ආනයනික ළමා සිරප් කිසිවක් මෙතෙක් රසායනාගාර පරීක්‍ෂාවකට ලක් කර නෑ

85

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ගැම්බියාවේ හා ඉන්දුනීසියාවේ ළමයින් විශාල පිරිසක් මියයෑමට හේතු වූ බාල සිරප් වර්ගවලින් ශ්‍රී ලංකාවේ දරුවන්ට තර්ජනයක් නොමැති බව පැවසීමට මෙරටට ආනයනය කෙරෙන කිසිදු ළමා සිරප් වර්ගයක් මෙතෙක් රසායනාගාර පරික්ෂාවකට ලක් කර නොමැති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

ගැම්බියාවේ ළමයින් 70කට අධික පිරිසක්ද, ඉන්දුනීසියාවේ ළමයින් 100ක් පමණ ද වකුගඩු ආසාදනයට ලක්ව මියයෑමට කැස්ස සඳහා නිර්දේශ කෙරෙන ළමා සිරප් වර්ග හේතු වී ඇති බව අනාවරණය වීම නිසා බොහෝ ළමා සිරප් වර්ග භාවිතය එම රටවල් තහනම් කර ඇත. මෙහිදී බෙහෙත් වර්ගවල තත්ත්ව පාලනය පිළිබඳ ගැටලුවක් නිසා මෙරට භාවිත වන බෙහෙත් වර්ගවල තත්ත්ව පාලනය පිළිබඳව අනිවාර්යයෙන්ම නැවත හැරී බැලිය යුතුව ඇතැයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ වන විට ළමා මරණවලට හේතු වූ වකුගඩු ආසාදනයට මුල් වන අමුද්‍රව්‍ය අන්තර්ගත වන ඉන්දියාවෙන් ආනයනය කළ ළමා සිරප් වර්ග හතරක්

ගැම්බියාව විසින් තහනම් කර ඇති අතර ඉන්දුනීසියාව විසින් රට තුළ භාවිත වන සියලුම සිරප් වර්ග තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි පෙන්වා දෙන කුමුදේශ් මහතා මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතිය කාලයක් තිස්සේ පුද්ගල අභිමතයකට කොටු කර ගෙන සිටින නිසා අප මේ වන විටත් තත්ත්ව පාලනය සඳහා සිදු කරමින් සිටින්නේ ලියකියවිලි සහ සහතික පරීක්ෂා කරමින් ලබා දෙන පුද්ගල කේන්ද්‍රීය අභිමත නිර්දේශයන් පමණක් බව අවධාරණය කළේය.

“ලෝකයේ බොහෝ රටවල ඕනෑම බෙහෙත් වර්ගයක් ගෙන්වීම, ලියාපදිංචිය පමණක් නොව ලියාපදිංචි බෙහෙතක නව තොග වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට පෙර පවා රසායනාගාර පරීක්ෂාවක් මගින් ඒවායේ තත්ත්ව පාලනය තහවුරු කළ යුතුයි. නමුත් ලංකාවේ බෙහෙත් සඳහා රසායනාගාර පරීක්ෂාවක් සිදු වන්නේ භාවිත කරමින් සිටින බෙහෙත් වර්ගයක ගුණාත්මක බවේ බරපතළ ගැටලුවක් මතු වූ අවස්ථාවකදී පමණි. එබැවින් ගැම්බියාවට හා ඉන්දුනීසියාවට සිදු වූවා සේම අපද ගැටලුව සඳහා රසායනාගාර පරීක්ෂණ මගින් තත්ත්ව සහතික ලබා ගැනීමට නියමිතව ඇත්තේ මරණ කිහිපයකින් පසුව ඇතිවන තත්ක්වයක් තුළ පමණි.

අඩුම තරමින් අපේ රටේ ළමුන් සිය ගණනක් සිරප් වර්ගවලට බිලි වන්නට පෙර ඉන්දුනීසියාවේ හා ගැම්බියාවේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න වහා සොයා බැලිය යුතුය. අපේ රටේ වෙළෙඳපළ තුළ ඇති අවදානම සහිත සිරප් වර්ගවල පමණක් හෝ රසායනාගාර තත්ත්ව පාලනය තහවුරු කර මහජනතාවට ඒවා නිකුත් කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධරයකු මේ පිළිබඳව කළ විමසීමේදී සඳහන් කළේ මෙරට භාවිත වන ළමා සිරප් වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙතෙක් ගැටලු මතු වී නොමැති නමුත් එම සිරප් වර්ග ළඟදීම පරීක්ෂාවට ලක් කරන බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment