ආබාධිත පුද්ගලයන් භාවිත කරන සහායක උපකරණවලට කඩිනමින් බදු සහන දෙන්න – විමල්ගෙන් සියඹලාපිටියට ලිඛිත ඉල්ලීමක්

156

ආබාධිත තැනැත්තන් භාවිතා කරන රෝද පුටු, අත්වාරු ඇතුළු උපකරණ සඳහා තවදුරටත් ප්‍රමාද නොකර බදු සහන ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර සිටියේය.

මීට පෙර මුදල් රාජ්‍ය ඇමැතිවරයා එවන් උපකරණ සඳහා බදු පනවා නැති බවට කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර බවට හා දැනට බදු අයකරන උපකරණවල නාම ලේඛනයක් ද සමගින් වීරවංශ මහතා තම කරුණු දැක්වීම සිදුකර තිබේ. එම ලිපියේ මෙසේ ද දැක්වේ.

අද පවතින සත්‍ය තත්ත්වය නම් දෘශ්‍යාබාධිත ශ්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසා ද ආබාධිත තත්ත්වයේ පසුවන්නවුන් භාවිතා කළ යුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ්‍රවණාධාරක වැනි උපකරණවල මිල, ඒවා මත අය කෙරෙන බදු හේතුවෙන් ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇත. මෙම සහායක උපකරණවලින් රෝද පුටු වැනි ඇතැම් දෑ යම් ප්‍රමාණයක් දේශීයව නිපදවෙන නමුත් ඒවායේ කල්පැවැත්ම අඩුවීම මෙන්ම එම දේශීය රෝද පුටුවල මිල, ආනයනික උපකරණ හා සසඳා බැලීමේදී 3-4 ගුණයකින් වැඩිවීම නිසාත් තවත් බොහෝ සහායක උපකරණ දේශීයව නිෂ්පාදනය නොකෙරෙන නිසාත් මේවා ආනයනය කර ආබාධිත ප්‍රජාව වෙත ලබාදීම අත්‍යවශ්‍ය වේ.

2012 වසරේදී සිදුකරන ලද අවසන් සංගණනයේදී එවකට ශ්‍රී ලංකාවේ ආබාධිත තැනැත්තන් 1,617,924 දෙනකු සිටි බව වාර්තා වී ඇත. ඉන් වසර 10කට පසුව අද වනවිට මෙම සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්මවා ඇතැයි සැලකේ. එසේම අංශු මාත්‍ර හෝ ඉපැයුම් ධාරිතාවයක් ඇත්තේ ආබාධිතයන් අතුරින් අතිශය සුළුතරයකට පමණක් වන බව ද ඔබතුමාගේ අවධානයට ලක්කරනු කැමැත්තෙමි.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment