ආදර්ශය වපුරන දේශපාලනයක් යළි මේ පොළොවේ පැළ කළ යුතුයි

77

උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ පොල්ගහවෙලදී කියයි
වන්නිනායකලා යට ගියා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා උඩ ආවා

තරුණ පරපුර ඉල්ලා සිටින ආදර්ශ වපුරන දේශපාලනය යළි මේ පොළොවේ පැළ කිරීමට නිදහස් ජනතා සන්ධානය සූදානම් බවත් 1977ට පෙර එවැනි දේශපාලනයක් මේ පොළොවේ තිබුණු බවත් එය විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු ගොඩනැගුණු ”‍බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ සංස්කෘතිය”‍ හේතුවෙන් අභාවයට ගිය බවත් පෙන්වා දුන් උත්තර ලංකා සභාගයේ සභාපති ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඒ අනුව කුරුණෑගලට අදාළ නිදසුනක් ලෙස මුදල් අමාත්‍ය ධුරය දරද්දී විදේශ සමුළුවකදී තමුන්ට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෝටර් රථය පවා රජයට ලබාදුන්, ආදර්ශ වපුරන දේශපාලනයක නිරතව සිටි “යූ. බී. වන්නිනායකලා” වෙනුවට ව්‍යාපාරික ජාල නියෝජනය කරන “ජොන්ස්ටන් ප්‍රනාන්දුලාට” දේශපාලන පිටියේ ඉඩ හැදුණු බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒමහතා මෙසේ පෙන්වා දුන්නේ 19දා පොල්ගහවෙල නගර ශාලාවේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ “ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට” සහභාගි වී සිටි පිරිස වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම්වත් කරමිනි.

මගේ නම් මැනීම තමයි අර්බුදය උත්සන්න වන කාල වකවානුව ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයාට පූර්ව අවබෝධයක් තිබුණු බව. ආර්ථික අර්බුදය උත්සන්න වෙන්න ආසන්නයේ තමයි ගණන් හදලා බලලා ඔහු පාර්ලිමේන්තුවට රිංගුවේ. රිංගලා ඔලු‍ව කහමින් හිටියා. ගාලු‍මුවදොර මහජන කැරැල්ල හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුව දාලා යන්න කලින්ම මෙයා අගමැති පුටුවේ වාඩි වුණා. දාලා ගියාට පසුව ජනාධිපති පුටුවේම වාඩි වුණා. දැන් පළාත් සභා විසුරුවලා, පළාත් සභා බලතල තිබෙන්නෙත් ජනාධිපති අතේ. අද රෑ පළාත් පාලන ආයතනත් විසිරෙනවා, ඒ බලතල යන්නේත් ජනාධිපති අතට. මේ රටේ විධායක බලතල තිබෙන ජනාධිපතිවරු හිටියාට, ඒ සමගම පළාත් සභාවල බලතලත් පළාත් පාලන ආයතනවල බලයත් එක අතකට හිමි වුණු ජනාධිපතිවරුන් මීට කලින් ඉඳලා නැහැ. මෙයා තමයි ‘වන් ඇන්ඩ් ඔන්ලි‘. ඒ නිසා මේ නිර්මාණය කෙරෙන්නේ සුළුපටු ඒකාධිපතිත්වයක් නොවෙයි. ආර්ථික අර්බුදය පාවිච්චි කරලා මේ සූදානම් වන්නේ ඒකාධිපති බලය යොදාගෙන අපේ රටේ ආර්ථිකයේ ඉතිරි වෙලා තියෙන පණ ඩිංගත් නැති කරන්න.

දැන් අපේ තරුණ පරම්පරාව කියනවා, ‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා ඕනේ‘ කියලා. මේ වැඩිහිටියන් ඒ තරුණ දරුවන්ට කියා දිය යුතුයි මේ රටේ ‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා‘ හිටපු බව. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වගේම හිටපු මුදල් අමාත්‍යවරයකුද වන යූ. බී. වන්නිනායක මැතිතුමා එහෙම ‘ස්මාර්ට් පොලිටීෂියන්‘ කෙනෙක්. එතුමාට ජාත්‍යන්තර සමුළුවකට

ගියාම ත්‍යාගයක් ලෙස කාර් එකක් ලැබුණා. ඔහු ලංකාවට ආවාම අමාත්‍යාංශ ලේකම් කියනවා ‘සර් මේ කාර් එක ගෙනියන්න‘ කියා. වන්නිනායක මැතිතුමා කියනවා ‘මේක මට නොවෙයි ලැබුණේ රජයට‘ කියා. එවිට අමාත්‍යාංශ ලේකම් යළිත් කියනවා ‘මේක සර්ගෙ නමට ලැබුණු එකක්. ගෙදර රැගෙන යන්න‘ කියා. “‍කුරුණෑගල වන්නිනායකට නොවෙයිනේ මේක ලැබුණේ. රජයේ ඇමැති කෙනෙකු වන වන්නිනායකටයි මේක ලැබුණේ. ඉතින් මේක අයිති ශ්‍රී ලංකා රජයටයි” කියා. එවැනි ආදර්ශය වපුරපු දේශපාලන නායකයෝ මේ රටේ හිටියා.

දැන් බලන්න, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සිදු වුණු දෙය. එතුමාව කොළඹදී බැසිල් සන්තකයේ තියාගත්තා. කුරුණෑගලදී ජොනී සන්තකයේ තියාගත්තා. කොළඹදී එතුමාට යමක් කිව්වොත් ‘ආ ඒක බැසිල්ට කියන්න’ කියනවා. කුරුණෑගලදී යමක් කිව්වොත් ‘ආ ඒක ජොනීට කියන්න’ කියනවා. බල්ලො මරලා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවාට පස්සෙ මේ රටේ දේශපාලන පිටියේ ඉඩ හම්බ වුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලටයි; යූ. බී. වන්නිනායක වැනි ආදර්ශ වපුරපු දේශපාලනඥයන්ට නොවෙයි. ඒ නිසයි අපි මේ ක්‍රමය වෙනස් කරලා නැවත ආදර්ශ වපුරවන දේශපාලනය මේ පොළොවට රැගෙන ආ යුතුයි, කියා කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න පුළුවන් නායකයන් තමයි නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල ඉන්නේ.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment