ආධිපත්‍යය පතුරවමින් ඉන්දියාව සුපිරි හතර අතරට

279

ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තම කණ්ඩායම ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් හොංකොං කණ්ඩායම ලකුණු 40කින් පරාජය කිරීමට සමත් වූ ඉන්දීය කණ්ඩායම 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගෙන සුපිරි වටය සඳහා සුදුසුකම් ලැබීමට පෙරේදා (31 වෙනිදා) සමත් වූයේය.

කාසියේ වාසිය දිනූ හොංකොං නායකයා විසින් කරන ලද ආරාධනය මත පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 192ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස හොංකො කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 152ක් පමණි.

ඒ අනුව ලකුණු 40කින් මෙම තරගය ජය ගත් ඉන්දීය කණ්ඩායම පළමු වටයේ තමන්ට නියමිත වූ තරග දෙකම ජය ගත් කණ්ඩායම ලෙසින් සුපිරි වටයට සුදුසුකම් ලැබූ අතර ඔවුහු මීට පෙර පකිස්තානය සමග පැවැති තරගයෙන්ද කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

ඉන්දීය කණ්ඩායම ලකුණු 192 සීමාව කරා රැගෙන යෑමට සහ තරගාවලියේ ඉදිරිය පිළිබඳව හොඳ පුහුණුවක් ලබා ගත් සූර්යකුමාර් යාදව් පන්දු 26කදී නොදැවී ලකුණු 68ක් ලබා ගත් අතර එම දක්ෂතාව හේතුවෙන් ඔහු ට තරගයේ වීරයා සම්මානයද හිමි වූයේය.

ඉන්දීය කණ්ඩායමේ දෙවෙනි කඩුල්ල 12 වෙනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී ලකුණු 94 දී බිඳ වැටුණු අවස්ථාවේ පිටියට පැමිණි යාදව් අනෙක් අන්තයේ සිටි විරාත් කෝලි සමග එකතුව නොබිඳුණු ලකුණු 98ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ.

පන්දු වාරයකට ලකුණු 14ක වේගයක් එම සම්බන්ධතාව තුළ සටහන් වූ අතර තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ යාදව් පැවසුවේ, එක් අයෙක් වේගයෙන් ලකුණු රැස් කිරීමටත් අනෙක් කෙනා අන්තයක් ආරක්ෂා කර ගෙන පිතිහරඹයේ යෙදීමටත් කෝලි සමග පිටිය මැද දී කතිකා කර ගත් බවය. ඒ අනුව

හොංකොං පන්දු යවන්නන් විසින් යොමු කරන ලද පන්දු පිටිය සිසාරා එල්ල කළ යාදව් ඒ අතරතුර හයේ පහර හයක් සහ හතරේ පහර හයක් වාර්තා කළහ.

අවසන් පන්දු වාරයේ පළමු පන්දු තුනටම හයේ පහර තුනක් එල්ල කළ ඔහු පස්වෙනි පන්දුවද පිටියෙන් එපිටට යවමින් එම පන්දුවාරය තුළ පමණක් ලකුණු 26ක් රැස් කළේය.

යාදව් සමග එක්ව සිය අන්තය ආරක්ෂා කර ගෙන නිහඬ ලකුණු දඩයමක නිරත වූ විරාත් කෝලි තමා ඉදිරියේ පසුගිය කාලයේ පැවැති අර්ධ ශතක අහේනියට තිත තැබීමට මෙම තරගය කදිම අවස්ථාවක් කර ගත්තේය.

කෝලි එහිදී පන්දු 44කදී ලකුණු 59ක් ලබා ගත් අතර ඊට එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් පමණක් ඇතුළත් වීමෙන් හිටපු නායකයා ගේ ඉවසිලිවන්වන්ත බව මොනවට පැහැදිලි වේ. නායක රෝහිත් ශර්මා ලකුණු 21 කට දැවී ගිය අතර අනෙක් ආරම්භක පිතිකරු වූ ලෝකේෂ් රාහුල් රැස් කළේ ලකුණු 36ක් පමණි.

ඉන්දීය කණ්ඩායම ලබා ගත් ලකුණු 192 දැවැන්ත ඉලක්කය හඹා ගිය හොංකොං කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට බාබර් හයට් සමත් වූ අතර ඔහු ලකුණු 41ක් ද, ක්‍රින්චිට් ෂා ලකුණු 30ක් ද ලබා ගත්හ.

අවසන් පන්දු වාර කිහිපයේ දී ඉන්දීය වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් උදුරා ගත් හොංකො පිතිකරුවන් අවේශ් ඛාන් සහ අර්ශ්ධීර් සිං ගේ පන්දු වාර 8 තුළදී ලකුණු 97ක් රැස් කර ගැනීමට සමත් වූහ. එය සටහන් වූයේ අවේශ් ඛාන් ගේ පන්දු වාර හතරට ලකුණු 53ක් සහ අර්ශ්ධීර් සිංගේ පන්දු වාර හතරට ලකුණු 44ක් ලෙසිනි.

ඔවුන් දෙදෙනා එසේ ප්‍රහාරයට ලක් වෙද්දී බුවනේශ්වර් කුමාර් තමන් යැවූ පන්දු වාර තුන ලකුණු 15කට සීමා කිරීමට සමත් වූයේය. වේගවත් පිතිහරඹයක නිරතවූ සීෂාන් අලී පන්දු 17කදී ලකුණු 26ක් ද, ස්කොච් මැක්ච්න් පන්දු 8කදී ලකුණු 16ක්ද හොංකො කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්හ.

කුෂාන් සුබසිංහ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment