ආනයනික බීජ භාවිත නොකර ගෝවා වවන ක‍්‍රමයක්…..

374

පිටරට බීජ සමග හෙක්ටයාරයක වගාවක රෝපණ ද්‍රව්‍ය වියදම එක්ලක්ෂ විසිපන්දාහක් කලින් වගාවේ ඉතිරි වූ ‘කඳන් කොට’ වලින් ලියලන රිකිලි වලින් අලූත් වගාවට පැළ ගැනුම්කරුවන් කැමති කුඩා තරමේ ගෙඩි, අස්වැන්නත් ඉක්මන්

ඉතා ඉහළ අගයක් දක්වා ගමන්කර තිබූ උඩරට එළවළු මිල මේ වනවිට තරමක් දැරිය හැකි මට්ටමක් දක්වා පැමිණෙමින් තිබේ. විපරිත කාලගුණයේ බලපෑම, රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය හිඟය යනාදී විවිධ හේතූන් මෙම ඉහළ මිලට ඍජුව හෝ වක‍්‍රව දායක වී ඇතිබව පසුගියදා මාධ්‍යයන් වෙතින් වාර්තා වුණි. මෙම උඩරට එළවළු වර්ග බොහොමයක් නිෂ්පාදනය කරන්නේ ආනයනික බීජ යොදා ගනිමින්ය. මෙරට දේශගුණික තත්ත්වයන් හමුවේ එම බීජ නිෂ්පාදනය කළ නොහැකිය. පාලිත පාරිසරික තත්ත්වයන් යටතේ එවැන්නක් කළ හැකි බව පර්යේෂණාත්මකව පෙන්විය හැකිවුවත් ඒ සඳහා වැයවෙන අධික මිල හමුවේ එවැන්නක් යථාර්ථයක් බවට පත්වන්නේද නැත. හදන තැනකින් බීජ ගෙන්වාගැනීම ඊට වඩා පහසු හා ලාභදායී වේ. අනෙක් අතට මෙම එළවළු වර්ග සියල්ලම පාහේ විදේශික ප‍්‍රභේදයන් නිසා බීජ නිෂ්පාදනයකට යෑම නිෂ්පල උත්සාහයකි. මේ නිසා අප උඩරට එළවළු බෝග පාරිභෝජනය කරනවානම් අනිවාර්යෙන්ම ඒවාහි බීජ ආනයනයද කළයුතු වේ. විදේශ විනිම ප‍්‍රශ්නයකට මැදිවී සිටිනා වර්තමානයේදී එය තරමක් අපහසු කටයුත්තක් වීමටද ඉඩ ඇති නිසා විකල්ප රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව කෘෂි විද්වත් අවධානය යොමුවීම කාලෝචිත සිදුවීමකි. කැරට්, ලීක්ස්, ගෝවා, බෝලරාබු, සලාද, ආදී එළවළු වර්ග ගණනාවකින් සමන්විත මෙම එළවළු කාණ්ඩයේ බීජවල ආනයන වියදම ගැන අදහසක් ගැනීමට ගෝවා බීජ සඳහා මෑත අතීතයේදී ගෙවා තිබෙන මුදල් ප‍්‍රමාණය සලකා බැලීම වුවත් සෑහේ.

”කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2017 වාර්තා විශ්ලේෂණය කිරීමේදී රුපියල් මිලියන 120.8 ක වියදමින් ගෝවා බීජ කිලෝග‍්‍රෑම් 1607 ක් ගෙන්වා ඇති බව පැහැදිලි වෙනවා. ඇතැමුන් මෙම බීජ මිලදීගෙන වගා පිහිටුවනවා. තවත් පිරිසක් බීජ තවාන් දමලා ලැබෙන පැළ ගොවීන්ට අලෙවි කරනවා. සෑහෙන ගොවීන් පිරිසක් ඉන්නවා මේ ක‍්‍රමයට තවාන් වලින් පැළ මිලදීගෙන ගෝවා සිටුවන. දේශීය වගාකරුවන්ගෙන් අඩකටත් වඩා ප‍්‍රමාණයක් මේ ක‍්‍රමයට තමයි ගෝවා වගාකරන්නේ. ඒ අනුව රෝපණ ද්‍රව්‍ය සඳහා පමණක් සැලකිය යුතු මුදලක් වැයවෙනවා. අද මිල බැලූවොත් පැළයක් රුපියල් 2.50 යි. අපේ නිර්දේශිත පරතරය වන සෙන්ටිමීටර් 50 ඞ 40 යටතේ සිටුවීමට පැළ 50000 ක් අවශ්‍ය නිසා වගාකරු පැළවලට රුපියල් 125000 ක් වියදම් කළයුතු වෙනවා. එය නිෂ්පාදන වියදම ඉහළ යෑමට තවත් එක හේතුවක්.”

මෙසේ පවසන්නේ බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩසටහන් සහකාර සුනන්ද සේනානායක මහතායි. ගොවියා මුහුණදෙන මෙම අධික වියදමට යම් තරමකින් සහනයක් දීම සඳහා විකල්ප රෝපණ ද්‍රව්‍ය ගැලපුමක් ඔහු විසින් ඉදිරිපත් කර තිබුණේ 2019 වසරේ පැවැත්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවටය. විදෙස් බීජවල ආනයන අපහසුවක් එතරම් තදින් දැනුනේ නැති නිසාදෝ එම පර්යේෂණ පත‍්‍රිකාවේ තොරතුරු එකලදී ගොවි ජනතාව අතරට යහමින් කාන්දු වී නොතිබුණි. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. ගොවීහු මෙවැනි තාක්ෂණයන් ඉතා උනන්දුවෙන් සොයමින් සිටිති.

ගොවීන් විසින් ගෝවා අස්වැන්න නෙළීමේදී ගෙඩියේ පාදීය කොටස වගා බිමෙහිම ඉතිරිකර යන අතර පසෙහි තෙතමනය තිබේනම් මෙම ‘කඳ කොටය’ තුළින් පසු අවස්ථාවක රිකිලි නොහොත් මොරෙයියන් ලියලා එන බවද දකින්නට ලැබේ. වගාබිම අවට වෙසෙන්නන් මේවා නෙළාගන්නේ කොළ එළවළුවක් ලෙසින් අනුභව කිරීමටයි. ඒ හැරුණුවිට ඒවාට වෙළඳ වටිනාකමක් නැත. එලෙස අතිරේක එළවළු පලදාවක් ලබාදීමෙන් පසු මෙම ”කඳ කොට’’ වල ඉරණම වන්නේ වගාබිමට පොහොර වෙමින් දිරායෑමයි. මෙම රිකිලි සුසන්ත මහතාගේ නෙත ගැටෙන්නේ කොළ එළවළුවක් ලෙස භාවිත කිරීමට නොව තම කෘමි විද්‍යා පර්යේෂණයන්ගේ උපකාරක ද්‍රව්‍යයක් ලෙසින්ය. හෙතෙම මේවා නෙළාගෙන රැගෙනගොස් ඇත්තේ පර්යේෂණ කටයුතු සඳහා විද්‍යාගාරයේ ඇතිදැඩි කෙරෙන කෘමි පළිබෝධකයන්හට ආහාර පිණිස ලබාදීමටයි. කෙසේ වෙතත් තවත් කල්ගතවෙත්දී මෙම රිකිලි වෙතින් මුල් විකසනය වීම නිරීක්ෂණය වීම අහම්බෙන් දුටු බැවින් තම විද්‍යාත්මක දැනීම ඒ ඔස්සේ මෙහෙයවූ බව ඔහු සඳහන් කරයි. ගෝවා වගාවක් නැවත සිටුවීම සඳහා මේවා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව ඔහුගේ අවධානය මේ අනුව යොමුවී තිබේ.

‘‘මම පළමුවෙන්ම ඒවා අරගෙන තවානක් දැම්මා. ඉන් පසුව ක්ෂේත‍්‍ර පර්යේෂණයක් සැලසුම් කෙරුවා. ලැබුණු ප‍්‍රතිඵල සාර්ථකයි. හොඳ හුරුබුහුටි ගෝවා ගෙඩි තමයි ලැබුණේ. ඒක වඩාත් හොඳයිනේ. කිලෝග‍්‍රෑම් දෙක තුනේ ගෙඩි හැදුනහම පාරිභෝගික – වෙළෙඳ දෙපාර්ශ්වයටම අපහසුයි. මෙතනදී හැදෙන ගෙඩියක් සාමාන්‍යයෙන් ග‍්‍රෑම් 750 සහ කිලෝග‍්‍රෑමයක් අතර බරකට තමයි හැදෙන්නේ. මේ ක්ෂේත‍්‍ර පර්යේෂණය මම විවෘත පරිසරයේ මෙන්ම ආරක්ෂිත ගෘහ තුළ පවා සිදුකර සාර්ථක ප‍්‍රතිඵල ලබාගෙන තිබෙනවා.”

හෙතෙම වැඩිදුරටත් දන්වා සිටී. ගෝවා වගාවක් පැළකෙරුනු දිනයේ සිට අස්වැන්න ලැබීම දක්වා මාස තුන හමාරක පමණ කාලයක් ගතවේ. මේ ක‍්‍රමය යටතේ ලබාගත් පැළ සිටුවන්නේනම් රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් ගොවියාට දැරිය යුතු වියදම් සංරචකය අවම වෙනවා පමණක් නොව සති දෙකක් පමණ වේලාසනින් අස්වැන්න නෙළාගැනීමටද හැකියාව ලැබෙන බවද පර්යේෂණාත්මකව තහවුරු වී ඇත. එය වගාකරු ලබන තවත් වාසියකි.

සනත් එම්. බණ්ඩාර
[email protected]

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment