ආදායම් බදු ලිපිගොනු 15 ලක්ෂයක් ආගිය අතක් නෑ…

316

බදු හොරු අල්ලන්න අලුත් දැලක්

පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය තුළ සාකච්ඡාවට ලක් වූ කැපීපෙනෙන කාරණා කිහිපයක්ම තිබිණි. බ්‍රිතාන්‍ය මහ රැජිනියගේ අවමංගල්‍යාත්සවය ඒ අතර ප්‍රධාන විය. එම අවස්ථාවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව යෑම සම්බන්ධයෙන් අපේ දේශපාලන කරලියේ බොහෝ දේ කතාබහට ලක් විය. පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවැති සතියක් බැවින් පාර්ලිමේන්තුවේ දී ද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ පිළිබඳ සාකච්ඡා කළහ.

ඊට අමතරව පසුගිය සතිය තුළ කතාබහට ලක් වූ තවත් වැදගත් කාරණාවක් වූයේ අපේ බෞද්ධ විහාරස්ථානවල විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් සමාජයේ ඇතිව තිබූ කථිකාවයි. කෙසේ වෙතත් දැන් රටට ණය ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම තිබූ අවදානම් සහගත තත්ත්වයෙන් රට මිදී අවසන්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක සංවිධාන මෙන්ම රට රටවල් ගණනාවක්ම මේ වන විට ලංකාවට උදව් කිරීම සම්බන්ධයෙන් කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි. දැන් උදා වී ඇත්තේ රට පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම පිළිබඳ අභියෝගයයි. එහිදී ජාත්‍යන්තර ආධාර ලබාගැනීමට නම් රට ඉටු කළ යුතු කොන්දේසි බරපතළ වූහ. මේ දිනවල රට තුළ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් වාද විවාද පවත්වන්නේ මෙන්න මේ කොන්දේසි ඉටු කිරීම ගැනය. කොන්දේසි ඉටුකිරීම රටට කොතරම් වාසිදායක ද නැද්ද යන කාරණාව සමාජය තුළ පුළුල්ව විවේචනයට ගැනිණි.

පාර්ලිමේන්තුව තුළ මෙම කරුණු ඉතා දැඩි ලෙස සාකච්ඡා වෙමින් පවතිද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 17 වැනිදා මහා බිතාන්‍ය රජයෙන් කරන ලද ආරාධනාවකට අනුව මහා රැජිනියගේ අවමංගල්‍යාත්සවයට සහභාගි වන්නට ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබිණි. ඒ වූ කලී දෙවන එලිසබෙත් මහ රැජිනියගේ රාජාභිෂේකයට සහභාගි වූ දෙමව්පියන්ගේ දරුවකු ලෙස ලංකාවේ ජනාධිපතිවරයාට එම රැජිනියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන්නට වරම් ලැබී තිබීමයි.

ඔහුත් සමග ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, නිල වෛද්‍යවරයා හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් පමණක් මෙම සංචාරයට එක්ව සිටියහ.

මෑත යුගයේ දී අඩුම නියෝජිත පිරිසක් සමග විදේශීය නිල සංචාරයක යෙදුණු රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ඉතිහාසයට එක් විය. ඊටත් වඩා විශේෂත්වය වූයේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට මෙවන් සංචාර සඳහා සිය බිරිඳ එක්ව යා හැකි වුවද මෙවර මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය එම සංචාරයට එක්ව සිටියේ ඇයගේ පුද්ගලික වියදමින් වීමයි.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගත් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහිදී ඔහු වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. එය සංවිධානය කළේ යුරෝපයේ විශේෂ ජනාධිපති නියෝජිත නෙරංජන් දේවාදිත්‍යයි.

මහා රාජිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ කටයුත්ත ඉතා ගෞරවාන්විතව සූදානම් කර තිබූ අතර ජනාධිපතිවරයා හා සිය බිරිඳ මෛත්‍රී සමග එම අවස්ථාවට සහභාගිවීමට ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද එක්ව සිටියාය.

රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වන විශේෂ ආරාධිත කණ්ඩායම් වෙනුවෙන් එහි අසුන් පනවා තිබුණේ කාණ්ඩ හතරක් ලෙසය.

පළමුව රජ පවුලේ උදවියගේ කණ්ඩායමට ද දෙවනුව යුරෝපීය රාජ්‍ය නායකයන්ට ද, තෙවනුව ආසියාකරයේ රාජ්‍ය නායකයන්ට ද, සිව්වනුව අනෙකුත් රාජ්‍ය නායකයන්ට ද අසුන් වෙන්ව තිබිණි. ඒ අනුව ජනාධිපති රනිල්ගේ එක් පසෙකින් ඉන්දීය නායිකාවද අනෙක් පසින් මැලේසියාවේ රජතුමාද පසුපසින් මාලදිවයින් ජනාධිපතිවරයා ද වූහ. ආසියානුවන්ටත් පසුව ජෝ බයිඩන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නායකයන් වාඩිවී සිටිනු දක්නට ලැබිණි.

එදින රාත්‍රියේ තුන්වන චාල්ස් රජු විසින් අමුත්තන් පිළිගැනීම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ සීමිත රාජ්‍ය නායකයන් පිරිසක් වෙනුවෙන් පමණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මැතිනියත් එම සීමිත නායකයන් අතර සිටියහ. චාල්ස් රජු ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා හා කතාබහ කරමින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන විමසනු ලැබීය.

“ඔක්කොටම කලින් මම සුබපතනවා ඔබතුමාට කිරීටය දැරීමට වාසනාවන්ත වීම ගැන. මට මතකයි ඔබ වේල්සයේ කුමරු ලෙස මගේ රටට ඇවිල්ලා බොහොම සතුටින් සංචාරයක නිරත වුණා…”

“ඔව් ඒ මොහොතේ ඔබේ රටේ විශේෂ නිදහස් උත්සවයක් තිබුණා.”

“ඔව්…. ඔබ එදා පැමිණියේ අපේ රටේ 50 වෙනි නිදහස් සැමරුම් උත්සවයට. හැබැයි 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට අපි ආරාධනා කරන්නේ නව වේල්සයේ කුමාරයා ට… අන්තිමේ චාල්ස් රජු නව වේල්සයේ කුමාරයා හා ඔහුගේ වගකීම් සම්භාරය ගැන කරුණු කිහිපයක් විස්තර කළේය.

මේ සුහද කෙටි පිළිසඳර අවසන් කරමින් බ්‍රිතාන්‍ය රජු ලංකාව මේ වැටී සිටින දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ද උදව් උපකාර කරන බව ඔහු කීවේය.

එම හමුවට පසුව පැවති ඉතා වැදගත් ඊළඟ හමුව වූයේ බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා සූදානම් කර තිබූ රාජ්‍ය නායකයන් පිළිගැනීමේ අවස්ථාවයි. ඊට ඇමෙරිකානු ප්‍රංශ ජනාධිපතිවරු ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් එක්ව සිටියහ. ජනාධිපති රනිල් ආසන්නයේ ඉන්දීය ජනාධිපතිනිය, චීන උප ජනාධිපති සිටි අතර රනිල් ඔවුන් සමග මෙන්ම අනෙකුත් රාජ්‍ය නායකයන් සමග ද සුහද පිළිසඳරේ නිරත විණි.

මෙහිදී පිරිස කාලගුණික හා දේශගුණික විපර්යාස ගැන මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල රටවල් හි ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. අනතුරුව ලෝක ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් හා යෝජනා හුවමාරු විණි.

ජනාධිපති රනිල් පසුව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමුවූවේ රාජකීය අවමංගල්‍යයට පසු දිනය. එය දෙදනා අතර පැවැති සුහද සාකච්ඡාවක් විය. ආර්ථික තත්ත්වය ගැන මෙන්ම දේශපාලන තත්ත්වයන් ගැනද කතාබහ වූහ. ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්ය ගැනද ඇය හා කතාබස් කිරීමට රනිල් උත්සුක වූයේ ඒ පිළිබද ඈ තුළ වූ දැනුම හා උනන්දුව නිසාය.

පසුව ඩයස්පෝරා ප්‍රජාවේ සාමාජිකයන් හමුවීමට ද ජනාධිපතිවරයා එක්වූවේය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් එම අවස්ථාව සංවිධානය කර තිබුණි. ජනපති රනිල් ඩයස්පෝරා ප්‍රජාවට මෙරට තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව පැවැති හමුව දෙපිරිස තම දුරස්ථ බව අඩුකර ගැනීමට හැකි සුහද හමුවක් විය. ඒ වන විට ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ද ඊට එක්ව සිටියේය.

“ෆේස් බුක් එකේ සර් මෙහේ ආපු එක ගැන හරියට බොරු ප්‍රචාරය කරනවා” එහි සිටි එක් අයකු කීවේය.

“ඇයි මම මෙහේ ආපු එක ගැනත් එහෙමනේ යන්නේ. නායකතුමාගේ ගෙවල් ගිනි තියපු අයම තමයි ෆේස් බුක් එක අල්ලගෙන මේ පහර ගැසීම් කරන්නේ” රුවන් කීවේය.

රනිල්ගේ ගමන ගැන
දෙපැත්තෙම විවේචන

මෙම දුෂ්කර අවස්ථාවේ රටේ ඩොලර් වියදම් කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් මහා රාජිනියගේ අවමංගල්‍ය උත්සවයට යෑම ගැන පාර්ලිමේන්තුව විවාදවලදී ද යම් යම් විවේචන මතුවිය. තෙල්නැව්වලට බේත් හේත්වලට ගල් අඟුරුවලට හා නොයෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ගෙවීම සඳහා රට තුළ ලොකු මුදල් හිඟයක් ඇති මෙම අවස්ථාවේ රටේ මුදල් වියදම් කරමින් මෙම ගමන යෑම විපක්ෂයේ සමහරුන් දැඩි මුදල් නාස්තියක් ලෙස අර්ථ දැක්වූහ. පසුගිය දිනක විවාදයකදී කතා කරමින් විමල් වීරවංශ පවා මේ සම්බන්ධයෙන් දැඩි අවඥාවෙන් යුතුව අදහස් දක්වන අයුරු අපට දැකගත හැකි විය.

තවත් සමහරු කිව්වේ රනිල් එම ගමන ගියේ බ්‍රිතාන්‍ය රජයේ ආරාධනයකට අනුව බවයි. එවන් ආරාධනයක් තිබියදී රනිල් එම ගමන නොගියේ නම් එය නොතකා හැරීමක් හෝ නොසලකා හැරීමක් වීමටද ඉඩ තිබූ බව සමහරුන්ගේ මතය වූහ. කෙසේ වෙතත් ඒ පිළිබඳ වූ විවේචනවල නම් නිමක් නොවීය.

මේ අතර අගමැති දිනේෂ් ගුණවර්ධනටද පසුගිය සතියේ මහත් ඇබැද්දියකට මුහුණ පාන්නට වූයේ අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානවල කරන ලද සංචාරයක දී ය. අගමැතිවරයා හා විහාරස්ථාන ගණනාවක්ම වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත් පසුව මිහින්තලේ පුදබිමට ද පැමිණියේය. අගමැති දිනේෂ් සමග දුමින්ද දිසානායක ශෙහාන් සේමසිංහ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද සිටියහ. මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අගමැතිවරයා ඉතා ගෞරවයෙන් පිළිගෙන සියලු ආගමික වතාවත් නිමවා අවසානයේ ඉතා තද දැඩි අනුශාසනාවක් කළේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් හා ක්‍රියා පිළිවෙත දැඩි විවේචනයට ලක් කරමිනි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට නොගිය හොත් අරගලකරුවන් නැවතත් සංවිධානය වී මහා බලයක් ලෙස පැමිණීම කිසිවකුටත් නතර කළ නොහැකි යැයි උන්වහන්සේ කීහ.

“ඔබතුමාලා ඔක්කොටම අත ඉස්සුවා අත්සන් කෙරුවා, දැන් පක්ෂ ප්‍රතිසංවිධානයක් කරනවා මේ වෙලාවේ. මේ වෙලාවේ පක්ෂ නෙමේ ප්‍රතිසංවිධානය කරන්න ඕනේ අපේ අගමැතිතුමා. රටේ ජනතාවගේ සුබසිද්ධියයි කරන්න ඕන. තාත්තලා, පුතාලා, හිටපු නායක නායිකාවන්ගේ දරුවෝ තමයි දැන් රට භාර ගන්න ජනාධිපතිකම ඊට පස්සේ ගන්න ලැහැස්ති කරලා තියෙන්නේ. ඉතින් එහෙම ගන්න පුළුවන් ද, දෙනවද අපි එහෙම. ජනාධිපතිතුමා කිව්වානේ ක්‍රිකට් ටීම් එක හොඳයි කියලා. ක්‍රිකට් ටීම් එක හොඳ වුණේ ඒ කට්ටිය එකතුවෙලා බැටින්, ෆීල්ඩින් කරානේ හොඳට. සමගිය බලය වේ. පාර්ලිමේන්තුවේ 225ට මේ කපේට එක්සත් වෙන්න බෑ”

මීට පෙර වතාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිහින්තලාවට පැමිණි අවස්ථාවේ මේ පිළිබඳ කිසිවක් විවේචනය නොකළ ඒ හිමියන් ආගම දහම ඉදිරියේ ඉතා සංවේදී හා භක්තිමත් දිනේෂ් ගුණවර්ධන වැන්නෙක් ඉලක්ක කොටගෙන මෙවන් සැර දැඩි ප්‍රකාශයක් කිරීම ගැන විවිධ අදහස් මතුවිය.

එම මොහොතේම දුමින්ද ඇතුළු කිහිප දෙනෙක් කාරණාව පිළිබඳ සංවේදී වුවත් අගමැතිවරයා සහ සාවධානව ඇහුම්කන් දෙමින් තම කණ්ඩායමට කියා සිටියේ හැඟුම්බරව කටයුතු නොකරන ලෙසයි.

සැබැවින්ම මේ අවස්ථාවේ ලංකාවේ ප්‍රධාන පෙළේ වියදම් අධික විහාරස්ථාන නඩත්තු කරන මහනායක හාමුදුරුවරුන්ට හා විහාරස්ථානවලට ලොකු ප්‍රශ්නයක් තිබිණි. ප්‍රශ්නෙ පැමිණියේ රජය සෑම විහාරස්ථානයකම විදුලි බිල අයකර ගන්නට තීරණය කර ඇති පසුබිමකය. මේ පිළිබඳව මහනායක හිමිවරුන්ටත් වඩා ඉස්සර වී විරෝධය පාමින් අදහස් දැක්වූයේ මේ රටේ තරුණ අරගලයට පක්ෂපාතීව අදහස් දැක්වූ එක් ප්‍රසිද්ධ හිමිනමක් වන ඕමල්පේ සෝභිත හිමියන් ය. විහාරස්ථානවලින් විදුලි බිල අය කර ගැනීමට රජය ගත් තීන්දුව සංශෝධනය නොකරන්නේ නම් දැඩි තීන්දු ගන්නේ ඇයි උන්වහන්සේ එළිපිටම ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියහ.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ විවිධ දේශපාලනඥයෝ විවිධ අදහස් දක්වන්නට වූහ. එහිදී කුමාර වෙල්ගම මහතා දැක්වූ අදහස කාගේ කාගේත් ඇස්වල බැඳී තිබූ අඳුරු පට ඉරා දමන්නක් විය…

“පන්සල්වලින් විදුලි බිල අය කරගන්න ඕන. පන්සල්වලින් විදුලි බිල අයකර ගන්න තීන්දුවක් ගත්තම ඒකට කලබල වෙලා ඉස්සර වෙලාම කෑගහන්නෙ ‘වී එයිට්’ වාහනවලින් ඇවිල්ල බහින හාමුදුරුවරු” පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් 4 ක් පමණ වැඩකරන වියදම් අධික සැප වාහනයක් වූ වී එයිට් එකක ගමන් බිමන් යෑම සාමාන්‍ය පන්සලක හිමිනමකට නම් කෙසේවත් කළ නොහැක්කකි.

මේ පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කරුණු සාකච්ඡා වූ අතර පන්සල්වලින් විදුලි බිල අයකර ගැනීම සම්බන්ධයෙන් වූ රහස් ගණනාවක් ද එළියට ආවේය. විදුලි බලමණ්ඩලයේ ප්‍රධානියෝ කියන පරිදි අද අපේ රටේ තිබෙන ඉහළම පෙළේ පන්සල් ගණනාවක් විදුලිබල මණ්ඩලයට සත පහකවත් විදුලි බිලක් ගෙවන්නේ නැත. එහෙත් එම පන්සල්වල ආලෝක පූජාව සඳහා යැයි කියමින් දිනපතාම වන්දනාකරුවන්ගෙන් හා දායකයන්ගෙන් සම්මාදම් මුදල් එකතු කරති. විදුලි බිලට යි කියමින් කැටවලට මුදල් එකතු කරති. විදුලි බිල ගෙවීම සඳහා ටිකට් කඩති. ඒ හැරුණු විට එම විහාරස්ථානවල උත්සව සමයේ මෙන්ම පෝය දවස්වල ආලෝකකරණය හා ආලෝක පූජා පවත්වනුයේ ඉහළ පෙළේ වාණිජ ආයතනයන්ය. සමහර මාධ්‍ය ආයතනයන්ය.

ඒ හැරුණු විට එම පන්සල් රජයට මුදල් නොගෙවන විදුලි බිල යටතේ ආපන ශාලා පවත්වාගෙන යති. කුලියට කාමර ලබාදෙන විශ්‍රාම ශාලා පවත්වාගෙන යති. එසේම මුදල් ගෙවා දරුවන් ඉගෙන ගන්නා පුද්ගලික පන්ති ද පවත්වාගෙන යති. ඇතැම් විහාරස්ථාන යටතේ ලන්ඩන් විභාගවලට දරුවන් හුරු කරන ජාත්‍යන්තර පාසල් පවා පවත්වන බව ප්‍රසිද්ධ රහස්ය. එහෙත් රටට කියන්නේ පිරිවෙන් ගැන පමණකි. එසේ මුදල් ලබා ගනිද්දී එම පන්සල් කිසිවක් විදුලි බලයට රජයට කිසිදු මුදලක් නොගෙවති.

විදුලිබල ලොක්කන් කියන පරිදි අනුරාධපුර ප්‍රදේශයේ පමණක් පන්සල් නමයකින් එක් මසකට මේ අයුරින් රජයට අහිමි වන මුදල කෝටි නමයකටත් වැඩිය.

අපට වැරදුන තැන
ධනසරි හෙළි කරලා….

පසුගිය සෙනසුරාදා බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. ඊට සහභාගි වූයේ හිටපු නගරාධිපතිවරු ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මීට පෙර මෙවන් රැස්වීම්කට සහභාගි වන්නට බැරි වූ ආසන සංවිධායකවරුන් පිරිසකි. බැසිල් රාජපක්ෂ ඊට පෙරදා රාත්‍රියේ විදේශගත වූ බැවින් ඔහු වෙනුවට පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සහ රෝහිත අබේගුණවර්ධන ඊට සහභාගි වූහ. අපට මොකද වුණේ..? යන මාතෘකාව යටතේ මෙහිදී සහභාගි වූ නගරාධිපතිවරුන්ට හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට කරුණු දක්වන්නට අවස්ථාව ලැබිණි.

නගරාධිපතිවරු හා සභාපතිවරු කිහිප දෙනෙක් එහිදී මුලින් කතා කළ අතර අනතුරුව දෙහිවල නගරාධිපතිව සිටි ධනසිරි අමරතුංග කතා කරන්නට පටන් ගත්තේය…

“හරි නම් මං මේ කතාව කරන්න ඕන බැසිල් රාජපක්ෂ මහත්තයත් ඉන්න තැන්ක…. කමක් නෑ. මම මෙච්චර දවසක් මේ වගේ රැස්වීම්වලට ආපු නැති එක අදවත් කතා කරන්නම්…. කියමින් ධනසිරි කතාව පටන් ගත්තේය.

“මම මීට කලින් මේ කිසිම රැස්වීම්කට ආවේ නෑ… ඒ මොකද මට දේශපාලනය එපාම වෙලා තිබුණේ… අපට දේශපාලනය එපා වෙන්න ලොකුම හේතුව තමයි දේශපාලනය කියලා කිසිම දෙයක් දන්නෙ නැති අත දරුවන්ව මේකට ගෙන්නා ගැනීම.

ආයෙ අපිව දේශපාලනයට ගෙන්න ගන්නවා නම් මම වැඳලා කියන්නම්… දේශපාලනය දන්නෙ නැති අත්දරුවන්ව නම් මේකට වැද්දා ගන්න එපා. ගෝඨාභය මහත්තයා දක්ෂ හමුදා නිලධාරියෙක් වෙන්න පුළුවන්…. එහෙ වුණාට එතුමා දේශපාලනය දන්නේ නෑ. දේශපාලනය දන්නෙ නැති නිසා මේකට කිසිම දෙයක් දන්නැති වැඩ බැරි ටාසන්ලා ටිකක් ළං කර ගත්තා…. ඒකනෙ අපිට කෙළ වුණේ…. අපිට විතරක් නෙවෙයි… රටම මකබෑ වුණේ ඒක නිසා.

අපි වේදනාවෙන් කතා කරන්නෙ…. අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද අපි තමයි ගම්වල ගිහිල්ලා වැඩ කරන්නේ. අපි තමයි වියදම් කරන්නේ. ඒ වුණාට වැඩ බැරි ටාසන්ලා ඇවිල්ලා මුලින්ම කරේ අපිව අයින් කරපු එක.

අපි අදත් දේශපාලනයේ රැඳිල ඉන්නේ මහින්ද මහත්තයා නිසයි. ඒ වුණාට මහින්ද මහත්තයාගේ තිබිච්ච දේශපාලන ඥානයවත් ඉවවත් ඔය කිසි කෙනකුට තිබුණේ නෑ.

ගෝඨාභය වරද්ද ගත්තේ කරුණු දෙකක් හින්දයි. එකක් වැඩ පුළුවන් කියලා හිතාගෙන වැඩ බැරි පිරිස් ටිකක් ගෙන්න ගෙන ඒ ඇයට තනතුරු වගකීම් දීලා මෙච්චර කාලයක් වැඩ කරපු මිනිස්සු ටිකක් අයින් කළා…. දෙවැනි කාරණාව තමයි මහින්ද මහත්තයා කියපු කිසි දෙයක් ගණන් ගත්තේ නෑ… මම නේ මහින්ද මහත්තයාගේ සම්බන්ධීකරණ ලේකම්. මමයි සමහරවිට දුරකථන ඇමතුම් ගත්තේ….. දුරකථනයට ආවේ නෑ. ඒ වෙනුවට කාගෙන්ද උපදෙස් ගත්තේ…. හිටපු විශ්‍රාම ගිය හමුදා ජෙනරාල්ලයි උගත්තු වියත්තු කියලා වැඩ බැරි ටාසන්ලායි ඉටුකර ගත්තා… සමහර එවුන් පට්ට හොරු. සමහර එවුන් දන්න බම්බුවක් නෑ…. අරඹේපෛාල නෝනා වගේ අයව ගෙනල්ලා තනතුරු දෙන කොට මං හිතුව ඕක අපිට වෙයි කියලා… වැඩ පුළුවන් හොඳ මිනිස්සුත් පැන්නුවා…

උදාහරණයක් තමයි යූ ඩී එකේ හිටපු චෙයාමන් හර්ෂාන් ද සිල්වා. මිනිහ හොද ආකිටෙක්චර් කෙනෙක්. එදඅබ චක්බබැර කෙනෙක්. ගෝඨාභය ඔය ඔක්කොම ජොගින් පාත් ඩිසයින් කරන එයා. නගර උද්‍යාන හැදුවේ එයා. පරණ රේස් කෝස් එක අලුත්වැඩියා කරල ඔය තත්ත්වෙට ගත්තේ එයා. අන්තිමේ ඒ වගේ දක්ෂයෙක්ව අයින් කරල කාවද දැම්මෙ…. අර කවුද හමුදා කාරයෙක්ව දැම්ම උදයද කවුද කියලා… එතනින් පස්සේ වැඩක් කෙරුණද?

මට ඇත්තටම සැකයි උන්නැහැ මහින්ද මහත්තයාගේ සහෝදරයෙක්ද කියලා…. කවුරු මොනව කිව්වත් බැසිල් මහත්තයා දේශපාලනය දන්නවා. එතුමයි මහින්ද මහත්තයයි රට කරලා තිබුණ නම් අද රටට මේ ටික වෙන්නේ නෑ….”

ධනසිරි විනාඩි විස්සක් පමණ කතා කළේය…. කතා කරන කාර්ණාවෙන් කාර්ණාවට සභාවේ අත්පොළසන් හඬ නැඟුණේ ඔහු කී සියල්ල සභාවේ සිටි සියලු දෙනා අනුමත කරන නිසා වන්නට ඇත.

ඉන් පසුවත් කතා කළ බොහෝ දෙනා සිද්ධ වෙච්ච කිසිවක් ගැන සතුටින් කතා කළේ නැත….

ආදායම් බදු හොරු
හැම තැනම ඉන්නවලු…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

එහිදී පළමුව කතා කළේ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංගය. ඔහු සඳහන් කළේ 20 වැනිදා සිට 23 දක්වා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති බවය. පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා ප්‍රශස්ත මට්ටමින් මැදිහත්වීම හා විවාදවලදී සක්‍රීය දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයිද ඔහු පැවසීය.

අනතුරුව අගමැතිවරයා ජාතික සභාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂවලට ඉන්නෙ මන්ත්‍රීවරුන් එක්කෙනයි නැත්නම් දෙන්නයි. ඒක නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනාට අවස්ථාව ඕන කියල මතයක් ආවා. විරුද්ධ පක්ෂයත් මේ ගැන කතා කළා.”

ජාතික සභාවේ මන්ත්‍රී නියෝජනය ඉහළ දැමීමට සිදුවීම පිළිබඳව අගමැතිවරයා එලෙස පැහැදිලි කළේය.

“යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නවනම් ජාතික සභාවේ ඔක්කොම දෙනා එයට එකඟ වෙන්න ඕන. එහෙම නැතුව තනි මතයට වැඩ කරන්නේ නෑ.” අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

“විහාරස්ථානවල විදුලිබිල ඉහළ යෑමත් සමඟ මහා සංඝරත්නය ආණ්ඩුව සමඟ පසුවන්නේ එතරම් හිත හොඳකින් නොවේ.” ජගත් කුමාර මන්ත්‍රීවරයා ඒ ගැන කතා කළේය.

“පන්සල්වල ලයිට් බිල වැඩිවීම ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වේවි. ඒක නිසා මේකට සහනයක් දෙන්න බලන්න”

“අපි ඒ ගැන කංචන ඇමැතිතුමා එක්කයි, විදුලිබල මණ්ඩලය එක්කයි කතා කරමු.” හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

“දැන් කුඹුරුවල අස්වැන්න නෙළනවා. ඒත් වී ගන්න රාජ්‍ය බැංකු සල්ලි දෙන්නෙ නෑ කියල කෘෂිකර්ම ඇමැතිතුමා කියනව. මෙහෙම ගිහිල්ලා ගොවියා ශක්තිමත් කරන්නේ කොහොමද?” ජගත් කුමාර මන්ත්‍රීවරයා යළි කීවේය.

“ඉල්ලපු මුදලින් යම් ප්‍රමාණයක් ලැබුණ නේද?” මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගෙන් විමසීය.

“නෑ.. කියියක්වත් ලැබුණේ නෑ” අමරවීර කීවේය.

“මේක පිටිපස්සේ ඉන්නෙත් මහා පරිමාණ වී මෝල් හිමියෝ. මගේ කාලෙත් මෙහෙම වුණා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සල්ලි දෙනවා. වී අලෙවි මණ්ඩලයට දෙන්නේ නෑ..” හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

“දැනටමත් සති දෙක තුනක් පරක්කුයි. වී ටික ගන්න සල්ලි දෙන්න” අමරවීර නැවත කීවේය.

අනතුරුව සාකච්ඡාවට ලක්වූයේ බදු ආදායම වැඩිකර ගැනීම පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබුණේය.

“බදු ආදායම වැඩිකර ගන්න අපිට අලුතින් බදු ගෙවන පිරිස් ලක්ෂ 20 – 25ක් අපි එකතු කරගන්න ඕන. ලබන මාසේ 1වැනිද ඉඳලා ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.” මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියේ ලිපිගොනු රැසක් ද සමඟය. ඒ ලිපිගොනුවල තිබුණේ මෙරට බදු ආදායම පිළිබඳ විස්තරයි. සියඹලාපිටියගේ කතාවෙන් පසුව මහින්දානන්ද රජයේ බදු ආදායම වැඩි කර ගැනීම ගැන කතා කරන්නට පටන් ගත්තේ මේ ලිපි ගොනු එකින් එක පෙන්වමිනි.

“මහාපරිමාණ ව්‍යාපාරිකයන් බදු වංචා කරනවා. බදු වංචා කරන පිරිසට එරෙහිව දැඩි දඬුවම් දෙන්න අලුතින් නීති ගේන්න ඕන. අපෙන් පටන් ගමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ෆයිල් එක ගාණේ අරිමු”

මහින්දානන්ද අලුත්ගමගේ ගොනු එකින් එක පෙන්වමිනි කීවේය.

‘ඔහු කී කතාවට මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය හිමිවිය.

“රේගුවෙන්, සුරාබදු එකෙන් විශ්‍රාම ගිය අය අරක්කු කොම්පැණිවල උපදේශකයෝ විදියට වැඩ කරනවා. බදු ගෙවන්න එපා කියල මේ අය කොම්පැණිවලට උපදෙස් දෙනවා. හැබැයි බැණුම් අහන්නෙ පාර්ලිමේන්තුවේ 225.” මන්ත්‍රී මධුර විතානගේ ද කතාවට මැදිහත් විය.

“බදු ආදායම වැඩි කරන්න අලුත් නීති ගේන්න ඕන. රේගුව, සුරාබදු එක නියාමනය කරන්න මුදල් අමාත්‍යාංශය යටතේ වෙනම ඒකකයක් පිහිටුවන්න ඕන. ඒ වගේම දැව ප්‍රවාහනය, වැලි ප්‍රවාහන බලපත්‍ර ගාස්තු වැඩි කරන්නත් ඕන”

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා දැඩිව කීවේය.

අනතුරුව අදහස් දැක්වූයේ රාජ්‍ය ඇමැතිනි ඩයනා

ගමගේය. ඇය සඳහන් කළේ ටියුෂන් ගුරුවරුන්ගෙන් බදු අය කළ යුතු බවයි. ටියුෂන් ගුරුවරුන් බොහෝ දෙනකු බදු නොගෙවන බවද ඇය කීවේය.

“ත්‍රීවිල් රියැදුරෙක් අවුරුද්දකට රුපියල් ලක්ෂ 27ක් විතර හොයනව. මේ අයගෙනුත් බදු අයකර ගන්න ඕන” අනතුරුව ඇය කීවේය.

“අපෝ ඕව කරන්න බෑ.” මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කීවේය.

කිව්වා නාහන අය
ශ්‍රීලනිපයෙන් නෙරපයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැතිකම් භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුළ දැඩි නොමනාපයක් තිබිණි. පක්ෂය අභ්‍යන්තරයේ මේ පිළිබඳව නොයෙකුත් කාරණා සාකච්ඡාවට ගැනිණි.

පක්ෂයට හානිකර ලෙස එවන් තීන්දු ගත් අය පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට තීන්දුවක් ගත්තේ ඒ අනුවය.

පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ සිටින අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණ ආණ්ඩුවේ තනතුරු ගත් අට දෙනකුට පක්ෂයෙන් ලියුමක් ලැබුනේ ඔවුන් මෙතෙක් පක්ෂයේ දරනු ලැබූ සියලු තනතුරු වලින් නෙරපා හරින ලද බව දන්වමිනි.

නිමල් සිරිපාල ද සිල්වා මේ සම්බන්ධයෙන් අනෙක් ඇමැතිවරුන් දැනුවත් කළේය. ලිපියක් තමන්ට ද ලැබී ඇති බව දැන්වූ ඇමැතිවරු ඒ ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය බව නිමල්ට කීහ.

අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ නිමල් සිරිපාල ඇමැතිවරයාගේ කාමරයේ දී විශේෂ රැස්වීමක් පැවැත්විණි. ඒ වනවිට දුමින්ද දිසානායකට එවන් ලියුමක් ලැබී තිබුණේ නැත. මන්ද ඔහු ඒ වන විටත් ඇමැති ධුරයක වගකීම් භාර ගෙන නොතිබූ නිසාය.

ඒ හැරුණු විට අනෙකුත් ඇමැතිවරුන් අට දෙනා එදින නිමල් සිරිපාලගේ කාමරේට පැමිණ මේ ගැන සාකච්ඡා කළහ.

අවසානයේ ඔවුන් තීන්දු කළේ මාධ්‍යවලට හෝ කිසිදු ප්‍රසිද්ධ සභාවක මේ පිළිබඳව කිසිවක් නොකියන්නට ය.

විවෘත සමාජයේ දී මේ සම්බන්ධයෙන් කිසිවකු සමග කිසිදු ගැටුමක් ඇතිකර නොගන්නටද තීන්දුවක් ගත්හ.

“තනතුරු වලින් අයින් කළා කියලා නායකයා දන්වලා තියෙනවා. ඒ වුණාට අමතක කරන්න එපා අපි හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ බව. අපිව පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කාටවත් බෑ…”

අවසානයේ නිමල් සිරිපාල ද සිල්වා කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment