ආයුධ සන්නද්ධ 2ක් සමග ශානිට පොලිසියේ 3කගේ ආරක්‍ෂාව

177

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (5 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුට මේ වන විට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්‍ෂාව ලබාදී ඇති බවත් එම නිලධාරීන්ට ගිනි අවි ලබාදීමට හා එයට අමතරව තවත් පොලිස් නිලධාරියකු පෙත්සම්කරුගේ නිවසේ ආරක්‍ෂාවට යෙදවීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා හා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඒ අනුව සිය ජීවිතයට තර්ජන එල්වී ඇති බැවින් නිසි ආරක්‍ෂාවක් ලබාදීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වැනිදා යළි කැඳවීමට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල නියෝග කළේය.

පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment