ආපහු රටට ගේන්න හදන බාල කෘෂි රසායන සොයන කූට ජාවාරමකට මඟ හැදෙන හැඩ

130

රසායනික තහනමෙන් අඩපණ වූ කෘෂිකර්මාන්තය යළි නඟාසිටුවන්නේ මෙහෙමයි…

රසායනික පොහොර පළිබෝධනාශක ඇතුළු ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය විවිධ කෘෂි යෙදවුම් සම්බන්ධයෙන් රටේ විවිධ මත පළ විය. ගොවි ජනතාව පාරට බැස පොහොර ඉල්ලමින් උද්ඝෝෂණ කරමින් මුළු රටම හෙල්ලූ හැටි අපට අද මෙන් මතකය. අවසානයේ දී රසායනික කෘෂි යෙදවුම් ආනයන හා ඊට අදාළව රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයේ වරද මත පාලනය ද අතහැර දමා පළායන්නට සිදු වූ කාරණය දේශපාලනයට එහා ගිය කෘෂිකර්මාන්තය හා බැඳුණු බරපතළ අර්බුදයක ප්‍රතිඵලයක් බව ඉතා පැහැදිලිය.

රසායනික පොහොර, පළිබෝධනාශක හා කෘෂි යෙදවුම් ආනයනය තහනම් කිරීමට ගත් තීරණය නිසා රට තුළ බරපතළ ආහාර හිඟයක් ඇති වීම, ආහාර මිල ඉහළ යෑම මෙන්ම ඒ සමගම කෘෂිකර්මාන්තය බිමට සමතලා වී ගිය බවට නැඟෙන චෝදනා කිසිසේත් බැහැර කළ නොහැකි කරුණු වේ.

ඒ ගත් අමනෝඥ තීරණ ගැන දැන් ආඩපාලි කියා පලක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් යළි ආපස්සට ඇදිය නොහැකි වුවත්, ඒ වරද නිවැරදි කර ඉදිරියට යෑමට හැකි බව කිව යුතුමය.

මීට අදාළ වූ ඉතා යහපත් කථිකාවතක් පසුගිය දිනක බත්තරමුල්ල වොටර්ස් එජ් හොටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. ඒ සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරමින් රාජ්‍ය හා පුද්ගලික අංශවල විශාල පිරිසක්ද මේ කථිකාවතට එක්ව සිටියහ. ඊට විදෙස් කෘෂිකර්ම ක්ෂේත්‍රවල විශේෂඥයන් ද සහභාගි වූ අතර එහිදී වැදගත් කරුණු රැසක් හෙළි විය.

ක්‍රොප්ලයිෆ් ඉන්ටනැෂනල් (CropLife International) කලාපීය සංගම් හයෙන් එකක් වන ක්‍රොප්ලයිෆ් ඒෂියා (CropLife Asia) හි සාමාජිකත්වය දරන ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා (CropLife Sri Lanka) ආයතනය දැක්වූ කරුණු මෙහිදී කොයි කාගෙත් අවධානයට ලක් විය. ඔවුන්ගේ අරමුණ වූයේ, වැඩිවන ජනගහනය පෝෂණය කිරීම සඳහා ශාක විද්‍යාව නව්‍යකරණය කරමින්, දේශීය ගොවි ප්‍රජාව වෙත බෝග ආරක්ෂණය සඳහා, අඛණ්ඩව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමයි. එය ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා ආයතනයේ මූලික ඉලක්කය ද වේ.

2021 වසරේදී රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා රසායනික කෘෂි යෙදවුම් ආනයනයට වැට බැඳුණි. ඉන් කෘෂිකර්මාන්තයට, ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සිදු වූ හානිය සුළුපටු නොවේ.

මෙම ආන්දෝලනාත්මක තීරණය නිසා සහල්, බඩඉරිඟු මෙන්ම සමස්ත කෘෂිකර්මාන්තයේ අති විශාල කඩා වැටීමක් සිදුවිය. එලෙස වී, එළවළු ඇතුළු වැවිලි ක්ෂේත්‍රවලට ද එල්ල වූයේ දැඩි බලපෑමකි. මෙහි ප්‍රතිඵලයක් වූයේ සමස්ත කෘෂි නිෂ්පාදනය සියයට 67 කින් පහළ වැටීමයි. රසායනික පොහොර තහනම ඇතුළු ආනයනික කෘෂි යෙදවුම් ආනයනයට වැට බැඳීම නිසා මෙරට සමස්ත අස්වැන්න සියයට 54 ක් දක්වා අඩුවූ බව මෑතකදී කළ සමීක්ෂණයකදී හෙළිවී තිබේ. මෙම හේතුව නිසා කෘෂි නිෂ්පාදනවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා පමණක් නොව පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය ද හීන වී ගියේ ගොවිතැන් කර ජීවිතය ගැටගසා ගත් අසරණ මිනිස්සුන්ගේ ජීවිත ද නන්නත්තාර කර දමමිනි.

ආපහු රටට ගේන්න හදන බාල කෘෂි රසායන සොයන කූට ජාවාරමකට මඟ හැදෙන හැඩ

1990 දශකයේ මුලවන විට අපේ රට සහලින් ස්වයංපෝෂිත වී තිබූ බව අතිශයෝක්තියක් නොවේ. සමස්තයක් ලෙස කෘෂි නිෂ්පාදන දාමයේ (value chain) සෑම ස්තරයකදීම විකුණුම් මිල සියයට 45 කට වඩා වැඩි වීමක් දක්නට ලැබිණි. එහෙත් පසුගිය රාජ්‍ය පාලනයේදී ගත් තීරණ නිසා වී නිෂ්පාදන වියදම සියයට 66 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. අස්වැන්න සියයට 51 කින් පහළ වැටුණු අතර, අලෙවියද සියට 48 දක්වා පහළ වැටුණේ පාරිභෝගික ක්‍රය ශක්තිය පිරිහී යෑම නිසාය.

කෘෂි රසායන හා පොහොර තහනම නිසා එළවළු වගාවට එල්ල වූ බලපෑම ද සුළුපටු නැත. එළවළු නිෂ්පාදනය සියයට 65 – 70 දක්වා පහළ වැටුණි. ඒ අනුව අස්වැන්න ද සියයට 51 – 61 දක්වා අඩුවිය. උඩරට සහ පහතරට එළවළු මිල දෙතුන් ගුණයක් දක්වා වැඩි වීමට එය ඍජු ලෙසම බලපාන්නට විය. මීට අමතරව රට තුළ ඇති වූ උග්‍ර ඉන්ධන හා සමස්ත උද්ධමනය ද කෘෂිකර්මාන්තයට කළ බලපෑම අතිමහත්ය.

නිසි කෘෂි යෙදවුම් නොමැති වීම නිසා මෙරට කෘෂි කර්මාන්තයට සිදු වූ විනාශය එක් රැයකින් යළි සැකසිය නොහැකි බවද කිවයුතුය. ඇතැම් ගොවීන් ලබාගත් ණය ගෙවාගත නොහැකිව අද වන විට දිවි නසා ගන්නා තැනට වැටී හමාරය. තවත් අය ගොවිතැන අතහැර දමන තරමට කලකිරීමටත්, ණය බරක ගිලීයෑමටත් පටන් ගැනීම නිසා මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුමක් ක්‍රියාවට නැංවිය යුතුය. ඒ සඳහා රජය, පුද්ගලික අංශයද එක්කර ගත යුතු බව ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා ආයතනයේ අදහසයි.

මේ වන විට ඉන්දියාව ඇතුළු කලාපීය රටවල්වලින් විෂ සහිත බාල රසායනික ද්‍රව්‍ය, පොහොර සහ අනෙකුත් කෘෂි යෙදවුම් මෙරටට ගලා ඒමේ අනතුරක් ද නිර්මාණය වී ඇත. නීත්‍යානුකූල නොවන ආකාරයට කෘෂි යෙදවුම් මෙරටට ගෙන එන පිරිස සම්බන්ධව සොයා බැලීම අතිශය වැදගත්ය. බීජ, පොහොර, පළිබෝධනාශක ආදී කෘෂි යෙදවුම් ආනයනය විධිමත් කළ යුතුව ඇත. ඉකුත් වසරවල් හා සසඳා බැලීමේ දී 2023 වසර සඳහා ඇමෙරිකානු ඩොලර් 500 ක පමණ රසායනික කෘෂි යෙදවුම් ආනයනය අවශ්‍යය. එම නිසා කෘෂි යෙදවුම් මිලදී ගැනීමට හා ආනයනයට පිළිගත හැකි යාන්ත්‍රණයක් සැකසීය යුතුය. එසේ නොවුණොත් සිදුවන්නේ ගොවියා තවත් වළපල්ලට ඇද වැටීමයි.

දේශපාලනයට සම්බන්ධ නොවන යාන්ත්‍රණයක් හරහා මීට අදාළ ප්‍රතිපත්තිමය තීරණය ගත යුතුව ඇතැයි ද මෙම කථිකාවතේදී අවධාරණය කළ කාරණා අතර ඇත.

ගුණාත්මක ඵලදාවක් සඳහා බීජ, පොහොර, පළිබෝධනාශක, කෘෂි යෙදවුම් හා ඉන්ධනවල අවශ්‍යතාවය ද අතිශය වැදගත්ය. ඒ අනුව සියලුම කෘෂි යෙදවුම් නිසි පරිදි ලබා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බව ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා ආයතන ඇතුළු කෘෂි විශේෂඥයන්ගේ යෝජනා අතර විය.

වසරකට අවශ්‍ය කෘෂි යෙදවුම් ප්‍රමාණය තක්සේරු කර ආනයනයට පහසුකම් සැලසීම, ගොවි ජනතාව, ගොවි සමිති කේන්ද්‍ර කරගෙන රක්ෂණ ක්‍රමවේදයක් හරහා කෘෂි යෙදවුම් මිලදී ගැනීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශද ඊට එක් කර ගැනීම හා දේශපාලන අතපෙවීමක් සිදු නොවීමට වගබලා ගැනීමද වැදගත් බව එහිදී සඳහන් කෙරුණු යෝජනා අතර වේ.

නීති විරෝධී ව්‍යාජ පළිබෝධනාශක ආනයනය, අලෙවි හා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර කිරීම ද එහිදී ඉදිරිපත් කළ වැදගත් යෝජනාවකි. කෘෂිකර්මාන්තය යළි නඟාසිටුවීමේ දී දේශීය දේ නිසි පරිදි භාවිතා කිරීමට ගොවීන් දැනුවත් කිරීම ද වැදගත් බව සඳහන් විය.

මෙම කථිකාවතේදී යෝජනා වූ කාරණා ක්‍රියාත්මක වන්නේ නම් එය මෙරට කෘෂිකර්මාන්තයේ උන්නතියට හා ගොවි ජනතාවගේ ජීවිත යළි නඟාසිටුවීමට ප්‍රමාණවත් යැයි කොප්ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු කෘෂි විශේෂඥයන්ගේ විශ්වාසයයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment