ආනයන තහනම නිසා සංචාරක ව්‍යාපාරය වැටෙයිද?

517

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ සුවිශාලවූ දායකත්වයකි. කොවිඞ් වසංගතය නිසා මෙරටට සංචාරක කර්මාන්තයට එල්ලවූයේ මරුපහරකි. මේ නිසා රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු විශාල මුදලක් රටට අහිමිවිය. කෙසේ වුවද මේ වනවිට මෙරට සංචාරක කර්මාන්තයේ යම්කිසි ප‍්‍රවර්ධනයක් ඇතිවෙමින් තිබේ. දසලක්ෂයකට අධික පිරිසක් සෘජුව හා වක‍්‍රව මෙරට සංචාරක කර්මාන්තයේ නිරතව සිටිති. විදේශීය සංචාරකයන් පැමිණීමත් සමග සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ගේ අතමිට සරුවෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 89506කි. එම මාසය තුළ වැඩිම විදේශීය සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබුණේ ඉන්දියාව රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුක්රේනය වැනි රටවලිනි. දෙසැම්බර් මාසයේ සංචාරක ඉපයීම ඩොලර් මිලියන 120 කි. 2021 වර්ෂය තුළ මෙරටට විදේශීය සංචාරකයන් 194495 දෙනකු පැමිණ තිබුණි. සංචාරක කර්මාන්තය යනු සේවා සපයන කර්මාන්තයකි. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් තෘප්තිමත් කිරීම සඳහා ගුණාත්මක සේවාවක් ලබාදිය යුතුය. ප‍්‍රමිතියෙන් යුතු ගුණාත්මක ආහාර ලබාදිය යුතුය. මේ අතර ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග මෙන්ම බටර්, චීස්, කෝකාවා රට ඉඳි, යෝගට්, බීර ඇතුළු විදේශීය රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ 367ක් සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ලැබීය.

සැබැවින්ම මෙකී ඇතැම් භාණ්ඩ අපේ රටේ රට්ටුන්ට නම් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවේ. එහෙත් ආනයනය සීමා කොට ඇති ඇතැම් භාණ්ඩ සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩයන්ය. මේ නිසා මෙරට සංචාරක කර්මාන්තයට යම්කිසි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇත. ඒ විතරක් නොව ඇතැම් කෑම වර්ග සෑදීම සඳහා ආනයනය සීමාකොට ඇති ඇතැම් භාණ්ඩ අත්‍යවශ්‍ය වේ. උදාහරණයක් වශයෙන් ගතහොත් යුරෝපීය කෑම වර්ග සකස් කිරීම සඳහා විවිධ වර්ගයේ සෝස් වර්ග, වයින් වර්ග අත්‍යවශ්‍ය වේ. මෙම තත්ත්වය තුළ විදේශිකයන්ට රසවත් ආහාර වේලක් ලබාදීමේදී ඉදිරියේ දි ගැටලූ රැසක් නිර්මාණය වීමට ඉඩ ඇත. අනික් කාරණය වන්නේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් සියයට 90ක් පමණ යුරෝපීය ආහාර වර්ග අනුභව කිරීමට පුරුදුව සිටිති.

උදාහරණයක් වශයෙන් ගතහොත් දින 07ක පමණ කාලයක් මෙරට රැඳී සිටින විදේශිකයකු ආහාර වේල් දෙක තුනක් දේශීය ආහාර ලබා ගන්නා අතර ඉතිරි ආහාර වේල් සියල්ලම යුරෝපීය ආහාර වර්ගවලින් සප්පායම් වීමට පුරුදුව සිටිති. මෙරට සුන්දර වෙරළ තීරයට ස්වභාවධර්මයට පමණක් වහවැටී විදේශීය සංචාරකයන් මෙරටට නොපැමිණෙති. ඔවුහු මෙරටට පැමිණෙන්නේ බත් සමග මාළු, මයියොක්කා, නැතිනම් කරවල සමග බත් කොත්තු රෝටි කෑමට නොවෙති. ආනයනය සීමා කළ ඇපල් සඳහා බද්ද සියයට 200කින් හා මිදි හා දෙළුම් සඳහා බද්ධ සියයට 50කින් ඉහළ දමා ඇත. දොඩම්, නාරං වියළි මිදි සහ අනිකුත් ආනයනික පළතුරු වර්ගවල බද්ද ඉහළ දමා ඇත. ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පළතුරුවල මිල දෙතුන් ගුණයකින් ඉහළ යෑමට ඉඩ ඇත.

මෙම තත්ත්වය තුළ මෙරට සංචාරක කර්මාන්තයට එල්ලවිය හැකි බලපෑම සුළු පටු නොවේ. ඒ විතරක් නොව ඇතැම් භාණ්ඩවල වෙළෙඳපොළ තුළ හිඟයක් ඇතිවී කළුකඩයක් ද නිර්මාණය වීමට ඉඩ ඇත. මින් වැඩිම බලපෑමක් එල්ලවන්නේ තරු පංතියේ හෝටල්වලටය. එමෙන්ම සංචාරක කලාප ආශ‍්‍රිතව විදුලිය විසන්දි කිරීම නිසා සේවා සැපයීමේ දී සංචාරක කර්මාන්තයේ නිරත වුවන් ගැටලූ රැසකට මුහුණ දී සිටිති. සැබැවින්ම සංචාරක ව්‍යාපාරය යනු සේවාවක් සපයා මුදලක් උපයා ගැනීමේ කර්මාන්තයකි. සපයන සේවාව අමිහිරි නම්, ඔවුන්ට මහත් පීඩාකාරී නම් විදේශීය සංචාරකයන් මුදල් ලබාදී එම සේවාව ලබා ගනීද, මේ නිසා දෙපා ළඟට ආ ඩොලර් අහිමිවනු ඇත.

ස්නානය මෙන්ම වැසිකිළි කැසිකිළි පහසුකම් සඳහා වතුර නොමැති වීම මෙම විදුලි කප්පාදුව තුළින් එල්ලවන ප‍්‍රධාන බලපෑමකි. විදේශීය සංචාරකයන් කෙතරම් හිරු රශ්මියට ඇලූම් කළද ඔවුන් විවේකීව සිටින විට හා නින්දට යෑමේ දී වායු සමීකරණය අත්‍යවශ්‍ය උපකරණයකි. තරු පහේ හෝටල් හිමියා සිට ගෘහස්ථ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයා මෙන්ම විදේශීය සංචාරකයන්ද විදුලිය විසන්දි කිරීම නිසා නොයෙකුත් ගැටලූවලට මුහුණ දෙති. මේ අතර බොහෝ ව්‍යාපාරිකයන්ගේ විදුලි ජනන යන්ත‍්‍ර ඉන්ධන ගැටලූව නිසා ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත. ඒ විතරක් නොව විදේශීය සංචාරකයන්ගෙන් අති බහුතරයක් අන්තර්ජාලයත් සමගය. ගනුදෙනු කරති. අන්තර්ජාලය ඔවුන්ගේ ප‍්‍රධාන තොරතුරු සන්නිවේදන මාර්ගය වේ. එමෙන්ම තම හිතවතුන්ගේ සහ නෑදෑයන්ගේ සම්බන්ධකම් පවත්වන්නේ මෙම අන්තර්ජාලය හරහාය.

මේ ආකාරයෙන් විදුලි කප්පාදුව නිසා විදේශීය සංචාරකයන් ගැටලූ රැසකට ලක්ව සිටිති.

ආනයන තහනම නිසා සංචාරක ව්‍යාපාරය වැටෙයිද?

එමෙන්ම සංචාරක නිකේතන මගින් සපයා ඇති රූපවාහිනි සහ අනෙකුත් සේවා සම්බන්ධතා ඇනහිටීම, රෙදිපිළි සේදීම සහ ඒවා පිරිසිදු කිරීමට ඇති අපහසුව අඩු සාන්ද්‍රය ඇල්කොහොල් පානයක් වන බියර් මෙන්ම අනෙකුත් පළතුරු යුෂ බීම ශීත කිරීමට නොහැකිවීම, විදුලි කප්පාදුව නිසා සංචාරක කර්මාන්තයේ නිරත වූවන් මුහුණදෙන ගැටලූ වේ. ඇතැම් හෝටල් වල මුළුතැන්ගෙයි ඇති ශීතකරණ සහිත ආහාර පාන නරක් වීම ද ප‍්‍රධාන ගැටලූවකි. ඇතැම් අවස්ථාවලදී විදේශීය සංචාරකයන් හෝටලයෙන් පිටත්වන අවස්ථාවේ විදුලිය ඇනහිටීම නිසා ණයවර පත් මගින් මුදල් ගනුදෙනු කිරීමට නොහැකිවී ඇත.

විදුලිය කප්පාදුව නිසා ඇතැම් විදේශීය සංචාරකයන් රාත‍්‍රි කාලයේ දී ගමන් ගන්නා විට කාණුවලට වැටී නොයෙකුත් අනතුරුවලට ලක්වූ අවස්ථාද වාර්තාවී ඇත. ඒ විතරක් නොව මෙකී කාලවලදී සමාජ දූෂණ සහ අඩත්තේට්ටම්වලට මුහුණපා සිටින සංචාරකයන්ද නැතිවා නොවේ. ඇතැම් විදේශීය සංචාරකයන් මේ තත්ත්වය දැනටමත් අන්තර්ජාලය හරහා සටහන්කොට ඇත. මෙවැනි සිද්ධීන් අපේ රටේ සංචාරක කර්මාන්තයට එතරම් හොඳ තත්ත්වයක් නොවේ.

උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් රිදීවිලා හෝටලයේ හිමිකරු සුමිත උබේසිරි මහතා කීවේ මෙවැනි කතාවකි.

ඕනෑම පුද්ගලයකුගේ කොඳු නාරටියට මරු පහරක් එල්ල වූ විට දෙපයින් නැඟිට සිටීමට නුපුළුවන. සමහරවිට සදාතනික අබ්බගාතයකු වීමට ද හේතුවක් වෙනවා. විදේශීය මුදල් සංචිත නොමැතිවීම ද එවන් වූ ඉරණමකට අතවැනීමක් වැනිය. මෙම ව්‍යාපාරය හරිම සංවේදී එකකි.

උදාහරණයක් ගතහොත් ලංකාවේ කොහේ හරි කොනක බෝම්බයක් පිපිරුණහොත් අනිත් පැත්තේ ඉන්න සංචාරකයන් රටින් පිටව යනවා. පාස්කු ප‍්‍රහාරයත් සමග සමස්ත සංචාරක ව්‍යාපාරයම අකර්මණ්‍ය වීමට ගියේ දින කිහිපයක්. එහෙත් ජදඩසා වසංගතය හමුවේ සියල්ල කණපිට පෙරලූනා. වසර දෙකකට අධික කාලයක් ව්‍යාපාරවල යෙදී සිටි සියලූ දෙනාම කබලෙන් ළිපට වැටුනා. එහෙත් දෛවයේ සරදමක් ලෙසින්ද කොහේදෝ එහෙම නැත්නම් භූගෝලීය විෂමතා තුළින් සහ ආගන්තුක සත්කාර අතින් ශ‍්‍රී ලංකාව ඉහළ ස්ථානයක සිටින නිසා මෙකී ව්‍යාපාරය ශීඝ‍්‍ර වර්ධනයක් කරා පැමිණියේ කොවිඞ් වසංගතය පහ වන්නටත් කලින්.. තත්ත්වය මෙසේ තිබියදී සංචාරක ව්‍යාපාරය සඳහා සෘජුව බලපාන භාණ්ඩ රැසකම ආනයනය සීමා කිරීම පසුගිය වකවානුව තුළ සිදුකළ අතර එමගින් සියලූ හෝටල් හිමියන් තවමත් වන්දි ගෙවනවා. මේ අතර, රජය විසින් අත්‍යවශ්‍ය ආහාරපාන වර්ග රැසකම ආනයනය තහනම් කළා. මෙවැනි දෑ අපි අගය කරනවා. නුමුත් මෙවැනි දේ සිහිනයක් දුටු විලසින් පසුදිනම මෙසේ ක‍්‍රියාත්මක කිරීම තුළින් සංචාරක කර්මාන්තයෙහි යෙදී සිටින සමස්ත ව්‍යාපාරික ප‍්‍රජාවම දැඩි අපහසුතාවයට පත්වෙන බව නොඅනුමානයි. සුමිත් කීවේය.

උණවටුණ සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත මහතා මෙසේ කීවේය.

ආනයනය සීමාකොට ඇති ඇතැම් භාණ්ඩ සංචාරක කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ. මෙකී භාණ්ඩවල මිල අධික වීම භාණ්ඩ හිඟයක් ඇතිවම සංචාරක කර්මාන්තයට සෘජුව බලපානවා. විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ බත් හා මළු කන්න නොවයි. මයියොක්කා කෑමට නෙවෙයි ලංකාවට ආවේනික කෑම වර්ග ආහාරයට ගන්නා විදේශීය සංචාරකයන් සියයට 10ක් විතර ඇති. සියයට 90ක් පමණ ආහාරයට ගන්නේ යුරෝපීය හා තායිලන්ත කෑම වර්ග. පළතුරු වර්ගවල මිල ඉහළ යෑම නිසා විදේශීය සංචාරකයන්ටත් මෙරට රැඳී සිටීමේදී වියදම වැඩිවෙනවා. මේ නිසා ඔවුන් ලංකාවට වඩා අඩු වියදමකින් සංචාරය කරන්න පුළුවන් මාලදිවයින හා තායිලන්තය වගේ රටවලට යන්න පුළුවන් යැයිද කොස්වත්ත මහතා කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment