ආනයනික වාහන අමතර කොටස් ව්‍යාපාරිකයා උඩහමුල්ලේ අයිස් විකුණලා

368

මිරිහාන පොලිස් වසමේ උඩහමුල්ල, ජය පාර, ප්‍රදේශයේ ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වා විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු ප්‍රදේශයේ තරුණයන්ට අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත ඊයේ (22 දා) දින සවස රුපියල් ලක්ෂයකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 530ක් ප්‍රමාණයක් සමග නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා ප්‍රදේශයේ වැදගත් පවුලක අයකු බවත් ඥාතීන් බොහෝ පිරිසක් යුරෝපා රටවල්වල සහ ජපානයේ පදිංචිව සිටින අය බවත් ඔහු පදිංචි නිවසට යාබදව පිහිටා ඇති වාහන අමතර කොටස් විකිණීමේ ආයතනයේ සිට මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගත් බව ද පොලිසිය පැවසීය.

සැකකරු ද තදින්ම අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයකු බවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය මෙම පුද්ගලයා විසින් විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් එම පුද්ගලයා හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.

සැකකාර වාහන අමතර කොටස් වෙළෙඳ ව්‍යාපාරිකයා 38 වැනි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව ද පොලිසිය සඳහන් කළේය.

සැකකරු අද (23 දා) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.එස්. ජයමහ, කොට්ඨාස කලාප අංක 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙනිය මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් සැරයන් (54478) වසන්ත, පොලිස් කොස්තාපල් (82936) මධුසංඛ, (103719) ගයාෂාන් යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
එස්. ඩී. අබේසිංහ -මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment