ආදුරුප්පුවීදියේ නිවසක කෝටි 13 ක කුඩු – ජාවාරම මෙහෙයවූ අඹුසැමි යුවළත් මාට්ටු

543

කිඹුලාඅළේ ගුණා සහ ඔහුගේ සොහොයුරු සුරේෂ් නමැත්තාට අයත් කොළඹ ආදුරුප්පුවීදියේ නිවසක පවත්වාගෙන ගිය හෙරොයින් ගබඩාවක් පෙරේදා (17 දා* මධ්‍යම රාති‍්‍රයේ වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි ගබඩාකර තිබූ රුපියල් කෝටි දහතුනකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝ ග‍්‍රෑම් 13ක බරින් යුත් මෙම හෙරොයින් තොගය ආදුරුප්පුවීදියේ නිවසක කුස්සියේ වළ දමා ගබඩා කර තිබියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.

මෙම හෙරොයින් තොගය ඉන්දියාවේ සිටින මෙරට පාතාලයේ කෙරුමකු සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියකු බව කියන කිඹුලාඇළේ ගුණා සහ ඔහුගේ සොහොයුරු වන සුරේෂ් විසින් එවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම නිවසේ ගබඩාකර තිබෙන හෙරොයින් තොගය කොළඹ හෙරොයින් ඒජන්තවරුන් වෙත බෙදාහැර ඇති බවද අනාවරණය වී තිබේ.

කිලේ ග‍්‍රෑමය බැගින් ඇසුරූ පැකට් 12ක් මෙහි තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික අඹුසැමි යුවළට දරුවන් සිව් දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම මහා පරිමාණයෙන් කර ඇති අතර රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

කිඹුලාඇළේ ගුණා මේ වන විට ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ සොහොයුරා වන සුරේෂ් මෙම හෙරොයින් ව්‍යාපාරය මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධර්මපි‍්‍රය ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු, යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment