ආදිවාසී කාන්තාවෝ රට රස්සා ඉල්ලති

189

ලොව ජීවත්වන සියලු මිනිසුන් සැපවත් ජීවිතයක් ගතකිරීමට කැමතිය. සැපවත් ජීවිතයක් ගතකිරීමට නම් යහමින් මුදල් තිබිය යුතුය. මිනිසුන් දිවා රෑ මහන්සි වී වැඩ කරන්නේ පුළුවන් කාලයේ වැඩිපුර කීයක් හෝ උපයාගෙන බැරි කාලයේ ප්‍රයෝජනයට ගැනීම සඳහාය. තවත් කොටසක් ‘හෙට මැරුනත් අපට සැපයි අද ජොලි කරලා’ යැයි සිතති. කොහොම සිතුවත් සැපෙන් සතුටින් ජීවත්වීම සඳහා මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්, ඉන්ධන, යාන වාහන ආදී දහසකුත් එකක් අවශ්‍යතා සපුරා ගැනීම අද වනවිට උග්‍ර අර්බුදයක් බවට පත්ව තිබේ. ඒ ඒවායෙහි අධික මිල හා භාණ්ඩ හිඟකමයි. වැඩි මිලට ගැනීමට හෝ මිනිසුන් අත මුදල් තිබිය යුතුය. මේ වනවිට මෙරට මුදල් ඉපයීමේ මාර්ග බොහෝමයක් වැසී ගොස් තිබේ. බොහෝ දෙනකුට මේ වනවිට සොච්චමක් හෝ උපයා ගැනීමට තිබුණු රැකියාව ද දිනෙන් දින අහිමි වෙමින් තිබේ. රැකියාවක් ලැබුණ ද එම පඩියෙන් මාසයක් නොව සතියක්වත් ජීවත් විය නොහැක. බොහෝ දෙනා මේ පිළිබඳ කල්පනා කරමින් සිටීම නිසා දැඩි මානසික පීඩාවන්ට ලක්ව ඇත. මෙයට පිළියමක් ලෙස බොහෝ දෙනා තෝරා ගන්නේ විදෙස්ගත වීමයි.

ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ පසුගිය කාලයේ පාස්පෝට් කන්තෝරුව ඉදිරිපිට පැවති දිගු පෝලිම්ය. විදෙස්ගත වීම සඳහා අවශ්‍ය වන විදෙස් ගමන් බලපත්‍රය සාදා ගැනීම සඳහා දිවයිනේ සිව් දෙසින් පැමිණි ජනතාව දින ගණන් පෝලිම්වල රැඳී සිටියහ. ආණ්ඩුවට ද මෙය විශාල ප්‍රශ්නයක් වන තැනට පත් වූ බැවින් අවසානයේ රටේ විවිධ දිස්ත්‍රික්කයන්හි එක්දින සේවාව සඳහා ශාඛා විවෘත කරමින් මේ සඳහා විසඳුම් සොයන්නට ආණ්ඩුව උත්සාහ ගන්නා ආකාරය ද දකින්නට ලැබිණි.

මෙලෙස විදෙස්ගත වන බොහෝ දෙනාගේ අපේක්ෂාව වන්නේ කෙසේ හෝ යුරෝපීය රටකට පැන ගැනීමයි. මේ සඳහා ඔවුන් නීත්‍යානුකූල මාර්ග මෙන්ම නීති විරෝධී මාර්ග ද භාවිත කරයි. එසේම බොහෝ දෙනෙක් මෙවැනි නීති විරෝධී මාර්ග තෝරා ගැනීම නිසා අල්ලපු අත්තක් පය ගහපු අත්තක් යන දෙකම නැති කර ගත් අවස්ථාවන් ද බොහෝ වාර්තා විය. ඕනෑම ව්‍යසනයකදී තම මඩිය තර කර ගන්නා පිරිස් නිසා ලක්ෂ ගණන් පොලියට හෝ ගෙවල් ඉඩම් උගස් කර ලබාගත් මුදල් වංචාකාරයන්ට ගෙවා එම මුදලත් කළ රැකියාවත් දෙකම නැති කර ගත් පිරිස පිරිස ද බොහෝය.

● විදේශයන්හි අතරමං වීම

බොහෝ දෙනා විදෙස්ගත වන්නේ රැල්ලට මෙනි. කවුරුන් හෝ පැවසූ දෙයක් අසා නිසි සොයා බැලීමකින් තොරව රට යන්නන් වාලේ ගොස් විදෙස් රටවල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අතරමං වී සිටී. විශේෂයෙන්ම යුරෝපීය රටවල් තම රටවලට ගෙන්වා ගන්නේ තම රටට අවශ්‍යනම් පමණකි. විශේෂයෙන් විවිධ පාඨමාලා හදාරා එහි නිපුනත්වයක් පෙන්නුම් කළ අය පමණි. තරුණ සිත් හඳුනා ගන්නා වංචාකාරයන් කරන්නේ රුපියල් ලක්ෂ ගණන් අයකර සංචාරක වීසා මත විදෙස් රටවලට ගෙනගොස් අතරමං කිරීමයි. එවැනි ආකාරයට වංචාකාරයන් රුපියල් 4-5 ක මුදලක් අයකර එක්සත් අරාබි එමීරයේ ප්‍රසිද්ධ ආයතනවල නම් භාවිත කරමින් ඩිරාම් 4000-5000 (රුපියල් 390,000 – 490,000) වැටුප් ලබාගත හැකි යැයි සිහින පෙන්වා සංචාරක වීසා මත ගෙන ගොස් එරට ප්‍රාන්තවලට ගෙන ගොස් දමා අතරමං කර තිබේ. මේ යන බොහෝ දෙනා රැකියාවන් නැතිව මහා ගිනි අව්වේ දින, සති, මාස ගණන් සිඟමන් යදිති. මේ ආකාරයෙන් අතරමං වීමට හේතු වී ඇත්තේ එරට රැකියා සඳහා ගැළපෙන වෘත්තීය පුහුණුවක් නොමැති වීම, භාෂාව නොදැන සිටීම මෙන්ම විදෙස්ගත වීමට පෙර නිසි පරිදි රැකියාව පිළිබඳ සොයා නොබැලීමයි.

● මෙරටින් විදෙස්ගත වී ඇති ප්‍රමාණය

ආදිවාසී කාන්තාවෝ රට රස්සා ඉල්ලති

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ 156,179 දෙනකු රැකියා සඳහා විදෙස්ගතව ඇත. ඒ අතරින් 100,767 දෙනකු විදෙස්ගතව ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මාර්ගවලිනි. 55,411 දෙනකු විදෙස්ගතව ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රය සහිතවය. පෙර සඳහන් කළ ලක්ෂයකට අධික පිරිස තුළින් වැඩි පිරිසක් විදෙස් රටවල අතරමං වන අවස්ථා තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව වෙනත් කෙනෙකුගේ කතාවක් විශ්වාස කරමින් මිස රැකියාව ගැන වැඩිදුර තොරතුරු සොයා නොබලා විදෙස්ගත වීම නිසාය. මෙයිනුත් වැඩි පිරිසක් මැද පෙරදිග රටවලට ගොස් තිබෙන අතර තවත් පිරිසක් ජපානය සහ දකුණු කොරියාව සහ වෙනත් රටවලට ගොස් තිබේ. මැද පෙරදිග රටවල් වන කුවේටයට පුද්ගලයන් 39,216 ක් ද කටාර් රාජ්‍යයට 36,229 ක් ද සෞදි අරාබියට 26,098 දෙනකුද ගොස් තිබේ. ජපානයට 2570 දෙනකු සහ දකුණු කොරියාවට 3219 දෙනකුද පිටත්ව ගොස් තිබේ. මේ ආකාරයෙන් මැද පෙරදිගට යන විශාල පිරිසකට මුහුණ දීමට සිදුවන්නේ වහල් සේවයක් බඳු රැකියාවන්වලයි. ශ්‍රමයට සරිලන වැටුපක් නොලබන අතරම නිසි පෝෂ්‍යදායී ආහාර පාන, නවාතැන් පහසුකම් මෙන්ම රක්ෂණාවරණ ආදිය කිසිවක් නොලැබේ. දිනෙන් දින මෙම ප්‍රශ්නය උග්‍ර වේ. ජුනි මස පමණක් පුද්ගලයන් 27937 දෙනකු රැකියා සඳහා මෙරටින් පිටත්ව යෑමෙන් එය මනාවට තහවුරු වේ. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් මිලියන 1.6 ක් විදෙස් රටවල සේවය කරන අතර වාර්ෂිකව ඔවුන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය බිලියන 7ක් ඉක්මවා තිබිණි. කොරෝනා වසංගතයත් සමග එය බිලියන 5.4ක් වූ අතර එය මේ වනවිට බිලියන 3.5 කි.

● විදෙස් මාධ්‍ය දුටු ආකාරය

මෙරට අර්බුදය විදෙස් රටවල පවා දැඩි කතාබහට ලක්ව තිබේ. AFP පුවත් සේවය සඳහන් කළේ බංකොලොත් වෙමින් තිබෙන මෙරට ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව විදෙස් රටවල සේවය සඳහා යා හැකි වයස් සීමාව 21 දක්වා අඩු කළ බවයි. මේ හරහා වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයා ගැනීම රජයේ අපේක්ෂාව බව ද ඔවුන් සඳහන් කරයි.

එසේම මේ වනවිට ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ප්‍රමාණය අවම අගයක් දක්වා පැමිණ ඇති බවත්, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම පහසුකම් සැපයීමට හෝ රජය අපොහොසත් වී ඇති බවත් ආහාර, ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය සීමා කර ඇති අතර රාජ්‍ය ආයතන, පාසල් පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදය උත්සන්න වී ඇති බවද එම පුවත් සේවය වාර්තා කරයි.

රැකියා සඳහා විදෙස්ගතවන වයස් ප්‍රමාණය 21 දක්වා අඩුකිරීම පිළිබඳ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවසුවේ විදේශ රැකියා අවස්ථා ඉහළ දැමීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි.

● ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ආදිවාසීන්

මෙරට කොයි තරම් බංකොලොත් වී ඇත් ද යන්න සහ ජනතාවට එය මොන තරම් දැනී ඇත්ද යන්න සනාථ වන සුවිශේෂි කරුණක් වන්නේ මෙරට ආදිවාසී ජනතාවට පවා එය තදින්ම දැනී තිබීමයි. ඒ පිළිබඳ පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන අටක ආදිවාසී නායිකාවක වන කේ. ලිසිනෝනා පැවසුවේ තරුණ ආදිවාසී පරම්පරාව මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා.

රැකියා නැහැ. කන්න හාල් ටිකක් ගන්න ක්‍රමයක් නැහැ. අපට ලංකාවෙ කිසිම රස්සාවක් කරන්න තත්ත්වයක් නැහැ. අපට රස්සාවල් දෙන්නෙත් නැහැ. අපේ දරුවන්ට කන්න බොන්න දෙන්නෙ කැලේ රිංගලා බිඳගන්න කටුඅල, ගෙඩිවර්ග. මේ ප්‍රදේශවල ගොඩක් දෙකේ ජීවත් වුණේ ගඩොල් කපල, වැලි ගොඩදාල, වැල් කපල. දැන් ඒ රස්සාවල් නැහැ. ආදිවාසී ප්‍රජාව ගොඩක් අරක්කු, කසිප්පු, ගංජා, කුඩුවලට ඇබ්බැහි වෙලා. ඒ ගැන කොපමණ පැමිණිලි කළත් සොයා බලන්නේ නැහැ. මෙහෙම ඉඳල ගොඩ යන්න බැහැ. ඒකයි රට රස්සා ඉල්ලන්නෙ. ගම්මාන අටක පවුල් තුන්දහසක සාමාජිකයන් 8000ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් මේ නිසා රජයේ වියදමින් ආදිවාසී ප්‍රජාවට කුවේට්, සෞදි අරාබිය ඇතුළු රටවල ගෘහ සේවය සඳහා යෑමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

ආහාර පාන, බෙහෙත් හේත්, නිවාසවලට අවශ්‍ය සම්පත් ආදී ලෙසින් ජීවිතයේ බොහෝ අවශ්‍යතා පරිසරයෙන්ම සපයා ගැනීමට හැකි නිරන්තරයෙන්ම පරිසරය හා සම්බන්ධ වී සිටින මෙරට ආදිවාසී ජනතාව පවා විදෙස්ගත වන තත්ත්වයට පත්ව තිබේ. එය මෙරට ඛේදවාචකය පිළිබිඹු කරන කැඩපතක් වැනිය. පාලකයන් විදෙස්ගත ශ්‍රමිකයන් මුදල් එවන තෙක් බලා සිටින්නේ එළුවාගේ මොකක්ද එක වැටෙන තෙක් බලා සිටින්නා මෙනි. එසේම ඒ සඳහා විශේෂ වාසි සලසන බවට දෙකයි පනහේ කතා කියමින් නොසිට දැන්වත් මේ රට තුළ ඇති වී ඇති අර්බුදයට සැබෑ විසඳුම් සෙවිය යුතුය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment