ආනන්ද හාමුදුරුවන්ගේ වර අට…

2256

උපස්ථායක ධුරය ඉල්ලන ලෙස මුළු සංඝ සභාවම ආනන්ද හිමිගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ආනන්ද හිමි කිසිත් නොකියා නිශ්ශබ්දව සිටියේය. මේ සිද්ධිය බලාගෙන සිටි බුදුන් වහන්සේ මහණෙනි ආනන්ද අනෙක් අය විසින් පෙළඹිය යුත්තෙක් නොවෙයි. ඔහුටම සිතී මට උවටැන් කරාවි යැයි කීහ. ඒ ඇසූ අනෙක් භික්ෂුහු ආනන්දයෙනි, නැගී සිටින්න. ආනන්දයෙනි, නැගී සිටින්න. බුදුරදුන්ගේ උපස්ථාදායක කම ඇයද සිටින්න යැයි කීහ. ආනන්ද තෙරුන් වහන්සේ වහා නැගී සිට ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා අකමැති කරුණු හතරකුත්, මා කැමති කරුණු හතරකුත් යන වර අටක් දෙතොත් මම ඔබ වහන්සේට උපස්ථාන කිරීමේ තනතුර භාර ගනිමි යි කීහ.

බුදුන් වහන්සේ … ඔබ අකමැති කරුණු හතර මොනවා ද? විමසීය.

ආනන්ද හිමි….

01. ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන සිවුරු මට නොදිය යුතුයි.

02. ඔබ වහන්සේට ලැබෙන ප‍්‍රණීත ආහාරපාන වර්ග මට නොදිය යුතුයි.

03. ඔබ වහන්සේට වැඩ සිටින ගන්ධ කුටියෙහි මා නතර කර නොගත යුතුය.

04. ඔබ වහන්සේට ලැබෙන ආරාධනාවලට (දානවලට) මා එක්කරගෙන නොවැඩිය යුතුයි.

බුදුන් වහන්සේ…. හො`දයි.. ඔය කිවේ ඔබ අකමැති දේයි. ඔබ කැමැති දේ මොනවාද?

ආනන්ද හිමි….

01. මා පිළිගත් ආරාධනාවලට (දානවලට) ඔබ වහන්සේත් වැඩිය යුතුයි.

02. නොයෙක් රටවලින් ඔබ වහන්සේ හමුවෙන්න එන අය ඔබ වහන්සේ ළගට එක්කරගෙන යන්ට මට ඉඩදිය යුතුයි.

03. මට සැකයක් ඇති වු ඕනෑම වෙලාවක ඔබ වහන්සේ හමු වී කථා කරන්නට අවසර තිබිය යුතුයි.

04. ඔබ වහන්සේ මා නැති විටක දී නැති තැනක දී දෙසු සියලූ‍ම ධර්ම, සිදු වු සියලූ‍ම සිද්ධි ඒ ලෙසින්ම මට ද කිය යුතුයි.

බුදුන් වහන්සේ … ආනන්දය මුලින් ම කී කරුණු 04 ට ඔබ අකැමැති මන්ද?

ආනන්ද හිමි… ස්වාමීනි, මම ඔබවහන්සේට ලැබෙන ප‍්‍රණීත ආහාර පාන අගනා සිවුරු පිරිකර පරිහරණය කරමින් එක ගදකිළියේ වසමින් ඔබවහන්සේට ලැබෙන ආරාධනාවලට යමින් ඔබවහන්සේට උපස්ථාන කරන විට රටේ අනික් අය කියාවි. ඔය විදිහට වාසි ලැබෙනවා නම් කාට බැරිද බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන්න. කවුද අකමැති වන්නේ. ඒ නිසා ඔය අපවාදවලට මම කැමති නැහැ….

බුදුන් වහන්සේ…

හොදයි… ඔබ කරුණු 04ක් ඉල්ලූ‍වේ කුමන ආනිශංසයක් සලකා ගෙන ද?

ආනන්ද හිමියන් … ස්වාමීනි ඔබවහන්සේට හමුවෙන්න එන්න බැරි සැදැහැවත් අය මා හමු වී බුදුහාමුදුරුවන් සමග අපේ ගෙදර දනට වඩින්න යයි මට ආරාධනා කළොත් මට පුළුවන්කම තියෙන්න ඕන ඔබ වහන්සේත් වඩමවා ගෙන එහි යන්න. එසේ නොහැකි වුණොත් ඔබවහන්සේගේ උපස්ථායකයා හැටියට ඒක මට මදිකමක්. ඔබවහන්සේ දකින්න එන අයට ඔබතුමන් මුණ ගස්සවන්න මට පුළුවන්කම තිබිය යුතුයි. යම් කිසි ධර්මයක් ගැන ද සිද්ධියක් ගැන මට සැකයක් ඇතිවුණ විටක එකවරටම ඔබවහන්සේ හමු වී ඒ සැකය දුරුකර ගන්න පුළුවන්කම තිබිය යුතුයි. එසේ නැත්නම් මට මදිකමක්, සමහරු මේ ගාථාව මේ සුත‍්‍රය මේ ජාතකය බුදුහාමුදුරුවන් කවර තැනක දී කවරෙකු අරබයා දේශනා කළේ දැයි මගෙන් අසති. එසේ ඇසුවාම මට කියන්නට බැරිවුණොත් ඒක මට මදිකමක්.. ඒ නිසා මා නැති තැනක දී දෙසු ධර්ම මටත් කිය යුතුය. මාත් දැනගෙන තිබිය යුතුය.

බුදුන් වහන්සේ…. ඔබ ඉල්ලූ වර අට සාධාරණයි. සිද්ධි ගෝචරයි. ඒ නිසා මම එය ඉතා සතුටින් දෙමි. අද සිට ඔබ මගේ ස්ථිර උපස්ථායක ධුරයට පත් කරමි….

ආනන්ද හිමි ඒ ශ්‍රෙෂ්ඨ පදවිය. ඉතා සතුටින් පිළිගත්තේය. සියලූ‍ම භික්ෂුහු සුදුස්සාට සුදුසු පදවිය ලැබුනේ යයි ප‍්‍රීතියට පත්වුහ.

ආනන්ද හිමියන්ගේ මේ ක‍්‍රියාව තනතුරු ලබන්නන්ට හා තනතුරු දෙන්නන්ට හො`ද පාඩමක් උගන්වයි. තමන්ට හැම සුදුසුකමක් තිබියදීත් ආනන්ද හිමි එය නොඉල්ලූ‍වේ ඉල්ලා ලබාගන්නා තනතුරුවල කිසි වටිනාකමක් නැති නිසාය. ඉල්ලීම ම නුසුදුසුකමේ ප‍්‍රධාන ලක්ෂණයකි. සුදුස්සාට සුදුසු තනතුරු පැවරීම තනතුරු දෙන ප‍්‍රධානීන්ගේ පාලකයන්ගේ නායකයන්ගේ පරම යුතුකමකි. තනතුරුවලට නුසුදුස්සන් පත් කිරීම ආයතනයක සමාජයක පිරිහීමට හේතු වෙන්නාක් මෙන්ම සමාවක් දිය නොහැකි බරපතළ වරදකි. බුදුන් වහන්සේ නායකයෙකු ප‍්‍රධානියෙකු පාලකයෙකු වශයෙන් අසුමහ සව්වන් අතර ඒ ඒ විෂයයන් පිළිබ`ද දක්ෂකම් අනුව සුදුස්සන් තෝරා පත් කළහ. තනතුරුවලට පත්කිරීමේදී කිසි විටෙක මුණ බලා තනතුරු නුදුන්හ. ( න භික්ඛවේ, මුඛං ඔ ලොකෙත්වා දම්මි)

සුදුස්සාට දක්ෂයාට තැනදීම බුදුන් වහන්සේ මීට අවුරුදු 2500 කට පෙර ක‍්‍රියාවේ යෙද වු අද ලෝකයම පිළිගත් උතුම් ප‍්‍රතිපත්තියකි. ඉහත ස`දහන් වරප‍්‍රසාද අට ලබාගත් ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ උපස්ථායකයා පමණක් නොව පෞද්ගලික ලේකම්වරයා ද වූහ. බුදුරදුන් දෙසු දහම් කළ සාකච්ජා හා වාද විවාද ඇසු ප‍්‍රශ්න දුන් පිළිතුරු සිදු වු සිද්ධි පිළිබද සියලූ‍ විස්තර ආනන්ද හාමුදුරුවෝ අතිදක්ෂ ලේඛකයෙකු මෙන් ස්වකීය සිත් නමැති පොතේ ලියා ගත්හ. මතක තබා ගත්හ. ධාරණය කරගත්හ, කටපාඩම් කරගත්හ. එවං මෙ සුතං යනුවෙන් ස`දහන් වන සියලූ‍ම සුත‍්‍ර ආනන්ද හාමුදුරුවන් මතක තබාගත් ඒවාය. බුදුන් වහන්සේගෙන් අසාගෙන හිතේ තබාගත් ඒවාය. පෑනකින් කඩදාසිවල නොලීවත් මුලූ‍ ත‍්‍රිපිටකයම ආනන්ද හාමුදුරුවන්ගේ කෘතියකි. ආනන්ද හාමුදුරුවන් අපට දුන් ශ්‍රේෂ්ඨතම දායාදයකි.

මිනිස් මොළයකට දරා සිටිය හැකි මිනිස් සිතකට මතක තබාගත හැකි උපරිම මට්ටම යයි කියා හැක්කේ ආනන්ද හිමියන් ත‍්‍රිපිටකය දරා සිටීම ගැනයි. ත‍්‍රිපිටකය මතක තබාගෙන සිටීම ගැනයි. මෙය වීර පුරුෂයකුගේ එක් ක‍්‍රමයක දක්ෂකමක් පිළිබද වාර්තාවකි. මේ ක‍්‍රමයේ දක්ෂකමක් ආනන්ද හිමියන් හැර මිනිස් ඉතිහාසයේ අන් කිසිවෙකු සිදු කොට නැත.

ශාස්ත‍්‍රවේදී බුදුගල ජිනවංස හිමි
* සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment