ආපහු.. විදුලි බිලෙන් කරන්ට් වදියි…මෙවර වැඩිවීම 70%ක්

110

මාස හයෙන් හයට වැඩිවන විදුලි බිලක්

මැති ඇමැති 82 කගෙන් මණ්ඩලයට පොලු

පූජනීය ස්ථානවලට සහන නෑ

ලබන වසර කරුවලේම ඉන්න වෙයි ද ?

මිනිස්සු වසර පහකට පාලකයන්ට බලය දෙන්නේ දැනට ගෙවන ජීවිතයට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. හැම කෙනකුට ම රට පාලනය කිරීමට සම්බන්ධ විය නොහැක. ඒ නිසා අප අතරින් වඩාත් සුදුසු යැයි හැඟෙන 225ක් පාර්ලිමේන්තුවට පත්කර යවන ඔවුන් ජනතාවගේ ප්‍රශ්න, ගැටලු සාකච්ඡා කර ඒවාට යහපත් නිසි විසඳුමක් ලබාදේවි යැයි බලාපොරොත්තු වුවද අද වනවිට සිදු නොවන්නේ ද එයමය. මේ 225 දෙනාම ජනතාවට බරක් හිසරදයක් වී තිබේ. ඒ දිනෙන් දින ඔවුන් ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාව පිට ප්‍රශ්න කරදර පටවන බැවිනි. අපේ ප්‍රශ්න විසඳීමට පාර්ලිමේන්තුවට යවන ඔවුන් කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න අපේ කර මත පටවා ඒවාට විසඳුම් ඉල්ලනවිට හිරේ විලංගුවේ දැමීමය.

මේ ආකාරයෙන් ජනතාව මත පැටවීමට සූදානම් වන මීළඟ බර වන්නේ විදුලි බිලය. මේ වනවිට මාස කිහිපයක් තුළ දෙවතාවක් ජනතාවට කිසිසේත් දරාගත නොහැකි ආකාරයෙන් වැඩිකර ඇති විදුලි බිල තෙවන වතාවටත් වැඩි කිරීමට සූදානම් වේ. පසුගිය 30 වැනිදා පැවැති කිබිනට් රැස්වීමේ දී ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ. ඒ එසේ මෙසේ ගණනකින් නොව, 70%ක ප්‍රතිශතයකිනි. 70%ක ප්‍රතිශතයක් යනු පසුගිය අගෝස්තුවේ වැඩිකළ ගණනට සමාන අගයකි. මෙය 2023 ජනවාරි හා ජුනි යන මාසවල පියවර දෙකක් යටතේ වැඩිකිරීමට නියමිතය. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ මේ අවස්ථාවේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් සලකා නොබලන බවයි.

● බල ශක්ති ඇමැතිවරයාගේ ප්‍රකාශය

ඉන්ධන මිල පිළිබඳව නිසි තීන්දු තීරණ නොගැනීම හා 2013 වසරේ සිට වසරින් වසර හෝ මාස හයෙන් හයට විදුලි බිල වැඩි නොකිරීම නිසා විදුලිබල මණ්ඩලය පාඩු පිට පාඩු ලබන බවත් ඒ හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ විශාල වශයෙන් විදුලි බිල වැඩි කිරීමට සිදුවු බවත් ලෝක වෙළෙඳ පොළේ දැවිතෙල් ඉන්ධන සහ ගල්අඟුරු මිල වැඩිවීම හේතුවෙන් විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කළ යුතු බව ඇමැතිවරයා පවසයි.

කවුරු මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණත් කවුරු මේ රටේ මුදල් ඇමැතිවරයා බවට පත් කළත් කවුරු මේ රටේ ආණ්ඩු කළත් මේ විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කිරීමකින් තොරව ඉදිරියට යෑමට බැහැ. උපකල්පනය කරලා තියෙන්නේ ලබන අවුරුද්දේ මේ අවුරුද්දේ වගේ වර්ෂාපතනය ලැබෙන එකක් නැහැ කියලා අඛණ්ඩව පැය 24 ම විදුලි සපයනවා නම් රුපියල් බිලියන 423ක් අවශ්‍යයි. විදුලි බල මණ්ඩලය ගණනය කරලා තියෙන ආකාරයට විදුලි ඒකකයක් රුපියල් 56.90ක් වෙනවා. නමුත් මේ වනවිට ජනතාවගෙන් අය කරන්නේ රු.29 යි. රු. 27.10ක පාඩුවක් තියෙනවා. ඉන්ධන ගල්අඟුරු, දැවිතෙල් ගන්න ඕනේ. ඒවා කවුරුවත් ණයට දෙන්නේ නැහැ. මේක කරන්න නම් නැවත වතාවක් සංශෝධනයකට යන්න වෙනවා.

නැවතත් 70%ක විදුලි බිල වැඩි කරනු ලැබුවහොත් ජනතාවට සිදුවන්නේ ඡන්දය ඉල්ලාගෙන ගෙදරට එන ඡන්ද අපේක්‍ෂකයන්ට විදුලි සර වැද්දවීමටය. හැකිනම් විදුලි වයරය තමන්ම අල්ලාගෙන සියදිවි නසා ගන්නටය. මෙතරම් විදුලි බිලක් ජනතාවට නම් කිසිසේත්ම දරාගත නොහැක.

පසුගිය දෙවතාවේ වැඩි කිරීම්

මින් පෙර අවස්ථා දෙකෙහි විදුලිය බිල වැඩි වූයේ මේ ආකාරයෙනි. මුලින්ම 75%ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩිවිය. එය ඒකක 0 සිට 180 දක්වා වෙනම ගෙන බැලුවහොත් පිළිවෙළින් වැඩි වූයේ 264%, 211% 125% 89% 79% 75% යන ප්‍රතිශතවලිනි. මීට අමතරව පුණ්‍යස්ථානවල බිල 300% කින් පළමු වටයේදී වැඩිවිය. ඉන්පසු දෙවන වටයේදී සමාජ ආරක්‍ෂණ බද්දෙන් නැවත වතාවක් 2.5% කින් වැඩිවිය. නමුත් එය බලපෑවේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයන්ට පමණි. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (Leco) පාරිභෝගිකයන්ට එය වැඩිවූයේ නැත. බොහෝ නගර ආශ්‍රිතව ලෙකෝ මගින් විදුලිය සපයන අතර ග්‍රාමීයව විදුලිබල මණ්ඩලය විදුලිය සපයයි. එයිනුත් පීඩාවට පත්වූයේ ඉතා දුප්පත්ම ජනතාවය. අප පසුගිය ලිපි මගින් දැක්වූ ආකාරයට මෙවර සූදානම් වන්නේ IMF යෝජනා කළ පරිදි මිල වැඩි කිරීමට විය හැක.

● මැති ඇමැතිලාගෙන් මණ්ඩලයට පොලු

විදුලිබල මණ්ඩලය මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනින් පාඩු ලබද්දී ඒවාට වගකිවයුතු මැති ඇමැතිවරුන්ම කෝටි ගණනින් විදුලි බිල් නොගෙවා පොලු තබා ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේදී එයට එක්වූ කංචන විජේසේකර ඇමැතිවරයා පැවසුවේ මැති ඇමැතිවරු 82ක් මේ ආකාරයෙන් විදුලි බිල නොගෙවා ඇති බවයි. තම නිල නිවාස වෙනුවෙන් මෙම හිඟ බිල් පවතින බවද නමුත් ඔවුන්ගේ නම් තොරතුරු එළියට යෑම හොඳ නැති නිසා තමා වෙන වෙනම ගොස් දැනුම් දුන් බවද ඇමැතිවරයා පැවසීය. රටේ ජනතාව නියෝජනයට යන මැති ඇමැතිලා කරන වංචා දූෂණ, මෙවැනි මුදල් නොගෙවීම් කිසිදා අනෙක් පාර්ශ්වයේ මැති ඇමැතිවරු ප්‍රසිද්ධ කරන්නේ නැත. රංජන් රාමනායක මහතා පවසන ආකාරයට අපට පැවසීමට ඇත්තේද මුන් ඔක්කොම යාළුයි කියාය.

සාමාන්‍ය ජනතාවගේ රුපියල් සියයේ බිල් 3ක් එකතු වුවොත් ක්‍ෂණිකව විදුලිය විසන්ධි කරන මණ්ඩලය කෝටි ගණන් එකතු වුවත් මේ දෙය හැරිලාවත් බලන්නේ නැත. පසුගිය කාලයේ වාර්තා වූ ප්‍රසිද්ධ සිදුවීමක් වන්නේ ඇමැතිවරයකුගේ එක් නිල නිවසක විදුලි බිල රු. කෝටිය ද ඉක්ම ගොස් තිබිණු බවයි. එසේම පසුගිය 29 දිවයින පුවත්පතේ වාර්තා වූ ආකාරයට ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අයත් නිල නිවාස සංකීර්ණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වෙන් කොට ඇති නිල නිවාසයකින් විදුලි ගාස්තු වශයෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂ පනස්හය දහස් අටසිය තුනක මුදලක් (12,056,803) සහ ජල ගාස්තු වශයෙන් රුපියල් දහහත් ලක්‍ෂ හැත්තෑ අට දහස් හත්සිය විසි දෙකක (1,778,722) ක මුදලක් හිඟව පවතින බව විගණන් කාර්යාලය පවසයි. මේ සිදුවීමක් දෙකක් පමණි. මෙවැනි ආකාරයේ රුපියල් කෝටි ගණන්වලින් හිඟ බිල් අයවීමට තිබියදී ඒවා අය නොකර එම බරත් ජනතාවට මතම පැටවීම සිදුකරන්නේ එය වඩාත් පහසු මෙන්ම ජනතාව කිසිදු වග විභාගයකින් තොරව ගෙවන නිසාය.

● හිටපු නි. ඇමැතිගෙන් තර්ජන

පසුගියදා වාර්තා වූ තවත් එක් සිදුවීමක් වන්නේ රුපියල් ලක්‍ෂයකට ආසන්න විදුලි බිලක් ගෙවීමට ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ඔහුගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයන් දෙදෙනකුට තවත් අයෙකු හා සම්බන්ධ වී තර්ජනය කිරීමයි. සේවකයන් දෙදෙනාට තර්ජනය කර ගේට්ටුවෙන් එළියට තල්ලු කළ බවට එම සේවකයන් දෙදෙනා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.

● ආගමික ස්ථානවලට සහන නැහැ ගාස්තු එලෙසම

ආගමික ස්ථානවල විදුලි බිල අඩු කිරීම සඳහා පසුගියදා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කොට ඇතත් විදුලිබල මණ්ඩලය ඒ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කොට එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කොට ඇත. ආගමික ස්ථානවල විදුලිබිල වැඩිවීම පිළිබඳ රට පුරා දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ අවස්ථාවේ මහජන උපයෝගිතා කොමිසම ආගමික ස්ථානවල විදුලි ඒකක 180ක් සඳහා ගාස්තු වැඩි කිරීමක් නොකළ යුතු බවට යෝජනා කළේය.

නමුත් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට පවසා ඇත්තේ එම යෝජනාව ක්‍රියාත්මක කළහොත් මණ්ඩලයට සිදුවන පාඩුව පියවා ගන්නා ආකාරය දැනුම් දෙන ලෙසයි. විදුලිබල මණ්ඩලය ආගමික ස්ථානවල විදුලිබිල වැඩි කිරීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 2ක ආදායමක් බලාපොරොත්තු වේ. එසේම පසුගියදා පාර්ලිමේන්තුවේ දී බලශක්ති ඇමැතිවරයා දැඩි ලෙස මහජන උපයෝගිතා කොමිසම විවේචනය කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ උපයෝගිතා කොමිසම තම වගකීම නිසියාකාරව ඉටු කර නොමැති බවයි. එසේම ඒ සඳහා පත්වන අය එම විෂය පිළිබඳ මනා අවබෝධයකින් යුතු අය විය යුතු බවත් එසේ නොමැති වූ විට පත්වී අවුරුදු 5 ක් කරන්නේ කුමක් දැයි විමසා ඇත. අපට පෙනී යන්නේ දැනි දැන් නිරන්තරයෙන්ම මහජන උපයෝගිතා කොමිසමත් විදුලිබල මණ්ඩලයත් අතර ගැටුම් පවතින බවකි. මේ බව වඩාත් තහවුරු වන්නේ උපයෝගිතා කොමිසම මණ්ඩලයට විරුද්ධව නඩු පවරන බව පැවසීමෙනි.

● කළුවර ජූලියක් ගැන අනතුරු අඟවීම්

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණය අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරි වසරේ ජූලි, අගෝස්තු මාස වනවිට විශාල විදුලි අර්බුදයක් මතුවිය හැකි බවත් මේ නිසා විශාල විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

● එහි සභාපති නිහාල් වීරරත්න මහතා ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි

නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල් අඟුරු වසර පුරාම ගෙන ඒමට හැකියාවක් නැත. වාරකන් කාලයට ගල් අගුරු ගොඩබාන්න බැහැ. මේ වසරේ වාරකන් කාලය සැප්තැම්බර් 15 විතර වෙනකොට අවසන් වුණා. එදා සිට 2022 වසරේ ඉතුරු කාලයටත් 2023 වසරේ අප්‍රේල් දක්වා විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 60,000කි. ඒ සඳහා නැව් 38 ක් පැමිණිය යුතුයි. නමුත් තවමත් පැමිණ ඇත්තේ නැව් 4 ක් පමණයි. 5 වැනි නැව වාරයේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වෙනවා. නැව් 38ට අප්‍රේල් 15 වෙනකොට ලබා ගත්තේ නැතිනම් ලබන වසරේ ජූලි අගෝස්තු වෙනකොට ඉතිහාසයේ ලොකුම විදුලි කප්පාදුවට යන්න සිදු වෙනවා. ඒ විදුලි කප්පාදුව පිරිමහගන්න හදිසි මිලදී ගැනීම්වලට ගියොත් ඒ පිරිවැය ජනතාවට දරාගන්න පුළුවන් කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම මණ්ඩලයටත් පිරිවැය දරා ගන්න බැහැ.

● ලංවීම ඔක්තෝබර් කෝටි 600ක් ලාභයි විදුලි බිල වැඩි කළොත් නඩු

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය ඔක්තෝබර් මාසයේදී කෝටි 600 ක් ලාභ ලැබුවා. ඒ මාසයේ දී එක ඩීසල් ලීටරයක්වත් පාවිච්චි නොකර ජල විදුලියෙන් හා ගල්අඟුරුවලින් පමණක් විදුලිය නිපදවුවා. එහි පිරිවැය රු. 4.50 යි. නමුත් පාරිභෝගිකයන්ට විකුණුවේ රු. 32 කට. එහෙම කර දැන් පාඩුයි කියනවා. අනෙක විදුලිබල ඇමැතිට වැඩි කිරීමට බලතල නැහැ. මහජන උපයෝගිතා කොමිසමට පමණයි වැඩි කිරීමේ බලය තිබෙන්නේ.

ලක්‍ෂ 65ක් වන විදුලි පාරිභෝගිකයන් සෙල්ලමකට ගන්න එපා යැයිද යළිත් විදුලිබිල වැඩි කළොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද සංජීව ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.

● ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්නට අවසර

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කංචන විජේසේකර ඇමැතිවරයා පසුගියදා ටිවුටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත. ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සඳහා පත්කරන ලදස කමිටුව ඉදිරිපත් කරන ලද නිර්දේශ සඳහා මේ ආකාරයෙන් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

● ලංවීම ගොඩ දාන්නට බැරිද?

ලංකා විදුලිබල මණ්ඩලය හැමදාමත් පාඩු ලබන ආයතනයකි. නමුත් අද වනතුරු පත්වූ කිසිදු ඇමැතිවරයකු හෝ සභාපතිවරයකු මේ ආයතනය ගොඩ දැමීමට සූදානම් වන බවක් නොපෙනේ. ඒ වෙනුවට සියලු දෙනාම කරන්නේ මණ්ඩලයේ බර ජනතාව පිට පැටවීම පමණි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ 26000 ක් සිටිති. සේවක අතිරික්තයක් ඇති බව පවසන්නේ අප නොව ඇමැතිවරයාමය. දක්‍ෂ තරුණ ඇමැතිවරයකු වන කංචන විජේසේකර ඇමැතිවරයාට හරියටම කැපවීමෙන් වැඩේට බැස්සොත් මේ මරණාසන්න ලෙඩා ගොඩදාගන්න හැකිවනු ඇත. එසේම දිගින් දිගටම විදුලි බිල වැඩි කිරීමෙන් පමණක් පාඩුව පියවා ගත හැකි යැයි සිතනවා නම් ඇමැතිවරයාටත් මීලඟ ඡන්දයේදී ගෙදරට වී විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමට සුදුසු වටපිටාව ජනතාව සදනු නොඅනුමනාය. ලාභදායී පුනර්ජනනීය බලශක්ති කෙරෙහි යොමුවුවහොත් මණ්ඩලයත් රටත් ඇමැතිවරයාත් ගොඩයනු ඒකාන්තය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment