ආනයන තහනම නිසා රූපලාවන්‍යාගාර 90%ක් වැහිලා

222

රූපලාවන්‍ය ද්‍රව්‍ය ලංකාවට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා ඇති රූපලාවන්‍යාගාර සියයට 90ක් වැසෙන තත්ත්වයට පත්ව ඇතැයි රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ (hair and beauty cluster) සභාපතිනි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජැකී අපෝන්සු මහත්මිය ඊයේ (23 වැනිදා) පැවසුවාය.

මෙම තත්ත්වය මත රූපලාවන්‍ය ශිල්පීන් හා කේෂාලංකරණ ශිල්පීන් හා එම සේවකයන් අන්ත අසරණ වී ඇතැයි ද ඇය කියා සිටියාය.

කොළඹ බී. ආර්. සී. ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඇය එසේ කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජැකී අපෝන්සු මහත්මිය මෙසේ ද සඳහන් කර සිටියාය.

අපිට හාරලක්‍ෂ පනස්දහසක් සාමාජිකයෝ ඉන්නවා. අපෙන් යැපෙන අය ඉන්නවා ලක්‍ෂ 15ක්. ඒක අති විශාල සංඛ්‍යාවක්. පසුගිය කාලයේ අපි ලොකු ව්‍යසනවලට මුහුණ දුන්නා. ඒ හැම දේකටම අපි සංගමයක් විදිහට ඉදිරිපත් වෙලා ඒවාට සාර්ථක විසඳුම් ලබා ගත්තා.

කොවිඩ් 19 නිසා අපි රූපලාවන්‍යාගාර වහලා තිබුණා. ඒ වහලා තිබුණු වෙලාවෙත් අපි ගොඩක් සටන් කරලා කොහොම හරි විවෘත කරගෙන සාධාරණ විසඳුමක් අපිට ලැබුණා. ඒ ප්‍රශ්නයේදී රූපලාවන්‍ය ශිල්පීන්, කේශාලංකරණ ශිල්පීන් ගොඩක් විඳෙව්වා. දැන් මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය ලංකාවට ගෙන්වන එක තාවකාලිකව නතර කිරීම නිසා ගොඩක් සැලෝන් වැහෙන තැනට පත්වෙලා. මේවා ගෙන්වන එක නතර කිරීම ශීඝ්‍රයෙන් ඉවත් කළ යුතුයි.

ඉස්සරහට නත්තල් සීසන් එකට තමයි ළංවෙන්නේ. රූපලාවන්‍ය හා කේෂාලංකරණ ක්‍ෂේත්‍රයේ නොවැම්බර්, දෙසැම්බර් තමයි සීසන් පටන් ගන්නේ. එතකොට නොවැම්බර් කියන්නේ අත ළඟ. දැන් රූපලාවන්‍ය නිෂ්පාදන ගෙන්වනවා නම් ඒක සැප්තැම්බර් අන්තිම වෙනකොට මේ තහනම අයින් කරන්න ඕනේ. ඒකට හේතුව දවස් 45ක් 60ක් විතර යනවා මේවා පිටරටින් ගෙන්වන්න. එතකොට මේවා ගෙන්වලා අපිට සීසන් එකේ මැදදි දෙසැම්බර් මැද හරියෙදි බඩු හම්බ වුණොත් නිෂ්පාදන හම්බ වුණොත් අපිට මේ වැඩ කරගන්න බැරිව යනවා.

අපේ වැඩ කරන අය ඉන්නවා ගොඩක් සේවක සේවිකාවෝ. ඒ අය 450,000 ක් ඉන්නවා. මේකෙන් සියයට 75ක් 80ක් රැකියා නතර වෙනවා.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියන් වන බර්නි බාලසූරිය, අශෝකා තිලකරත්න, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීන් වන ජෙරල් සොලමන්ස්, ලකී සුනිල් යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ. සේවකයෝ 450000ක් අමාරුවේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජැකී අපෝන්සු

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment