පිරිසක් කැඳවා තිබිණි.

මේ අතර ජනතාව කොළඹට පැමිණ පැවැත්වීමට සූදානම් කළ මහා උද්ඝෝෂණය දියාරු කිරීම සඳහා රජය විසින් 08 වැනිදා රාත්‍රියේ බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස අටක ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළහ.

එහෙත් මානව හිමිකම් කොමිසම මෙන්ම රජය වෙත එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ඇඳිරිනීතිය 09 වැනිදා උදෑසන ඉවත් කිරීමට රජයට සිදුවිය. මහා ජන ගංගාවක් කොළඹට පැමිණීම පාලනය කිරීමට දුම්රිය සහ ලංගම බස් රථ ධාවනය අඩපන කිරීමට රජය පියවර ගෙන තිබිණි.

එහෙත් පෙරේදා උදෑසන සිට රටේ සියලුම ප්‍රදේශ නියෝජනය කමින් අරගලකරුවන් ලක්‍ෂ ගණනින් කොළඹට ඇදී එන්නට පටන් ගත්හ.

මහනුවර, මාතර, ගාල්ල, පොල්ගහවෙල, අවිස්සාවේල්ල දුම්රිය ස්ථානවලට පැමිණි ලක්‍ෂ ගණනක් ජනතාව කොළඹ බලා එන්නට දුම්රිය ධාවනය කරන ලෙස කියමින් දුම්රිය බලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කළහ.

ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ කොළඹ බලා විශේෂ දුම්රිය ධාවනය කරවීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.

මේ අතර මහනුවර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු මහනුවර සිට කොළඹ බලා එන දුම්රියේ සියලුම අරගලකරුවන් වෙනුවෙන් ටිකට්පත් මිලදී ගෙන ලබා දීමට කටයුතු කළේය.

සිංහ ධජ ලෙළවමින් ගෝඨා ගෝ හෝම් සටන් පාඨ කියමින් දුම්රියවල නැඟුණ ලක්‍ෂ ගණනක් ජනතාව කොළඹ බලා එන්නට පටන් ගත්හ.

එමෙන්ම ඉන්ධන හිඟය නොතකමින් විවිධ ප්‍රදේශවල සිට බස් රථ, ලොරි, ට්‍රක් රථ, පෞද්ගලික වාහනවල නැඟුන විරෝධතාකරුවෝ වැල නොකැඩී කොළඹ අරගල භූමිය වෙත පැමිණියහ.

කොළඹට ආසන්න පදිංචිකරුවෝ පාපැදිවලින්, යතුරුපැදිවලින් මෙන්ම පා ගමනින් කොළඹ අරගල භූමිය වෙත වැල නොකැඩී පැමිණෙන්නට වූහ.

බුද්ධි අංශ මෙන්ම රජයේ ඔත්තුකරුවන් දැනුම් දී තිබුණේ කොළඹ පැවැත්වෙන අරගලයට පහළොස්දහසක, විසිදහසක ජනතාවක් පැමිණීමට නියමිත බවයි.

එහෙත් ඒ සියලු බුද්ධි වාර්තා අසත්‍ය කරමින් ඉතිහාසයේ කොළඹට පැමිණි අති විශාලතම ජනකාය මෙය බව සනාථ කරමින් වැල නොකැඩී විසි ලක්‍ෂයකට ආසන්න පිරිසක් කොළඹට පැමිණ සිටියහ.

ඇවිස්සුනු කඩි ගුලක් මෙන් වැල නොකැඩී කොළඹට පැමිණි ජනතාව පාලනය කිරීමට පොලිසියට, ත්‍රිවිධ හමුදාවට, ආරක්‍ෂ අංශවලට කිසිසේත්ම හැකියාවක් ලැබී තිබුණේ නැත.

සටන් පාඨ කියමින් ඉතාම සාමකාමීව පැමිණි ජනතාවගේ ප්‍රධානම ඉලක්කය වී තිබුණේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවස වටකරගෙන සිය විරෝධතාව පැවැත්වීමය.

ඒ අනුව ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ගාලු පාර, නුවරපාර, හයිලෙවල් පාර, ඇතුළු තවත් ප්‍රධාන මාර්ග කීපයක් ඔස්සේ ජනාධිපති නිල නිවස අසලට රැස්වන්නට වූහ.

ඒ වන විට කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණෙන මාර්ග සියල්ලම මාර්ග බාධක රැසක් යොදා අවහිර කර තිබූ අතර ඊට පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් දහස් ගණනක් යොදා ආරක්‍ෂා කිරීමට කටයුතු යොදා තිබිණි.

එහෙත් ඒ මාර්ග බාධක බිම හෙළමින් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ බාධාකිරීම් හමුවේ නොසැලුණු ජනතාව නොනවත්වාම ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරන්නට වූහ.

කොළඹ කොටුව චැතම් වීදිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණි ජනතාවට අවස්ථා කීපයකදීම ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කළහ. එහෙත් ඒ කිසිවකින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට නොහැකි විය.

මේ අතර ගාලු මුවදොර අරගල භූමියේ සිට කොටුව ජනාධිපති නිල නිවස දෙසට පැමිණෙමින් සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව නතර කිරීමට ආරක්‍ෂක අංශ අවස්ථා කීපයකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළහ.

එහෙත් ඒ සියලු බාධා කිරීම්වලින් ජනතාව නතර කිරීමට ආරක්‍ෂක අංශවලට හැකි නොවූ අතර ඔවුන් නොනවත්වා ජනපති නිල නිවස දෙසට ගමන් කළහ.

පෙරේදා උදෑසන 08.00 ට පමණ ආරම්භ කළ මේ මහා ජන උද්ඝෝෂණය දහවල් 12.00 පමණ වන විට මහා ජනසන්නිපාතයක් බවට පත් වී තිබිණි. ජනාධිපති නිල නිවස වටා ප්‍රධාන මාර්ග එකම හිස්ගොඩක් වී තිබූ අතර ඔවුන් සියල්ල ගෝඨා ගෝ හෝම් කියමින් නැඟූ හඬ මුළු කොළඹ නගරය පුරාම රැව් පිළිරැව් දෙන්නට විය.

අරගලකරුවන් ජනාධිපති නිල නිවසට ඇතුළුවීම වැළැක්වීමට ආරක්‍ෂක අංශ දැඩි පරිශ්‍රමයක් ගත්හ. කුඳුළු ගෑස් ජල ප්‍රහාරවලින් ජනතාව පාලනය කිරීමට නොහැකි වූ තැන ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ද ජනතාව නතර කිරීමට උත්සාහ ගත්හ.

මේ අතර කොටුව ජනාධිපති මාවතේ ඔරලෝසු කණුව අසල විශාල ගේට්ටු ආරක්‍ෂක අංශ විසින් වසා දමා ජනතාව එහි ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කරන ලදී.

එහෙත් අරගලකරුවන් ඒ ස්ථානයේ නතර කර තිබූ විශාල ට්‍රක් රථයක් පසුපසට ධාවනය කර ජනාධිපති මාවතේ විශාල ගේට්ටුවල හප්පා ඒවා කඩා බිඳ දැමීමට කටයුතු කළේ අතීතයේ එළාර දුටුගැමුණු යුද්ධයේදී විජිතපුර බලකොටුවේ ප්‍රධාන දොරටුව කඩොල් ඇතු ලවා පෙරළා දැමීම සිහිගන්වමිනි.

මෙම ගේට්ටුව ආසන්නයේ රාජකාරි කරමින් සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් අරගලකරුවන් කීපදෙනකුට බැටන්පොලුවලින් ඉතාම අමානුෂික ප්‍රහාරයක් එල්ල කළහ.

ඒ වන විට චැතැම් වීදිය ඔස්සේ අරගලකරුවන් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර, ගාලුපාර ඔස්සේ පැමිණි තවත් විශාල පිරිසක් ජනාධිපති මාවතේ ගේට්ටු බිඳ දමා එහි ඇතුළු වූහ.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පාලනය කිරීමට නොහැකි වූ තැන පොලිස් විශේෂ කාර්ය බළකාය, ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරීන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ජනාධිපති නිල නිවසේ ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කළහ.

ජනාධිපති නිල නිවසට ඇතුළු වූ දහස් ගණනක් ජනතාව එහි සියලු ස්ථාන පරීක්‍ෂා කරමින් ජනාධිපතිවරයා එහි සිටින්නේ දැයි සොයා බැලූහ.

මේ අතර සමහර පිරිස් ජනාධිපතිවරයාගේ නිදන කාමරයට ඇතුළු වී එහි ඇඳ මත නිදාගනිමින් සිය සටනේ ප්‍රතිඵල භුක්ති විඳින්නට වූහ. සමහර පිරිස් ජනාධිපති නිල නිවසේ පිහිනුම් තටාකයට පැන ස්නානය කරන්නට වූහ. තවත් පිරිසක් ජනාධිපති නිල නිවසේ භෝජනාගාරයට ඇතුළු වී කිරිබත් පිස එහි සිටි ජනතාවට කෑමට ලබාදී සිය ප්‍රීතිය පළ කළහ.

ජනාධිපති නිල නිවසේ තිබූ රුපියල් කෝටි එකහමාරක මුදලක් සොයාගත් අරගලකරුවන් ඒ මුදල් රජයට භාරදීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.

මේ අතර ජනාධිපතිවරයාගේ පාවිච්චියට යොදා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා අති සුඛෝපභෝගී වාහන රැසක් නිල නිවසේ ගාල්කර තිබියදී අරගලකරුවන් විසින් ඒවා පරීක්‍ෂා කරන ලදී. ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවෝ එහි දේපළ කිසිවකටත් හානි නොකිරීමට වගබලා ගත්හ.

අරගලකරුවන් ජනපති නිල නිවස සියතට ගනිද්දී ගාලු මුවදොර අරගල භූමියේ රැස්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජන ගංගාව ජනාධිපති ලේකම් කාර්යාලය වටකර එහි ගේට්ටු බිඳ දමා ඇතුළුවීමට උත්සාහ කළහ.

ආරක්‍ෂක අංශ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පාලනය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විණි. පසුව දහස් ගණනක් ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූහ. මේ අතර තවත් පිරිසක් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටු විවෘත කරගෙන එහි ඇතුළුවීමට කටයුතු කළහ. මහජන ගංගාව පාලනය කිරීමට නොහැකි වූ තැන ආරක්‍ෂක අංශ අරලියගහ මන්දිරයේ රාජකාරිවලින් ඉවත් වූහ.

ජනාධිපති නිල නිවස, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ අරගලකරුවන් පෙරේදා රැය එහි පහන් කළ අතර ඊයේ උදෑසන වන විටත් ඔවුහු එහි රැඳී සිටියහ.

මේ අතර ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය සියතට ගනිද්දී කිසියම් ප්‍රභූවරයකු රැගත් රිය පෙරහැරක් කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබිණි.

ආරක්‍ෂක නිලධාරීන් පෙරටු කරගත් අති සුඛෝපභෝගී ජීප් රථ දහයකට ආසන්න ප්‍රමාණයක් අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබූ බව ආරංචි මාර්ග පැවසීය.

එමෙන්ම කිසියම් ප්‍රභූවරයකු රැගෙන රථ පෙරහැරක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නාවුක හමුදාවට අයත් යාත්‍රා දෙකක් ආසන්නයට පැමිණ තිබිණි.

මෙම වාහනවලින් රැගෙන ආ විශාල ප්‍රමාණයේ ගමන් බෑග් කිහිපයක් ආරක්‍ෂක අංශ සාමාජිකයන් විසින් මෙම නෞකා දෙකට පටවනු ලැබීය.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment