ආදර අන්දරයක මතක රැසක් සඟවා ගත් ගල්කිස්ස මහ හෝටලය

654

සංචාරක කර්මාන්තය යනු ලොව පුරා ඇති ප්‍රචලිතම කර්මාන්තවලින් එකකි. වසරකට ලොව පුරා සැරිසරන සංචාරකයන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් බිලියන 1.4 පමණ වෙයි. ඔවුන්ට සුවපහසු සේවයක් සපුරාලීම සඳහා ලොව පුරා පවතින සංචාරක හෝටල් 700,000 ක් පමණ සැදී පැහැදී සිටින අතර මෙම සංචාරක හෝටල් කර්මාන්තයෙන් වසරකට උපදවන ආදායම ඩොලර් බිලියන 570ක් පමණ වෙතැයි පැවසේ.

ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට ඇත්තේ සියවසකට වැඩි ඉතිහාසයකි. අපගේ කතා මාතෘකාව වන ගල්කිස්ස මහ හෝටලයද සංචාරක හෝටල් කර්මාන්තයට අති සුවිශේෂී වශයෙන් දායකත්වය සපයයි. ගල්කිස්ස මහ හෝටලය, දෙහිවල – ගල්කිස්ස වෙරළ තීරය අභියස කුඩා කඳුගැටයක වසර 200කටත් වඩා පැරණි වුවත් වර්තමානයේදීත් විරාජමානව වැජඹෙනු දක්නට හැකිය. මෙය ශ්‍රී ලංකාව නම් පුංචි දිවයින ජාත්‍යන්තර අවධානයට යොමු කරන්නේ එම හෝටලයේ පවතින තත්ත්වය, සේවය හා නාමය නිසාම පමණක් නොවේ. එහි ඇති ගෘහනිර්මාණ ශිල්පයත්, උරුමයත්, ඉතිහාස කතාවත් දෙස් විදෙස් පුද්ගලයකුගේ සිත් සතන් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වී ඇති හෙයිනි. අද අපි සොයා යන්නේ එකී වටිනාකමකින් නිමැවී තිබෙන ගල්කිස්ස මහ හෝටලයේ රසබර අතීතයයි.

ක්‍රි.ව 1947 සිට මේ දක්වා නොකඩවා පවත්වාගෙන එන මේ හෝටලය සහිත ගොඩනැඟිල්ල ඉතා පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි. සැබවින්ම මේ මන්දිරය ඉදිවන්නට ප්‍රධානම හේතුව වන්නේ සුන්දරම සුන්දර ආදර කතා පුවතක්. මේ නිසාම මෙම ගොඩනැඟිල්ල එක්තරා ආකාරයකට ශ්‍රී ලාංකීය ටජ්මහල වශයෙන්ද හඳුන්වන්නත් පුළුවන්.

ආදර අන්දරයක මතක රැසක් සඟවා ගත් ගල්කිස්ස මහ හෝටලය

තෝමස් මේට්ලන්ඩ් ලංකාවට පැමිණීම

ශ්‍රී ලංකාවේ පළමුවැනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් 1805 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉවත් කරනු ලබනවා. මෙයට විශේෂ වූ එක් හේතුවක් වූයේ 1803 උඩරට අල්ලා ගැනීමේ සටන අසාර්ථක වීමයි. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන් පත්කර යවන්නේ වයස අවුරුදු 46ක අවිවාහක මෙන්ම ප්‍රියමනාප පුද්ගලයෙක් වූ තෝමස් මේට්ලන්ඩ්වයි. 1805 – 1811 කාලයට පත්කර එවූ ඔහු සැලකුණේ පිරිසක් මෙහෙයවීමට ඉතා හොඳ හැකියාවක් ඇත්තෙකු ලෙසිනි. එමෙන්ම ඔහු හොඳ සාහිත්‍ය රසයක් ඇත්තෙක් වශයෙන්ද සැලකුණි.

පුරාවෘත්තවලට අනුව මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විනෝදයට බර අයෙකු වූ අතර ඉංග්‍රීසි ජාතිකයන් සමඟ තම නිල නිවසේ සිට නිරන්තරයෙන් ප්‍රීති සාද පවත්වා තිබේ. ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස මේට්ලන්ඩ් මහතා පත්ව ආ සමයේ ඔහු පිළිගැනීම සඳහා පැවති සාදය දේශීය සංස්කෘතිකාංග සහිත නැටුම් ගැයුම්වලින් සමන්විත එකක් විය. ඒ අතරින් 47 හැවිරිදි අවිවාහක මේට්ලන්ඩ්ගේ සිත නැවතුණේ දුටුවන්ගේ සිත මන්මත් කරවන නෙත් සඟලක් ඇති එම නර්තන කණ්ඩායමේ නායකයාගේ දියණිය වූ ලොවීනා අපොන්සු නම් 17 හැවිරිදි රූමතිය ලඟයි. ඇය පෘතුගීසි ජාතික පියෙකුට දාව රොඩී කුලේ මවකට උපන් රූමත් දැරියක්. සිංහලයා සතු තලෙළු හා දීප්තිමත් සමත්, තද කළු කෙස් කළඹ හා දුඹුරුවන් නෙත් සඟළත් පෘතුගීසීන්ගෙන් ලැබුණු යුරෝපීය ශරීරය හා මුහුණේ පිහිටීමත් ඇයව අසාමාන්‍ය ලෙස සුන්දර කර තිබුණි. ඇයගේ මන බඳිනසුළු රුව නිසාම ප්‍රථම වරට දැකීමෙන්ම මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සිත ඇයට වහ වැටුණු අතර පසුව ඇයව සොයාගෙන යන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට දකින්නට ලැබෙන්නේ කොළඹ නගරයෙන් සැතපුම් 10ක් පමණ ගාල්ල දෙසට වන්නට තිබුණු ගල්වලින් ගහණ ලිහිණියාගල නම් මුහුදුබඩ ස්ථානයක මෙම රූමතිය දිය නාමින් සිටින ආකාරයයි. අනතුරුව ඔහු වහාම සිය නිල නිවස එම ස්ථානයේ පිහිටි ගල්පොත්ත මත ඉඳි කිරීමට තීරණය කරනවා.

ළිහිණියා කන්ද ලැවීණියා කන්ද වෙයි

මැදුර ඉදිවන කාලයේදී මේට්ලන්ඩ් නවාතැන් ගෙන සිටියේ කොළඹ නගරය තුළයි. කෙසේ හෝ ලොවීනා මුණ ගැසෙන ඔහු ඇයගේ සිත දිනා ගැනීමට සමත් වනවා මෙන්ම ටික කලකින්ම දෙදෙනා අතර ගැඹුරු ආදරයක ආරම්භයද සනිටුහන් වුණා. භාෂාත්මක බලපෑමත් සමඟ නිසි ලෙස ලොවීනාගේ නාමය උච්චාරණය කිරීමට නොහැකි ආණ්ඩුකාරවරයා ඇයට සුරතල් ලෙස ආමන්ත්‍රණය කරනු ලැබුයේ ලැවීනියා නමින්. නිතරම පාහේ ලොවීනා හෙවත් ලැවීනියාගේ පියාට අයත් නැටුම් කණ්ඩායම බාල් නැටුම් සන්ධ්‍යා සාදවලට ගෙන්වා ගැනීමට මේට්ලන්ඩ් ක්‍රියා කරන්නේ ලොවීනාගේ මුහුණ දැකීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මේ ආකාරයට කිසිවෙකුගේවත් බාධාවකින් තොරව ඔවුන්ගේ ආදර අන්දරයේ මුල් පරිච්ඡේදය ගත විය.

ආදර අන්දරයක මතක රැසක් සඟවා ගත් ගල්කිස්ස මහ හෝටලය

කෙසේ වුවත් සුදු ආණ්ඩුකාරවරයෙකුගේත්, රොඩී රැහැක තරුණියකගේත් මෙම නොගැළපෙන සම්බන්ධතාවය පිළිබඳව එවකට ලංකාවේ සිටි පිරිස අතර හා ලංකාවේ සිටි ඉංග්‍රීසි ප්‍රජාව අතර දැඩි කතාබහකට ලක්වුණා. අවසානයේදී මෙය එංගලන්තයේ ජෝර්ජ් රජුගේ කණ වැකුණු අතර වහාම රජු ආණ්ඩුකාරවරයාට දන්වා සිටින්නේ සබඳතාවය නවතා නොදැමුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි. මේ නිසාම ඉතාම කණගාටුවෙන් වුවත් මේට්ලන්ඩ් ලොවීනාට දන්වා සිටින්නේ තමා කියන තුරු මාස කීපයක් තමාව බැලීමට නොඑන ලෙසයි.

මුහුද අද්දර තම නිල නිවස වූ ගල්කිස්ස හෝටලය ඉදිකර තිබූ අතර පසුව හොර රහසේම ආණ්ඩුකාරවරයා සිය නිල නිවසේ වූ වයින් ගබඩාවේ සිට අසල ඇති ලොවීනාගේ රොඩී ගුබ්බෑයමේ ළිඳ අසල දක්වා උමඟක් කපා මාස 6ක් තුළ සම්පූර්ණයෙන් නිම කර සිටියේ රහසිගතව ඇය දැක ගැනීමේ හා නිදහසේ හමු වීමේ අරමුණ පෙරදැරි කරගෙනය. දෙදෙනා මේ කාලයේදී නිතර හමුවෙමින් ආදරය හා ශෘංගාරය උපරිමයෙන් වින්දහ.

මැදුරේ ලිපිනය යොදන විට පවා මැඳුර පිහිටි ස්ථානය වන ලිහිණියාගල හෝ ලිහිණියා කන්ද වෙනුවට තමන්ට හුරු කටවහරට අනුව ලොවීනාගේ සුරතල් නාමය වන “ලැවීනියා” සහ ගල්පොත්ත යන්නට “මවුන්ට්” ලෙස අර්ථ ඇති “මවුන්ට් ලැවීනියා, සිලෝන්” ලෙසින් ලිපිනය යොදන්නට මේට්ලන්ඩ් අමතක කළෙ නැත.

ආදරයට කණ කොකා හැඬීම

රොඩී කුලයක වූ ලොවීනාට උඩුකය වැසීමට ඇඳුම් ඇඳීම එවකට සමාජ සිරිත් විරිත් අනුව තහනම් නීතියක් විය. දිනක් ලොවීනාගේ නිරුවත් පපු පෙදෙස දෙස බලා සිටි සොල්දාදුවෙකුට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වෙඩි තබා මරා දැමූ බවටද කතාවක් තිබේ. මේ හේතුව නිසාම ලොවීනා මේට්ලන්ඩ්ගෙන් බලාපොරොත්තු වූයේ තෑගිබෝග මිල මුදල් නොවේ. ඒ වෙනුවට ඇය ඔහුගෙන් ඉල්ලා සිටියේ තම පහත් කුලයේ ජනතාවට සිය උඩුකය වැසීමට අවසර ලබාදෙන ලෙසයි. එමෙන්ම තමාගේ නිවාසවලට දොර ජනෙල් තැබීමටද අවසර ඉල්ලීමයි. ආණ්ඩුකාරවරයා දෙවරක් නොසිතාම ඇයගේ එම ඉල්ලීම ලිඛිතවම ඉටුකර දෙන ලදී.

මෙලෙස ආණ්ඩුකාරවරයා ඇයට දක්වන අති සුවිශේෂී සැලකිල්ල නිසාම ඇය හා වෛර බඳින මෙරට ඉහළ කුලවතුන් හා ඉංග්‍රීසි ප්‍රජාව රහසේ ගලා ගිය ලොවීනා – මේට්ලන්ඩ් පෙම් පලහිලව්ව ගැන නැවත වතාවක් එංගලන්තයේ ජෝර්ජ් රජුට දැනුම් දෙන ලදී. සියල්ල සොයා බලන රජුට දැනගත හැකි වූයේ උඩරට අල්ලා ගැනීම සඳහා තමන් යැවූ ආණ්ඩුකාරවරයා එකී මුඛ්‍ය කාරණාව පසෙක තබා ප්‍රාදේශීය ස්ත්‍රියක් සමඟ ඇති මේ නොගැළපෙන පෙම් පලහිලව්ව තවමත් පවත්වාගෙන යන බවයි. මෙය බි්‍රතාන්‍ය කිරීටයට දැඩි කැළලක් වීම නිසා ජෝර්ජ් රජු ගත් තීරණය වූයේ තෝමස් මේට්ලන්ඩ් 1811 වසරේදී මෝල්ටාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමටයි. ඒ ලොවීනාගෙන් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වෙන් කිරීම උදෙසායි. ඒ සඳහා රජු වහාම අණ කරන්නේ ආණ්ඩුකාරවරයාට දෙසතියක් ඇතුලත ආණ්ඩුකාර ධුරය හැරදමා එංගලන්තය බලා නැව් නගින ලෙසයි.

මේ පණිවිඩය ලැබීමෙන් අතිශය කණස්සල්ලට පත් වූ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ලොවීනා හමුවෙමින් පවසන්නේ ඉතා ඉක්මනින්ම නැවත ඇය වෙත පැමිණෙන බවයි. ඔහු යෑමට පෙර තම ආදරණීය පෙම්වතියට ගෞරවයක් වශයෙන් තම නිල නිවස “මවුන්ට් ලැවීනියා” ලෙස නම් කිරීමටද ඔහු පියවර ගත්තේය. ලොවීනා හැඬූ කඳුලින් පසුවද්දී මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වසර 5ක පමණ ආදර කතාව ලක්දිව තනිකර දමා කඳුළු පිරි දෙනෙතින් යුතුව මෙරටින් නැව් නැගී පිටව යයි. ඒ ඇයට කොළඹට නුදුරින් විශාල ඉඩමක්ද ලබා දෙමිනි. කෙසේ වුවත් පසුව ලොවීනා තම ආදර වියෝව දරාගත නොහැකිව සියදිවි නසා ගත් අතර ලොවීනාගෙන් සමුගත් ශ්‍රීමත් මේට්ලන්ඩ් වසර 63ක් වියැතිව 1824 තමා මියයන තෙක්ම අවිවාහකයෙකු වුණා.

මේට්ලන්ඩ් යුගයෙන් පසු මැදුර

මේට්ලන්ඩ්ගෙන් පසු රොබට් බ්‍රවුන්රිග්, එඩ්වඩ් පැජට් හා එඩ්වඩ් බාන්ස් යන ආණ්ඩුකාරවරු මෙම මන්දිරය සිය නිල නිවස හැටියට භාරගත් අතර ලංකාවේ ආණ්ඩුකාර ධුරයට පත් රොබට් බ්‍රවුන්රිග් මේ මන්දිරය ආසන්නයේ තිබූ තවත් ඉඩම් අක්කර 35ක් රික්ස් ඩොලර් 18000කට මිලදී ගැනීමට පියවර ගත්තා. පසුකලෙක ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් තම දෙවැනි ආණ්ඩුකාර ධුර කාලයේදී මේ ගොඩනැඟිල්ලේ බොහෝ වෙනස්කම් සිදුකළ අතර ඔහුට අවශ්‍ය වූයේ XIV ලුවී රජුගේ වර්සේල්ස් මාළිගාව බඳු ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමයි. බි්‍රතාන්‍ය ඉංජිනේරුවන් එය ඉතාලියානු විලාවක මුහුණුවරින් සකස් කිරීමට කටයුතු කළා. එම කාර්ය පැවරුණේ කපිතාන් එඩ්වඩ් සැන්ඩර්සන්ටයි. එහි බැන්ක්වට් හවුස් හෙවත් භෝජන මන්දිරය ශ්‍රීමත් ජෝන් සෝනේ විසින් ප්‍රතිනිර්මාණය කළ අතර ගොඩනැඟිල්ලේ මෙම ප්‍රතිනිර්මාණ කටයුතු 1830 දී අවසන් වුණා. එහෙත් එඩ්වඩ් බාන්ස් 1831 ඉන්දියාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙසින් පත්කෙරුණු හෙයින් ඔහුට එම මන්දිරයේ වැඩි කලක් වාසය කිරීමට හැකි වූයේ නෑ.

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ශ්‍රීමත් රොබට් විල්මට් හෝර්ටන් එහි පදිංචි නොවූ අතර 1842 දී බ්‍රිතාන්‍ය රජය මේ ගොඩනැඟිල්ල වෙන්දේසි කරනු ලැබුවා. එය මිලට ගත්තේ දේවගැති ආචාර්ය ජෝන් මැක්විකාර් විසින්. පසුකාලීනව මෙය උමතු පුද්ගලයන් රඳවා තැබීමේ ස්ථානයක් ලෙසින්ද භාවිත වුණා.

1877 දී බි්‍රතාන්‍ය රජය කොළඹ වරාය දක්වා වෙරළට සමාන්තරව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට පියවර ගත් අතර දුම්රිය මාර්ගය වැටී තිබුණේ ලැවීනියා කන්ද අසලින්. දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකි බැව් වටහාගත් ව්‍යාපාරිකයකු, මේට්ලන්ඩ් ලැවීනියා මන්දිරය මිලට ගෙන එය “මවුන්ට් ලැවීනියා ග්‍රෑන්ඩ් හෝටලය” බවට ද රොඩී ගුබ්බෑයම් පැවති කුඩා ගම්මානය ගල්කිස්ස නගරය බවට පරිවර්තනය වීම සිදු වුණා.

අනතුරුව ගොඩනැඟිල්ලට තවත් කොටස් කීපයක් එක් කරන ලද අතර 1927 දී කොළඹ පිහිටි ග්ලෝබ්, බ්‍රිරස්ටල් සහ වයිට්හෝස් යන හෝටල්වල හිමිකරු වූ ආතර් ඊප්‍රම්ස් විසින් එය මිලට ගෙන එහි පාලනය කාර්ගිල්ස් සමාගමට භාර දුන්නා. මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරුවරුන් සිව් දෙනකුගේ නිල නිවස වූ ගල්කිස්ස මහ හෝටලය පිහිටි ගොඩනැඟිල්ල ඉතිහාසයේ සිදුවීම් රැසක් සඟවාගත් ස්ථානයක් වශයෙන් හඳුන්වා දිය හැකියි.

1920 පමණ වනවිට මේට්ලන්ඩ්ගේ රහස් උමං මාර්ගය වසා දැමීමට සිදුවන අතර අද වනවිට උමඟේ කොණක තිබූ වයින් ගබඩාව හෝටලයේ ප්‍රධාන මුළුතැන්ගෙය වශයෙන් භාවිත වෙයි. තෝමස් මේට්ලන්ඩ් රැස්වීම් පැවැත්වූ කාමරය අදටත් හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් ආරක්ෂා කරගෙන තිබේ. අද ගාල්ලට දිවෙන ද්විත්ව දුම්රිය මාර්ගය දිවෙන්නේ ද මේ උමඟ කොටස් දෙකකට වෙන් කරගෙනයි. තවද ලොවීනා හෙවත් ලැවීනියාගේ ප්‍රතිමාවක් ගල්කිස්ස මහ හෝටලය ඉදිරිපස ඇති වතුර මල අසලදී වර්තමානයේද දකින්නට පුළුවන්.

ගල්කිස්ස මහ හෝටලය සහිත මෙම මන්දිරය දෙවන ලෝක යුධ සමයේදී රෝහලක් ලෙසද උපයෝගී කරගෙන ඇති අතර 1957 වසරේ නිර්මාණය වූ “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” (ක්වායි ගඟේ පාලම) නමැති චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූගත කෙරුණේද මේ හෝටලයේය. අදටත් මෙම මන්දිරය සවිශක්තියෙන් යුතුව ලිහිණියාගල මත වැජඹෙන්නේ නිර්මල ආදරයක මහිමය ලොවට හඬනගා කියමින්.

අපට ලැබුණු දේවල්

මේට්ලන්ඩ් – ලොවීනා ප්‍රේම වෘත්තාන්තයේ අවසානය ශෝකජනක සිදුවීමක් වුවත් ශ්‍රී ලංකාවට හා ජනතාවට නම් ඉන් වාසි කීපයක්ම සැලසුණි. ඉන් ප්‍රධානම වාසිය වූයේ මහා හෝටල් මන්දිරයක් ජාතියට තිළිණ වීමයි. ඊට අමතරව මේට්ලන්ඩ් පෙර තරම් විශාල බදු බරක් ජනතාව වෙත පැටවීම නැවැත්විය. එමෙන්ම උඩුකයට වස්ත්‍ර ඇඳීම තහනම්ව සිටි අඩු කුලේ ජනතාවට එම අයිතිය ලබාදීමද සිදුවිය.

මෙම හේතුපාදක කරුණු නිසා මේට්ලන්ඩ් -ලොවීනා ආදර කතාව ලංකාවේ පමණක් නොව බ්‍රිතාන්‍යයේද ඉතා ප්‍රසිද්ධ කතාවක් බවට පත්විය. වර්තමානයේ සංචාරක ක්ෂේත්‍රයේ පාරාදීසයක්ව පවතින ගල්කිස්ස මහ හෝටලය නිහඬවම කියා පාන්නේ එක්තරා කාලයක සිදු වූ සුන්දර ආදර අන්දරයක ශෝචනීය මතක සටහනයි.

ඉෂාරා සඳරේණු
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment