ආයුර්වේද සංස්ථා සේවකයන්ට හොර පාරෙන් කෝටි 54ක දිරි දීමනා

91

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ඉකුත් වසර 07ක කාලයේ දී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරි දීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන්ට රුපියල් පනස්හතර කෝටි, හැට එක් ලක්ෂ, හතළිස් එක්දහස් පන්සිය දාහතරක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂයේ දී සංස්ථාවේ සේවකයන්ට නිෂ්පාදිත දිරි දීමනා වශයෙන්, පන්කෝටි, විසිහත් ලක්ෂ, අසූ එක්දහස් අටසිය අසූ එකක මුදලක් ද පැමිණීමේ දීමනා වශයෙන් පනස්නම ලක්ෂ අසූ හත්දහසක මුදලක් ද ඵලදායිතා දීමනා වශයෙන් රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂ, අනූ දෙදහස් හත්සිය පනහක මුදලක් ද ගෙවා තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. 2021 වර්ෂයේ දී දිරි දීමනා වශයෙන් ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් හත්කෝටි, එකොළොස් ලක්ෂ, හැට එක් දහස් හයසිය තිස් එකකි.

නිෂ්පාදිත ඖෂධ වර්ගය මත බර තැබීමක් කරමින් අදාළ නිෂ්පාදන ඒකක ප්‍රමාණයේ වැඩි වීම මත ගණනය කර දිරි දීමනා මුදලක් නිෂ්පාදන කටයුතු සඳහා සෘජු දායකත්වයක් සපයන සේවකයන්ට ක්‍රියාත්මක කිරීමෙන් ආයතනයේ පලදායිතාවය ඉහළ නංවා ගැනීමට හැකි බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. එවැනි ක්‍රමයක් වෙනුවට රුපියල් මිලියන 15 ඉක්මවා වැඩි වන මාසික නිෂ්පාදන පිරිවැය මත පදනම්ව සංස්ථාවේ සියලුම අංශවල සේවකයන්ට මාසිකව රුපියල් මිලියන 03ත් රුපියල් මිලියන 07ත් අතර මුදලක් නිෂ්පාදන දිරි දීමනා වශයෙන් ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී ගෙවා ඇති නිෂ්පාදන දිරි දීමනා මුදල සියයට 57කින් වැඩිවී තිබූ බව සඳහන් කරන ජාතික විගණන කාර්යාලය නිෂ්පාදන පිරිවැය ඉහළ යන අවස්ථාවලදී සංස්ථාවේ ලාභදායිත්වය අඩු වුව ද ගෙවන නිෂ්පාදන දිරි දීමනාව වැඩි කිරීම සිදුවී තිබුණි.

විධිමත් අනුමැතිය ලබාගත් දිරි දීමනා යෝජනා ක්‍රමයක් මත පමණක් දිරි දීමනා ගෙවිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් විගණනයට සඳහන් කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන දිරි දීමනා ගෙවා ඇති බවය. මේ වන විට නව දිරි දීමනා යෝජනා ක්‍රමයක් සකස්කොට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව මෙය භාණ්ඩාගාර අනුමැතියට යොමුකර ඇති බව ද සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment