ආදරය පෙන්වා ෆේස්බුක් එකෙන් සල්ලි ගරන අලුත්ම විදිහ…

754

ඉලක්කය විවාහකයන්….
සමහරු ලක්ෂ ගණන් වලින් ගෙවලා…

මෙරට සමස්ත ජනතාවගෙන් බහුතරයක් ජාති, කුල, ආගම් සහ වයස් භේදයකින් තොරව මුහුණු පොත නොහොත් ෆේස්බුක් පරිශීලනය කරති. එලෙස භාවිතා කරන පිරිස අතර විවිධ ආකාරයේ කූඨ උපක්‍රම හාවිතා කරමින් ෆේස්බුක් පරිශීලකයන් රවටා නීති විරෝධී අයුරින් මුදල් උපයන පිරිසක්ද සිටිති. පහතින් පෙළ ගැසෙන්නේ එවැනි යුවළක් එකතුවී ෆේස්බුක් හරහා සිදුකරගෙන යමින් පවතින ජාවාරමක් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

අමල් සහ නිපුණි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළකි. මැදි වයසේ සිටින ඔහුන්ට දරුවන් දෙදෙනකු සිටී. ස්ථිර රැකියාවක් නොමැති ඔහුන් ජීවත්වීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. විටෙක අමල් ත්‍රිරෝද රථ රියැදුරෙක්, තැරැව්කරුවෙක්, සුළු වෙළෙන්දෙක් ලෙසද කටයුතු කළේය. එහෙත් ඒ කිසිදු රැකියාවක් එක දිගට කරගෙන යෑමේ හැකියාවක් ඔහුට නොතිබුණි. එම නිසා ආර්ථික අතින් එම පවුල අගාධයටම ඇද වැටෙමින් තිබුණි. කුටුම්භය තුළ ගැටලු වැඩිවන විට ජීවත්වීම සඳහා හැකි ඉක්මනින් මුදල් උපයීමේ ක්‍රමයක් සොයාගත යුතු යැයි එම යුවළ කථිකාකර ගත්හ. ඒ මෙලෙසින්ය.

“නිපුණි දැන්නම් මට ජීවත් වෙන්නත් එපා වෙලා තියෙන්නෙ.”

“ඒකනම් ඇත්ත. දරුවො දෙන්නා නිසා තමයි මමත් ඉවසගෙන ඉන්නේ.”

“ජීවත් වෙන්න මම නොකරපු දෙයක් නැහැනේ.”

“ඒත් ඔයා කිසිම දෙයක් හරියට කළේ නැහැනේ.”

“නැත්තේ මොකද? කොච්චර කට්ට කෑවද. ජීවිතේ ගොඩ දාගන්න. ඒත් එකක්වත් හරි ගියේ නැහැ නේ. දැන් ඉතින් කුඩු විකුණන්න තමයි තියෙන්නේ.”

“පිස්සුද ඔයාට ඉතිරි ටික කාලය හිරේ විලංගුවේ වැටිලා ඉන්නද ඕනා.”

“නැත්තම් අපි මොකද කරන්නේ. ජීවත් වෙන්න විදිහක් නැහැ.”

“තියෙනවා කරනවා නම් වැඩක්.”

“ඒ මොකක්ද?”

“හැබැයි ඔයාගේ කැමැත්ත ඕනා.”

“මේ තියෙන තත්ත්වෙත් එක්ක ඕනම දේකට මම කැමතියි.”

“ඔයා දන්නව නේද දෙමටගොඩ නිලූකා.”

“ඔව් ඇයි මං දන්නෙ නෑත්තේ. මිනිහත් තවම ඇතුලේ නේද?”

“ඔව් තවම ඇතුලේ.”

“ඉතින්.”

“මිනිහා ඇතුලේ හිටියට ඒකිට ගාණක් නැහැ. හොඳට සල්ලි හම්බ කරනවා.”

“ඒ කොහොමද? එකීත් කුඩු විකුණනවාද?”

“පිස්සුද ඔයාට. ඒකී මල්ලිත් එක්ක එකතුවෙලා මාර ගේමක් දෙන්නේ. ලක්ෂ ගණන් මාසෙට හොයන්නේ.”

“ඒ මොනවා කරලද?”

“ෆේස්බුක් එකෙන්.”

“ෆේස්බුක් එකෙන් කොහොමද එච්චර සල්ලි හොයන්නේ.”

“ඉන්නකො පැහෙන්නේ නැතුව මම සම්පූර්ණ කතාව කියන්න.”

“හරි හරි කියනවා බලන්න.”

“මහත්තයා හිරේ ගියාට පස්සේ නිලූකට ජීවත් වෙන්න විදිහක් තිබුණෙ නැහැ. ඒකී දස අතේ කල්පනා කළා පොඩි එවුන් ටික ජීවත් කරවන්නේ කොහොමද කියලා.”

“ඉතින්.”

“ඒකිගේ නංගි කෙනෙක් ඉන්නවා. ඒකි කරන්නේ ෆේස්බුක් එකෙන් කොල්ලන්ව රවට්ටලා සල්ලි හොයන එක.”

“ඒ කොහොමද?”

“බොරුවට ලව් කරන විදිහට පෙන්නලා සල්ලි ගන්නවා. මහා ලොකු ගණන් නෙමේ පොඩි පොඩි ගණන්. ඒ වුණාට ඒකි මාසෙට 50,000කට එහා හොයනවලු ඒ විදිහට.”

“ඔය ඇත්තද?”

“ඇත්ත තමයි මං මොකටද බොරු කියන්නේ. ඒක නොවෙයි නිලූකා මේක දැනගත්තා. ඉතින් ඊට පස්සේ ඒකි මොකද දන්නවද කළේ.”

“මම කොහොමද දන්නේ ඔයානේ තොරණේ විස්තරේ දන්නේ.”

“මේකි කල්පනා කළා ජීවත්වෙන හොඳම විදිය මේක කියලා. හැබැයි නිලූකා කළේ නංගි කරන විදිහට නෙමෙයි.”

“එහෙනම්.”

“මේකි ෆේස්බුක් එක හරහා කසාද බැඳපු මැදි වයසේ අයව තෝරා ගත්තා. ඊට පස්සේ ඒ අය එක්ක යාළු වෙලා ආදරය කරන්න පටන් ගත්තා.”

“නියම බ……. ක්නේ එකී.”

“නැහැ ඒකි ඇත්තට නොවෙයි ආදරේ කළේ. බොරුවට.”

“බොරුවට ආදරය කරලා කොහොමද සල්ලි ගන්නේ.”

“මැදින් පයින් නැතුව ඉන්නකො කතාව කියනකම්.”

“හරි හරි කියන්නකො බලන්න එහෙනම්.”

“ඒ විදිහට බොරු ආදරයක් පෙන්නලා ඒකි මිනිස්සුන්ව ගෙන්න ගන්නවා. හොටෙල් එකකට යමු කියලා. අසහනයෙන් ඉන්න කසාද බැඳපු සමහර මිනිස්සු එන්නෙ උඩින් පැනලා. මේකිත් ඉන්නවනේ ලස්සනට.”

“ඊට පස්සේ.”

“ඊට පස්සේ තමයි හොඳම හරිය වෙන්නේ. ඒ මිනිස්සුන්ව ගෙන්න ගන්නේ මේකිගේ මල්ලි දන්න හෝටලයකට. මල්ලිත් ඒ වෙලාවට ඇවිල්ලා ඉන්නවා. ගෑනි මිනිහාව රූම් එකට එක්කරගෙන යනවා. එහෙම ගිය ගමන්ම ඒකිගේ මල්ලිත් එනවා රූම් එක ඇතුළට.”

“ඒ ඇවිල්ලා.”

“උඹ මගේ ගෑනිව රවට්ටගෙන ඒකී එක්ක නිදිය ගන්න ආවා නේද කියලා බය කරනවා. ඒ විතරක් නොවෙයි පවුලෙ විස්තර පවා කියනවා. ඒවා නිලූකා එන්න ඉස්සර කියලා තියෙන්නේ. අන්තිමට කියනවා සල්ලි නොදුන්නොත් මේ විස්තර ගෙවල් වලටත් කියනවා කියලා. ඉතින් මිනිස්සු බයේ ඉල්ලන ගාණක් දෙනවා.”

“අදහස නම් මරු. ඒත්..”

“ඒත් කියලා මොකද නැවැත්තුවේ.”

“ඔයා ඕවා කරනවට මම කැමති නැහැ.”

“මමත් කැමති නෑ තමයි. එහෙම කියලා බැහැනේ. අපිට ජීවත් වෙන්න විදිහක් නැහැනේ. අනික මම ඒ මිනිස්සු එක්ක ඇත්තට ලව් කරන්න යන්නේ නැහැනේ.”

“අනේ මන්දා මට නම් තවම උත්තරයක් දෙන්න බැහැ.”

“එහෙම කියලා දරුවන්ව බඩගින්නේ තියන්න ද හදන්නේ.”

“ඒකත් ඇත්ත. එහෙනම් අපි මේ වැඩේට බහිමු. මාසෙකට හොඳ මෝරු තුන් හතර දෙනෙක් අල්ල ගත්තනම් ලක්ෂ ගාණක් හම්බකරන්න පුළුවන්.”

“ඒකනේ මම කියන්නේ. ඔය මිනිස්සු ලැජ්ජාවටයි බයටයි පොලිසි යන්නෙත් නැහැ.”

“ඔව් ඔව් ඒක ඇත්ත. මම දන්න හෝටලයක් තියෙනවා මිනිහා එක්ක මම මේ ගැන කතා කරගන්නම්. මිනිහා වැලේ වැල් නැතුව ඉන්නෙ. මේකෙන් ගාණක් එන නිසා උඩින්ම කැමති වෙයි.”

“ඔයා ඒ ටික බලන්න. අදම මම ෆේස්බුක් එකෙන් හොඳ මෝරු දෙන්නෙක් තුන්දෙනෙක් හොයා ගන්නම්.

සතියක් පමණ ගත විය. නිපුනි රත්මලාන ප්‍රදේශයේ පදිංචි සුනිල් නමැති පුද්ගලයකු සමග ෆේස්බුක් හරහා මිතුරුකමක් ඇති කර ගත්තාය. සුනිල් වයස අවුරුදු පනහක පමණ විවාහකයෙකි. මෙරට පිළිගත් පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. නිපුණි ඇය දන්නා හැට හතර මායම් භාවිතා කරමින් සුනිල්ව දැලේ දාගත්තාය. සුනිල්ට දැන් නිපුණිගෙන් තොර ලොවක් නොමැත. තම නිවසේදී පවා බිරිඳට හොරෙන් ඔහු ඇය සමග ෆේස්බුක් හරහා තොරතුරු හුවමාරු කරගත්හ. ඇයගේ රූපයට සහ බොරු ආදරයට වශීවූ සුනිල් තම බිරිඳ, දරුවන් පවා අමතක කර ඇය සමග පවුල් ජීවිතයක් ගත කරන තැනට පවා පැමිණ සිටියේය.

“දැන් තමයි හොඳම වෙලාව. අර මිනිහගෙන් සල්ලි ටිකක් ගන්න. දැන් මම කිව්වත් අපායට යන්න හරි එනවා. ඒ තරම් මට වශී වෙලා ඉන්නේ.”

නිපුණි දිනක් තම ස්වාමිපුරුෂයාට එලෙස පැවසුවාය.

“හරි එහෙනම් වැඩේ කල් දාන්නැතුව අද හෙටම කරන්න.”

ඔහු ඇයට එලෙස පැවසුවේය. ඒ අනුව පසුදින නිපුණි සුනිල් සමඟ මෙලෙස කතා බස් කළහ.

“අපි ෆෝන් එකෙන් කතා කළා විතරයිනේ.”

“ඒකනේ. මම ආසයි නිපුණි ඕන වෙලාවක ඔයාව බලන්න එන්න.”

“ඒක මම දන්නවා. ඒත් ප්‍රසිද්ධ ස්ථානවල අපට හමු වෙන්න බැහැනේ.”

“ඇයි ඒ.”

“කවුරු හරි දැක්කොත් හොඳ නැහැනේ.”

“කවුරු දකින්නද අපි යමු ටිකක් කොළඹින් පිට පළාතකට. මම ගෙදරට බොරුවක් කියලා එන්නම්.”

“මට එහෙම එක පාරට කොළඹින් පිට යන්න බැහැ. ප්‍රසිද්ධ ස්ථානවල හම්බ වෙන්නත් බැහැ.”

“එහෙම කියන්න එපා. මට ඔයාව ඉක්මනට හම්බ වෙන්න ඕනා.”

“මමත් කැමතියි ඔයාව හම්බවෙන්න. ඒත් මට බය කවුරු හරි දැක්කොත් කියලා. එහෙනම් අපි මෙහෙම කරමු.”

“ඒ කොහොමද?”

“අපි හොටෙල් එකකට යමු.”

“මමත් ඕක කියන්න හිටියේ නිපුණි, ඒත් ඔයා මං ගැන වැරදියට හිතයි කියලා තමයි මුලින්ම කිව්වේ නැත්තේ.”

“ඒකට කමක් නෑ ඔයාව මට විශ්වාසයි සුනිල්. හැබැයි අපි කොහේ හරි සෙනඟ අඩුවෙන් ගැවසෙන හොටෙල් එකක් හොයාගෙන යමු.”

“ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන ඕන තැනකට මම එනවා.”

“එහෙනම් හෙට උදේ නමය වෙනකොට මම රාජගිරියේ ඉන්නවා.”

දෙදෙනාගේ සංවාදය එලෙස අවසන් විය. ඉන්පසු නිපුණි සිදු වූ සියල්ල තම ස්වාමිපුරුෂයාට පැවසුවාය. ඉන්පසු සුනිල්ගෙන් මුදල් ලබා ගන්නා ආකාරය ගැන ඔවුන් දෙදෙනා සැලසුම් කළහ. මේ කිසිත් නොදත් සුනිල්ට එදින රාත්‍රිය නිදි නොමැති රැයක් විය. පසු දින නිපුණි සමඟ හැසිරෙන අයුරු මෙනෙහි කරමින් ඔහු විටින් විට වින්දනයක් ද ලබා ගත්තේය.

පසු දින උදාවිය. පෙම්වතකු පළමු දිනයේ තම පෙම්වතිය මුණගැසීමට යන ආකාරයට ලක ලැහැස්තිවූ සුනිල් නමය වීමටත් පෙර තම මෝටර් රථයෙන් රාජගිරියට පැමිණියේය. එලෙස පැමිණි ඔහු දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන නිපුනි පැමිණෙන තුරු බලා සිටියේය. නිපුණිද පැවසූ ස්ථානයට නියමිත වෙලාවට පැමිණියේය. පෙර පවසා තිබූ පරිදි මෝටර් රථයේ අංකයෙන් එය සුනිල්ගේ මෝටර් රථය බව ඇය දැන ගත්තාය. ඒ අනුව කිසිදු බියක් සැකක් නොමැතිව ඇය මෝටර් රථයට ගොඩ වූවාය. ඒ වන විටත් ඇයගේ ස්වාමි පුරුෂයා අදාළ හෝටලය වෙත ගොස් දෙදෙනා එනතුරු මඟ බලාගෙන සිටියේය. නිපුනිගේ කීමට අනුව සුනිල් මෝටර් රථය රාජගිරියෙන් නාවල ප්‍රදේශයට ධාවනය කළේය. ඒ අතරතුර තවත් චාටු කතා පවසමින් ඇය තම ස්වාමිපුරුෂයා කියූ හෝටලය වෙත සුනිල් සමඟ පැමිණියාය.

සුනිල් නිපුණි සමග නිදහසේ කම්සැප විඳීම සඳහා එම හෝටලයේ කාමරයක් වෙන් කර ගත්තේය. ඉන් පසු දෙදෙනා කාමරය තුළට ගොස් දොර වසා ගැනීමටත් පෙර නිපුණිගේ ස්වාමිපුරුෂයා පැමිණ මෙලෙස පැවසුවේය.

“මගේ ගෑනිව රවට්ටලා හොටෙල්වලට ඇවිත් මඟුල් නටන්න. ඒව හරියන්නෙ නැහැ මම සේරම විස්තර හොයා ගත්තා. දෙන්නා ෆේස්බුක් එකේ ඉඳන් ලව් කරපු කාලේ ඉඳන්. ඔයා වැඩ කරන තැන, ගෙදරදොර විස්තර සේරම මම දන්නවා. ඒක නිසා ප්‍රශ්න ඇතිකර ගන්න එපා. මට ලක්ෂ දෙකක් ඕනා. එහෙම නැති වුණොත් මේ සේරම විස්තර මම ගිහින් ඔයාගේ ඔෆිස් එකේ අයටයි, ගෙදර අයටයි කියනවා.”

එක්වරම සිදු වූයේ කුමක් ද කියා සුනිල්ට සිතාගැනීමටත් නොහැකි විය. එහෙත් විනාඩි කිහිපයක් ඇතුළත සිදුවූයේ කුමක් ද කියා ඔහු තේරුම් ගත්තේය. ෆේස්බුක් හරහා පැමිණ තමා සමඟ මිතුරු වූ මෙම කාන්තාව තවත් පිරිමියකු සමග එකතු වී තමාට වංචාවක් කර ඇති බව ඔහුට අවබෝධ විය. මොහුන් සමග කථා බස් කර මෙය බේරුමක් කරගත නොහැකිය. එලෙසම පොලිසි යෑමට ද නොහැකිය. ඒ තමාගේ තත්ත්වයට හොඳ මදි නිසාය. අවසානයේ ඔවුහු ලක්ෂ දෙකක මුදල එම පුද්ගලයාට ලබා දුන්නේ නැවතත් මෙවැනි මෝඩකම් ජීවිතයට වත් නොකරන බවට අදිටන් කර ගනිමින්ය.

ෆේස්බුක් හරහා එලෙස මිනිසුන් රවටා පළමු දිනයේම නිපුනි සහ ඇයගේ ස්වාමි පුරුෂයා රුපියල් ලක්ෂ දෙකක මුදලක් කිසිදු අපහසුතාවයකින් තොරව සොයාගත්හ.

එතැන් පටන් ඔවුන් දෙදෙනා තවමත් මෙම ජාවාරම සිදු කරගෙන යමින් පවතී. එපමණක් නොව තවත් පිරිසක් ද ෆේස්බුක් හරහා මෙවැනි ජාවාරම් සිදුකරගෙන යන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. සමාජයේ විවිධ තරා තිරම්වල පුද්ගලයන් මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී ඇතත් සමාජයට සහ තම පවුලට මුහුණ දීමට ඇති ලැජ්ජාව නිසා ඔවුහු කිසිවක් ප්‍රකාශ නොකර මුණිවත රකිති. එම නිසා අනවශ්‍ය අය සමඟ අනවශ්‍ය සම්බන්ධතා ඇති නොකරගෙන ඔබත් ප්‍රවේශමෙන් ෆේස්බුක් පරිහරණය කරන්න. තවද ඔබ මෙවැනි කරදරයකට මුහුණ දී ඇති පුද්ගලයෙක් නම් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන්න. ඔබගේ රහස්‍යභාවයද ඔවුන් රකිනු ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment