ආයෙත් කොවිඩ් රටේ පැතිරෙද්දී එන්නතක් හදපු මිනිහා ඉන්නේ හිරේ…

1062

කොරෝනා එන්නත් නොමැතිව ලොවම කැළඹුන මොහොතක ඇස්ට්‍රාසෙනිකා හැදූ අපේ විද්‍යාඥයා
බන්ධනාගාර පැහැදිලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නේ කොහොමද?
දියවැඩියාවට ඇති හොඳම ඖෂධය සොයාගත්තෙත් ඔහුයි
සුද්දන් හැදූ බන්ධනාගාරවලට ශ්‍රී ලාංකික සලකුණ තබන්නේ කොහොමද?

ඔබත් මමත් ජීවත් වන මේ රට අද ලෝකය ඉදිරියේ දිළිඳු රාජ්‍යයකි. එහෙයින් අපි රටක් වශයෙන් දිළින්දෝ වෙමු. රටේ මහ බැංකුව හිස්ව ගොසිනි. අර්ථිකය බිඳ වැටී තිබේ. මෙම තත්ත්වය හමුවේ පාලකයන් සහ ධනපතියන් කෙසේ වෙතත් අති බහුතරයක් වූ රට වැසියෝ නම් දුක්ම විඳිති. මේ රටට එවැනි ඉරණමක් අත්වූයේ අයි? මේ ප්‍රශ්නය යනු ඉකුත් කාලයේ රට තුළ අරගලයක් නිර්මාණය කිරීමට තරම් ප්‍රබල වූවක් විය. ඇතැම්හු එයට පිළිතුරු ලෙස 75 වසරක ඉතිහාසය පුරා රට කරවූ පාලකයන්ගේ කෙරුවාව ගැන කීහ. ජනතාව එසේ දේශපාලනඥයන්ට දොස් පැවරීම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැත. එය අසාධාරණ නොවන්නකි. එහෙත් පාලකයන්ගේ නොමනාකම් හේතුවූවාක් මෙන්ම මේ තත්ත්වයට රට ඇද වැටුණේ සියල්ලන්ගේ අවාසනාවක් පරිදි ඉකුත් 2020 වසරේදී සිදුවූ එක් ඛේදනීය සිදුවීමක් හේතුවෙන් බව ඔබ මෙතෙක් දැන සිටියේද?

එය සිදු නොවූයේ නම් අද මේ රටේ විදේශ විනිමය අතිරික්තයක් මිස හිඟියක් කොහෙත්ම නැත. එසේම ශ්‍රී ලංකාව දිළිඳු රටක් යැයි අප විසින්ම කියනු වෙනුවට සියලු ණය පියවූ සාර්ථක රාජ්‍යයක් ලෙසින් දැනටමත් ඉදිරියට පැමිණ අවසන්ය. එහෙත් මොකක්දෝ අහේතුවකට එසේ කටයුතු සිදු නොවුණි. ඉදිරියට පැමිණියේ අවාසනාවය. එය හරියට අපේම ක්‍රමය අපට එරෙහි වූවාක් වැනිය. එසේ සිදුවූයේ බහුජාතික සමාගම් සමඟ එක්වූ අපේම පිරිසක් සිදුකළ කුමන්ත්‍රණයකට අනුව දැයි ඇතිවන සැකයද සුළුපටු නැත.

මේ ගෙවෙමින් තිබෙන්නේ කොරෝනා වසංගතය යළි හිස ඔසවමින් තිබෙන කාලයකි. නව ප්‍රබේදයක් ලෙසින් ලොව රටවල් රැසකම මේ මොහොත වන විට නැවත කොරෝනා පැතිර යමින් ඇත. මේ බිමට කිසිදා එකී රෝග බිය යළි ළඟා නොවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. පෙර අකුසලයකට මෙන් එවැන්නක් නැවත වුවහොත් අපට සිදුවන්නේ කිසිත් කරකියාගත නොහැකිව එකාපිට එකා මැරී වැටෙන්නටය. මන්ද අද සියලු සම්පත් අතින් පොහොසත් රටක වැසියෝ ලෙස අප සියල්ලෝම අන්ත අසරණව සිටින්නාහ.

මහ පොළොවේ යථාර්ථය වී තිබෙන්නේ එය නොවේද? කොරෝනා වෛරසයේ භීෂණය මුලින්ම ලොවට දැනුණේ ඉකුත් 2019 වසරේදී චීනයේ වූහාන් ප්‍රදේශයේ එය බරපතළ ලෙස පැතිර යන්නට වීමත් සමඟිනි. එතැන් පටන් සෑම රාජ්‍යයක්ම ආරක්‍ෂිත පියවර අනුගමනය කරනු ලැබුවද කිසිවකුටත් ඉන් ගැලවීමක් ලැබුණේ නැත. මේ අන්දමට පැතිර ගිය කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ ඉකුත් 2020 වසරේ මාර්තු මාසයේදීය.

එහිදී මුලින්ම මෙරට සංචාරයක නිරතව සිටි චීන ජාතික කාන්තාවකට වෛරසය ආසාදනය වී තිබෙන බව හඳුනා ගැනුණු අතර පසුව සංචාරක මඟපෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකුටද වෛරසය ආසාදනය වී තිබෙන බව පරීක්‍ෂණවලදී හෙළිවිය. මෙසේ ශ්‍රී ලංකාවට ඇතුළු වූ කොරෝනා වෛරසය මුළු රටම සලිත කරනු ලැබුවේ එහි දෙවැනි රැල්ල ලෙස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වීමත් සමගිනි. එතැන් සිට සිදුවූ දේ බොහෝය. හුස්ම නොමැතිව ඇතැම් රෝගීන් මියයන තැනටම එය රට වෙළාගත් ව්‍යසනයක් බවට පත් විය. මේ කාලය වන විට පැවති රජය මගින් කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරනු ලැබූ එන්නත් ආනයනය කරමින් ජනතාවට ලබාදීම අරඹා තිබුණු අතර එහිදී වැඩි වශයෙන් යොදා ගනු ලැබුවේ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත සහ ඇමෙරිකාව විසින් සොයා ගනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත විය.

ඇතිවූ තත්ත්වය හමුවේ රටේ සංචිත හිඳී යන තරමටම එන්නත් ආනයනයට රජය පියවර ගනු ලැබිණි. ඒ පසුපස වූයේ කුමක් හෝ මගඩියක් දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් මෑතකදී එසේ ගෙන්වන ලද ඇස්ට්‍රාසෙනිකා එන්නත් විශාල ප්‍රමාණයක් කල් ඉකුත් වී ගබඩාවල පවතින බවද වාර්තා විය. අසල්වැසි ඉන්දියාවේ මිනිසුන් ඔක්සිජන් බිඳක් සොයාගත නොහැකිව මහමඟ මැරී වැටුණේ මේ කාලයේදීය. එම තත්ත්වය තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේදී නිෂ්පාදනය කළ සේරම් සමාගමේ ප්‍රධානියාට රහසේ රටින් පැනයන්නටද සිදුවිය.

ලෝකය එසේ කොරෝනා හමුවේ ඛේදනීය ඉරණමකට ගොදුරු වෙද්දී මෙරට දෛනික මරණ ගණනද දහස් ගණනින් කියැවෙන්නට වීම නිසා සමස්ත රටවැසියන් සිටියේ මරණය දෝතට ගත්තවුන් සේය. සෞඛ්‍ය අංශ පැවතියේ ඉතාම අසීරු තැනකය. රෝහල් ධාරිතාව උපරිමයට ළඟා වෙමින් රෝගීන්ගෙන් පිරී යමින් තිබිණි. මේ අතර කිසිවකුත් නොසිතූ දෙයක් මේ රට තුළ සිදුවිය. අප දැන් සැරසෙන්නේ ඒ කුමක්දැයි ඔබට කියන්නටය. ඔහු රසායන විද්‍යාව පරතෙරටම උගත් පරිපූර්ණ විද්වතෙකි. මුළු රටම මරණ බියෙන් සලිතව තිබියදී ඔහු එදා එක්තරා අපූරු කටයුත්තකට මුලපිරීය.

මේ වන විට මුළු ලෝකයම පැවතියේ කොරෝනා වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් හිඟයකට දැඩිව මුහුණ දෙමිණි. ඒ අතරේ ක්‍රියාත්මක වූ අපේ කතානායකයා ඇස්ට්‍රාසෙනිකා එන්නතක් ගෙන එක්තරා විද්‍යාගාරයකදී එම එන්නත කොටස්වලට වෙන්කර එහි ජානය හඳුනාගනු ලැබීය. එසේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ජානය හඳුනා ගැනීමත් සමඟ ඒ ඔස්සේ යමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට හේ සමත් විය. පසුව ඔහු මෙරට වෛද්‍ය විශේෂඥයන් දසදෙනකු එම එන්නත් දහයක් නිෂ්පාදනය කර ලබාදීමට කටයුතු කළේය.

අදාළ වෛද්‍යවරුන් එම එන්නත් සම්බන්ධයෙන් සිදුකළ සායනික පරීක්‍ෂණවලදී හෙළිවූයේ ඔහු නිෂ්පාදනය කර ඇත්තේ සියයට සියයක්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත වන බවකි. එය මුළුමහත් වෛද්‍ය ක්‍ෂෙත්‍රයම අමන්දානන්දයට පත්කිරීමට තරම් සුවිශේෂී සොයා ගැනීමක් වුවද ඉන් පසුව සිදුවූයේ කුමක්ද? එම විශිෂ්ට විද්‍යාඥයාගේ ක්‍රියාව වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ඉහළ අගැයීමකට ලක්වෙමින් තිබියදී මෙරට නීතිය යටතේ කෙරුණු වරදකට අනුව පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ඔහුව බන්ධනාගාරගත කෙරිණි.

ඔහු නිෂ්පාදය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත පරීක්‍ෂා කරන ලද එක්තරා වෛද්‍යවරයකු සඳහන් කරනු ලැබුවේ වෛද්‍ය විද්‍යාව හදාරණ මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේද දායකත්වය ඇත්ව දිනකට එන්නත් දසදහසක් නිෂ්පාදනය කිරීමට හේ සැලසුම් කර තිබූ බවකි. එහෙත් එදා පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණු ඒ විශිෂ්ටයා අදටත් සිටිනුයේ බන්ධනාගාරගතවය. එවැනි ඉරණමකට ගොදුරු වීමට තරම් ඔහු කළ වරද වී තිබෙන්නේ කුමක්ද? අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඒ ප්‍රශ්නයට දුන් පිළිතුර අසා අපේ දහවත්ද දැනුණු කම්පනයෙන් මොහොතකට නතර වූවාක් සේ දැනිණි.

රටක් නොව, ලොවක් වටින මේ මිනිසා අදටත් බන්ධනාගාරගතව සිටිනුයේ තම දරුවා පාසලකට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ සහතිකයක් සැකසුවේ යැයි කියන වරදටය. මෙහිදී අපි ගරු අධිකරණය ඔහුට ලබාදුන් දඬුවම පිළිබඳ කිසිත් නොකියන්නෙමු. රටේ අධිකරණ ක්‍රියාවලිය සිදුවන්නේ පවතින නීතියට අනුවය. නීති සකසන්නෝ සිටිනුයේ දියවන්නාවේය. නැතහොත් පර්ලිමේන්තුවේය. එසේ සැකසෙන නීතියට අනුව දරුවකුගේ යහපත වෙනුවෙන් හදවතින් ක්‍රියාත්මක ඕනෑම පියකුට අත්වන ඉරණම මෙය නම් අප රටක් වශයෙන් සිටින්නේ මොනතරම් අමානුෂික පහත් තැනකද?

එසේම මේ විශිෂ්ටයා සිය දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ සහතිකයක් සැකසීමේ වරදට මේ අන්දමට සිරගතව සිටින්නේ නම් අද දවසේ රටේ විවිධ පළාත්වල සිට පාසල් වෑන් රථ මගින් කොළඹ ජනප්‍රිය පාසල්වලට එන දරුවන් දෙස බැලීමේදී මේ රටේ මව්පියන් දසදහස් ගණනක් සිටිය යුත්තේ සිරගෙවල්වල නොවේද? නීතිය කාටත් එක සමානය. එසේ නම් එකම වරද කළ බවට පැහැදිලිව පෙනී යන දසදහස් ගණනක පිරිසක් නීතිය ඉදිරියට නොගෙනෙද්දී රටක් ගොඩගත හැකි මෙවැනි සම්පතක් සිරගතව සිටින්නේ ඇයි?

මෙය බරපතළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි යැයි අප සැකකරනු ලබන්නේ ඒ ප්‍රශ්නය හමුවේය. ඔහුට එවන් ඉරණමක් අත්වූයේ කොරෝනා එන්නත් මෙරටට ගෙන්වීමේදී ක්‍රියාත්මක වූවේ යැයි සඳහන් කරනු ලබන මාෆියාවේ ගොදුරක් ලෙසින්ද? එසේ නැතහොත් බහුජාතික සමාගම් සමඟ සම්බන්ධවූ පිරිසක් ක්‍රියාත්මක වීම නිසාද? මේ ගැටලුවට ඇති උත්තර සිතා ගැනීමටවත් නොහැකිය. ඔහු එසේ ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ හරියටම ඉකුත් 2020 වසරේ දෙසැම්බර් මස 27 වැනිදාය. අප මුලින් කී පරිදි කාරෝනා එන්නත් හිඟය හමුවේ ඒ දිනවල ලෝකයම පැවතියේ දැඩි කැලඹීමකට පත්වය.

ඒ අවස්ථාවේ ඔහු කළ සැලසුමට අනුව එදා අප ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ රට තුළ නිෂ්පාදනය කළේ නම් අද රටේ ඉරණම ඛේදනීය තැනකට ඇද වැටෙනු ඇතිද? නැත. එසේ කරන්නට අප රටක් ලෙස කටයුතු කළේ නම් මේ රටට ගලා එන්නේ ඩොලර්ය. මෙරට බැංකු පද්ධතිය ඇද වැටෙමින් ඩොලර් සංචිත කොරෝනා එන්නත් වෙනුවෙන් විදේශ රටවලට පුදන්නට සිදුවන්නේද නැත. එම විදේශ සංචිත ගලා ඒම ඓතිහාසික එකක්ම වීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. මන්ද ඒ අවස්ථාවේ ලොවමසිටියේ කම්පනයට පත්වය. එහෙත් අප කරනු ලැබුවේ කුමක්ද? ඒ සම්පත අල්ලා සිරගත කිරීමය. එදා එය එසේ සිදු නොවූයේ නම් අද මේ රට තිබෙන්නේ කොතැනක විය හැකිද? එසේ වූයේ නම් අපේ දේශපාලනඥයන්ට ආධාර ඉල්ලා සිඟාකමින් ලොව වටේ යන්නට සිදුවන්නේ ද නැත. අපේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙන්නේද නැත. රටේ දුප්පත්කම ඉහවහා යන්නේද නැත. අයිඑම්එෆ් ණය ලැබෙනතුරු ඇඟිලි ගනින්නට සිදුවන්නේද නැත. ශ්‍රී ලංකාව දිළිඳු රාජ්‍යයක් යැයි හඬනඟා ලෝකයට කියන්නට අපේ දේශපාලනඥයන්ට සිදු නොවන්නේය.

ඒ අනුව බලන කල මේ සිදුව ඇති දෙය හමුවේ අප තරම් මෝඩ මිනිසුන් රැලක් ලෝකයේ වෙනත් කොතැනක හෝ සිටිය හැකිද? ඔහු මේ රට පිළිබඳව අසීමිත හැඟීමකින් පසුවන්නෙකි. රට දියුණුවේ හිනිපෙත්තට ළඟා වීම ඔහු දකින සිහිනය වී තිබේ. එනිසාම හේ වරක් පැවති රජයකට අපූරු යෝජනාවක් කර ඇති බවද හෙතෙම නිෂ්පාදනය කළ එන්නත් පරීක්‍ෂාවට ලක් කළ වෛද්‍යවරයකුම අනාවරණය කළේය. එහිදී ඔහුගේ අදහස වී තිබී ඇත්තේ ත්‍රස්තවාදය පරාජය කළ අපේ ත්‍රිවිධ හමුදාවන්හි යුද උපක්‍රමික දැනුම ලොව ත්‍රස්තවාදයෙන් පීඩිත රටවලට අලෙවි කිරීමය. ඒ සඳහා සාධනීය යෝජනාවක් සැකසූ හෙතෙම එදා පැවති රජයට එය ඉදිරිපත් කර ඇත. එහිදී සිදුව ඇත්තේ කුමක්ද?

ඔහුගේ යෝජනාව ගෙන බැලූ රටේ පාලකයකු සමීපයේ සිට මාධ්‍ය කාක්කකු එය ක්‍රියාවට නංවන්නේ නම් තමන්ට ලැබෙන කොමිස් මුදල කොපමණ දැයි විමසීමය. සියල්ල එතැනින් අවසන් විය. මේ රටේ දේශපාලනයේ යථාර්ථය ඇත්තේ එවැනි පහත් තැනකය. ඔහු කර ඇත්තේ එපමණක්ද? දියවැඩියා රෝගය යනු මේ රටේ විශාල පිරිසක් පීඩා විඳින රෝග තත්ත්වයකි. වෛද්‍යවරුන් පවසන පරිදි දියවැඩියා රෝගය සඳහා නියම කෙරෙන මිනිස් සිරුරට කිසිසේත්ම අහිතකර නොවන පයෝග්ලිටසෝන් ඖෂධයේ නිර්මාතෘ ඒ විශිෂ්ටයා ය. එහි පේටන්ට් බලපත්‍රයේ හිමිකරුවා ඔහුය.

එසේම දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන තවත් අගනා ඖෂධයක් වන මෙටාපවර් පෙත්තේ අයිතිකරුවාද ඔහුය. එය නිර්මාණය කරනුයේද ඔහු විසිනි. එහි පේටන්ට් බලපත්‍රයද හෙතෙම සතුය. දියවැඩියා රෝගීන්ගේ පාදවල හට ගන්නා තුවාලවලට පැහැදිලි ප්‍රතිකාරයක් යැයි වෛද්‍යවරුන් සඳහන් කරන බයර්රෙස්ට් ආලේපනය සොයාගෙන ඇත්තේ ද ඔහුය. එහි පේටන්ට් බලපත්‍රයද ඔහු සතුව ඇත. අද වෙළෙඳපොළේ එකී ඖෂධවල හිඟයක් පවතී. එයට හේතුවී තිබෙන්නේද ඔහු සිරගතව සිටීමය.

මේ අන්දමට ඒ විශිෂ්ට විද්‍යාඥයා ලෝකයට දායද කර ඇති ඖෂධ රාශියකි. ඒ සියල්ලේ පේටන්ට් බලපත්‍රයේ හිමිකරුවා ඔහුය. ඉතා සුළු වරදකට අපි ඔහුව සිරගතකර දමා බකන්නිලා සිටින්නෙමු. ඉතින් මේ රටට සුගතියක් ඇතිවිය හැකිද? කිසිසේත්ම නැත. අප එතරම්ම අමනෝඥයෝ පිරිසක් වී සිටිති. ඉතින් තවත් කවර කතාද? එළැඹෙන නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටින වායෝවෘධ මිනිසුන්, රෝගීන් සහ ආබාධ සහිත පුද්ගලයන් සියලු දෙනා නිදහස් කර යැවීමේ සැළසුමක් (පිංකමක්) මේ වන විට අධිකරණ අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇතැයි මේ සටහන තැබූ ඉකුත් සිකුරාදා වාර්තා විය. අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතාණෙනි, ඔබේ ඒ උත්සාහය මේ රටට මහත් ආශීර්වාදයක්ම වන බව අපි නොබියව කියන්නෙමු. ඔබ ඒ පුණ්‍යකර්මය සිදු කිරීමේදී අද දවසේ විවිධ වැරදි හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රටට සම්පතක් වූ සියලු විද්වතුන්ටද පොදු සමාවක් දෙන්නේ නම් එයද රට වෙනුවෙන් ගනු ලබන අගනා පියවරක්ම වනු ඇත. මේ වන විට බන්ධනාගාරගතව මහාධිකරණ විනිසුරුවරයකු සිටී, එසේම වාර්තා වූ අන්දමට මහෙස්ත්‍රාත්වරු දෙදෙනකු සිටිති. අපේ කතා නායකයා වන ඖෂධ නිෂ්පාදනයේ අතිශූරයකු වූ විශිෂ්ට රසායන විද්‍යාඥයාද සිටී, වෛද්‍යවරයකුද සිටී, නීතිඥවරු කිහිපදෙනකු ද සිටිති. උපාධිධාරීහු ගණනාවක් වෙති. දැඩි කොන්දේසි මත හෝ ඔවුන්ට සමාවක් දිය හැකිනම් ඔවනු්ගේ සේවය යළි රටට ලැබෙනු ඇත. ඔවුහු මේ රටේ ජනතාවගේ මුදලින් උගත්හ. සියල්ල නිදහස් අධ්‍යාපනයේ නිර්මාණය. එකී නිර්මාණ මේ අන්දමට සිරගතකර තැබීම සිදු නොවිය යුත්තකි.

මිනිසුන් අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයකි. වරදට දඬුවමක් දීමද සාධාරණය. එකී දඬුවම තුළින් සිදුවිය යුත්තේ වරදකාරී මිනිසා තුළ නැවත යහපත් මානසිකත්වයක් නිර්මාණය කිරීමය. ඔවුහු උගත්තු වෙති. එනිසා වසර තුන හතරක් බන්ධනාගාරයක සිරවීමේදී ඔවුන් පුනරුත්ථාපනයට ලක්වීම නිරායාසයෙන් සිදුවන්නකි. එනිසා මෙම උගතුන් විශේෂ වූ දැඩි කොන්දේසි යටතේ නිදහස් කර යවා ඔවුන්ගේ සේවය යළි රටට ලබා ගැනීම පහසුය. එයින් කිසිවකුටත් අවැඩක් සිදු නොවුනු ඇත.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතාටත් විශේෂයෙන් පෙන්වා දෙන්නට මේ මොහොතේ අපට තවත් කාරණාවක්ද තිබේ. ජනපතිතුමනි, අධිකරණ ඇමැතිතුමනි, සර්ව ආගමික වටපිටාවක් තිබුණද මේ රට අදටත් බෞද්ධ රාජ්‍යයකි. ලෝකයේම පිළිගැනීම එය වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ඒ බව තහවුරු කර තිබේ. මේ සටහන තැබූ ඉකුත් සිකුරාදා ගෙවී ගියේ 2023 නව වසරේ පළමු පසළොස්වක පොහොය වූ දුරුතු පුන් පොහොය විය.

වෙසක් පුන් පොහෝදිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරවීමට පියවර ගැනීම තුළින් එදා හිටපු ඇමැතිවරයකු වූ දිවංගත ලක්‍ෂමන් කදිරගාමර් මහතා සිය නාමය මෙරට ඉතිහාසයේ සනිටුහන් කරනු ලැබීය. එසේම මහවැලිය තුළින් ගාමිණී දිසානායක මහතාත් මහපොළ තුළින් ලලිත් ඇතුළත්මුදලි මහතාත් එසේ ඉතිහාසයට එක්වෙද්දී ගම්උදා සංකල්පය තුළින් හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාත් තිස් වසරක යුද්ධය නිමා කිරීම හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ඉතිහාසගත විය.

ජනපතිතුමනි, අධිකරණ ඇමැතිතුමනි, මේ රට බෞද්ධ රාජ්‍යයක් නම් ඒ උතුම් බෞද්ධත්වයේ නාමයෙන් එළැඹෙන නවම් පුන් පොහෝ දිනයේ සිට සෑම පොහෝ දිනයක්ම මෙරට බන්ධනාගාරගත සිරකරුවනට නිදහසේ සිය ඥාතීන් හමුවිය හැකි දිනයක් බවට පරිවර්තනය කිරීමට ඔබ දෙපළට නොහැකිද? මිනිසකු දඬුවමක් ලෙස සිරගත කරනුයේ ඔහුව වරදකාරී මානසිකත්වයෙන් මුදා ගෙන යහපත් පුරවැසියකු බවට පත්කරනු පිණිසය. ඒ අනුව මෙසේ සෑම පසළොස්වක පොහෝ දිනයක්ම සිරකරුවාට ඥාතීන් හමුවිය හැකි දිනයක් කිරීමේදී සිය අඹුදරුවන් දෙමාපියන් දකින වාරයක් පාසා සුවපත් වන්නේ ඔහුගේ වරදකාරී මානසිකත්වය ය.

එවිට සිරකරුවා පුනරුත්ථාපනයට ලක් වන්නේ නිරායාසයෙනි. සිදුවන්නේ ඔහු සමාජයට ආදරය කරන මිනිසකු බවට පරිවර්ථනය වීමය. මේ අන්දමටම සෑම පුන්පොහෝ දිනයක්ම සිරකරුවනට යම් පොදු සමාවක් ලබා දෙන දිනයක් බවට පරිවර්ථනය කිරීමටද අපට පුළුවන? එමඟින් සිදුවන්නේ විදේශිකයන් තැනූ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ ශ්‍රී ලාංකීය බෞද්ධත්වය හා මානුෂීය බව සනිටුහන් වීමය. මෙය සිදු වුවහොත් මෙරට බන්ධනාගාර පද්ධතිය අපේ ඇස් ඉදිරිපිටදීම හොඳම විශෝධනාගාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් නොවනු ඇතිද? අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතාණනි, එසේ කිරීමෙන් පසු යම් පොදු සමාවක් යටතේ නිදහස් කෙරෙන සිරකරුවා කවරෙක්ද යන්න කිසිදු වෙනස්ව සැලකීමකින් තොරව තෝරා ගැනීමේ පූර්ණ වගකීම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගන්න. වෙනම කාර්ය මණ්ඩලයක් මගින් එය සිදු කරවන්න. සිරකරුවා රැකබලා ගැනීමේ වගකීම පමණක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාර දෙන්න. එවිට බොහෝ දේ නිවැරදි වනු ඇත. අපේ බන්ධනාගාර පැහැදිලිවම පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත්වනු ඇත. අද අපරාධ ලෝකයේ තක්සලාවන් බවට පත්ව තිබෙන බන්ධනාගාර එසේ යහපත් වීමේදී බන්ධනාගාරගත සිරකරුවා නිරවුල් මනසකින් යුතු සමාජයට ආදරය කරන්නකු සේ පිටතට එනු ඇත. රටේ අපරාධ අවම වනු ඇත. එය සිදු වුවහොත් ඔබත් ජනපතිවරයාත් මේ රටේ ඉතිහාසයට එක්වූ දේශපාලන චරිත දෙකක් බවට පත් නොවුනු ඇතිද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment