ආනයනය තහනම් කාලයේත් මුදල් අමාත්‍යංශයට කෝටි 114 ක වාහන ගෙන්වලා!

243

වාහන ආනයනය කිරීම තහනම් කර තිබූ කාල සීමාවේ දී මුදල් අමාත්‍යාංශය සඳහා රාජ්‍ය බැංකුවක් විසින් රුපියල් කෝටි 114ක ණයවර ලිපි හරහා සම්පූර්ණ ගෙවීම් සිදුකොට වාහන ආනයනය කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී මෙකී වාහන ආනයනය කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ 2021 මාර්තු 18 දිනැති ලිපියට අනුව එම අමාත්‍යාංශය සඳහා මෝටර් ජීප්රථ 225ක්, ඩබල් කැබ් රථ 50ක්, ඉහළ වහළය සහිත ගිලන්රථ 50ක් සහ ජල බවුසර් 50ක් ආනයනය කිරීම සඳහා බැංකුව විසින් ණයවර ලිපි 08ක් විවෘත කරනු ලැබීය.

මෙකී ණයවර ලිපි 2021 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනිදා නිකුත් කර තිබුණි. පසුව මුදල් අමාත්‍යාංශය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව නවතම ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ ජීප් රථ 225ක් ආනයනය කිරීම සඳහා විවෘතකොට තිබූ ණයවර ලිපි 03ක් අවලංගු කොට තිබුණි.

එමෙන්ම ආනයනික වාහනවල මූල්‍ය කල්බදු සඳහා යෝජිත වාර්ෂික පොලී අනුපාතය සියයට 7.5 වූ අතර එය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා අඩු බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ආනයනය කරනු ලැබූ ජල බවුසර් 35ක් සහ කැබ් රථ 04ක් බෙදා හැර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

වාහන ආනයනය සඳහා පූර්ව නිශ්චිත අවශ්‍යතාවක් නොතිබීම හෝ අවශ්‍ය පාර්ශ්ව අතර බෙදා හැරීමට සැලැස්මක හෝ නොතිබීම හේතුවෙන් මෙකී වාහන ලියාපදිංචි කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ආනයන අපනයන පාලකගේ අනුමැතිය මත සියලු ණයවර ලිපි විවෘත කර ඇති බව අදාළ රාජ්‍ය බැංකුව විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment