ආපදා ලෝකය ගිලගනී

316

විශාල පිරිසකට ජීවිත හා උන්හිටිතැන් අහිමි කරමින් වසර 60කට පසු ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක හටගත් විශාලතම ජල ගැල්මට දේශගුණික විපර්යාසය ප‍්‍රධානතම හේතුව වී ඇති බව මේ වන විට ප‍්‍රකාශ වී තිබේ. ජර්මනිය සහ යුරෝපා රටවල් වන නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, ඔස්ටි‍්‍රයාව හා ස්විට්සර්ලන්තය යන රටවලටද බලපෑ මෙම දරුණු ජල ගැලීම් හේතුවෙන් 200කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව අනාවරණය වූ අතර තවත් 150 කට අධික පිරිසක් අතුරුදන් වී සිය දහස් ගණනකට උන් හිටි තැන් අහිමි වීමට ගතවූයේ නිමේෂයකි.
 
 ජල ගැල්මෙන් විශාලතම හානිය සිදු වූ ජර්මනියේ පමණක් 170 කට අධික පිරිසක් මිය ගොස් 155කට අධික පිරිසක් අතුරුදන් වීමට මෙම ජල ගැලීම මූලික විය. ජර්මනියට මේ සා විශාල හානියක් සිදුවීමට තරම් ප‍්‍රබල ජල ගැලීමක් හට ගත්තේ එරටට මාස දෙකක කාලයක් ඇද හැලෙන වර්ෂාව එක් දිනකදී ඇද හැලීම නිසා බව ජර්මනියේ කාලගුණ විද්‍යාඥයන් විසින් ප‍්‍රකාශ කර තිබිණි. ජර්මනියට මෙම මහා ජල ගැල්මෙන් ඇති වූ හානියට දේශගුණික විපර්යාසය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම විශාල වශයෙන් බලපෑ බව පෙන්වා දෙන විද්‍යාඥයෝ හා දේශපාලන ක‍්‍රියාකාරීහු කාර්මික රටවල නායකයන් විසින් ගෝලීය සමුළුවලදී එකඟ වූ පරිදි ගෝලීය උණුසුම අවම කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයන් ගැනීම ප‍්‍රමාද කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අවධාරණය කර සිටිති.
 
 ජර්මනිය ඇතුළු යුරෝපා රටවල නායකයන් පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාවේ හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත දරුණු කාලගුණ තත්ත්වයටද හේතු වී ඇත්තේ මෙම ගෝලීය උණුසුම බව මේ වන විට අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ කලාපයකම මෙම අධික උෂ්ණත්වය නිසා වෙනත් වසරවල දක්නට නොලැබුණු තරම් දරුණු ලැව් ගිනි හටගෙන ඇති අතර මේ හේතුවෙන් විශාල පිරිසකට සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යෑමට සිදුව ඇති බව පසුගියදා වාර්තා වී තිබිණි.
 
 ගෝලීය උණුසුම යුරෝපයේ හටගත් දරුණු ජල ගැල්මට හේතු වූයේ කෙසේද?
 
 එංගලන්තයේ රීඞ්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හැනා ක්ලෝක්ට අනුව ජර්මනිය ඇතුළු යුරෝපා රටවල පසුගියදා හටගත් දරුණු ජල ගැලීම්වලින් සිදු වූ මිනිස් ජීවිත හානිය හා දේපළ හානිය වළක්වාගත හැකිව තිබූ ව්‍යසනයකි. යුරෝපා කාලගුණ විද්‍යාඥයන් මෙම ව්‍යසනය සිදු වීමට දින කිහිපයකට පෙර සිටම දරුණු කාලගුණ තත්ත්වයක් ඇති වන බවට අනතුරු අඟවා තිබුණද බලධාරීන් විසින් එම තත්ත්වයට මුහුණ දීම සඳහා නිසි සූදානමක් නොපෙන්වූ බවටත් ඇති විය හැකි දරුණු කාලගුණ විපර්යාසය හේතුවෙන් සිදු වන අහිතකර ප‍්‍රතිවිපාකයන් අවම කරලීම සඳහා නිසි ක‍්‍රියාමාර්ග නොගත් බවටත් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.
 
 මහාචාර්ය ක්ලෝක්ට අනුව පෘථිවියේ එක් පැත්තක දරුණු ජල ගැලීම හටගනිද්දී තවත් පැත්තක අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් සමග හටගෙන ඇති තාප තරංග (හීට් වේව්* නිසා දරුණු ලැව් ගිනි ඇවිලෙමින් පැවතීම ගෝලීය උණුසුම අප ජීවත්වන ලෝකයේ කාලගුණය කෙතරම් දරුණු තත්ත්වයකට පත් කරමින් සිටින්නේද යන්න පිළිබඳව සිදු කරන අනතුරු ඇඟවීමකි.
 
 මේ වන විට බටහිර විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා ඇත්තේ ලොව පුරා දරුණු කාලගුණ තත්ත්වයන් හට ගැනීමට මුල් වී ඇති ගෝලීය උණුසුමට හේතු වන පරිසරයට මුදා හැරෙන අධික කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය කපා හැරීමට දැන්වත් රාජ්‍ය නායකයන් විසින් පියවර ගත යුතු බවයි.
 
 ජර්මනියේ වත්මන් රාජ්‍ය නායිකාව වන චාන්සලර් ඇන්ජෙලා මර්කල් වෙනුවට ඇය නියෝජනය කරනු ලබන ‘‘ග‍්‍රීන්” පක්ෂයෙන් චාන්සලර් පදවිය සඳහා ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ඇනලීනා බෙයාර්බොක් පවසා ඇත්තේ දේශගුණික විපර්යාසයන්ට හේතු වී ඇති ගෝලීය උණුසුම ඇති වීම වැළැක්වීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ලෝක නායකයන් ක‍්‍රියා නොකළහොත් මෙවැනි දරුණු ව්‍යසනයන්ට මුහුණ දීමට ලෝකයට ඉදිරියේදීත් සිදු වන බවයි. මෙවැනි දරුණු ජල ගැලීම්වලට ජර්මනියට ඉදිරියේදීත් මුහුණ දීමට සිදු වනු ඇති බව පවසා ඇති බෙයාර්බොක් තමා ජර්මනියේ චාන්සලර්වරිය ලෙස තේරී පත් වුවහොත් ගෝලීය උණුසුම අවම කරලීම සඳහා යෝජිත ක‍්‍රියාමාර්ගයන් වහාම ක‍්‍රියාත්මක කිරීමට මෙන්ම සුළං බලය ඇතුළු පරිසර හිතකාමී බලශක්ති ක‍්‍රම රට තුළ ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව අවධාරණය කර තිබේ. වත්මන් රජයද ගෝලීය උණුසුම අවම කරලීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට පියවර ගත යුතු බව ද ඇය විසින් සඳහන් කර තිබේ. මෙය ජර්මනිය වැනි රටවල් සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රකාශයක් වනුයේ එරටද ගෝලීය උණුසුමට හේතු කාරක වන කාබන්ඩයොක්සයිඞ් වායුව වැඩි වශයෙන් පරිසරයට මුදහැරෙන ගල් අඟුරු භාවිත කරන රටක් වීමයි.
 
 දේශගුණික විපර්යාසයන්ට හේතුවන ගෝලීය උණුසුම ජල ගැලීම්වලට හේතු වන්නේ කෙසේද?
 
 විද්‍යාඥයන්ට අනුව ගෝලීය උෂ්ණත්වය වැඩි වන විට එය ජලය වැඩි වශයෙන් වාෂ්ප බවට පත් වීමට හේතු වන අතර එහි ප‍්‍රතිඵලය වනුයේ වාර්ෂික වර්ෂාපතනය හා හිම පතනය වැඩි වීමයි. මෙහිදී උණුසුම් වූ වායුගෝලයට වැඩි ජල වාෂ්ප ප‍්‍රමාණයක් දරා ගෙන සිටීමට හැකි වන නිසා ඇද හැලෙන වැසි ප‍්‍රමාණය වැඩි වේ. එහි ප‍්‍රතිඵලය වනුයේ යුරෝපා රටවල ඇති වූ ආකාරයට දරුණු ජල ගැලීම් ඇති වීමයි.
 
 මිනිසා විසින් නිර්මාණය කරන ලද ගෝලීය උණුසුම හේතුවෙන් මේ වන විට ලොව පුරා බොහෝ රටවල් ජල ගැලීම්වලට හා අධික උණුසුම් කාලගුණ තත්ත්වයන්ට මුහුණ පාමින් සිටී. නොබෝදා චීනයේ හටගත් ජල ගැලීම මෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ හටගත් දරුණු ලැව් ගිනිද, ඉන්දියාවේ වරින් වර හට ගන්නා දරුණු ජල ගැලීම් හා අධික උණුසුම ගෝලීය උණුසුම හරහා ඇති වී තිබෙන දේශගුණික විපර්යාසයන්ගේ ප‍්‍රතිඵලයන්ය.
 
 මෙවැනි තත්ත්වයන් අප රටේද වරින් වර ඇති වනුයේ මිනිසා විසින් පරිසරය විනාශ කරන ක‍්‍රියාමාර්ගයන් වැඩි කර තිබීම හේතුවෙනි. ගස් කපා දමමින් වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් එය දේශගුණික විපර්යාසයන් හට ගැනීමට හේතු වේ. මුළු මහත් ලෝකයම කොරෝනා වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටින කාලයක ගෝලීය උණුසුම හේතුවෙන් හට ගන්නා දේශගුණික විපර්යාසයන් පිළිබඳව මහජනතාව හා බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීමේ ප‍්‍රතිවිපාකය ජර්මනිය ඇතුළු යුරෝපා රටවලට පසුගියදා අත් විඳීමට සිදු විය. පවතින වාතාවරණය හමුවේ මෙවැනි ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දීමට ලෝකයට ඉදිරියේදීද සිදු වනු ඇත. මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති වීම වැළැක්වීමට නම් ජගත් පරසර සමුළුවලදී නිර්දේශ වී ඇති ගෝලීය උණුසුම අවම කරලීමේ ක‍්‍රියාමාර්ගයන් වහාම ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව බටහිර විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
 
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment