ආදර මල් නොමියේ….

317

අද දැයෙන් සමුගන්නා මහා සිනමාවේදිනිය ආචාර්ය සුමිත්‍රා පීරිස් පිළිබඳව මෙම අපූර්ව සටහන අප උපුටා ගත්තේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෙර ලියන ලද ‘ලෙස්ටර් ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ ග්‍රන්ථයෙනි. එම සටහන ඇයට උපහාරයක් වේවායි අපි පතමු.

ඇය වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් නොකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියා ගැන කතා කරන්නට නුපුළුවන. ඇය ඔහුගේ භගිනි භාර්යාවද මාතෘ භාර්යාවද ද සඛී භාර්යාව ද වන බැවිනි. ඔහුගේ සාර්ථක සිනමා දිවිය පසුපස සිටින්නී ඇය යි. සුමිත්‍රා යි.

අවිස්සාවේල්ලේ බොරළුගොඩ වලව්වේ දොන් ජාකෝලිස් ගුණවර්ධන නම් ප්‍රභූවරයෙක් සිටියේය. ඔහුට (1) හැරී (2) පිලිප් (3) රොබට් යැයි පුතුන් තිදෙනෙක් වූහ. හැරී ගුණවර්ධන නීතිඥයෙක් විය. පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන වාමාංශික දේශපාලනයේ පුරෝගාමීහු බවට පත් වූහ. හැරී අවිස්සාවේල්ල උසාවියෙහි වැඩ කරන කාලයේදී ධනවත් පවුලක යුවතියක වූ හැරියට් වික්‍රමසිංහ සමඟ විවාහ වූයේය. ඔවුන්ට දරුවෝ සිවු දෙනෙක් උපන. තෙවැන්නිය සුමිත්‍රා යි. වැඩිමලා අක්කා (චන්ද්‍රලතා පට්ටි ආරච්චි), දෙවැන්නා අයියා (ගාමිණි ගුණවර්ධන) ය. බාලයා මල්ලී (රංජිත් ගුණවර්ධන) ය. සුමිත්‍රාට මතක ඇති කාලයේ පටන් ඇය දුටුවේ ඡන්ද දායකයන්ය. ඡන්ද රැස්වීම්ය. ඡන්ද පෝස්ටර් ය. ඇසුවේ වාමාංශික සටන් පාඨය. ඡන්දදායකයන්ගේ දුක් ගැනවිලි ය.

ආදර මල් නොමියේ….
ලෙස්ටර් හා විවාහ වූ මොහොත

සුමිත්‍රා පාසල් අධ්‍යාපනය සඳහා අවිස්සාවේල්ලේ සාන්ත මේරි විද්‍යාලයට ඇතුළු කරනු ලැබුවාය. ඇය එහි සිටියේ එකොළොස් වැනි වියට පත්වන තෙක් පමණි. සුමිත්‍රා බෞද්ධ පරිසරයක අධ්‍යාපනය ලැබිය යුතු යැයි සිතූ දෙමාපියෝ ඇය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළු කර, කොළඹ නැවැත්වූහ. විශාඛාව ඇයට සුව එළවන තැනක් නොවීය. ඇතැම් වාම විරෝධී ගුරුවරියෝ සම සමාජකාර බාප්පලා ගැන කියමින් ඇයගේ සිත රිද වූහ. සම සමාජ ගින්නෙන් බුද්ධාගම බේරා ගනිමු වැනි සටන් පාඨ ඇතැම් තැනෙක දක්නා ලදි. පාසල් මිතුරියන් වැඩි දෙනාට වුවමනා වී තිබුණේ දොස්තරලා වීමටය. සුමිත්‍රාගේ සිත ඇදී ගොස් තිබුණේ චිත්‍ර කලාවටයි. සුමිත්‍රාගේ පාසල් ගමන නිමා වෙන්ටත් පෙරාතුව ඇයගේ මව මිය පරලොව ගියාය. අහිමිව ගිය මවු සෙනෙහස ඇයට ලැබුණේ ඇයගේ සොහොයුරාගෙනි. ගාමිණි ගුණවර්ධනගෙනි. ඔහු බෙහෙවින් කලාවට ප්‍රිය කළ තැනැත්තෙක් විය. සිය නැගණිය සුමිත්‍රා මුලින්ම චිත්‍රපට බලන්ට කැඳවා ගෙන ගියේ ඔහුය. මව ජීවතුන් අතර සිටියා නම් ගාමිණීට කෙසේ වෙතත් සුමිත්‍රාට නම් චිත්‍රපට බලන්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව ඇය එතරම් ගතානුගතික අදහස් දැරූ තැනැත්තියක වූ බැවිනි.

ආදර මල් නොමියේ….
මංගල දින දා

සිනමා රසිකයෙකු වූ ගාමිණී (බොහෝ දෙනා ආදරයට ඔහුට කීවේ කුරු ගුණවර්ධන කියා ය.) ආරාධිතයකු ලෙස ගොස් රේඛාව චිත්‍රපටයේ මංගල දර්ශනය ද නැරඹුවේය. ඒ ලෙස්ටර් සමඟ ඇති කරගත් අහඹු මිතුරුකමෙක ප්‍රතිඵලයක් වශයෙනි. ලෙස්ටර් පීරිස් සහ ක්‍රිස්ටෝෆර් පීරිස් රේඛාවෙහි පූර්ව ප්‍රචාරක කටයුතුවල නියැලී උන්හ. එබඳු එක් අවස්ථාවක ඔවුහු රේඛාවේ නිශ්චල ඡායාරූප පෙළක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාව අසල ප්‍රදර්ශනය කළහ. උණබම්බු රාමුවල පන් පැදුරු ගසා, ඒ පැදුරු මත ඡායාරූප රඳවා තිබිණ. ලෙස්ටර්ගේත් ක්‍රිස්ටෝෆර්ගේත් විශ්වාසය වූයේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට යන එන අය ඒ ඡායාරූප නරඹතියි කියාය. එහෙත් ඒ දෙස බැලුම් පෑ කෙනෙක් නම් නොවූහ. දිනක් එකම එක් පුද්ගලයෙකු පමණක් රේඛාවේ ඡායාරූපවලින් වශීකෘතව සිටිනු ලෙස්ටර් විසින් දක්නා ලදි. ඒ ගාමිණි ගුණවර්ධනයයි. ලෙස්ටර් ඔහුට රේඛාවෙහි මංගල දර්ශනය නරඹන්නට ආරාධනා පත්‍රයක් ප්‍රදානය කළේය.

තමන් සතු දේපොළ සොයුරු සොයුරියන්ගේ නමට ලියා දී ගාමිණි හදිසියේ රට හැර ගියේය. ඔහු ගිය තැනක්වත් කිසිවෙක් නොදත්හ. මිහිපිට තමන්ට සිටි ලෙන්ගතුම තැනැත්තාගේ වියෝගයෙන් සුමිත්‍රා කම්පාවට පත් වූවාය. ඇයට පාසලේ වැඩ කරගත නොහැකි විය. ඇය උසස් පෙළ කරන්නට විශාඛාවෙන් අස් වී ඇක්වයිනාස් ආයතනයට ගියාය. විභාගයට මුහුණ දීමට තරම් මානසික තත්ත්වයක් ඇය සතුව නොතිබිණ. තෙ වසරකට පසු ගාමිණීගෙන් ලිපියක් ලැබුණේය. එහි සඳහන් වූයේ ඔහු ප්‍රංශ ජාතිකයන් කිහිපදෙනකු සමග මුහුද මැද රුවල් නැවක (Yacht) ජීවත් වන බවයි. ලංකාවේ දී ගාමිණි නියැලී සිටියේ බෝට්ටු කර්මාන්තය පිළිබඳ රැකියාවක ය. සුමිත්‍රා තුළ ද එතෙර යෑමේ ආශාවක් හට ගත්තේය. නැගණිය විදේශීය විශ්වවිද්‍යාලයකට යවා වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්නට ගාමිණි ද කැමති විය. පියා හැර ගෙදර සියල්ලෝ ම එක පැහැර ඊට විරුද්ධ වූහ. ඒ විරෝධය නොතකා ඉතාලියේ නේපල්ස් ගුවන් තොටුපොළට තනිව ම ගුවනින් ගිය මේ විසි වියැති යුවතිය එහිදී සිය සොයුරා මුණ ගැසුණාය. තවත් දින තුනක දුම්රිය ගමනකින් ඔවුහු රුවල් නැව වෙත ළඟා වූහ. එහි සිටි ප්‍රංශ ජාතිකයාත් ඔහුගේ ඇමරිකානු බිරිඳත් ගාමිණීත් සමග සුමිත්‍රා පුරා සය මසක් තිස්සේ ඉතාලිය, ප්‍රංශය, ස්පාක්‍ද්ක්‍දය යන රටවලට මූදු මාර්ගයෙන් යාත්‍රා කළාය. ස්විස්ටර්ලන්තය සුමිත්‍රාගේ නැවතුම්පොළ විය. ප්‍රංශ භාෂාවත්, ඡායාරූපකරණයත් පිළිබඳ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇය එහි නතර වූවාය.

ආදර මල් නොමියේ….

ලංකාවේ බෝට්ටු නිෂ්පාදනය ගැන සොයා බලන්නට ප්‍රංශ ජාතිකයාත් සමග සිය රට පැමිණ සිටිය දී ගාමිණීට ලෙස්ටර් නැවත හමු විය. ලෙස්ටර් කෑන්ස් චිත්‍රපට උළෙල සඳහා ප්‍රංශයට යන්නට සූදානම්ව සිටියේය. ප්‍රංශ දේශසීමාවේ එනම් ස්විස්ටර්ලන්තයේ සිටින සිනමා ලෝලියක වන සුමිත්‍රාට ලෙස්ටර්ගෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ කිසියම් උපදේශයක් ලබා ගැනීමට මෙය අවස්ථාවක් වෙතියි ගාමිණීට සිතිණ. ගාමිණි මේ හමුවීම සැලසුම් කළේය. ඒ අනුව ප්‍රංශයේ ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ රේඛාව විශේෂ දර්ශනය නරඹන්නට සුමිත්‍රා ස්විස්ටර්ලන්තයේ සිට ප්‍රංශයට පැමිණ සිටියාය. ලෙස්ටර්ගේත්, සුමිත්‍රාගේත් ප්‍රථම හමුවීම සිදුවූයේ එහි දීය. සුමිත්‍රා රේඛාව කෙරෙහි බෙහෙවින් පැහැදුණාය. ඒ විශිෂ්ට නිර්මාණය කළ තැනැත්තා පිළිබඳ ගෞරවයක් ද භක්තියක් ද ඇය තුළ උපන්නේය. සිය අනාගතය පිළිබඳ ව ඔහු දෙන උපදෙස් පිළිපදින්නට ද ඇය නොපසුබට වූවාය. ලෙස්ටර්ගේ උපදෙස් අනුව ස්විස්ටර්ලන්තය අතැර එංගලන්තයට ගිය සුමිත්‍රා London Schcool of FilmTechnique නමැති ආයතනයට බැදී 1957 සිට 1959 දක්වා චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමා සහතික ලැබුවාය. ඒ කාලය තුළ එකී ආයතනයෙහි ඉගෙන ගත් එකම කාන්තාව ඇය පමණකි. අද දක්වාත් විදේශීය ආයතනයකින් සිනමාවේ කාර්මික අංශ පිළිබඳ පුහුණුව ලත් එකම ශ්‍රී ලාංකික කාන්තාවත් ඇයමය. සුමිත්‍රා ලන්ඩනයේ සිට බෙලිහුල්ඔයට ආවා ය. ඒ සංදේශයෙහි වැඩ කරන්ට ය. ලෙස්ටර්, ඇයට ඒ සඳහා ඇරැයුම් කොට තිබිණි.

කොණ්ඩය කොටට කපා කලිසමකින් හා ටී ෂර්ට් එකකින් සැරසී, ලොකු තොප්පියක් හිස පැළඳ බෙලිහුල්ඔය සිසාරා සැරිසැරූ කඩිසර රූමත් නව යෞවනිය, සමස්ත චිත්‍රපට කණ්ඩායමටම අති විශේෂ තැනැත්තියක වූවාය. සංදේශයේ දී ඇයට පැවරී තිබුණු නිල කාර්යය නම් දර්ශන සම්බන්ධතා ලිවීමය. එහෙත් ඇය නිශ්චල ඡායාරූප ගත්තාය. විජය අභයදේවත් තිස්ස ලියනසූරියත් සමග සහාය අධ්‍යක්‍ෂිකාවක ලෙස කටයුතු කළාය.

ආදර මල් නොමියේ….

සංදේශයෙන් පසු ලෙස්ටර්ත් සුමිත්‍රාත් දෙදෙනා රැකියා විරහිත තත්ත්වයට ඇද වැටුණාහ. ඇයට ලැබුණු එකම වෘත්තිය කටයුත්ත, ලෙස්ටර්ගේ Home from the sea නමැති මි. මී. 16 චිත්‍රපටිය සංස්කරණය කිරීමය. ලෙස්ටර් ගම්පෙරළිය නවකතාව සිනමාවට නගන්නට තීරණය කළ පසු ඒ සඳහා නිෂ්පාදකවරයකු සොයන්නට සුමිත්‍රා ද උත්සුක වූවාය. ලෙස්ටර් හා සුමිත්‍රා අතර තිබුණු මිත්‍රත්වය හා ළෙන්ගතුකම් ප්‍රේම සම්බන්ධතාවකට පරිවර්තනය වන්නට පටන් ගත්තේ මේ අවධියේය. එහෙත් එය තැන් තැන්වල මුළු ගැන්වී අතිනත් අල්ලා ගෙන පෙම් බස් දොඩන තාලයේ සම්බන්ධතාවක් නොවීය. ඔවුන්ගේ පෙම් පිළිසඳරත් සිනමා පිළිසඳරත් එකක්ම විය.

සුමිත්‍රා ගම්පෙරළියට මුදල් ආයෝජනය කිරීම සඳහා සීතාවක තානායමට යාබදව පරම්පරාවෙන් තමන්ට උරුමව තිබුණු වටිනා ඉඩමක් විකුණා දැමුවාය. 1962 දී රුපියල් 250 කට විකුණා දැමූ ඒ ඉඩමෙහි අද වටිනාකම රුපියල් කෝටි ගණනකි. ගම්පෙරළියට කාර්මික ශිල්පීන් තෝරද්දී එහි සංස්කරණ කටයුතු තමාට භාර දෙන ලෙස සුමිත්‍රා ඉල්ලා සිටියාය. ලෝරන්ස් ඔලිවියර්ගේ ශේක්ස්පියර් චිත්‍රපට, රොබට් ෆ්ලැටිගේ ලුසියානා ස්ටෝරි ආදිය සංස්කරණය කළ කාන්තාවන් ඇයට සිහිපත් වන්නට ඇත. එහෙත් ලෙස්ටර් ඊට කැමති වූයේ නැත. ඔහුගේ තේරීම වූයේය. අවසානයේ දී ටයිටස්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පෙරළිය සුමිත්‍රාට භාර දෙන්නට ලෙස්ටර් එකඟ විය. සුමිත්‍රා මෙනයින් ගම්පෙරළියෙහි සහාය නිෂ්පාදිකාව ද සහාය අධ්‍යක්‍ෂිකාව ද සංස්කාරිකාව ද වූවාය. සුමිත්‍රා ගුණවර්ධන, ප්‍රථම වරට සිනමා ක්‍ෂේත්‍රයෙහි පෙනෙන්නට පටන් ගත්තේ ගම්පෙරළියෙහි සංස්කරණ ශිල්පිනිය වශයෙනි. 1964 මැයි 9 වැනිදා සුමිත්‍රා සිය සිනමා දිවියෙහි ප්‍රථම ජයග්‍රහණය හිමි කර ගත්තාය. ඒ වසරේ දක්‍ෂතම සංස්කරණ ශිල්පියාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙනි. ලෙස්ටර් – සුමිත්‍රා සම්බන්ධය විවාහයකට එළඹෙන තරමට මෝරා තිබුණේය. එහෙත් ලෙස්ටර් විවාහකයෙකි. ඔහු දෑවුරුද්දකට ආසන්න කාලයක් මාග්රට් නමැති සුදු කත හා විවාහ දිවියක් ගත කළේය. ඇය රට හැර ගිය පසු ලෙස්ටර් සිතා සිටියේ රේඛාව චිත්‍රපටයෙහි වැඩ නිම කොට යළි ලන්ඩනයට යන්නටය. එහෙත් ඔහු මාග්රට් වඩා සිනමාවට ආලය කළේය. මාග්රට්, හර්ස් නමැති මනෝ වෛද්‍යවරයකු හා විවාහ වූවාය. තවත් ප්‍රශ්න රැසකි. සුමිත්‍රා ලෙස්ටර්ට වඩා අවුරුදු දහසයක් බාලය. සුමිත්‍රා බුද්ධාගමේය. සුමිත්‍රා හැදුණේ වැඩුණේ බොරළුගොඩ වලව්වේ සමසමාජකාරයන් අතරය.

මේ සකලවිධ පරස්පරතා අභිභවන හුයකින් ඔවුන්ගේ දෑඟිලි බැඳ තිබුණේය. ඒ සිනමාවයි. 1964 ජුනි 19 වැනි දා ඔවුහු විවාහ වූහ. එය සුමිත්‍රාගේ පියා සහ ගාමිණී ගුණවර්ධන ඇතුළු ඥාතීන් දහ දොළොස් දෙනෙකුගෙන් ද හිතවතුන් හත් අට දෙනෙකුගෙන් ද සමන්විත ඉතාම සරල චාම් විවාහ මඟුලක් විය. බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ පල්ලියේදී විවාහ චාරිත්‍ර ඉටු කළ ඔවුහු ඇන්ටන් වික්‍රමසිංහගේ නිවසෙහි දී කසාදයට අත්සන් කර භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. අනතුරුව කොළඹ තිඹිරිගස්යායේ ජයකොන්ත පටුමගෙහි කුලී නිවෙසකටත් එතැනින් බ්‍රවුන්රිග් පාරේ (කැප්පෙටිපොළ මාවත) කුලී නිවෙසකටත් පදිංචියට ගියහ.

ආදර මල් නොමියේ….
දගකාර යෞවනය

අදටත් ඔවුන් පදිංචි වී සිටින්නේ කොළඹ, ඩික්මන් පාරේ කුලී නිවෙසකය. ඉඩම් ගන්නට, ගෙවල් තනන්නට, සුව පහසු යාන වාහන මිලදී ගන්නට තබා දරුවන් හදන්ටවත් ලෙස්ටර් හෝ සුමිත්‍රාට වුවමනාවක් තිබුණේ නැත. ඔවුන් හුස්ම ගත්තේ සිනමාව සමඟය. එය ඔවුන්ගේ ජීවිතයේ ආස්වාදනීයම ක්‍රියාව විය. ප්‍රංශ රජයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් මත 1970-71 දෙවසර තුළ සුමිත්‍රා සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවක් (The conservatoire Independent Du cinema) හැදෑරීම සඳහා යළි ප්‍රංශයට ගියාය. ඒ වන තුරු ලෙස්ටර්ගේ සියලු චිත්‍රපටවල සංස්කාරිකාව වූයේ ඇයයි. ඒවා අතර දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ යන චිත්‍රපට වූයේය. දෙලොවක් අතර සඳහා 1966 දක්ෂතම සංස්කාරිකාවට හිමි සරසවි සම්මානය ඇයට හිමි විය. ප්‍රංශ චාරිකාව නිසා ලෙස්ටර්ගේ විශිෂ්ටතම චිත්‍රපටය වූ නිධානයට දායක වන්ට ඇයට අවස්ථාව නොලැබිණි. සුමිත්‍රා ප්‍රංශයෙහි සිට ලංකාවට ආවේ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නට සිතා ගෙනය. එය හැමදාමත් ඇයගේ සිත තුළ තිබුණු ආශාව යි. එහෙත් ඒ වනවිට නිෂ්පාදනයෙහි පැවතුණු ලෙස්ටර්ගේ ගෝඩ් කිංග් චිත්‍රපටය සංස්කරණය කරන්නටත් සිදු වූ බැවින් ඒ අදහස යටපත් විය.

1978 දී සුමිත්‍රා ඇයගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂණය ජනතාව අතරට ගෙන ආවාය. කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි නවකතාව පදනම් කරගත් ඒ චිත්‍රපටය රසිකයෝ ද විචාරකයෝ ද මහත් උණුසුම් ලෙස පිළිගත්හ. ඒ මෙතෙර දී පමණක් නොව එතෙරදීත් ය. මදුරාසියේ පැවති ෆිමෝත්සව් 78 හි දී ලන්ඩන් ටයිම්ස් ප්‍රවෘත්ති පත්‍රයේ ඩේවිඩ් රොබින්සන් පැවසුවේ මදුරාසි චිත්‍රපට උළෙලේ දී පෙන්වූ විදේශීය චිත්‍රපට අතරින් මුළුමනින්ම අලුත් යැයි කිව හැකි නිර්මාණය නම් සුමිත්‍රාගේ ගැහැනු ළමයි බවයි. ලන්ඩන් ෆයිනැන්ෂල් ටයිම්ස් පත්‍රයේ නයිජල් ඇන්ඩෘස් පැවසුවේ ගැහැනු ළමයි තුළින් පෙරදිග සිනමාවට මහත් බලාපොරාත්තු තැබිය හැකි අධ්‍යක්‍ෂවරියක් බිහි වී සිටින බවයි. 1978 ලන්ඩන් චිත්‍රපට උළෙලෙහි දී ගැහැනු ළමයි චිත්‍රපටයට ලැබුණු පැසසුම් අපමණය.

ආදර මල් නොමියේ….

මහාචාර්ය සුනිල් ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment