ආදිවාසී ජනතාවට ඇයි මේ කෙණෙහිලි? වැදි නායක – ඌරුවරිගේ වන්නිලැත්තෝ

264

යම් රටක ආදිවාසී ජනතාව එරට අනන්‍යතාව ලෝකය හමුවේ ඉදිරිපත් කෙරෙන ජීවමාන සාක්ෂියකි. ශ්‍රී ලංකාව තුළ ආදිවාසී ප්‍රජාව ලෙස හැඳින්වෙන්නේ වැදි ජනතාවයි. මොවුන් පිළිබඳව දීර්ඝ කාලීනව පර්යේෂණ සිදුකරන ලද මානව විද්‍යාඥයන් ඉදිරිපත් කළ පර්යේෂණ ප්‍රතිඵල අවධානයට ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ආදිවාසී ජන කොටසක් ලෙස නම් කර ඇත. දීර්ඝ කාලයක් පුරාවට මෙම භූමියට උරුමකම් කීව ද වර්තමානයේ දී ඔවුන් වෙත එල්ලවන විවිධ අභියෝග සහ ගැටලු හමුවේ තම සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් ජීවත්වීම සඳහා ඔවුන් විසින් විශාල ප්‍රයත්නයන් ගනු ලබයි. කැලණිය විශ්වවිද්‍යාලයෙහි උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් වර්තමානයේ ශ්‍රී ලාංකේය වැදි ජනයා මුහුණදෙන අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් වත්මන් ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගෙ වන්නියලැත්තන් සමඟ සාකච්ඡාවක් සංවිධානය කෙරිණි. උරුම අධ්‍යයන කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ මහාචාර්ය මංගල කටුගම්පොළ මහතාගේ අධීක්ෂණය යටතේ එම විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරේන්ද්‍රලාල් නාමල්ගමුව මහතා සහ උරුම අධ්‍යයන කේන්ද්‍රයෙහි පර්යේෂණ සහකාර සිතුමි බොතේජු මෙනෙවියගේ සම්බන්ධීකරණයෙන් සහ මෙහෙයවීමෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

සියවසකට පමණ පෙරාතුව නිදහස්ව ජීවත්වූ වැදි ජනතාව වර්තමානය වනවිට සීමා සහිත ප්‍රදේශයකට කොටු වී තිබෙනවා. මෙයට හේතු වූ කාරණා මොනවාද?

ආදිවාසී ජනතාව එක තැනකට කොටු වී සිටි පිරිසක් නොවෙයි. කැලයේ ගසක සිටින කුරුල්ලෙක් ගසකින් ගසකට මාරු වෙමින් නිදහසේ ජීවත්වනවා වගේ තැනින් තැන සංචාරය කරමින් ඔවුන් නිදහසේ ජීවත්වුණා. නමුත් වර්තමානයේ දී විවිධ හේතුන් මත දිස්ත්‍රික්ක 6කට ගම්මාන කිහිපයකට සීමා වීමට අපට සිදුව තිබෙනවා. උතුරු නැගෙනහිර පළාතේ වාකරේ ප්‍රදේශයේ මාන්කර්නි, පනිච්චන්කර්නි, කිලිමිච්චිය ආදී ගම්මාන 24කටත් ඊට අමතරව සොරබොර, වටවන, මකුළුගොල්ල, බෙලගන්වැව, විජේපුර, කොලකනාවාඩිය වගේ ගම්මාන කිහිපයකටත් අපව සීමාකර තිබෙනවා.

නිදහසේ ජීවත් වූ අපට නොයෙකුත් බාධාවන් ඇති වුණේ 1931 වර්ෂයේ සිටයි. අතීතයේ දී කැලෑබදව ජීවත් වනවිට කන්දෙගන්වෙල, නබුඩන්වල, කෑරගොඩ, වෙහෙරපොකුණ, තිඹිරාන, යනාදී වශයෙන් ගම්මාන කොටස් කිහිපයකට වෙන්කර භූමිය ද ඒ අනුව වෙන්කර ගැනුණා. එක් එක් ගමට නායකතුමෙක් සිටියා. තමන්ට අවශ්‍ය කරන සම්පත් තම කැලෑ කොටසේ තිබීම හේතුවෙන් අපි සැලැස්මක් සකස් කරගෙන තිබුණා. ග්‍රාමීය සීමාවන් ඉක්මවා නොයන්නට. දඩයමේ දී පවා පරිසරයට සිදුවන හානිය අවම කරමින් ගැබ්බර සතුන්, තරුණ සතුන්, කෑම කමින් සිටින සතුන් දඩයම් නොකිරීමට අප අතර සම්ප්‍රදායන් පැවතුණා. මීයක් කැඩුවත් අත දමන්න පුළුවන් මට්ටමේ සිදුරක් පමණක් හදාගෙන මීය කැඩුවේ තමන්ගේ ජීවිකාව ඊළඟ කන්නයටත් කරගෙන යෑම සඳහා. මේ පිළිවෙළට සොබාදහමට සිදුවන හානි අවම කරගනිමින් ජීවත් වනවිට තමයි 1931 දී අපටත් පරිසරයටත් සිදු වූ මේ ව්‍යසනය ආරම්භ වන්නේ. එකල පැවති ආණ්ඩු විසින් ඇඟට නොදැනීම මේ ප්‍රදේශ රාජ්‍යකරණය කරන්නට ගමරාළ, ආරච්චිලා සහ දිසාපති වශයෙන් නිලධාරීන් පත්කරනවා. මෙතැන් සිට ක්‍රමිකව ආදිවාසී නායකතුමන්ට තිබුණු බලය ඔවුන් ඩැහැගනිමින් නායකතුමන් කිසිඳු බලයක් නැති පුහු චරිතයක් බවට පත්කරනවා. මෙය අපට සිදුකළ විශාල වංචාවක්.

වත්මන් සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ආදිවාසී ජනතාවට අසාධාරණකම් වූ බවට චෝදනා තිබෙනවා. මේ සම්බන්ධව ඔබගේ අදහස?

1950 – 1960 අතර කාලයේ දී මධ්‍යම පාන්තික ඉඩම් හිමියන් කැලෑබද ප්‍රදේශවලට පොල් වගාකිරීමට පැමිණෙනවා. නමුත් එවැනි වගාවක් සිදුකෙරුණේ නැහැ. ඒ මුවාවෙන් තිබුණු කැලය විනාශ වීම පමණක් සිදුවුණා. මේ අතර මේ ප්‍රදේශ ආශ්‍රිතව 1960 ගණන්වල ග්‍රාම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. සංවර්ධනය රටකට හොඳයි, අවශ්‍යයි. නමුත් මෙමඟින් අපට ඇතිකළ බලපෑම අතිමහත්.

මෙම ගැටලුකාරී තත්ත්වයන්ගේ උච්චතම අවස්ථාවක් වශයෙන් 1983 දී කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහන් කළ හැකියි. එහිදී සාම්ප්‍රදායික ඉඩම්වලින් අපව ඉවත්කර වෙනත් ප්‍රදේශයන්හි පදිංචි කිරීමට කැමති කරවාගන්නවා. මෙම කාලයේ දී ම මාදුරු ඔය වගේ වැව්, අක්කර ගණනක කැලය එළිකර ජලාශ බවට පරිවර්තනය කරනවා. ඔවුන් මෙම සංවර්ධන කටයුතු සඳහා ලැබුණු ඉඩකඩ අවභාවිත කළ අවස්ථාවන් ද මට මතකයි. දෙහිඅත්තකණ්ඩිය මෙලෙස සංවර්ධනය කරන්න ගත්ත බලපත්‍රයට දෙහිඅත්ත ඔය ප්‍රදේශයේත් කැලය එළිකිරීම එවැනි එක් අවස්ථාවක්.

මාදුරු ඔය ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 58,858ක ප්‍රදේශයක් මාදුරු ඔය රක්ෂිතය ලෙස අලුතින් නම් කර ඒ ප්‍රදේශයෙහි ජීවත් වූ අපේ මිනිසුන්ව රත්කිඳ, වලගම්වැව, හෙනන්නේගල, විජේපුර, පරණගම, මැදගම, කන්ඩිකඩුල්ල වගේ ගම්මානයන්හි පදිංචි කරවනවා. කැලෑබදව ජීවත් වූ ආකාරයට ම මෙහි සිටීමට නිදහස පවතින බව සඳහන් කළ ද එය රැවටීමක් පමණයි.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී වැදි ජනතාවට අදාළ ගැටලු සාකච්ඡා කෙරෙන කාර්යාලයන්හි නිලධාරීන් සහ වැදි ජනතාව අතර පවතින්නේ කුමන ආකාරයේ සම්බන්ධයක් ද?

සංවර්ධන කටයුතු හේතුවෙන් භූමිය සීමා කර අපේ මිනිසුන් වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමේ දී මගේ පියා වූ තිසාහාමිලැත්තෝ මම ඉපදුණු මේ කැලයේම මම මියයනවා කියලා දැඩිව තීරණය කළා. ඔහු තම ඉතිරි වූ පිරිස ආරක්ෂා කරගෙන සුපුරුදු ප්‍රදේශයේ ම ජීවත් වුණා. ටික කලකින් ඔහු අසනීප වීමෙන් කොළඹ ගෙනියනවා නන්දදාස කෝදාගොඩ වෛද්‍යවරයා සමඟ. විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ අසනීප වීමට හේතුව ඔහුට ඇති මානසික පීඩනය බවයි. තමන්ගේ මිනිසුන්ට ඇති වූ මේ ප්‍රශ්න ඔහුට දරාගත නොහැකි වුණා.

1998 වනවිට මගේ පියා වන තිසාහාමිලැත්තෝ මියයනවා. 1998 මැයි මස 29 වන දින මම නායකත්වයට පත්වෙනවා. මම තීරණය කළා මහසමාජය සමඟ සාමකාමී පිළිවෙතක් අනුගමනය කරන්න. දෙස් විදෙස් රටවල පැවති විවිධ සමුළු නියෝජනය කරමින් අපට අහිමි වූ අනන්‍යතාව යළි ලබාගැනීමට මම හඬ නැඟුවා. රජයේ නිලධාරීන් සහ ආදිවාසී ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් පරිසරයත් රැකගෙන සාර්ථක ඉදිරි ගමනකට අදාළ විවිධ යෝජනා මම ඉදිරිපත් කළත් ඒවාට ප්‍රතිචාර නැහැ.

වර්තමානයේ දී අපි ජීවත් වෙන්නේ සිංහල මිනිසුන් සමඟ මිශ්‍රව. ඒ ගම්මානවල ගහක් කැපුවත්, පුරාවස්තු විනාශ කළත්, නිධන් හෑරුවත් සියලු ජාවාරම් වැටුණේ අපේ නමට. මේ ගැටලුවට විසඳුමක් ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එතුමියගේ අත්සනින් අපට හැඳුනුම්පතක් ලබා දුන්නත් එයට කිසිදු නෛතිකභාවයක් නැහැ. ආදිවාසීන් සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පරිසරය රැකගනිමින් ආදිවාසී ප්‍රජාවගේ ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා පවතින නෛතික පසුබිම අවධානයට ගනිමින් 2012 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අවධියේත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමන් සමඟ අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. නමුත් අවසානයේ දී සිදුවුණේ අප රැවටීම පමණයි.

වර්තමානයේ පවතින නීති අනුව තමන් ජීවත්වන ඉඩම්වලට අයිතිය පෙන්වන්න ඔප්පුවක් තිබීම අත්‍යවශ්‍යයි. නමුත් එවැන්නක් නැති පවුල් රැසක් මේ ප්‍රදේශවල ජිවත් වෙනවා. ඒ ගැටලුව සම්බන්ධව වගකිව යුත්තේ කවුරුන්ද?

මගේ මතය නම් මනුස්සයකුට මෙලොව ජීවත් වෙන්න තියෙන අයිතිය කොළයකට සීමා කරන්න බැහැ. මේ ගැටලුවලට වගකිවයුතු වෙන්නේ ඉඩම් සංවර්ධන අධිකාරිය, ඉඩම් කොමසාරිස් කාර්යාලය යනාදී ආයතන. මං නායකත්වයට පත් වූ පසුව නොයෙක් ආයතන සමඟ කතා කර ඉඩම් ප්‍රශ්න ඇති අයව ඉඩම් කච්චේරිවලටත් යොමු කිරීම සිදුකළා. නමුත් අදටත් පරම්පරා ගණනාවක් භුක්ති විඳින ඉඩමට ඔප්පුවක් නොමැති බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ට තම ඉඩම් නෛතිකව පවරා දීමෙන් වන සංරක්ෂණයට බාධාවක් නැතිනම් වසර දහය පහළොව ඒ කටයුතු නවත්වාගෙන සිටින්නේ කොතනකින් ද යනවග ගැන මට අවබෝධයක් නැහැ. මේ ගැටලු හැකි ඉක්මනින් විසඳා දෙන්න කියා මම බලධාරීන්ට මතක් කර සිටිනවා.

වර්තමානය වනවිට ආදිවාසී පරම්පරාවන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන මේ ග්‍රාමීය පාසල්වලට ඒ ගුරුවරුන්ට මොනවා හෝ ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා ද? වැඩිදුර අධ්‍යාපනය, ලැබීමට නගරබද පාසල්වලට යන දරුවන්ට මේ වැදි පරපුරෙන් පැවත එනවා කියන කාරණය ගැටලුවක් වෙනවද?

අපව අලුත් ගම්මානවල පදිංචි කළේ කිසිදු සැලසුමකින් තොරවයි. ඒක හරියට දියේ හිටපු මාළුවෙක් ගොඩට ගෙනවිත් දැම්මා වගේ වැඩක්. මාළුවා වගේ අපේ අය මැරුණේ නැහැ. හැබැයි ජීවත් වෙන්න අමාරු වුණා. අපට කැලයට යන්න, දඩයම් කරන්න තහනම්. ගොවිතැන් කරන්නත් ඉඩකඩ, ජල පහසුව නැහැ. මේ නිසා අපිටත් අධ්‍යාපනය අවශ්‍ය වුණා. නගරයේ දරුවන්ට තිබෙන පහසුකම් අපේ ගම්මානවලට නැහැ. ගුරු පුරප්පාඩු ගැටලු, පහසුකම්වල ගැටලු තිබෙනවා. බොහෝ දරුවන්ට ආර්ථික ගැටලු නිසා අධ්‍යාපනයට බාධාවන් ඇතිවෙනවා. මේ සියල්ල ඉවසාගෙන විශ්වවිද්‍යාල මට්ටමට ඉගෙනගත් අයත් සිටිනවා. පවතින ආර්ථික අපහසුතා දරුවන් අධ්‍යාපනයට යොමුවීම අවම කරන ප්‍රධාන ගැටලුවක්. මේ සියල්ලටම මුල කිසිදු සැලසුමක් නැතිව අපව පාරම්පරික ගම්මානවලින් විතැන් කිරීම.

ආදිවාසී ජනතාවට ගොවිතැනට අවශ්‍ය ජලය ගන්න විදිහක් නැහැ කියලා නායකතුමා කලින් සඳහන් කළා. ඒ ගැන අදහස මොකක්ද?

අපි පෙරහැරේ ගෙනියන අලි ඇතුන් වගේ. විවිධ උත්සවවලට අපට ආරාධනා කරනවා පිරිසක් සමඟ එන්න කියලා. ඒවායේ දී විවිධ නැටුම් කණ්ඩායම් එක්ක පෙරහැරේ අපිව එක්කරගෙන ගියත් සියල්ල අවසානයේ අපි ගැන නැවත සොයාබැලීමක් නැහැ. පදිංචිය වෙනස්වීමෙන් පසුව අපි ගොවිතැනට යොමු වුණත් අහස්දිය පමණක් එයට ප්‍රමාණවත් නැහැ. ගොවිතැනට අවශ්‍ය වාරි කටයුතු සඳහා දැලිකැදලි වැව, තිරවනාගල්කඳුර වැව, පහුරේකණ්ඩිය යනාදී වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියලා මම යෝජනා ඉදිරිපත් කර තිබුණත් තවම ප්‍රතිචාර නැහැ. වරක් තිරවනාගල්කඳුර වැව හැදුවා ප්‍රමාණවත් නොවන තරම් කුඩා වැවක් හැටියට. ඉඩම් කට්ටි 66ක් ලබා දී තිබුණත් යලමහ වැඩ කරන්න පුළුවන් කුඹුරු 10ක් ඒ අතරේ නැහැ. ලෝක ආදිවාසී දිනය වගේ අවස්ථාවල දී මේ ගැටලු අපි වරිගසභාවේ කතා කරනවා, සංදේශ හදනවා, ඒවා අදාළ පාර්ශ්වයන්ට ලැබෙන්න සලස්වනවා. නමුත් පිළිතුරු නැහැ. අපේ අහිංසක මිනිස්සු කුස පුරවගන්න මිසක් මහලොකු දේවල් ලබාගන්න නෙමෙයි මේ ඉල්ලීම් කරන්නේ. වාකරේ ඉන්න අපේ මිනිස්සුන්ට මහවැලියෙන් වතුර අරගෙන යල මහ දෙකම වගාකරන්න පුළුවන් උත්තෝඩේ වැව ප්‍රතිසංස්කරණය කරනවා නම්. වාකරේ, දළුකාන, පොල්ලේබැද්ද, රතුගල මේ ප්‍රදේශවල තිබෙන කැඩීගිය පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියලා මම ඉල්ලනවා.

නායක ඇත්තෝ කියන විදිහට අද වනවිට අපේ තරුණ පිරිසට රැකියා කරන්න අවස්ථා අඩුයි. මේ ගැටලුවලට විසඳුම් තිබෙනවා ද?

ඉස්සර ජීවත් වෙන්න අවශ්‍ය සියල්ල කැලයේ තිබුණත් ඒ ප්‍රදේශ අහිමි වීම නිසා තරුණ පරම්පරාවට රැකියාව ලොකු ගැටලුවක්. මම කියන්නේ නැහැ මේ හැමෝටම රැකියාවක් දෙන්න ඕන කියලා. හැබැයි අපේ අය දැන් ඉගෙනගන්නවා. ඉතින් ඒ සුදුසුකම් සහිත අයට රැකියා ලබාදිය යුතුයි. අඩු අධ්‍යාපනයක් සහිත අය සඳහාත් යම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මම යෝජනා කරන්නේ කෘෂිකර්මාන්තය, ස්වයං රැකියා සඳහා මොවුන්ව යොමුකරවන්න. අපේ අයට අත්කම් නිර්මාණ, කැටයම් කලාවට සහජ හැකියාවක් තිබෙනවා. මේ දේවල් තරුණ ප්‍රජාව අතර ප්‍රචලිත කරන්න වැඩසටහන් මම යෝජනා කරලා තියෙනවා. මගේ පරම්පරාවේ අයට කැලෑව පිළිබඳව ලොකු දැනුමක් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවට ඔවුන් සම්බන්ධ කරගන්න කියලා විශේෂයෙන් ම මම සිදුකළ යෝජනාවක ප්‍රතිඵල විදිහට කිහිපදෙනකුට එම රැකියා අවස්ථාව හිමිවුණා.

වර්තමානයේ දී ආදිවාසී ප්‍රජාව ඉඩම් සම්බන්ධව, අනන්‍යතාව, අධ්‍යාපනය, ආර්ථිකය සහ ගොවිතැන යන කරුණු මත ගැටලු රැසකට මැදිවෙලා සිටිනවා. නීතිරීති ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය ප්‍රායෝගික නැහැ. වනජීවී දෙපාර්තමේන්තුව මේ අතර විශේෂයි. උදාහරණයක් විදිහට රාත්‍රියට වැවට යන්න අවසර ඇතත් විදුලි පන්දම් ආලෝකය දල්වන්න තහනම්. කැලය මැද තිබෙන වැවකට රාත්‍රියට ආලෝකයක් නොමැතිව යන්නේ කොහොමද ?

මෙවැනි ප්‍රායෝගික නොවෙන නීතිරීති ක්‍රියාත්මක කිරීම වර්තමානයේ දී වැදි ජනතාව මානසිකව පීඩනයට ලක්කෙරෙන, සිත් තැවුල් ගෙනදෙන කාරණයක් බවට පත්වෙලා තියෙනවා.

සාකච්ඡා කළේ – ඌරුවරිගෙ රත්නපාල
ලිපි සැකසුම – සිතුමි බොතේජු (පර්යේෂණ සහකාර, උරුම අධ්‍යයන කේන්ද්‍රය, කැලණිය විශ්වවිද්‍යාලය)

advertistmentadvertistment
advertistmentadvertistment