ආමි එකෙන් ආයුධ පන්නලා අහුන්ගල්ලේ මිනී මැරූ පාතාලයෝ මාට්ටු

707

කොස්ගොඩ සුජීගේ සහ ආබෲගේ කල්ලියේ ගැටුමේ තවත් ප්‍රතිඵලයක්

දිනය පසුගිය අගෝස්තු 24 වැනිදාය. දහවල ගෙවී යමින් තිබුණේය. අහුංගල්ල නගරය වෙනදාමෙන් ජනාකීර්ණය. අහුංගල්ල ඌරගහ මාර්ගය ඔස්සේ ධාවනය වන යතුරුපැදියකි. යතුරුපැදිකරු ඇන්ටනිය. මුදල් පොලියට දීම ව්‍යාපාරයක් කරගත් ඇන්ටන් පදිංචිව සිටියේද අහුංගල්ලේ ය.

කිසියම් කටයුත්තක් සඳහා ඇන්ටන් අහුංගල්ල නගරය දෙසට යතුරුපැදියෙන් යමින් සිටිය්ය. එහෙත් වැඩි දුරක් ඔහුට යන්නට ඉඩ ලැබුණේ නැත. ඇන්ටන් පැදවූ යතුරුපැදිය ලුහුබුඳ ආ පාතාල අළුගෝසුවන් දෙදෙනෙක් ඔහු වෙත වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ.

ආමි එකෙන් ආයුධ පන්නලා අහුන්ගල්ලේ මිනී මැරූ පාතාලයෝ මාට්ටු

මරණ බියෙන් වෙව්ලා ගිය ඇන්ටන් යතුරුපැදිය මහ මඟ දමා පැන දුවන්නට වුණේ පාතාල අළුගෝසුවන්ගේ ඉලක්කය වැරදී ගිය නිසා ය. පාතාල අළුගෝසුවන් දෙදෙනා යතුරුපැදිය නැවත හරවාගෙන ඇන්ටන් මරා දැමීමට ආහ. එහෙත් ඒ වන විට ප්‍රහාරය එල්ල වූ ස්ථානයට ජනයා රොක්වෙමින් සිටි නිසා පාතාල මැරයන් දෙදෙනා සිය ගොදුර අතහැර දමා පළා ගියහ.

ප්‍රහාරයෙන් ඇන්ටන්ගේ පාදයට තුවාල සිදුවී තිබුණේය. ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි ඇන්ටන් රෝහල කරා රැගෙන යෑමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. කිසිවකුත් එසේ ඉදිරිපත් නොවුණේ මේ ප්‍රහාරයන් සියල්ල පාතාලයන්ගේ වැඩ බව සාමාන්‍ය ජනතාව දන්නා නිසා ය. බිම වැටී වේදනාවෙන් දඟලන ඇන්ටන් රෝහලට ගෙන යෑමට ත්‍රිරෝද රථ රියැදුරකු ඉදිරිපත් වුණේය. ඔහු නමින් කමල් ය. කමල් තම ත්‍රිරෝද රථයේ ඇන්ටන් නංවාගෙන අහුංගල්ල රෝහලට ඉගිලුණේ තමන් වෙත එල්ල විය හැකි පාතාල අනතුර ගණනකට නොගෙනය.

ඇන්ටන් දකුණේ පාතාලයේ කෙළිකාරයකු වන කොස්ගොඩ සුජිගේ සමීපතමයකු බව පොලිසිය සිය විමර්ශනවලින් සොයා ගත්හ. මීට පෙර ද අවස්ථා කීපයකදීම ඇන්ටන් ප්‍රහාරයන්ට ලක් වුවද ඔහුට තවදුරටත් ජීවත් වීමේ වාසනාව හිමිව තිබුණේය.

මාකඳුරේ මධුෂ්ගේ මරණයෙන් පසු දකුණේ පාතාලයට කෙළිකාරයන් කීපදෙනකුම එක්ව සිටිති. ඔවුන් බහුතරයක් මධුෂ් විසින් පෝෂණය කර ඇති දැඩි කළ මැරයන් ය. මධුෂාන් ආබෲ ඉන් එකෙකි. අහුංගල්ලේ ලොකු පැටී මෙන්ම සංජීව ද මධුෂාන් ආබෲගේ කල්ලියේ සාමාජිකයන් ය. ආබෲගේ කල්ලිය සහ කොස්ගොඩ සුජී අතර පවතින්නේ ජන්මාන්තර වෛරයකි. ඒ වෛරය මාකඳුරේ මධුෂ් ජීවතුන් අතර සිටි කාලයේ සිට ආ එකකි.

පොලිසිය පවසන්නේ ඇන්ටන් මරා දැමීමට කළ උත්සාහය ද මෙම ආරවුලේ ප්‍රතිඵලයක් බවය.

මධුෂාන් ආබෲ කොස්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ තරුණයෙකි. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ද මොහු කටයුතු කර තිබුණේය. එහෙත් පාසල් අධ්‍යාපනයෙන් පසු ආබෲ යහමඟ ගියේ නැත. අහුංගල්ලේ රස්තියාදුකාරයන් ඇසුර හරහා ඔහු පාතාලයට යන මංපෙත් විවර කරගත්තේය.

චේන් කැඩීම, මුදල් කොල්ලකෑම වැනි පුංචි හොරකම් කරමින් පාතාලයට අවතීර්ණ වූ ආබෲ පසු කලෙක මාකඳුරේ මධුෂ් දැන හඳුනා ගත්තේය. එතැන් සිට ආබෲ අහුංගල්ලේ චණ්ඩියකු වන්නට උත්සාහ කළේය.

මධුෂ් ඩුබායි සිට එවූ හෙරොයින් තොග පිටින් විකිණීමේ කාර්යය භාරගත් ආබෲ කෙටි කාලයකින් මහා ධනවතකු වුණේය. මුදල් ඉපයීමේ රසය ආබෲට තදින් දැනෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වූයේ මධුෂ් එවූ හෙරොයින් කිලෝ සිය ගණනක් ආබෲ සොරා ගැනීමය. එකවර ප්‍රකෝටිපතියකු වීමට ආබෲ මැවූ සිහින සැබෑවක් කර ගන්නට ඔහු මධුෂ්ගේ කුඩු තොගය සොරා ගත්තේය. මේ සිදුවීමෙන් මාරාවේෂ වූ මධුෂ් ආබෲ මරා දැමීමට සිය ගෝල බාලයන් යෙදෙව්වේය. එහෙත් ඊට පෙර ආබෲ ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය. මධුෂ්ගේ මරණයෙන් පසු ආබෲ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඔහුගේ ගෝලබාලයන්ගෙන් කොටසක් ද සියතට ගත්තේය. සංජීව සහ අහුංගල්ලේ ලොකු පැටී ආබෲගේ කල්ලියට එකතු වන්නේ ඉන් පසුවය.

අහුංගල්ල කොස්ගොඩ ඇතුළු දකුණේ ප්‍රදේශ ගණනාවකට හෙරොයින් බෙදා හැරීමේ ප්‍රධානියා වන්නේ ආබෲ ඇතුළු ඔහුගේ සහචරයන් ය.

මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කිරීම මෙන්ම පාතාල බලය සියතට ගැනීම තම එකම සිහිනය කරගෙන සිටින ආබෲ ප්‍රතිවාදීන් ඝාතනය කිරීම ආරම්භ කළේය. එහි ඉලක්කයක් ලෙස ඇන්ටන් තෝරාගෙන තිබිණි. පොලිසිය පවසන්නේ ඇන්ටන් සමඟ පැවති මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වූ බවයි. කෙසේ වෙතත් ඇන්ටන් මරා දැමීමට ආබෲ ඇතුළු සහචරයන් ගත් උත්සාය අසාර්ථක වුණේය. ඇන්ටන් ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ඇසීමෙන් මධුෂාන් ආබෲ දැඩි ලෙස කෝපයට පත් වුණේය. මෙහෙයුම භාරව සිටි දිනේෂ්ට මෙන්ම සංජීවට සහ ලොකු පැටීට දුරකථනයෙන් කතා කළ ආබෲ ඔවුන්ට දෙස් දෙවොල් තබමින් බැණ වැදුණේය.

“උඹලට ඔය වගේ දෙයක්වත් හරියට කරගන්න බැහැ. මං මෙහෙ ඉඳලා හැම දේටම වියදම් කරනවා. ඒත් උඹලට පොඩි වැඩක් කරගන්න බැහැ…”

ආබෲගේ බැණවැදීම් හමුවේ නිසොල්මන්ව සිටි දිනේෂ් සිය හඬ අවදි කළේය.

“හරි හරි ලොක්කා අපි ආයෙ ට්‍රයි එකක් දෙන්නම්. කොහොමටත් උන් දන්නවා ලොක්කා තමයි මේ ගේම් එක පිටිපස්සේ ඉන්නෙ කියලා. ඒ නිසා පාතාලෙම හෙල්ලිලා ඉන්නේ” දිනේෂ් ආබෲගේ සිත සැනසුවේය.

“මට ඒවායෙන් වැඩක් නැහැ. ඇන්ටනියාට පාඩමක් උගන්වන්න ඕනෙ. එක්කෝ ඌට නැත්නම් ඌ ළඟ ඉන්න එකෙකුට හරි ගහලා දාන්න ඕනෙ.”

ආබෲ කෝපයෙන් කෑ ගැසුවේය.

ඇන්ටන් මුලින් ගහපු ෂොට් එක වැරදුනා. අපේ කොල්ලො දෙවැනි පාර ආවා. ආයෙත් ගහන්න, ඒත් කොහෙද හිටිය ත්‍රීවිල්කාරයෙක් ඌව පටවගෙන අරන් ගියා. ඒකෙන් තමයි ඌ බේරුණේ.”

ඇන්ටන් ජීවිතය බේරාගත් ආකාරය ගැන දිනේෂ් කීවේය.

එහෙනම් අපි ඒ ත්‍රීවිල්කාරයාට පාඩමක් උගන්වන්න ඕනේ. මොකද මේ වගේ දෙයක් වුණාම ඒවට අත නොගහන්න අනිත් වුන් පාඩමක් ඉගෙන ගනියි. ඇන්ටන්ව හොස්පිට්ල් ගෙනියපු එකා හොයලා ගහලා දාපල්ලා. ඕන තරම් සල්ලි මං එවන්නම්. මධුෂාන් ආබෲ සිය කල්ලියේ සාමාජිකයන්ට කීවේය.

වෙඩි වැදී බිම වැටී සිටි ඇන්ටන් මනුෂ්‍යත්වයේ නාමයෙන් රෝහල කරා රැගෙන ගිය කමල් නමැති ත්‍රිරෝද රථ රියැදුරුට මරණ වරෙන්තු නිකුත් වුණේය. ආබෲගේ නියෝගය මත සංජීව මෙන්ම ලොකු පැටී ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න පටන් ගත්තේය.

ත්‍රිරෝද රථ රියැදුරු මරා දැමීමේ මෙහෙයුමේ ප්‍රධාන භූමිකාව දිනේෂ් පිට පැවරුණේය. දිනේෂ් යනු යුද හමුදා කොමාන්ඩෝ බළකායේ වසර ගණනක් රාජකාරි කර ඉන් පළා ගිය සෙබළෙකි.

ආමි එකෙන් ආයුධ පන්නලා අහුන්ගල්ලේ මිනී මැරූ පාතාලයෝ මාට්ටු

“මේ වැඩේට හොඳ වෙපන් එකක් හොයාගන්න ඕනෙ. ටී 56 වගේ බැස්සුවනම් මුළු අන්ඩර්වර්ල්ඩ් එකම හොල්මන් වෙනවා. අනික වැඩෙත් හරියටම කරගන්න පුළුවන්.” දිනේෂ් ඩුබායි හි සිටින මධුෂාන් ආබෲට කීවේය.

“හරි හරි උඹ ටී 56 නෙවෙයි ඕනෙ එකක් හොයාගෙන මේ වැඩේ හරියට කරපං යන වියදම් සේරම මම එවන්නම්. මට වැඩේ විතරක් හරියට කරලා දීපං…” ආබෘ කීවේය.

තමන් සමඟ යුද හමුදා කොමාන්ඩෝ බළකායේ එකට රාජකාරි කළ මිතුරන් රාශියක් තවමත් සේවයේ සිටින බව දිනේෂ් සොයා ගත්තේය. මහින්ද දිනේෂ්ගේ කල්‍යාණ මිතුරකු විය. හමුදාවෙන් පලා ආ පසුව දිනේෂ් මහින්ද සමඟ දිගින් දිගටම මිතුරු සම්බන්ධතාව පවත්වාගෙන ගියේය. මේ වන විට මහින්ද සිටියේ කිළිනොච්චිය ප්‍රදේශයේ කොමාන්ඩෝ හමුදා කඳවුරක අවි ගබඩාව භාරවය. දිනේෂ්ගේ සිතට එකවරම නැඟුණේ මහින්දය. දෙවරක් නොසිතාම දිනේෂ් මහින්දට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“මචං මහින්ද මට ලොකු උදව්වක් ඕනේ. අපේ බොසාගේ පොඩි වැඩක් තියෙනවා. මේක හරියටම කරගන්න ඕනෙ. උඹට ඕනම උදව්වක් කරන්නම්. ලක්‍ෂ 5 ක් විතර අරගෙන දෙන්නම්. මට දවස් දෙකකට ටී 56 වෙපන් එකක් පන්නලා දීපං.”

දිනේෂ් සිය අවශ්‍යතාව මහින්දට කීවේය. මුලින් අකමැත්ත පළ කළ ද තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන ඇසූ මහින්ද අවසානයේ දිනේෂ්ගේ ඉල්ලීමට කැමැති වුණේය.

“මේක මචං බෙල්ල ගහල යන වැඩක්. උඹ දන්නවනෙ වැඩේ වැරදුනොත් මට හිරේ යන්න වෙන්නෙ. ඒ නිසා මාව බේරලා වැඩේ හරියට කරපං….”

තමන් අමාරුවේ නොදමන බවට දිනේෂ් පොරොන්දු කරවා ගත් මහින්ද ටී 56 අවියක් ලබා දීමට කැමැති වුණේය.

“හරි උඹ කිලිනොච්චියට වරෙන්. මම ආමරියෙ තියෙන වෙපන් එකක් අරන් දෙන්නම්. හැබැයි දවස් තුනක් යන්න ඉස්සර වැඩේ කරලා මට වෙපන් එක ගෙනත් දීපං. උඹ ගැන විශ්වාස කරලා මං මේක දෙන්නේ.” මහින්ද කීවේය. දිනේෂ් එදිනම මධුෂාන් ආබෲට දුරකථනයෙන් කතා කළේය. ලොක්කා ඔන්න වැඩේ හරි මං ටී 56 වෙපන් එකක් හොයා ගත්තා. කිළිනොච්චිය කමාන්ඩෝ කෑම්ප් එකෙන් ඌට ලක්‍ෂ 5 ක් විතර දෙන්න ඕනෙ.

දිනේෂ් සියලු විස්තර මධුෂාන් ආබෲට කීවේය. ත්‍රිරෝද රථ රියැදුරු මරා දැමීමට සියලු සැලසුම් ඒ වන විට දිනේෂ් සකස් කර තිබුණේය. ආබෲගෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 3 ක අත්තිකාරම් මුදලක් මහින්දට ලබා දීමට ද දිනේෂ් කටයුතු කළේය.

ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනය කිරීම සඳහා කුලී ඝාතකයකු සම්බන්ධ කර ගැනීමට දිනේෂ්ට හැකි විය. ඔහු නමින් ලක්මාල් සංජීවය. යුද හමුදා ගැමුණු බළකායේ සේවය කර ඉන් පලාගිය සෙබළෙකි. 2019 වර්ෂයේ හෝකන්දර ප්‍රදේශයේදී 74 හැවිරිදි කාන්තාවක් දූෂණය කර මරාදමා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් ලක්මාල් බන්ධනාගාරගතව සිටියේය. බන්ධනාගාරයේදී නුවන් නමැති පාතාල මැරයකු දැන හඳුනා ගන්නට ලක්මාල්ට අවස්ථාව ලැබුනේය. නුවන් යනු මධුෂ්ගේ කල්ලියේ සිටි එකෙකි. වර්තමානයේ ආබෲ නායකත්වය දෙන පාතාල කල්ලියේ ලොකු පැටීගේ සමීපතමයකු වූ නුවන් වසර කීපයක් තිස්සේ බන්ධනාගාරගතව සිටියි.

ඉකුත් 2021 වර්ෂයේදී ලක්මාල් බන්ධනාගාරයෙන් පිටතට ආවේ ඇප මතය. ඒ වන විට නුවන්ගේ සමීපතම සගයාව සිටි ලක්මාල් ඔහු කියන ඕනෑම දහදුරා වැඩකට අතගසන තත්ත්වයකට පත්ව සිටියේය. ලක්මාල් ආබෲ කල්ලියේ මිනිස් ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත්තේ නුවන්ගේ ඉල්ලීම මතය. මධුෂාන් ආබෲ, ලොකු පැටී මෙන්ම දිනේෂ් ඔහු සමඟ සම්බන්ධ වී සිටියහ.

“මල්ලී අපට මේ වැඩේ හරියට කරලා දීපං. උඹට තියෙන්නේ ත්‍රීවිල්කාරයාට ගහලා මාරුවෙන්න විතරයි. ලක්‍ෂයක් උඹට අපි ඒ වෙලාවෙම දෙනවා. ඉදිරියේදී උඹට පුළුවන් අපි එක්ක වැඩ කරන්න.”

කමල් නමැති ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනය කිරීමේ සැලසුමේ ලක්මාල්ට ඇති රාජකාරිය පැහැදිලි කර දීමට දිනේෂ් මෙන්ම ලොකු පැටී ද කටයුතු කළහ.

ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනය කිරීම සඳහා අවශ්‍ය මෝටර් රථයක් ද ඒ වන විට සූදානම් කර ගෙන තිබුණේය. රථය පදවාගෙන යෑමේ කාර්ය භාර වී තිබුණේ ඇඹිලිපිටියේ පොඩි ඉන්දිකටය. මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පොඩි ඉන්දික කාලයක සිට ආබෲගේ කල්ලියේ යාවජීව සාමාජිකයෙකි.

“අපේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න සේරම ලෑස්තියි. දැන් තියෙන්නේ කිළිනොච්චි ගිහින් වෙපන් එක ගේන්න විතරයි. ලොක්කා වෙපන් එක ගෙනත් වැඩි දවසක් තියාගන්න බැහැ. ඒක ආපහු ගෙනිහින් භාරදෙන්න ඕනේ.”

දිනේෂ් ඩුබායි හි සිටින ආබෲට කීවේය. ඒ අනුව ඔක්තෝබර් මස මුල් සතියේ දිනක දිනේෂ් සහ තවත් කීපදෙනකු මෝටර් රථයකින් කිළිනොච්චිය බලා ගියහ.

කිළිනොච්චිය කොමාන්ඩෝ කඳවුර ආසන්නයේ මෝටර් රථය නතර කළ දිනේෂ් ඔහුගේ කල්‍යාණ මිතුරු වන මහින්දට ඇමතුමක් ගත්තේය.

“මචං අපි ඇවිත් ඉන්නේ. උඹේ කෑම්ප් එක පේනමානෙ ඉන්නේ. කෙහෙටද එන්න ඕනෙ.”

දිනේෂ් සිය මිතුරාගෙන් විමසුවේය. “මචං මාව අමාරුවේ දාන්න එපා. දන්නවනෙ මං කරන්නේ දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්. ගැස්සුනොත් සේරම ඉවරයි.” මහින්ද තමන් මුහුණ දී තිබෙන බරපතළ අවදානම ගැන දිනේෂ්ට කීවේය.

“හරි හරි… උඹ බයවෙන්න එපා. රස්සාව නැතිවුණොත් අපි උඹව ඩුබායිවල ඉන්න අපේ බොස් ගාවට යවනවා. එයා කියලා තියෙන්නේ ඕනෙම වෙලාවක උඹව ගෙන්න ගන්න පුළුවන් කියලා.”

“දිනේෂ් තම මිතුරාගේ සිත සැනසුවේය. හරි මචං උඹ අපේ කෑම්ප් එක ඉස්සරහ තියෙන කැන්ටින් එක ළඟට වරෙන්. මම වෙපන් එක බෑග් එකක දාලා ගෙනල්ලා දෙන්නම්.” මහින්ද කීවේය. පිරිස රැගත් මෝටර් රථය කිළිනොච්චිය කමාන්ඩෝ හමුදා කඳවුර ඉදිරිපිට ආපන ශාලාව ආසන්නයේ නතර කළේය. මෝටර් රථයෙන් බැසගත් දිනේෂ් ආහාර මිලදී ගන්නා ලෙස ආපන ශාලාව අසලට ගියේය. ගතවුණේ මුළු මොහොතකි. මහින්ද කලබලයෙන් මෙන් ගමන් බෑගයක් ද රැගෙන ආපන ශාලාව අසලට ආවේය. මචං මේ වෙපන් එක අලුතින් ටේ්‍රනින් වෙලා ගිය කොල්ලන්ගෙ එකක්. පරිස්සමට අරන් පලයල්ලා. දවස් දෙක තුනක් ඇතුළත ආපහු ගෙනත් දීපං නැත්නම් දන්නවනේ. මට මේක ඇතුලෙම වෙඩි තියාගෙන මැරෙන්න වෙන්නේ.

අවිය සහිත බෑගය දිනේෂ් අත තබන ගමන් මහින්ද කීවේය. හරි… හරි… මචං උඹ බයවෙන්න එපා. අපිට පරක්කු වෙන්න බැහැ. දැන්ම යන්න ඕනෙ. මං වැඩේ කරලා භාණ්ඩෙ ආපහු අරගෙන එන්නම්.

මහින්දට සමුදුන් දිනේෂ් ටී 56 ගිනි අවිය ද රැගෙන අහුංගල්ලට එන්නට පිටත් වුණේය. ආරක්‍ෂක මුරකපොලු මඟහරිමින් දිනේෂ් ඇතුළු සගයන් එදින රාත්‍රිය වන විට අහුංගල්ලට ආහ.

“ලොක්කා වෙපන් එකත් ගෙනාවා. මේ වැඩේ කල්දාන්න බැහැ. හෙටම කරන්න ඕනෙ. මොකද වෙපන් එක ආපහු ආමරියට දාන්න ගෙනිහින් දෙන්න ඕනෙ. නැත්නම් මගේ යාළුවා අමාරුවේ වැටෙනවා.”

දිනේෂ් ඩුබායි හි සිටින ආබෲට කීවේය. කල් නොදමා පසුදිනම ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනය කිරීමට සියල්ලෝම එකඟ වූහ. ඔක්තෝබර් 12 වැනිදා උදාවිය. එදින දහවල් අහුංගල්ල සංචාරක හෝටලය ඉදිරිපිට ත්‍රිරෝද රථගාලේදී කමල් නමැති ත්‍රිරෝද රථ රියැදුරුට වෙඩි තැබීමට සියල්ල සූදානම් කර තිබිණි. කමල් ත්‍රිරෝද රථය නවතාගෙන සිටින්නේ සංචාරක හෝටලය ඉදිරිපිට රථ ගාලේ බව ඔත්තුකරුවන් මාර්ගයෙන් දිනේෂ් කල්තියාම සොයාගෙන තිබුණේය. පොඩි ඉන්දික සහ තවත් ගෝලයකු රැගත් මෝටර් රථය ගාල්ලට යන්නේ එහි රැඳී සිටින ලක්මාල් සංජීව රැගෙන ඒමටය. ගාල්ල නගරයේ රැඳී සිටි ලක්මාල් සංජීව මෝටර් රථයේ නංවාගත් දිනේෂ් අහුංගල්ලට එන්නට පිටත් වුණේය.

“උඹ මේ වැඩේ හරියටම කරපන්. අපේ ලොක්කට උඹව අල්ලලා ගියොත් ඉස්සරහට වැඩ ගොඩක් භාරදෙයි. මෙන්න වෙපන් එක. වැඩේ කළාට පස්සේ එවලෙම අපි ගාස්තු ගෙවනවා. දිනේෂ් කීවේය. ටී 56 අවිය අතට ගත් ලක්මාල් එය පරීක්‍ෂා කළේය. හමුදාවෙන් ඉවත් වූ පසු ටී 56 අවියක් පරිහරණය කර තිබුණේ නැත.

“අයියා මං කවදාවත් මේ විදිහට මර්ඩර් ගහලා නැහැ. මේක මගේ පළවැනි මර්ඩර් එක. ඒ නිසා හිතට ටිකක් බයයි වගේ…” ලක්මාල් කිසියම් සැලෙන හදකින් යුතුව කීවේය. මෝටර් රථයේ ගමන් කරන පොඩි ඉන්දිකටත්, ඔහුගේ සගයාටත් මීට පෙර ලක්මාල්ව හමු වී තිබුණේ නැත. අඩුම තරමින් ඔවුන් කතාබහ කර තිබුණේ ද නැත.

“හරි හරි ලොක්කා මුල්ම එක කරන කොට පොඩ්ඩක් අවුල් තමා. ඊට පස්සෙ ගාණක් නැහැ. උඹ ඔය වැඩේ හරියට කරපන්. නැත්නම් අපේ ලොක්කගෙන් විසුමක් නැති වෙයි.”

පොඩි ඉන්දික ලක්මාල්ගේ සිත සැනසුවේය. පිරිස රැගත් මෝටර් රථය අහුංගල්ල හෝටලය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නතර කර ගෙන සිටියේ ඔත්තුකරුවන්ගෙන් තොරතුරු ලැබෙන තුරුය.

මේ අතර දිනේෂ්ගෙන් ඇමතුමක් ලැබුණේය. ඒ පොඩි ඉන්දිකගේ ජංගම දුරකථනයටය.

“අර ත්‍රිවීල්කාරයා ඉන්නවා පාර්ක් එකේ. ලක්මාල්ට කියපං වැඩේ හරියට කරන්න කියලා.” මෝටර් රථය අහුංගල්ල සංචාරක හෝටලය ඉදිරිපිට රථගාල අසල නතර කළේය. මෝටර් රථයේ පිටුපසින් බැසගත් ලක්මාල් රථගාලේ සිටි රියැදුරුට වෙඩි තැබීමට ටී 56 අවිය ක්‍රියාත්මක කළේය. එහෙත් එය එකවරම ක්‍රියාත්මක වුණේ නැත. එය එසේ වුණේ ලක්මාල් කලබල වී සිටි නිසාද අවියේ දෝෂයක් නිසාද, එසේත් නැත්නම් ත්‍රිරෝද රථ රියැදුරුගේ වාසනාව නිසාද කියා කිසිවකුත් දැන සිටියේ නැත.

තමන් මරා දැමීමට අවියක් රැගෙන එන පුද්ගලයා දුටු ත්‍රිරොද රථ රියැදුරු වහා ක්‍රියාත්මක වුණේය. මරණ බියෙන් සිටි රියැදුරු එකවරම ලක්මාල් වෙත කඩා පැන ඔහු සමඟ පොරබදන්නට වුණේ තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට වෙනත් මඟක් ඉතිරිව නොතිබූ නිසාය.

ලක්මාල් සහ ත්‍රිරෝද රථ රියැදුරු පොර බදද්දී ටී 56 අවිය එකවරම ක්‍රියාත්මක වුණේය. එහෙත් ඉලල්කයට අනුව උණ්ඩ පිට නොවූ නිසා ත්‍රිරෝද රථ රියැදුරුගේ පාදයකට වෙඩි පහරක් එල්ල විය.

ඒ වන විට දැඩි ලෙස කලබලයටත් භීතියටත් පත්ව සිටි ලක්මාල් ත්‍රිරෝද රථ රියැදුරු ලුහුබැඳ ගොස් වෙඩි තැබීමට උත්සාහ කළේ නැත.

ටී 56 අවියද හරි හැටි ක්‍රියාත්මක නොවන නිසා තම ආරක්‍ෂාව ගැන සිතූ ලක්මාල් දිවගොස් මෝටර් රථයට ගොඩ වුණේය. රථය එක සැනින් ඉගිලී නොපෙනී ගියේය.

“ත්‍රීවිල්කාරයාට වෙඩි වැදුණා. මේ වෙපන් එක හරියට සෙට් වුණේ නැහැ. ඒකයි අපට වැඩේ කරගන්න බැරි වුණේ.”

ලක්මාල් මෝටර් රථයේ සිටි පොඩි ඉන්දිකට කීවේය. හරි හරි කමක් නැහැ. උඹ වැඩේ කළානේ. මෙන්න පොරොන්දු වෙච්ච උඹේ ගාස්තුව. මෙතන ලක්‍ෂයක් තියෙනවා. අපි අයෙ දවසක හම්බවෙමු.

ලක්මාල් අතරමඟදී මෝටර් රථයෙන් බැස්සූ පොඩි ඉන්දික ඔහුගේ පොරොන්දු වූ ගාස්තු ද ගෙවා දමා පිටත්කර හැරියේය.

ප්‍රහාරය එල්ල වී වැඩි වේලාවක් ගත වන්නට පෙර ඒ පිළිබඳ සියලු තොරතුරු ඩුබායි හි සිටි ආබෲ වෙත ලැබුණේය. ඒ මොහොතේම ඔහු දිනේෂ්ට ඇමතුමක් ලබා ගත්තේය.

“යකෝ උඹලා වෙඩි තියලා තියෙන්නේ අපිට ඕනෙ එකාට නෙවෙයි. වෙන මිහිහෙකුට. අපිට ඕනෙ කමල් කියන ත්‍රිවීල්කාරයා. ඌ ඒ වෙලාවෙ එතන ඉඳලා නැහැ. අපරාදෙ තව පොඩ්ඩෙන් අහක ඉන්න මිනිහෙක් මැරුම් කනවා. උගේ වෙලාවට බේරුණා.”

ආබෲ දිනේෂ්ට මෙන්ම ඔහුගේ පාතාල සගයන්ට බැණ වැදුණේය.

“ලොක්කා අපිට දුන්න ඉන්ෆොමේෂන්වලට තමයි ගැහුවේ. අපිට ඔත්තුකාරය කිව්වේ කමල් කියන මිනිහ තමයි එතන ඉන්නේ කියලා. කොහොම හරි කමක් නැහැ වැඩේ වැරදිච්ච එක හොඳට ගියා. නැත්නම් අහක ඉන්න එකෙක් මැරුම් කනවා.”

දිනේෂ් පෙරළා ආබෲට කීවේය. කෙසේ හෝ ජීවිතයක වටිනාකම නොදන්න මේ කාලකණ්ණින් නිසා නැතිවීමට ගිය අහිංසක මිනිසකුගේ ජීවිතය බේරුණේ දෛවයේ හාස්කමකින් ය.

දකුණේ පාතාලය මර්දනය කිරීමේ භාරධුර කාර්යයට අතගසා සිටින පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම ප්‍රහාරය එල්ල කළ පාතාල මැරයන් සොයා ක්‍ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

විශේෂ කාර්ය බළකාය මෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ම තමන් ලුහුබඳින බව දැනගත් දිනේෂ් පොඩි ඉන්දික ලොකු පැටී සංජීව මෙන්ම ලක්මාල් ද විවිධ ආරක්‍ෂිත ස්ථානවල සැඟවෙන්නට වූහ.

මේ අතර කිළිනොච්චිය කඳවුරේ සිටි මහින්ද දිගින් දිගටම තම මිතුරා වූ දිනේෂ්ට දුරකථන ඇමතුම් දෙමින් බැණ වදින්නට පටන් ගත්තේය.

“යකෝ අඹ මාව අමාරුවේ දාන්නද හදන්නේ. වෙපන් එක ගෙනත් දීපං. එහෙම නොවුණොත් මං හිරේ යනවා. නැත්නම් මට වෙන්නේ මේක ඇතුලෙම වෙඩි තියාගෙන මැරෙන්න.” මහින්ද දිගින් දිගටම දිනේෂ්ට ඇමතුම් ගනිමින් බැණ වැදුණේය.

“උඹ කළබල නොවී හිටපන්. අපේ වැඩේ පොඩ්ඩක් ගැස්සුනා. එස්. ටී. එෆ්. කාරයො අපි පස්සෙ පන්නනවා. ඒ නිසා ටිකක් ඩවුන් ගිහිල්ලා ඉන්නේ. චාන්ස් එකක් ආව ගමන් වෙපන් එක ගෙනල්ලා දෙන්නම්.”

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර කුලසේකර ඇතුළු නිලධාරීන් පාතාල කල්ලිය වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

ලැබුණු බුද්ධි තොරතුරු මත විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ප්‍රහාරය එල්ල වී පැය 24 ක් ගතවන්නට පෙර පොඩි ඉන්දික අත්අඩංගුවට ගත්හ. දික්වැල්ල ප්‍රදේශයේ සිය අනියම් බිරිඳගේ නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් පොඩි ඉන්දික ප්‍රශ්නකිරීම් සඳහා යොදා ගත්තේය. මහා පරිමාණ කොල්ලකෑම් ගණනාවකට මෙන්ම හෙරොයින් ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ දරුණු අපරාධකරුවකු වන පොඩි ඉන්දික ප්‍රහාරය පිළිබඳ කරුණු ගණනාවක් හෙළි කළේය.

ඒ අනුව 14 වැනිදා පොඩි ඉන්දික බළපිටිය ප්‍රදේශයට රැගෙන ඒමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කටයුතු කළේ සඟවා ඇති ආයුධ කීපයක් ලබාදීම සඳහා ය.

එහෙත් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ පොඩි ඉන්දික විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් වෙඩි කෑවේය. තමන් සිදුකළ අපරාධවලට ඔහුට මිහිපිටදීම පඩිසන් දුන්නේය. පොඩි ඉන්දිකගෙන් ප්‍රශ්නකිරීම්වලදී දිනේෂ් පිළිබඳ තොරතුරු රැසක් ඔහු හෙළිකර තිබුණේය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මතුගම ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහිදී දිනේෂ්ගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීමට හැකි විය. දිනේෂ් පාවිච්චි කළ ජංගම දුරකථනය ඔහු සතුව තිබී සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි විය.

ඒ ජංගම දුරකථනය ප්‍රහාරයේ වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් කිරීමට සමත් විය. ජංගම දුරකථනයේ තිබූ වට්ස්ඇප් පණිවුඩ සහ ඇමතුම් විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ මෙම ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවිය හමුදා කඳවුරකින් ලැබුණු එකක් බවයි.

තවදුරටත් විමර්ශනය කිරීමේදී එය කිළිනොච්චිය කමාන්ඩෝ කඳවුරේ මහින්ද නමැති සැරයන්වරයකු ලබා දී ඇති බව හෙළිකර ගැනීමට සමත් විය. ඒ අනුව කිළිනොච්චියට ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ අහුංගල්ල පොලිසියේ නිලධාරීන් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගත්හ.

මේ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ සැරයන්වරයකුට අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු පිළිබඳ තොරතුරු ලැබුණේය. ලක්මාල් සංජීව නමැති කුලී ඝාතකයා තලංගම ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටින බවට ලැබුණු තොරතුර අනුව පොලිසිය ක්‍රියාත්මක වූහ.

නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂකවරුන් වන ජයන්ත පෙරේරා, කුමාර නලවංශ මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විශේෂ කණ්ඩායමක් තලංගම පිහිටි නිවස වටකළහ.

ඒ අවස්ථාවේ ලක්මාල් සංජීව පොලිසියෙන් බේරී පලා යන්නට උත්සාහ කළේය. අඩක් නිම වූ නිවසේ වහලෙන් පැන යන්නට ඔහු දැරූ උත්සාහය ව්‍යර්ථ කළ පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දරා සැකකරු අත්අඩංගුවට ගත්හ.

ප්‍රශ්න කිරීම් හමුවේ ලක්මාල් සංජීව සියල්ල හෙළිකරන්නට වුණේය. ප්‍රහාරය සඳහා තමන්ට රුපියල් ලක්‍ෂයක මුදලක් ලැබුණු බව ද ඔහු කීවේය.

නීත්‍යනුකූලව විවාහ වී සිටි ලක්මාල් දෙදරු පියෙකි. අහුංගල්ලේ වෙඩි තැබීමෙන් පසු තමන් ඇඳ සිටි ටී ෂර්ට් එක ප්‍රදේශයේ වගුරුබිමකට විසි කළ බව ඔහු පොලිසියට කීවේය.

අහුංගල්ලේදී මහ දවල් සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කීපදෙනකු මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති. එහෙත් මේ අපරාධ සඳහා අණදුන්, මුදල් වියදම් කළ මහා පාපතරයා මධුෂාන් ආබෲ මෙන්ම ඔහුගේ සුවච කීකරු ගෝලයන් වන සංජීව මෙන්ම ලොකු පැටී සහ දිනේෂ් තවමත් සිටින්නේ නිදැල්ලේය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දකුණේ සිදුවන පාතාල අපරාධ රැල්ල මැඬපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වී සිටියි.

පාතාල මර්දනයට වෙනම පොලිස් ඒකකයක් ද ස්ථාපිත කිරීමට ඒ මහතා කටයුතු කළේය. පාතාල මැරයන් කෙසේ හෝ මර්දනය කිරීම සඳහා ය.

කෙසේ වෙතත් දිනෙන් දින ඔඩුදුවන පාතාල අපරාධ මර්දනය කිරීම පොලිසියේ වගකීම වන්නේය. දකුණේ පාතාල මැරයන් සමඟ දීගකන පොලිස් ලොක්කන් මෙන්ම පොලිස් පොඩ්ඩන් බොහොමයකි. පාතාල කල්ලි මේ තරමටම ප්‍රබල වී සිටින්නේ පාතාලය සහ පොලිසිය අතර ඇති මේ සබඳතාව නිසාය.

මේ බව තේරුම්ගෙන දූෂිත පොලිස් නිලධාරීන් හඳුනාගෙන පාතාලය මර්දනයට කටයුතු කිරීම අජිත් රෝහණ මහතාට කළ හැකි ලේසි පහසු කටයුත්තක් නොවන්නේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment