ආදරය කියන්නේම මොහොතක්

674

වර්තමාන සමාජයන්හි බොහෝ විට ආදරය අනවබෝධවත් වීමට බලපා ඇත්තේම එහි මූලිකම හරය ස්පර්ශ නොකොට වෙනත් ප්‍රාථමික භෞතික ගනුදෙනු මත රඳා පැවතීමයි. එනම් විශාල පැන්ඩෙකු තෑගි කිරීම, ලොවට පෙනෙන සේ සිප ගැනීම සහ ඒවා පළ කිරීම, වටිනා රන් මාලයක් අරන් දීම ඇතුළු කොටගෙන ඇති සීමිත ක්‍රියාකාරකම් රැසක් අප ආදරය ලෙසින් අර්ථ ගන්වන්නෙමු. වඩා තීක්ෂණ ලෙස අවධානය යොමු කළහොත් මේ සියල්ල ආදරය නමින් කියැවෙන භෞතික ගනුදෙනු මිසක ශ්‍රේෂ්ඨ ආදරය නොවේ. සැබෑ ආදරය වනාහි සැබවින්ම අව්‍යාජ අවකාශයක් තුළ වූ වින්දනාත්මක (Enjoyble) මොහොතක් පමණකි. ඇතැම් විට එය යම් මොහොතක අප විඳිනු ලැබූවත් එය නිශ්චිතව නොදැනෙන්නට තරම් සූක්ෂමය. පසු විපරමක් කළහොත් අපගේ ජීවිතයන්හි පවා ඒවා නැතුවාම නොවේ. මොහොතකට ඔබ ඔබගේම හෝ වෙනත් ඕනෑම පරිසරයක දිස්වන පාසල් ආදර කතාවක් දෙස බලන්න.

නව යොවුන් විය වනාහි පුද්ගලයන් වඩාත් අවංකම වන කාල පර්ච්ඡේදයයි. ඔවුන්ට වෙනත් කිසිදු සූක්ෂම න්‍යායපත්‍ර (Agenda) නොමැති අතර කොන්දේසි විරහිත සිතුම් පැතුම් මත රඳා පවතියි. ආදරයක් දැනෙන මොහොතක ද එසේමය. එය ඒකපාර්ශ්වික හෝ ද්වීපාර්ශ්වික විය හැක. මිල මුදල්, වස්තු සම්පත්, ලැබීම් නොලැබීම් පිළිබඳ ඔවුන්ට වගේ වගක් නැත. දැනෙන්නා වූ අදහස සහ හැඟීම මතම ජීවත් වීම පමණක්ම ඔවුන්ට තෘප්තියක් ගෙන දෙයි. ඇතැම් විට තම ආදරවන්තයා හෝ ආදරවන්තිය දැකගන්නට ලැබෙන්නේම දින කිහිපයකට වරක් එක් තත්පර ගණනාවක කුඩා මොහොතකට වරක් වන්නට විය හැකිය. එහෙත් අදාළ මොහොතේ ආදරය ලෙස කිව හැකි වන්නේම එකී තත්පර කිහිපයම නොව එය උදාවන තෙක් බලාසිටි පසුබිම් කාලයයි. ඔහු හෝ ඇය එනතුරු බලාසිටි මොහොතේ පැමිණි සුන්දර වැස්ස, එයට තෙමුණු හැටි, බස් රථ පාරේ ගමන් කළ හැටි, ඔහු හෝ ඇය පැමිණෙන බස් රථය ළඟා වන විට දැනුණු හෘද කම්පනය, ඇය බැලූ බැල්ම ආදී මේ සියල්ලක් එකී වින්දනාත්මක ප්‍රේමයේ මග සලකුණුය.

මෙකී මතකයන් කෙනකුගේ දිවියේ අමතක නොවන ම සදාදරණීය සේයාවන් බවට පත්වේ. නමුත් ඇතැම් විට මෙම යුවලම පසු කලෙක හොඳින් හඳුනාගෙන, සාමාන්‍ය සමාජයීය ආදරවන්තයන් බවට පත්වී තෑගි හුවමාරු කරගන්නා දිනය එකී සැබෑ ආදරය පැවති අවසන් දින වීමට විශාල සම්භාවිතාවයක් ඇත. එය එලෙස වන්නේම එම හුවමාරුව යම් සැලසුමක් අතැතිව චේතාන්විතව සිදු කරන ගනුදෙනුවක් වන නිසාය. එවැනි යමක් තවදුරටත් සැබෑ ගැඹුරුතම ආදරණීය ක්‍රියාදාමයක් වන්නේ නැත. එනම් එය හිතෛෂීභාවයේ (Loyalty) ප්‍රතිඵලයක් ලෙස දිගහැරෙන තවත් එක් ක්‍රියාකාරකමක් පමණි. එසේ නම් බොහෝ අය පීරමින් සොයන ආදරය නම් මූලික සංරචකය භෞතික වස්තූන් හෝ අදහස් මත සෙවිය හැකි යැයි සිතීමම මායාවකි. අප අපටම අනන්‍ය වූ විඳින ලද හෝ විඳිමින් සිටින එවැනි ආදරයක් සෙවීමට සූක්ෂම විය යුතුය. සැබෑ ලෙසම ගතහොත් බොහෝ ආදර කතාවල යුවලක් විවාහයට පත්වන අවස්ථාව වන විටත් සැබෑ ආදරය මියැදී ගොස් ඇති බව නොරහසකි. ඉන් ඉදිරියට ඇත්තේ භෞතික ගනුදෙනුවකි.

එහෙත් කුමන ලෙස සිදුවුවත් එම ගනුදෙනුවද සර්ව සම්පූර්ණ වන්නේ එකී වින්දනාත්මක ආදරයක් පදනම වන්නේ නම් පමණි. ඉතින් ආදරය කියන්නේම මොහොතක් බව සිතන්නට හැකි නම්, ආදරය නාමයෙන් පීරා සෙවීමට යමක් ඇත්තේම නැති බව උමතුවක් නොවේ.

● සහන් ඇලෙක්සැන්ඩර්
කොළඹ විශ්වවිද්‍යාලය

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment