ආපසු හැරී බලන්න

103

ජීවිතය කියල කියන්නේ ඉබේ පහළ වෙන දෙයක් නොවෙයි. එය ඔබ විසින් මහන්සියෙන් කැපවීමෙන් ලබා ගත යුතු දෙයක්. මේ ජීවිතය තුළ අතීතය කියල කියන්නේ ගෙවී ගියපු කාලයට. අපි හැම කෙනෙකුටම අතීතයක් තියෙනවා. නමුත් හැම වෙලාවකම මේ අතීතය අමතක කරන්නයි අපි උත්සාහ දරන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන දෙයක් තමයි අතීතය වළදාන්න කියලා. ඇත්තටම අපිට අතීතය වළ දාන්න පුළුවන් ද? ඔව් පුළුවන්. ඒත් අපි අතීතය වළ දාන්න ඕනද? නැහැ. අතීතය කියන්නේ වළ දැමිය යුතු දෙයක් නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? උදාහරණයක් විදියට අපි සිංහයව ගනිමු. සිංහයෙක් ගමන් කරද්දි නිරන්තරයෙන් තමන් ආ ගමන් මග දිහා හැරී බලනවා. සිංහයාගේ ඒ නැවත හැරී බැලීමට අපි කියනවා සිංහාවලෝකනය කියලා. ඒක සුනඛයෙකුගේ ගමනට වඩා වෙනස් දෙයක්. ඉතින් මේ සිංහයා වගේ ම අපිත් අපේ ගමන් මග දිහා හැරිලා බලන්නට ඕනේ. එයින් අදහස් වෙන්නේ අපි අතීතය තුළ ම ජීවත් විය යුතු බවවත් අතීතය පිළිබඳ ශෝක විය යුතු බවවත් නොවෙයි. අතීතය මෙනෙහි කරමින් එහි පැවති අඩු ලූහු`ඩුකම් නිවැරදි කර ගනිමින් එය අනාගතයට ශක්තියක් කර ගත යුතු බවයි. එවන් හැකියාවක් මිනිසාට හැර වෙන කිසිදු සත්වයෙකුට නැහැ.

 අපේ අතීතය අපේ අනාගතයට මග පෙන්වන සංකේතයක්. අපේ වර්තමාන ජීවිතය ගොඩනැගෙන්නේ අතීතයේ අපි ගන්නා ලද තීන්දු තීරණ නිසාවෙන්. ඒ තරමටම අපේ වර්තමානය අතීත සමග බද්ධ වෙලා තියෙනවා. ඔබ අතීතය තුළ ඕනෑ තරම් කාලය කා දමලා ඇතිx කිසිම අරමුණක් නැතිව ජීවිතයට මුහුණ දීලා ඇති. වැරදිලා ඇති. පැරදිලා ඇති. දුක් විඳලා ඇති. අඬලා ඇති. ඒ සියල්ල හරිගස්සන්නයි දැන් කාලය. මොකද ඔබේ ජීවිතය කියන්නේ තව කෙනෙක් නූල අතේ තියාගෙන උඩ යවපු සරුංගලයක් නෙමෙයි. එය රොකට්ටුවක් විය යුතුයි. ඔබ නිශ්චිත අරමුණකින් ඉහළ යා යුතුයි. ඒ නිසා විමසිලිමත්ව අතීතය දෙස බලමින් එයින් පාඩම් උගෙන එය එබේ ජීවිතයට ඒකාලෝකයක් කරගන්න. මෙලොවට අඬාගෙන ඉපදුණු අපිට හිනාවීගෙන සැහැල්ලූවෙන් මැරෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනව ද?

 ඉෂාරා නදී
 කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment