ආබාධයෙන් නොසැලුණු රටක් වටින ගොවියා

324

අසනීපයට ප්‍රතිකාර ගන්න කුඹුර රුපියල් ලක්‍ෂ 04කට උගස් කළත් තවමත් බේරගන්න බැරිවුණා

පොලොන්නරුව, කදුරුවෙල, 28 වෙනි සැතපුමට ආසන්නයේ වෙසෙන ඒ. ඩික්මන් සිල්වා මහතා 62 හැවිරිදි තිදරු පියෙකි. හෙතෙම මෙයට වසර හතකට පමණ පෙර සිය ගෙවත්තේ පිහිටි අඹ ගසකට නැඟී අඹ කැඩීමට ගිය අවස්ථාවේ ගසෙන් බිමට ඇදවැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ආබාධ සහිත තත්වයට පත්ව සිටී. එම අනතුරින් සුසුම්නාවට හානි සිදුවීම නිසා ඉනෙන් පහළ කොටස අප්‍රාණිකවී ඇතැයි ඒ මහතා පවසයි. සිය දෙපයින් ඇවිද ගැනීමට නොහැකි නිසා ඔහු යාම් ඊම් කරනුයේ රෝද පුටුවක ආධාරයෙනි. එහෙත් එම අබාධිත බව නොතකා සිය දෑතින් තම ගෙවත්තේ අපූරුවට වගා කටයුතු කරනුයේ දෑත් දෙපා සවිමත් අයට පවා මහඟු ආදර්ශයක් දෙමිනි.

තමන්ගේ මෙම ආබාධිත බව ජීවිතයේ එදිනෙදා කටයුතු කරගෙන විශාල බාධකයක් නොවන බව ඩික්මන් සිල්වා මහතා පවසයි. එම නිසා කාලය නිකරුණේ ගතනොකර ගෙදර දොරේ පරිභෝජනයට අවශ්‍ය එළවළු, පලා වර්ග ආදිය බොහොමයක් තම ගෙවත්තේ වගාකර තිබෙන බවත් එමගින් සාර්ථක අස්වැන්නක් ලබාගන්නා බවත් ඩික්මන් සිල්වා මහතා අප සමඟ පැවැසීය. තම දියණියන් තිදෙනාම මේ වනවිට විවාහවී සිටින බවත් සිය බිරිඳ ලතාගෙන් මෙම වැඩ කටයුතුවලට විශාල සහයෝගයක් ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ආබාධයෙන් නොසැලුණු රටක් වටින ගොවියා

බටු, මිරිස්, තක්කාලි, වට්ටක්කා, බණ්ඩක්කා, දඹල, වැටකොලු ආදී එළවළු වර්ග රැසක් ඔහුගේ ගෙවත්තේ වගාකර තිබෙනු දැකගත හැකිවිය. ඊට අමතරව අබ, කුරක්කන්, බඩඉරිඟු, තම්පලා ආදියද වගාකර තිබේ. මේවායින් ලැබෙන අස්වැන්න තම ගෙදර දොරේ පමණක් නොව තම දරු මුණුබුරන්ගේ නිවෙස්වලටද ලබා දෙන බවත් අතිරික්ත අස්වැන්න විකුණා මුදල් ලබාගන්නා බවද හෙතෙම පැවැසීය. මේ නිසා තම නිවෙසේ මෙන්ම දරුවන්ගේ නිවෙස්වලද එදිනෙදා ආහාර වේල සකස් කිරීම සඳහා අවශ්‍ය එළවළු වර්ග වෙළෙඳ පොළෙන් මිලදී ගැනීම කරන්නේ නම් විශාල මුදලක් වැයවන බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එම මුදල ඉතිරිකර ගැනීමට හැකිවී තිබෙන බවද කීවේය.

“මම මුලින්ම රැකියාව කළේ රාජ්‍ය සංවර්ධන නීතිගත සංස්ථාවේ බර වාහන රියැදුරෙක් හැටියට. කොත්මලේ, කුකුලේගම, මිණිපේ ආදී විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ කාලයේදී බර වැඩ යන්ත්‍ර කියාකරුවෙක් හැටියටත් කටයුතු කළා. නමුත් විශ්‍රාම වැටුපට හිමිකමක් තිබුණේ නෑ. පසුව පෞද්ගලික ආයතනවලත් එවැනිම රැකියාවල් කළා. මට මේ අනතුර සිද්ධ වුණේ 1995 අවුරුද්දේ. ස්නායු සම්බන්‍ධ වෛද්‍යවරුන් සැත්කමක් පවා කළා. නමුත් මට ඇවිදීමට හැකියාව ලැබුණේ නෑ. එතැන් පටන් මම ආබාධිත තත්වයට පත්වුණා. මම මේ තත්වයට පත්වෙන් කලින් වෙහෙස මහන්සිවෙලා හොඳින් ගොවිතැන් කටයුතු කරපු කෙනෙක්. මට කැත්ත, උදැල්ල හොඳට හුරුයි. ඒ නිසා ආබාධිත තත්වයට පත්වුණා කියලා මගේ හුරුපුරුදු ගොවිතැන් වැඩ අත් හැරියේ නෑ. දැන් මම කුඹුරු ගොවිතැන් කරන්නේ නෑ. අසනීපයට ප්‍රතිකාර ගන්න මුදල් හොයාගන්න කුඹුර උගස් කරලා. රුපියල් ලක්‍ෂ 04ක් ගත්තා.ඒ වෙලාවේ උගස් කරපු කුඹුර තවම බේරාගන්න බැරිවුණා.ආර්ථික අපහසුතා නිසා. මගේ ගෙවත්ත ලොකු ඉඩම් ප්‍රමාණයක් නෑ. ඒ නිසා මගේ ගෙදරට එන පාර අයිනේ හෝ වෙනත් ඉඩක් තිබෙන තැන්වල මම එළවළු, ධාන්‍ය වර්ග වගා කරනවා. අනෙක් කාරණය මට මේ රෝද පුටවෙන් යන්න පුලුවන් තැන්වල තමයි වගා කරන්නේ. උදැල්ලෙන් පොළොව කොටලා බිම් සකස් කරගන්නේ, අවශ්‍ය විදියට පාත්ති ආදිය සකස් කරගන්නේ ඒ හැම දෙයක්ම මම මගේ අත් දෙකෙන් කරගන්නේ.

වගාවට වතුර යොදන්නේ, වල් ගලවලා, පොහොර දැමීම ඒ හැම කටයුත්තක්ම මම කරනවා. රටේ ආහාර අර්බුදයක් ඇතිවෙනවා කියලා පහුගිය කාලයේ නිතරම වාගේ අපිට අහන්න ලැබුණා. නමුත් රටේ බොහොමයක් තැන්වල වගා කරන්න පුලුවන් ඉඩම් පුරන්වෙලා. වල්බිහි වෙලා තිබෙනවා දකින්න තියෙනවා. මම නම් ඒ ආහාර අර්බුදයට කිසියම් ප්‍රමාණයෙකට හරි මුහුණ දෙන්න සූදානමින් වැඩ කරනවා. අපි ගෙදරට අවශ්‍ය එළවළු බොහාමයක් සල්ලිදීලා ගන්න පුරුද්දක් ඇත්තේ නෑ. ඒවා ගෙවත්තෙන් තමයි සපයා ගන්නේ. මගේ ගෙවත්තේ බුලත් වගාවකුත් තියෙනවා. මට බුලත් විට කෑමට අවශ්‍ය බුලත් ඒ කොටුවෙන් තමයි කඩා ගන්නේ. වැඩිපුර තියෙන බුලත් කඩලා විකුණ ගන්නවා. සතියකට වතාවක් විතර එයිනුත් මට ආදායමක් ලැබෙනවා. මගේ ගේ ඉස්සරහ තියෙන්නේ ප්‍රධාන පාර නිසා මට පොඩි වෙළඳාමක් කරන්න ආසයි. බුලත් විට ලොතරැයි ටිකට් ඉතාම පහසුවෙන් එතැන විකුණන්න පුලුවන්. නමුත් මට ඒකට සුදුසු තැනක් හදාගන්න ඕන. ඒ සඳහා මුලික මුදලක් යොදවන්න මට නෑ. කවුරු හරි ඒ වැඩේට උදව් කලොත් ඒක මට ලොකු සහයෝගයක් යැයිද ඩික්මන් සිල්වා මහතා කීය.

ඔහුගේ එම බලාපොරොත්තුව ඉෂ්ඨකර ගැනීමට සහයෝගයක් දියහැකි පරිත්‍යාගශීලියෙකු සිටීනම් ඩික්මන් සිල්වා මහතාගේ දුරකථන අංකය මෙසේය 0717035350.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment