ආනයන තහනම් කර රටට එන සංචාරකයින්ට දෙන්න වෙන්නේ මඤ්ඤොක්කා තමයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

260

මේ ආණ්ඩුව බදු වැඩි කළා. ඊට පසු තව පොඞ්ඩක් වැඩි කළා අනතුරුව බදු නොවන ගාස්තු වැඩි කළා. ඉන් පසු ණයවර ලිපි විවෘත කිරීම සීමා කළා. දැන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා කෑෂ් මාර්ජින් එකක් ගහනවා.

මේ මොහොතේ අප රටේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය, ආණ්ඩුව ඊට මුහුණදීම සඳහා අනුගමනය කරන පිළිවෙත් සහ විපක්ෂය ඊට ලබාදෙන විසඳුම් ඇතුළු කරුණු කාරණා කිහිපයක්ම පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව සම්බන්ධ කර ගත්තෙමු.

පහතින් පෙළ ගැසෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය -වත්මන් ආණ්ඩුව අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ 623 ක් සඳහා සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් (Cash Margin Deposit Requirement) පැනවීමට කටයුතු කර තිබෙනවා. අධි ආනයනය අධෛර්මත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය සහ විදේශ මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව රැකගැනීමට සහාය වීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ආණ්ඩුව පවසනවා. මෙම තීරණයත් සමග ඇති විය හැකි තත්ත්වය කෙසේ ද ?

පිළිතුර – මෙම භාණ්ඩ මිල අනිවාර්යයෙන්ම ඉතා ඉහළ යනවා. ඒ වගේම ආණ්ඩුව මේ කරන දේ කිසිලෙසකවත් සාර්ථක වන්නේ නැහැ. ආණ්ඩුව තේරුම් ගන්න ඕන ඒක තමයි රුපියල මෙතරම් අවප‍්‍රමාණය වෙලා තිබෙන්නේ ද්‍රවශීලතාවය වැඩිව තිබෙන නිසා බව. ආණ්ඩුව රැවුලයි කැඳයි බේරගන්න ගිහින් රැවුලත් නැතුව කැඳත් නැතුව මූණ බිම ඇනගෙන කුඩුපට්ටම් කර ගන්නයි මේ යන්නේ.

පසුගිය වසරේ අප රට ඇමෙරිකානු ඩොලර් බිලියන විස්සක ආනයනයන් සිදු කර තිබෙනවා. එහිදී ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා වැයකර තිබෙනවා. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ගෙන්වීම සඳහා වැයකර තිබෙනවා. ඉතුරු ඇමරිකානු ඩොලර් බිලියන 4 පරිභෝජන භාණ්ඩ, බෙහෙත්, ටීවී, වාහන ඇතුළුව තවත් අනෙකුත් ද්‍රව්‍යයන් සඳහා වැය කර තිබෙන්නේ. ඒ අනුව පැහැදිලි වන්නේ ආණ්ඩුව ආන්තික මුදල් තැන්පතුවක් පනවා නතර කරන්න උත්සාහ ගන්නේ ඩොලර් බිලියන හතරකට අඩු වටිනාකමක් සහිත ආනයනයන්. අනෙක් ඩොලර් බිලියන දාසය නතර කරන්න ආණ්ඩුවට බැහැ. එසේ කර ආර්ථික එන්ජිම ක‍්‍රියාත්මක කරන්නත් බැහැ. ඇත්තටම මේ කරලා තියෙන්නේ මහා අමන මෝඩ වැඩක්. ඇත්තටම අපි කළ යුත්තේ ආනයනය නතර කරන්න උත්සාහ කිරීම නොව අපනයන වැඩි කිරීමයි.

මේ ආණ්ඩුව බදු වැඩි කළා. ඊට පසු තව පොඞ්ඩක් වැඩි කළා අනතුරුව බදු නොවන ගාස්තු වැඩි කළා. ඉන් පසු ණයවර ලිපි විවෘත කිරීම සීමා කළා. දැන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා කෑෂ් මාර්ජින් එකක් ගහනවා. එය දැන් සියයට සියයකින් වුවත් ඉස්සරහට සියයට දෙසීයක් වෙන්නත් බැරි කමක් නැහැ. ඊට පස්සේ ඔය 623 ක් වන භාණ්ඩ වලින් භාණ්ඩ තුන්සියයක් විතර තහනම් කරාවි. ඕක තමයි මේ කරන්න යන්නේ. ආණ්ඩුව කියනවා විදේශ සංචාරකයන් ගෙන්නන්න ඕන කියලා. මේ වගේ වැඩ කර විදේශීය සංචාරකයන් ගෙන්වා ඔවුන්ට දෙන්න වෙන්නේ මඤ්ඤොක්කා තමයි.

මේ සේරම පස්සේ එන්නේ එන්. එම්. පෙරේරා මහතා ක‍්‍රියාත්මක කළ Foreign E*change Entitlement
Certificate system [FEECS] ක‍්‍රමවේදය. එහි විනිමය අනුපාතයන් දෙකයි. ඒ අපනයන කරන පුද්ගලයන්ට මුදල් කිරීම සඳහා එක ක‍්‍රමවේදයක් සහ අනිත් අයට තවත් ක‍්‍රමවේදයක් වශයෙන්. මෙය 1977 වසරේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එම ක‍්‍රමවේදය නැති කර එක විනිමය අනුපාතයක් කළා. ඊට කලින් වසර පහ හය තුළ තිබ්බේ විනිමය අනුපාතයන් දෙකක්. එහිදී ඔවුන් විශ්වාස කළේ අපනයනකරුවන්ට යම් සහනයක් දී ආනයනය තදටම අඩු කිරීම. ඒ කාලේ තමයි හාල් සේරුව, රෙදි යාර දෙක, පාන් ගෙඩි දෙක, පරිප්පු සේරුව ආවේ. මේ තත්ත්වය මිනිස්සුන්ට දරාගන්නත් බැරි වුණා. දරුවන්ගේ වර්ධනය පවා අඩුවුණා. කොටින්ම කියනවා යන්නම් මුළු පද්ධතියම කඩා වැටුණා.

ප‍්‍රශ්නය -ආණ්ඩුව මේ කරන්න හදන්නේ හදන්නෙත් එයමද ?

පිළිතුර – කරන්න හදන්නෙත් එයමද නෙමෙයි. දැනටමත් වෙලා තිබෙන්නේ ඒ දේ තමයි. තැන් තැන්වල පෝලිම් දකින්න නැද්ද. සිස්ටම් චේන්ජ් කරන්න ආපු මේ අයගේ ආර්ථික න්‍යායන් සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වෙලා රට ප‍්‍රශ්න ගොඩකට රැගෙන ගොස් තිබෙනවා. ආණ්ඩුව මේ වන විට ලෑල්ලටම බදු ගහලා ඉවරයි. ඔවුන්ට තවත් බඩු ගහන්න බැහැ. මේ කරන්න හදන්නේ එම භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම. සිදුකරන්නේ ණයවර ලිපි විවෘත කර කර අවශ්‍ය භාණ්ඩය ගෙනවිත් එය අලෙවිකර බදු ඇතුළුව මුදල් පියවීම. දැන් කරල තියෙන්නෙ සියල්ලට උඩින් තවත් වියදමක් එකතු කිරීම. දැන් අපනයනකරුවන් මාසෙකට කලින් බැංකුවට සල්ලි බඳින්න ඕනා. ඉන්පසුව අවශ්‍ය භාණ්ඩය මෙරටට ගෙනවිත් එය අලෙවි කර මුදල් ගෙවන්න ඕන. එවිට මුදල් අවප‍්‍රමාණය වීමේ පාඩුව ඇතුළු පාඩු ගණනාවක් විඳින්න ඔවුන්ට සිදු වෙනවා. ඒ වගේම බැංකුවලට දන්වා තිබෙන්නේ ණයවර ලිපි විවෘත කිරීමට මුදල් ප‍්‍රසාරණය කරන්න එපා කියලා.

එතකොට ආනයනකරුවන් වෙනත් බැංකුවකින් සල්ලි ගෙනත් දාන්න ඕන. මෙහෙම තත්ත්වයක් තුළ ආනයනය කරන එක කරන්න පුළුවන්ද..?

ප‍්‍රශ්නය – ඔබ ඔබ කියන කාරණා හරිනම් ආණ්ඩුවට ආර්ථික උපදෙස් ලබා දෙන්නේ විපක්ෂයට සම්බන්ධ කෙනෙක් යැයි හිතන්නත් පුළුවන් ?

පිළිතුර – හහ්…හහ්..හා..ඇත්තටම විපක්ෂයේ එච්චර පිස්සු පොරවල් නැහැ. මෙහෙම තත්ත්වයක් රට තුළ තිබියෙදී මොන ආයෝජකයා ද මේ රටට එන්නේ. මම පොඩි දෙයක් කියන්නම්. ඇත්තටම මේක සීරියස් කියන කතාවක්ම නෙවෙයි. දැන් ආණ්ඩුව හාල්, පරිප්පු, සීනි ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කියන්නේ ආනයනකරුවන් බඩු සඟවාගෙන සිටින බැවින් එහි මිල ඉහළ යන බව. ගබඩා කඩා එම භාණ්ඩ නිදහස් කරගන්නේ ඒ නිසයි. භාණ්ඩ සඟවාගෙන සිටින නිසා භාණ්ඩ මිල ඉහළ යනවා නම් ඩොලර් ඉහළ යන්නේ ආණ්ඩුවට අනුව ඩොලර් සඟවාගෙන සිටින නිසා වෙන්න ඕනා. එසේ නම් ආණ්ඩුවට ඩොලර් සෙවීමට අපනයනකරුවන්ගේ ඔෆිස් වලට හමුදා මේජර් ජෙනරාල්වරුන් යවන්න වෙනවා. පවතින ආර්ථික අර්බුදයට හේතුව ආණ්ඩුවේ වැරදි, ආර්ථික මොඩලය වැරදි, සල්ලි අච්චු ගැසීමේ වැරදි බව ආණ්ඩුව පිළිගන්නේ නැහැ.

ප‍්‍රශ්නය – මේ යන විදියට ගියොත් ඩොලර් නතර වෙන්නේ කොතැනද ?

පිළිතුර – ඩොලරයේ නතර වෙන තැනක් කියන්නේ දැන් ඩොලර් නැහැනේ. ආණ්ඩුව කියනවා ඩොලර් එක රුපියල් 199.00 මිලට ගෙන රුපියල් 203.00 ට විකුණනවා කියලා. නමුත් රුපියල් 203.00 ට ඩොලර් එකක් ගන්න නැහැ. එහෙම තියෙද්දි ඩොලරයක් රුපියල් එකසිය අනූනමයට විකුණා රුපියල් 240ට ඩොලරයක් ගන්නේ මොන මෝඩයා ද. ඇත්තටම පසුගිය දවස්වල ඩොලරය රුපියල් 223 ට ගියා. ඩොලර් රුපියල් 223 ට ගන්න නිසා ආනයනකරුවෝ එවා විකුණුවා. එතැනදි යම් සමතුලිතභාවයක් ඇති වුණා. නමුත් රුපියල් 223 ට විකුණු ඩොලරය ? නිදාගෙන උදේ ඇහැරෙන විට රුපියල් 199 දක්වා අඩුකර තිබෙනවා. රුපියල් 203ට ඩොලරයක් විකුණනවා කීවත් ඒ ගානට එක ඩොලරයක්වත් ගන්න නැහැ. තමන්ගේම ඩොලරයක් රුපියල් 199 කට විකුණා එය රුපියල් 240ට ගන්න ව්‍යාපාරිකයෝ සූදානම් නැහැ. තමන්ගේ ඩොලරයට රුපියල් හතළිහක් වැඩිපුර ගෙවන්න ඔවුන් කැමති වෙයිද?

විදෙස් ශ‍්‍රමිකයන් අප රටට සල්ලි එව්වා. දැන් ආණ්ඩුවෙන් එකසිය අනූනමයට ගන්නා ඩොලරයක් සඳහා වැල්ලවත්තේ බයස්ලා රුපියල් දෙසිය හතළිහක් ගෙවනවා. මේ හේතුව නිසා නැවතත් උණ්ඩියල් ක‍්‍රමයට මිනිස්සු මාරු වෙලා තිබෙනවා. මේ නිසා එක ඩොලරයක්වත් දැන් ලංකාවට එන්නේ නැහැ. ආණ්ඩුව මේ වගේ මෝඩ තීන්දු තීරණ අරගෙන ඩොලර් ලංකාවට ගෙන්න පුළුවන්ද.

මේ ගොඩක් දේට හේතුව මුදල් අච්චු ගැසීමයි. ඉල්ලූම් සැපයුම් න්‍යාය අනුව සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. මුදල් හි වටිනාකම එහි පොලියයි. ඒ කියන්නේ මුදල් අච්චු ගහන්න ගහන්න පොලීය අඩු වෙනවා. මේ නිසා උද්ධමනය වැඩි වෙනවා. ඒ කියන්නේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යෑමක් සිදු වෙනවා. මේ ආණ්ඩුව මේ වන විට ටි‍්‍රලියන 1.2 ක මහා දැවැන්ත මුදල් කන්දරාවක් අච්චු ගසා තිබෙනවා. මහා ලොකු ආර්ථික විශේෂඥයන් ඉන්නවා යැයි කියන ආණ්ඩුව පසුගිය මාස 19 ට හතර දෙනෙක් සිටින පවුලක ණය බර ලක්ෂ හයහමාරක කින් වැඩිකර අවසන්. ඉතිහාසයේ පෙර කවදා හෝ නොවූ විරූ ලෙස විශාල ණය ප‍්‍රමාණයක් මිනිසුන්ගේ කරමත මේ ආණ්ඩුව පටවමින් තිබෙනවා. මේ ආණ්ඩුව නිසා හතර දෙනෙක් සිටින පවුලක මාසික ණය බර රුපියල් තිස් හතරදහස් දෙසිය පනහකින් පමණ වැඩි කර තිබෙනවා. ආණ්ඩුව ලක්ෂ හය හමාරකින් මිනිසුන්ගේ ණය බර වැඩි කළාට මිනිසුන්ට පසුගිය මාස දහ නමයට ලක්ෂ හය හමාරක් හොයන්න පුළුවන් වුණාද. ආණ්ඩුව තනිකරම යන්නේ වැරදි පාරක. ආණ්ඩුව මිනිසුන්ගේ ණය බරත් වැඩි කර කන්න දෙන්නෙත් නැති තත්ත්වයකට පත්කර තිබෙනවා.

ප‍්‍රශ්නය – පසුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය සහ පවතින කොරෝනා වසංගතය මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇති බවයි ආණ්ඩුව පවසන්නේ.

පිළිතුර – මේවා හරියට නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්ව වගේ කතා. ආණ්ඩුව සිස්ටම් චේන්ජ් කරනවා කිව්වා. අපි හිටියනං කවදාවත් මෙම තත්ත්වයට රට යන්නේ නැහැ. ඇත්තටම කොරෝනා වසංගතය පැමිණීමට පෙර තමයි ආණ්ඩුව වරද්දා ගත්තේ. ඒ 2019 දෙසැම්බර් බදු සහන ලබා දීමට කටයුතු කිරීමයි. වසංගතය නිසා අප රට මෙම තත්ත්වයට පත් වුණා යැයි ආණ්ඩුවට කෙසේවත් කියන්න බැහැ. ඉතා දුප්පත් රටක් වන බංගලාදේශයේ ටකා මුදල් ඒකකය අවප‍්‍රමාණය කර නොගෙන ඔවුන් තියාගන්නේ කොහොමද. වසංගතය ආරම්භ වන විට 2020 ජනවාරි මසයේදී ඇමැරිකානු ඩොලරයක් සඳහා බංග්ලාදේශ ටකා මුදල් ඒකකයක් සඳහා ගෙවීම් මිල ලෙස දැක්වුණේ අසූ හතරයි ශත හැටයි. මේ වන විට එහි තත්ත්වය අසූ පහයි ශත විසි දෙකයි. වසංගතය පටන් ගන්නා විට අපි ඩොලරයක් වෙනුවෙන් රුපියල් එකසිය අසූ දෙකක් ගෙව්වා. දැන් එය 240 යි. හද්දා දුප්පත් බංගලාදේශයට පුළුවන් වූ දේ අපට කරන්න බැරි වුණේ අපේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසයි. වසංගතය හමුවේ අනිත් රටවල්වලට අල්ලන් ඉන්න පුළුවන්නම් අපට බැරි වුණේ වැරදි ආර්ථික කළමනාකරණය නිසයි.

ප‍්‍රශ්නය – මේ වන විට සමගි ජන සමග ජන බලවේගයෙ ආණ්ඩුවක් තිබුණා නම්…

ආනයන තහනම් කර රටට එන සංචාරකයින්ට දෙන්න වෙන්නේ මඤ්ඤොක්කා තමයි - ආචාර්ය හර්ෂ ද සිල්වා

පිළිතුර – අපි නම් කවදාවත් 2019 කළ බදු කපා හැරිය වගේ පිස්සු මෝඩ වැඩ කවදාවත් කරන්නෙ නෑ. අපේ ආණ්ඩුව අමාරුවෙන් ගොඩ දා ගත් ආදායම් වැඩි කර ගැනීම මේ ආණ්ඩුව බදු කපා හැර එක දවසින් පයින් ගසා විනාශ කර දැම්මා. මේ තීරණයත් සමඟ රුපියල් බිලියන 500 ක විතර ආදායම් අඩුවන බව එදා මම කිව්වා. එම තීරණය හේතුවෙන් දැන් රජයට යන එන මං නැතුව ඉන්නෙ. අපි හිටියනම් ආර්තිකය බැ?රුම් වෙන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.

එක්දහස් නවසිය පනස් දෙකෙන් පසුව 2017 සහ 18 වසර දෙක තුළ ආණ්ඩුවේ වියදමට වඩා ආදායම වැඩි කරගන්න මංගල සමරවීර මුදල් ඇමැතිවරයාට හැකියාව ලැබුණා. ඒ දේවල් මෙම ආණ්ඩුව විනාශ කළා.

ප‍්‍රශ්නය – ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ මොහොතේ අප රටේ මුදල් ඇමැතිවරයා නම් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔබ අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙල කුමක්ද..?

පිළිතුර – මම මේ වෙලාවේ මුදල් ඇමැතිවරයා නම් ණය ප‍්‍රතිවි්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තරය සමඟ කතා කරනවා. අපට කෙටි කාලයකදී කෙටිකාලීන ණය ගෙවීම් දෙකක් කරන්න තිබෙනවා. එන මාසයේදී ඩොලර් බිලියන 1.5 ක් සහ ඊළඟට ඩොලර් බිලියන හයක ණය ගෙවීමට තිබෙනවා. ඇත්තටම දැන් අප සතුව තිබෙන්නේ ඇමරිකාවෙන් පිනට ලැබුණු ඩොලර් මිලියන 800 ක් සමඟ සමග ඩොලර් බිලියන තුනක් පමණයි. රත්රන් ටික අයින් කළ පසු ඩොලර් බිලියන 2.6 ක් විතරක් අතට ඉතුරු වෙනවා.

ඉදිරි මාස දෙකේදී ඩොලර් බිලියන 1.5 ක ණය

ගෙවන්න තිබෙනවා. ආන්තික මුදල් තැන්පතු වගේ සීමා දමා ඉතිරි කර ගැනීමට වෙන්නෙත් ඩොලර් සුළු ප‍්‍රමාණයක් පමණයි.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා හිතවත් රටවලින් අතමාරු ගන්න පුළුවන්. ඇත්තටම අපට මේ වගේ අත මාරු දෙකක් දුන්නේ ඉන්දියාව ඩොලර් මිලියන 400ක් සහ බංග්ලාදේශය ඩොලර් මිලියන 250 ක් පමණයි. මගේ ගණන් බැලීම අනුව මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට ඩොලර් බිලියන අටක් පමණ අවශ්‍ය වෙනවා. ඒ සඳහා විසඳුම් ගන්නවා නම් අපට යන්න වෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. එවිට අපට ඩොලර් බිලියන අටක් ඕන වෙන්නේ නැහැ. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනඟා තිබෙන්නේ රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට ගියහොත් ඊට උදව් කිරීම සඳහායි. ඔවුන් වරායවල් හදන්න, කුලූනු හදන්න, පාරවල් හදන්න සල්ලි දෙන්නේ නැහැ. ඔවුන් මුදල් දීමේදී පනවන එකම කොන්දේසිය වන්නේ රාජ්‍ය මූල්‍ය විනය සාදාගන්නා කොන්දේසි පමණයි. ඇත්තටම අපි කල්පනා කරන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගෙන මූල්‍ය විනය හදාගන්නවද, එසේ නැත්නම් වෙන රටවල්වලින් ණය ගෙන වෙනත් ග‍්‍රහණයට නතු වෙනවා ද කියන එක.

ඇත්තටම දැන් අපට ජාත්‍යන්තරයේ දොරවල් වැහිලා තිබෙන්නේ. තව අවුරුද්දකින් කල් පිරෙන අපගේ ජාත්‍යන්තර බැඳුම්කර සඳහා ද්විතීක වෙළඳපොළේ විකිනෙන්නෙ පොලිය සියයට තිස් අටයි. මේ වගේ පොලියකට ණයක් ගන්න හිතන්නවත් පුළුවන්ද.

මේක විහිළුවක්. අප රටට මාස 24 කට 36කට හුස්ම ගන්න අවස්ථාවක් ගන්න ඕන. මේ අපි දැන් ගෙවන්නේ මහින්ද රාජපක්ෂ මහතා 2012 දී ගත්ත ණයවල පොලිය. එම ණය අරගෙන තියෙන්නෙ නිව්යෝර්ක් නීතිය අනුව. ඒවා කල්දමා ගන්නට ලෙහෙසි නැහැ. බැසිල් මහත්තයට හෝ කබ්රාල් මහත්තයට හෝ මහ බැංකු අධිපතිට එහි ආයෝජකයන්ට කෝල් කරලා මෙම ප‍්‍රශ්නය විසඳා ගන්න බැහැ. මේ ප‍්‍රශ්නයෙන් ගොඩ එන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කරගත යුතුමයි. එහෙම නැතුව මේ ගේම් එක ගහන්න නොහැකියි.

ප‍්‍රශ්නය – මේ වගේ ආර්ථික අර්බුදයකට රට ලක්වීමට නියමිත බව ඔබ පෙර දුටුවේ නැද්ද?

පිළිතුර – ඇතිවිය හැකි ආර්ථික අර්බුදය දැක මම 2020 ඔක්තෝම්බර් මාසේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වේ. එහෙම ගියානම් ඩොලරය අද 194 ට බේරගන්න තිබුණා. මේ ආණ්ඩුවේ උද්දච්ච කමයි මෝඩ තීන්දු තීරණ නිසායි, හැට ගණන් වල යල්පැනගිය මකුණු දැල් බැඳුනු ආර්ථිකය න්‍යාය එල හිරවෙලා සිටින නිසයි ආර්ථික අර්බුදය තව තවත් තීව‍්‍ර තිබෙන්නෙ. මම මුදල් ඇමැති ලෙස හිටියනං කෙටිකාලීනව ප‍්‍රශ්නය විසඳගෙන අපේ රට ලෝකයට එකතු කරනවා. නැත්නම් මේ ප‍්‍රශ්නයට විසඳුම් නැහැ. ඇත්තට මං ගාව මේ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේ සැලැස්ම තිබෙනවා. ඒ සැලැස්ම අනුව අප රට ලෝකයේ ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන්. දේශීය ව්‍යවසායික ශක්තිමත් කරන්න පුළුවන්. ඇත්තටම අද අපි බේරිලා ඉන්නේ සරා අමලීන් මහේෂ් අමලීන්, අශ්රෆ් ඔමාර්, මහේෂ් හයිඩ‍්‍රාමනි, අරුණ හයිඩ‍්‍රාමනී, දමිත රාමනායක, මෙරිල් ප‍්‍රනාන්දු වැනි අපනයනකරුවන් නිසයි. හරි නම් ආණ්ඩුව මේ අයට මල් තියලා වඳින්න ඕන.

ප‍්‍රශ්නය – මෙහෙම ගියොත් මේ ආණ්ඩුව නතර වන්නේ කොතැනද ?

පිළිතුර – ඔය ප‍්‍රශ්නය අහන්න ඕනේ ඔහොම නෙවෙයි. මෙහෙම ගියොත් අපට නතර වෙන්න සිදුවන්නේ කොහේද කියලා. අපගේ රට බස් එකක් ලෙස ගත්තොත් ආණ්ඩුව කියන්නේ එහි රියදුරු. මගීන් කියන්නේ මහජනතාව. දැන් බසය ගැඹුරු ප‍්‍රපාතයක් තිබෙන බෑවුමක වංගුවක් පසු කරමින් සිටිනවා. එහි රියදුරු පිස්සු කෙලියොත් ආණ්ඩුව සහ මගීන් සියලූ දෙනා ප‍්‍රපාතයට වැටෙන එක නතර කරන්න බැහැ. එහෙම වුණොත් රටටයි අපටයි හැමෝටම බුදු සරණයි තමයි. හැබැයි එක දෙයක් මෙහිදී වෙනවා. ඒ බස් එක ප‍්‍රපාතයට වැටෙන කොට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැරෂුට් එකක ආධාරයෙන් ලොස්ඇන්ජලීස්වල පිහිනුම් තටාකයක් ළඟට පරිස්සම් ගොඩබෑමක් අනිවාර්යෙන්ම කරනවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment